මල් තුහින -45

“ආදරේ කියන මාතෘකාව ඉස්සරහ අපි මාර විදියට අසරණ වෙනවා.”

තුහින එසේ පැවසුවේ කටුවක් ළයෙහි ඇනුණු තරම් දැනෙමින් තිබු වේදනාව දැන් විශාල තුවාලයක් වී ඇති හන්දා ය. ඒ වේදනාවේ මූලාරම්භය මලිතිදැයි ඔහු සිතී ය. ඇගේ ප්‍රේමය ප්‍රතික්ෂේප වූයේ ළාබාල වියේදී ය. ඒ වේදනාව කාලයත් සමඟ සමනය කරගන්නට තුහින විශාල උත්සාහයක් දැරී ය.ඒ වේදනාව සමනය වන්නට තිබිණ. ඒ ඔහුට නිවැරදි ප්‍රේමයක් මුණ ගැසීමෙනි.නමුත් උත්පලා ජීවිතය වඩවඩාත් සංකීර්ණ කිරීම නිසා සියල්ලම අවුල්ව ගිය බව ඔහුට වැටහේ.

“මං කෙනෙක්ට මේ මොහොතෙත් ආදරේ කරනවා. මේ වෙලාවෙ පවා මට තියන සහනේ එයා.”

මිතුරාට අවංක වන්නට තුහිනට ඕනෑ විය. ඔහු ඒ හන්දා අවංකව වචන ගැළපී ය.

“සමහර දේවල් කියන්න ඕන නෑ. අපිට ඒවා තේරෙනවා. මට හිතෙන විදියට උඹ ආදරේ කෙනා මම දන්නවා.”

රනුක එසේ කියද්දි තුහිනට පාසල් යෞවනයෙකුගේ තරමේ ලැජ්ජාවක් පවා දැනිණ. ඔහු ඉවත බලා ගත්තේ ය.

“මං දන්නෙ නෑ මෙතනින් එහා මොනවා වෙයිද කියලා. උත්පලාට දැන් ඉන්න තත්වෙත් එක්ක ප්‍රශ්නෙ මැද්දට මලිති නොඑනවනම් මම කැමතියි.  මොකද ඊට පස්සෙ ප්‍රශ්නෙ වෙනම දිහාවකට කැරකෙන්න පුලුවං”

සැබෑවටම මලිති මෙයට පටලවා ගන්නට තුහින ට ද උවමනා වූයේ නැත. ඔහු ඒ වෙනුවට කල්පනා කළේ උත්පලා ගෙන් සුහදව අයින් වන ආකාරය ය.

“උත්පලාගෙ විදිය වෙනස් කරන්න බෑ කියලා මම හිතන්නේ. මේ වෙලාවේ මටයි දුවටයි කොච්චර ඩැමේජ් වුනත් උත්පලා හිතන්නෙ එයාට ෆෑන්ස්ල හදාගන්න විදිය ගැන විතරයි.”

තුහින කියන්නේ කලකිරීමෙනි.

“සෝෂල් මීඩියාවලට දෙයක් දැම්මොත් දැම්මම තමයි. අපි අමතක කරන කාරණාව තමයි සමහර දේවල් අපි ඩිලීට් කරත් එහෙම පරිස්සමට සේව් කර ගත්ත මිනිස්සු ඉන්නවා කියන එක. ඒ හින්දා අපිට වෙන අවාසි ගැන මුලදිම හිතන්න ඕන.”

රනුක එසේ කීවද උත්පලා ඔය තරමට දෙයක් තේරුම් ගන්නේ නැති බව තුහින දනියි. ඇගේ වීඩියෝවට පහළින් ඇය සුවෙන්දැයි අසන පිරිසට වඩා ඇත්තේ තුහිනට සාප කරන අය ය. ඔහු හන්දා හානිවූ ඇගේ ජීවිතය නැවත ගොඩ නගා ගත හැකි බව කියන්නන් දෙස තුහින බලා සිටියේ මැදහත් සිතකිනි.

“ඇත්ත හැමදාම හංගන්න බෑනේ.. රඟපාල රඟපාලා උත්පලාටත් ඇතිවෙන දවසක් එයි.”

රෝහලේදී දැනගත් කාරණා ගැන කියද්දී මලිති එසේ පැවසුවේ සන්සුන්ව ය.

“මලිතිත් ඉන්නෙ ප්‍රශ්න ගොඩක. එයාට පුලුවන් මේ වෙලාවේ උත්පලා ව මගෙන් බිඳවලා මට පුළුවන් තරම් ලං වෙන්න. ඒත් එයා කොයිම මොහොතකවත් ඒකට උත්සාහ කරන්නෙත් නෑ. එයා හැම වෙලාවකම බලන්නේ පුලුවන්නම් උත්පලාව ආයේ හදාගන්න කියන්න.”

වේදනාව ගැන වැටහීමක් ඇති අය කෙනෙකුගේ වේදනාවක් ලෙස බලන්නේ සංවේදීව බව රනුක පැහැදිලි කළේ ය. ඔහුට කියන්නට තවත් කාරණාවක් තිබිණ.

“ඒ වගේම තමයි සමහරු තමන්ට ඕනදේ කොහොම හරි කඩාගන්න බැලුවට මලිති වගේ කෙල්ලො ඉවසීමෙන් ජීවිතේ දිහා බලන්න දන්න අය. රුවිනි වගේ හැමදේම සැහැල්ලුවට අරන් කොහොමහරි ජීවත් වෙන කෙල්ලොයි මලිති වගේ ඉවසීමෙන් දරාගෙන අනිත් අය ගැනම හිත හිතා ඇතුළෙන් පිච්චෙන කෙල්ලොයි එක්ක ජීවත් වෙන්න ලේසියි. තමන් වෙනුවෙන් අනිත් හැම මනුස්සයාම බිල්ලට දෙන උත්පලාලා වගේ ගෑනුත් ඉන්නව බං. ගෑනුන්ට වෛර කරන මිනිස්සු බිහි වෙලා ගෑනුන්ට කුණු කතා කියන එවුන් සෝෂල් මීඩියා වල එහෙම වැඩි වෙලා තියෙන්නේ ඒ වගේ ගෑනු නිසා කියලා මට හිතෙනවා.”

රනුකට එසේ කියා මොහොතක් ගත කරන්නට ලැබුණේ නැත. උත්පලා රෝහලේ සිට සජීවී ව තමන්ගේ රසිකයන් අමතමින් සිටියා ය.

“ඔයාලට කොහොමද? මට මුකුත් ලියාගන්න බැරි තරමට අමාරුයි එකයි මං ඔයාලට මෙහෙම කතා කරන්න හිතුවේ. ඉතිං මට කියන්න තියෙන්නෙ මේකයි. ඇත්තටම මම ජීවත් වෙනවා. මගේ වීඩියෝ එක දැකලා මාව හොයාගෙන ආපු මගේ ෆෑන්ස්ලා මාව හොස්පිටල් එකට එක්කන් ආවා. ඇත්තටම මං එයාලට පිං සිද්ද වෙන්න ජීවත් වෙනවා.” 

රනුකට සිනාවක් නැඟිණ. නමුත් මේ සම්බන්ධයෙන් කිසිම කෝපයක් නොපෙන්වා වියළි හැඟීමකින් බලා සිටින මිතුරා ගැන ඔහුට කම්පාවක් ඇති විය.

“මට කමෙන්ට් එකක් දාන්න හිතෙනවා හොස්පිටල් එක්කගෙන ආවෙ හස්බන්ඩ් නෙමෙයිද හලෝ කියලා අහලා.”

රනුක එසේ කියද්දී තුහින වියළි සිනාවක් නැඟුවේ ය.මේවාට කම්පාවක් හෝ කෝපයක් නොදැනීම ගැන ඔහුට බියක් දැනේ. තමන් වෙනුවෙන් පෙනී සිටීමට නො සිතෙන තරමටම ජීවිතය අතහැරී ඇති දැයි ඔහු සිතුවේ ය.සමහරවිට උපේක්ෂාව කියන්නේ මෙයට විය යුතු ය.

“තේරුමක් වෙන්නේ නෑ බං. උඹ බ්ලොක් කරල දායි. වෙන දෙයක් ඔතන සිද්ධ වෙන්නෙ නෑ. අපි කවුරු ඇත්ත කිව්වත් උත්පලාට වහ වැටිලා ඉන්න කිසිම මනුස්සයෙක් ඕවා පිළිගන්නෙත් නෑ. එයාව අදහන මිනිස්සු අපි වෙනස් කරන්න ඕනෙත් නෑ.  ඔය නඩුව ඉවර කරගෙන මටයි මගේ පුංචි කෙල්ලටයි සැනසීමෙන් ඉන්න ලැබුණොත් ඇති. පොඩි එකීට වුණත් ඇත්ත තේරුම් ගන්න පුළුවන් වයසක් එනවයි කියලා මම විශ්වාස කරනවා මචං.”

අනාගතය දෙස සුබවාදීව බැලීම වෙනුවට තුහින ට වෙනත් විකල්ප තිබුණේ නැත. ඔහු ඒ විකල්පය විශ්වාස කරන්නට කැමැති වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles