රන් මල් දම් – 29

නිම්නාවී ඇය වෙනුවෙන් වෙන් කර තිබූ කාමරය තුළට ගොස් දොර වසා ගත්තාය. දොරටම වාරු වී තමාට ඇසුනේ කුමක්දැයි යලි කල්පනා කර බැලුවාය. සෙත් මන්දාරම් වර්ණකුල ලෙසින් උච්චාරනය වුනු ඒ නම තමා දන්නා සෙත් මදැයි යලි සිතුවාය.

වසර එකොළහකට පසු ඇස් ඉස්සරහම සිටියදී පවා තමාට ඔහු හඳුනාගැනීමට නොහැකි වූයේ කෙලෙසකින්දැයි සිතුවාය. යළි ඒ ඔහුමදයි සිතුවාය. මෙහි පැමිණියාට පසු සෙත් වර්ණකුල ගැන දැනුන හැඟීම් වඩා බර සිතුවිලි සේ දැනුනෙ ඇයි දැයි ඒ අතරේ  වටහා ගත්තාය. ජී

විතේ මෙහෙම අරුමැසියක් බව නිම්නාවී කිසිදිනෙක සිතා තිබුණේ නැත.  එහෙත් මින් පසුව කල යුත්තේ කුමක්දැයි ඇයට වැටහෙන්නේද නැත. දෛවය මෙතරම් සැලසුම් සහගත ලෙසින් සියල්ල සිදුකිරීම ඇයට වටහා ගන්නටවත් නොහැක.

සෙත් තමාගේ සැබෑ කතන්දරය දැනගැනීමෙන් පසුව කුමක් සිදුවේදැයි දන්නේද නැත.

“නිම්නාවී …..”

චානකගේ හඬ අසෙද්දී ඕ වහා පියවි සිහියට එලැඹුණෑය. තවමත් කරෙහි වු අත් බෑගය මේසය මත තැබුවාය.

” එනවා.ඉන්න …ලෑස්ති වෙන ගමන් ..”

ලෙසින් පිළිතුරු දුන්නාය. ගවුම උනා දමා නිවසට අඳින ගවුමක් ඇඳ ගත්තාය. කොණ්ඩය ගොතා දමා ගත්තාය.

” තවම කලබල වෙලාද ඉන්නේ ?. නැන්දාට තේ එකක් … බෙහෙත් පෙත්තක් තියෙනවා නේද ?.”

” නෑ ..හරි …. මම තේ හදන්නම් .සොරි ..”

ඕ වහා චානක පසු කර කුස්සියට ගියාය. ඒ  යන එන හැම අඩියකම  හද ගැස්ම ඉතා වේගයෙන් ඉහල යමින් තිබුණි. තමා ජීවිත කාලයෙන් වැඩි කාලයක් දරා උන් පීරිමියා මෙතරම් ළඟින් මුණ ගැසී තිබියදීත් තමාට ඔහු හඳුනාගන්නට තරම් වන සිහියක් නොතිබුනේ ඇයිදැයි ඕ  යලි කල්පනා කලාය. ඒ වෙනුවෙන් තැවුනාය.  බැරි වෙලාවත් එකම නම තිබුනාට මේ ඒ සෙත්ම නොවිය හැකි නොවේදැයි වන ව්‍යාජ සිතුවිල්ලකද එල්ලුනාය. එහෙත් මේ  ඒ සෙත්ම බව ඕ හොඳින්ම දැන උන්නාය. දැන් ඒ බවට බරින් හිතට දැනෙන හැඟීමෙන් ඇයට ගැලවීමක් වූයේ නැත.

ස්වර්ණාගේ තේ කෝප්පය රැගෙන ඇගේ කාමරයට ගියාය. ස්වර්ණා නිම්නාවී දෙස විමසිල්ලෙන් බැලුවාය.

” බය වුනාද නිම්නාවී?….”

 ඕ යන්තම් සිනාසී ස්වර්ණා වෙත තේ කෝප්පය දී හිඳගත්තාය.

” මන්දාරම් කවදාවත් එහෙම කෑ ගහන දරුවෙක් නෙවෙයි නිම්නාවී … ඔය ඉතින් ඉවසිල්ලක්ම නැති කම ..  කොල්ලාට දුක හිතුනම ඉස්පාසුවක් නැහැ.. ලේසියකට බිඳිලා කුඩු වෙන කෙනෙක් නෙවෙයි මන්දාරම් .. ඒත්  හිතේ වේදනාවක් ආවොත් ඒක කන්‍ට්‍රෝල් කරගන්න එකත් ලේසි නැහැ ඔය කොල්ලාට..  ..”

ස්වර්ණා යලි  කීවාය. නිම්නාවී ඒ ගැන හාරා අවුස්සන්නට ගියේ නැත. ඇගේ සිතෙහි වූයෙ වෙනම ගින්දරක් ය.

එක්වරම ස්වර්ණා මින් පෙර දිනෙක කියූ මන්දාරම්ගේ පාසල මාරුවීම  ඇතුළු කතන්දර සෙත්ගේ ජීවිතයේ තම දන්නා කතන්දර සමඟ සමපාත බව නිම්නාවීට කල්පනා විය. ඕ සුසුමක්  හෙලුවාය. මන්දාරම්ගේ ඍජු ඇස් මතට සෙත්ගේ දයාබර ඉලන්දාරි  ඇස් වැටුණාට පසු හරියටම ගැලපෙන බව ඇයට දැණුණි. ඕ යළි සුසුමක්  හෙලුවාය. ස්වර්ණා උන්නෙ යුවතිය ගැන විමසිල්ලෙනි.

” නිම්නාවී …”

” මිස් …?”

” මොකක් හරි ප්‍රශ්නයක්ද දරුවෝ ?… “

” අනේ නෑ මිස් …”

” ජීවිතේ එහෙම තමයි, අපිට ඕනේ තරම් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා… ඒත් අනිවාර්‍යෙන්ම අපි විශ්වාස කරන්න ඕනි අපිට ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න පුලුවන් බව.. එතකොට තමයි ජීවිතේ ගැන විශ්වාසයක් බලාපොරොත්තුවක් ඇති වෙන්නේ..අපිට ජීවත් වෙනවා කියන එක රහට දැනෙන්න නම්, ඒ එන ප්‍රශ්න වලට අපි උත්තර හොයාගන්නම ඕනි දරුවෝ …”

ස්වර්ණා ඉතා ළයාදරව කීවාය. නිම්නාවී ව්‍යාජ සිනාවක්වත් නඟා ගන්නට නොහැකිව ඔහේ බලා උන්නාය.

“අපි කොච්චර උත්සාහ කලත්,  හැම ප්‍රශ්නයක්ම විසඳෙන්නේ නෑ මිස් … සමහර ප්‍රශ්න වලට කොච්චර උත්සාහ කලත් හරි උත්තර හොයාගන්න වෙන්නේ නෑ…  කොහොම හරි උත්තරයක් ලැබුනත්, ඒක තව ප්‍රශ්නේකට ආරම්භයක් විතරයි ..මගේ ජීවිතේ මට මුහුණ දෙන්න වුන කිසිම ප්‍රශ්නයක් නිසා මට ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් නම් ලැබිලා නෑ මිස්..”

නිම්නාවී හදවත තුල වූ  බොහෝ කතන්දර සඟවා එලෙසින් කීවාය. ඇයට අවැසි වූයේ දැනෙන වේදනාව මුසු පීඩනයෙන් බිඳක් හෝ බෙදාගන්නටය. හෙට දිනයේ පටන් ඇරඹෙන ජීවිතයේ තත්පර ගැන කල්පනා කිරීමය.

සෙත් ඇ මානයේ සිටියදී තමා ඔහු නොදැක්කා මෙන් සිටින්නේ කොහොමදැයි  ඇයට වැටහුනේ නැත. අනෙක් අතට ඔහු ඉන්නවා සේ පෙනුන හැම තත්පරයකම සෙත් පිළිබඳව වන කිසිම ඉඟියක් තමාට නොදැනුනේ කෙලෙසදැයි ඇයට වැටහුනේ නැත.

ස්වර්ණා  නිම්නාවී ට කාමරයෙන් පිටවෙන්නට නොදී උන්නාය.

” ඔයා කොයි තරම් ලස්සන ගෑණු දරුවෙක්ද නිම්නාවී .. ජීවිතේ ඔයාට ලස්සන මූනක්, ලස්සන හිනාවක් එක්ක ලස්සන හිතකුත් දීලා තියෙනවා.. මේ වයසේ ගැහැණු දරුවෙක් ලේසියෙන් යොමු වෙන රස්සාවක් නෙවෙයි නේ ඔයා මේ කරන්නේ?… වයසක, වාරු නැති අම්මලා තාත්තලාට වාරු අල්ලන එක ලේසි දෙයක් නෙවෙයි නේ නිම්නාවී ..ඔයා ඒක හරි අපූරුවට කරන ගෑණු දරුවෙක් .. මම ඔයාට දවසකුත් කිව්වේ .. ඔයාව මගේ දෝණියෙක් කරලා ළඟ තියාගන්න තරම් ලෝබ හිතෙනවා නිම්නාවී .. ඒ නිසා, මාව පිට කෙනෙක් කියලා නොහිතා ඔයාගේ හිතට කරදර වෙන මොනවා හරි තියෙනවා නම් මා එක්ක කියන්න …අපි එකතු වෙලා උත්තරයක් හොයා ගමු ..මට විශ්වාසයි, මන්දාරම් වුනත් ඔයාට උදව් කරාවි …”

ස්වර්ණා තම වේදනාව මොහොතකට යටපත් කරගෙන දියණියක දෙස බලන ආදරයෙන් නිම්නාවී දෙස බැලුවාය. නිම්නාවී ඉන් තිගැස්සුනාය. අසීරුවෙන් සිනාසුනාය.

” වචනෙටත් පින් මිස් ….”

“: ඔයාගේ පවුලේ විස්තර කොහොමද දරුවෝ ?…”

ස්වර්ණා එක්වරම ඇසුවාය. නිම්නාවී ගලපා ගන්නට ඇති තරම් වෙලා ගත්තේ, එවෙලෙහි ඇය උන් මානසිකත්වය සුව නොවන බව පෙන්වමිනි.

” අම්මයි, තාත්තයි, මල්ලියි ඉන්නේ මිස් …”

“එතකොට එයාලා?.”

” මගේ ගම මෙහෙ නෙවෙයි නේ…අපි දෙණියායේ .. අම්මලා ඉතින් එහෙ… තේ තියෙනවා… මල්ලි ඉගෙනගන්නවා රුහුණු කැම්පස් එකේ ….”

” හරි ශෝක් පළාතක්නේ… නිම්නාවී රට යන්න කලින්, මට ටිකක් හරි සුව වුනොත් අපි යමු එහෙ… අම්මලාව බලලා එන්නත් එක්කම …”

නිම්නාවී වියළි සිනහවක් පෑවාය. මේ සියල්ල එකිනෙක හා ඉතා ඉක්මනින් බැඳෙමින් , පැටලෙමින් යන බව පෙනේ. එක් තැනක් පූද්දන්නට කියන මුසාව වසනු වස් තවත් කතන්දරයක්ම ගෙතීමට සිදුවේ.

” මිස්ට තව ටිකක් සනීප වෙනකල් මට මෙතන ඉන්න ශක්තිය දෙන්න ..”

නිම්නාවී සිතින් පැතුවාය.

එක්වරම සෙත් මතුව ආවේය. නිම්නාවී දෑස් සහ දෑත් එක් සමාන වේගයකින් තද කරමින් පීඩනය තමා තුලින් පිට නොයවා තියාගන්නට උත්සාහ කලාය.

” නිම්නාවීට මොකක් හරි පිරිමි ළ්මයෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවාද?…”

ස්වර්ණා එක්වරම විමසීම, නිම්නාවීට ඇසුනේ සිහිනයෙනි. තිබූ සහ තියෙන එකම පිරිමි ළමයා සම්බන්ධ ප්‍රශ්නය මන්දාරම් සමඟ බව කියා ගත නොහී, ඕ ස්වර්ණාගේ හිස පිරිමැද කුස්සියට ගොස් එමියි කියා කාමරයෙන් නික්මුණාය.

අපේක්ෂා ගුණරත්න

ReplyForwardAdd reaction

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles