සුළි සුළඟක සුසුමක් -17 වන කොටස

පසු දා වන විට මා බෙහෙවින් සුව අතට හැරී තිබුණේ ය. නමුත් අමුතු රිදුමක් වාගේ දෙයක් පපුවේ හිර වී ඇති බවක් ද නො දැනුණා නොවේ.

අයියා කියන්නේ අප්පච්චි  වාගේ නම්‍යශීලී මිනිසෙකු නොවේ. ඔහු තරමක් දැඩි ය. විවාහය කියන මාතෘකාවේ දී අප්පච්චි එක්ක ඔට්ටු තාං කරන්නට මට හැකි විය. එය අම්මා ගේ දෝශ දර්ශනය ට ලක් වී ද, මා තවත් ටික කාලයක් ගෙදර ඉන්නවා දකින්නට අප්පච්චි ට ද උවමනා වූ නිසා ප්‍රශ්නය දිග්ගැසුණේ නැත.

නමුත් අප්පච්චි යන්නට ගියේ ය. අකාලයේ ම යන්නට ගියේ ය. ඔහ්ත් එක්ක සේ අයියා එක්ක සෙල්ලම් කළ නො හැකි බව මම දනිමි.

අනිත් අතට අයියා සේ ම ඔහු ගේ බිරිඳ ද ලද දෙයින් සතුටු වන අය නොවේ. ඔවුන් බලා සිටින්නේ මා වෙනුවෙන් අම්මා අල්ලා ගෙන සිටින තාත්තා ගේ ව්‍යාපාර ද සියතට ගන්නට බව මට කීවේ අම්මා ම ය.

“ඔයා පිළිවෙලක් වෙන්න හිතන්න උත්තරා. ඔය තුන් දෙනාම මගෙ දරුවො. මට කාගෙවත් පැත්තක් ගන්න පුළුවන් කමක් නෑ. මේ ප්‍රශ්න වලදි මාත් අසරණ වෙන එකයි වෙන්නෙ ළමයො”

පසු ගිය වතාවේ රත්නපුරයට ආ වෙලාවේ අම්මා කීවා ය.

“ඔය බිස්නස් ගැන මට කිසිම ආසාවක් නෑ අම්ම. අප්පච්චි යද්දි ඕව අරං ගියාද…අයියටයි අක්කටයි ඕව දීල දාන්න”

මම හිස් හැඟීමෙන් කීවෙමි. අම්මා ප්‍රසාදයක් හැඟවූයේ නැත.

“ඔයාට මේවගෙ අගේ තේරෙන්නෙ කසාදයක් බැඳල දරු මල්ලො එහෙම හම්බ වුණහමයි උත්තරා”

නමුත් විවාහයක් ගැන අදහසක් ද හිතේ කොතනකවත් නොවූයෙන් මට ඒවා ගැන අගයක් දැනුණේ ම නැත. වස්තුව දේපල හෝ ව්‍යාපාර කෙසේ වෙතත් අයියා මේ විදිහට මගේ ජීවිතය මත බලය පාවිච්චි කරන්නට පැමිණීම ගැන මට වන්නේ වේදනාත්මක බරකි.

එදා ඇවිදින්නට යන්නට සංකල්ප සූදානම් කර ගෙන තිබුණේ ය. කූඩයකට කෑම ද අසුරා ගෙන ඔහු ලක ලැහැස්ති වූයේ පෙර දා රාත්‍රියේ හැඬූ කඳුළක සලකුණක් හෝ මතක නැති ගාණට ය.

“මල්ෂාටත් කියමු නේ…”

සංකල්ප කෙළින් ම මදෙස බැලුවේ ය. මෙවන් මොහොතක වෙනදා නම් මට දැනෙන්නට නියමිත සැහැල්ලු දඟකාර බව මවෙත වූයේ නැත. අඩු තරමින් “මොකද මෝඩයො ඔහොම බලන්නෙ” කියා හෝ අසන්නට තරම් ප්‍රාණයක් මට නොවූ ගාන ය. අයියා හොයා දෙන කවුරුන් හෝ මිනිසෙකු සමග විවා පත් වන්නට සිදු වේ ය යන භීතිය මා තිගස්සවා තිබිණ.

“කියන්න ඉතිං…”

සංකල්ප එසේ කීවේ හිතක් පපුවක් නැත්තෙකු සේ ය. ඒ දැඩි බව මගේ පපුවේ වැදිණි. නමුත් ඔහු දැඩි වෙන හොඳ ය කියා ඒ අව් අස්සේ ම මට සිතිණ.

“මං ගාව ඒ ළමයගෙ ෆෝන් නම්බර් එක නෑ”

ඔහු සිය කලිසම් සාක්කුවෙන් ජංගම දුරකතනය පිටතට ගෙන, ඉක්මනින් අංකය සොයා ඇමතුමක් ගෙන දුරකතනය මවෙත පෑවේ ය.

“හෙලෝ…ඇති යන්තං මට කෝල් කරන්න මතක් වුණා. ආඩම්බර කාරය.  ඉතිං ඉතිං…”

මල්ෂා ඉතාමත් ම ප්‍රීතියෙන් පිළිතුරු දුන්නා ය.

“මල්ෂා…සංකල්ප නෙවෙයි…මං උත්තරා”

හුස්ම ගැනීමේ අපහසුව අමතක කොට දමා මම ඉතාමත් හෙමිහිට මිමිණුවෙමි.

“අනේ අක්කි සොරි. මං හිතුවෙ නෑ අර පිස්සගෙ ෆෝන් එකෙන් ඔයා කතා කරයි කියල”

ඇය දෙඩුවේ සංකල්ප ගැන පූර්ණ අයිතියක් හඟවමින් සේ ය. එය මගේ හදවතට පීඩනයක්  ද සැනසිල්ලක් ද එක වර දැනවී ය.

“අපි ටිකක් ඇවිදින්න යන්න හැදුවෙ. ඉතිං ඔයාට කතා කරන්න කිව්වනෙ. ඒකයි මේ ගත්තෙ”

“හානේ ඇත්තද…කොහෙද අක්කි යන්නෙ…”

“ම්…කොහෙද කියලනං…”

“සංකල්ප අයියට ෆෝන් එක දෙන්නකො අක්කි”

මා කියන්නට ගිය දේ කියා නිම වෙන්නට ත් පෙර ඇය කීවා ය. සැබවින් මල්ෂා සිටියේ දැඩි ලෙස කලබල වී බවක් මට දැනුණේ ය. මම සංකල්ප වෙත දුරකතනය පෑවෙමි. ඔහු එය සවනට ගත්තේ ඒ හැටි හැඟීමකින් නොවේ.

“හෙලොහ්…සූරිය කන්ද පැත්තට…හ්ම්…හා…හරි..”

එපමණකි. සංකල්ප දුරකතනය යළි සාක්කුවේ ඔබා ගත්තේ ය. ලූනා හා බුලී ව ගෙස්ට් එකේ තියා යන්නට ඔහු යෝජනා කළත් මම ඊට එතරම් කැමැත්තක් නො පෙන්වීමි. ඉතින් සංකල්ප මට ඉඩ දී කර බා ගත්තේ ය.

එදා ඇවිදින්නට ගිය දවසේ වූ සැහැල්ලුව හා සතුට ඔහු වෙත නොවන බව මට ඉඳුරා දැනිණ. නමුත් සංකල්ප උත්සාහ කළේ එවැන්නක් නො වන බව පෙන්වා ගෙන සිටින්නට ය.

රත්නපුර නගරයේ මල්ෂා බලා සිටියා ය. ඇය ව රියට නංවා ගන්නට මොරිස් මයිනරය නැවතූ ගමන් මම ඉදිරි දොර හැර ගෙන මල්ෂා ට එතැනට ගොඩ වන්නට ඇරයුම් කළෙමි.

“මේ බලූස්ල එක්ක පිටිපස්සෙ යන්න ඔයාට පුළුවන් වෙන්නෙ නෑ”.

හොඳ නිදහසට කාරණයක් ද මට තිබිණි. සංකල්ප බල්ලන් දෙදෙනා ගෙදර දමා එන්නට උත්සාහ කළේ මේ තත්වය ගැන කලින් ම දැන ගෙන ය කියා මට සිහිපත් වූයේ ඒ වෙලාවේ ය.

ඔහු ට කැමැත්තෙන් සිටින මල්ෂා වගේ යුවතියකට සංකල්ප සමීප වන එක වඩාත් සුදුසුයි සේ මට දැනිණ. ඔහු වසර විසි ගණනක් තිස්සේ පිරිමි පපුවක හිර කර ගත් සිහිනයක් සමගින් ජීවත් වෙයි. ඒ සිහිනය දැන් මට රහසක් නොවේ. නමුත් ඒ වෙනුවෙන් මට කළ හැකි යමක් වෙතැයි තවමත් මට නො සිතෙයි. මා වූ කලී සසර ට තවත් ඇලෙන ගැලෙන බැඳීම් වලින් ඈත් විය යුතු ය කියා සිතනා කෙනෙකි.

“ඔන්න මං ආව ඔයා ළඟට…මගෙ සුදූ…මැණික”

මම ලූනා ව තුරුලු කොට ගතිමි. ඇය මගේ කොපුලක් මත සිය සීතල හොම්බ තැබුවා ය. ඇයි දෝ මන්දා මවෙත වූයේ ඉකි බිඳ හඬනා උවමනාවකි. ඒ තරම් තදින් මා ලූනා ව වැළඳ ගත්තේ හදවතට දැනුණ මහා පාළුවක් නිසා නොවේ යයි කෙසේ නම් කියමි ද?

සංකල්ප රියෙහි ඉදිරි කැඩපත සකසා මදෙස බලනවා මම දුටිමි. නමුත් නොදුටුවා සේ ඉවත බලන්නට මට සිදු විය.

රක්වානේ සිට සූරියකන්ද දෙසට යන මාර්ගය වංගු දහයකින් සමන්විත බව කීවේ සංකල්ප ය. මම කවුළු පියන හැර ගෙන මූණ පිටතට දමා ගෙන සිහිලැල් සුළඟ පෙනහළු වලට උරා ගන්නට වූයෙමි.

සැබවින් ඒ නම් අයස්කාන්ත පරිසරයකි. පයිනස් කැලය පෙනෙන මානය තෙක් පැතිරී තිබිණි. ඇතැම් වංගු වලදී පෙනුණ ඈත රක්වාන කඳු වල දර්ශනය මනහර ය. සිහින් රිදී රේඛා සේ ඈතට දිය ඇලි දිස් විය. මා මගේ ශරීරයෙන් මිදී ඉහළ අවකාශයේ පා වෙමින් යන බවක් මට දැනෙන්නට වූයේ ය. ඒ වගේ ඈතට අයස්කාන්ත පර්සරයක් දර්ශනය වන තැනක සංකල්ප රිය නතර කළේ ය.

“බුලී…ලූනා…යං එළියට ගිහිං එමු”

සංකල්ප බල්ලන් දෙදෙනාව පිටතට ගත්තේ ය. ඒ නිදහස් හරිත නිම්නය සිත ගත නිවා සනසා ලන සුළු විය.

“අක්කිනං වශී වෙලා වගේ..”

මල්ෂා මගේ දැහැන බින්දා ය.

“මන්දා…මට කියන්න තේරෙන්නෙ නෑ”

සැබවින් දිය හැකි වූ හොඳ ම පිළිතුර ඒ ය. ඈත රක්වාන කඳු නිල් කොළ පැහැයකින් බැබළුණේ ය. පයිනස් කැලය දෙසින් වෙන් කර හැඳින ගත නො හැකි තරමට කුරුළු කූජන නැගුණේ ය. නිල් අහස සුදු පෙන කැටිති සරි වලා කැටි වලින් පිරී පැවතිණ. නහස් පුඬු වලට දැනුණ අමුතු සුවඳ සුළඟ විසින් උකහා ගෙන ආවේ පයිනස් පත්‍ර වලින් බව මම අනුමාන කළෙමි.

“අපි වෙන දවසක සිංහරාජෙ යමු අක්කි”

මල්ෂා කීවා ය.

“මෙහෙං ළඟද…”

“ඔය සූරිය කන්ද පැත්තෙං යන්න පුළුවන්. එහෙ ලස්සන ආරාමයක් තියෙනව. ගල් තලාවක් ළඟ. අක්කි ආස වෙයි. මල් පිරී..ල”

“එක්කං යනවද…”

මම සංකල්පගෙන් ඇසුවෙමි. ඔහු පිළිතුරකින් තොර ව ඈත රක්වාන කඳු දෙස බලා ගත්තේ ය.

“හාද…හා කියන්නකො අප්පා”

“ඒ ඉතිං ඔයා ආයෙ මෙහෙ ආවොත්නෙ”

රත්තරං පාට හිරු කිරණක් සංකල්ප ගේ මුහුණ මත වැටී තිබිණ. ඔහු බැලුවේ සිහින් කර ගත් දෑසිණි. නමුත් වෙනදා සේ ඔහු සමීපයේ සැහැල්ලුවෙන් හැසිරෙන්නට බැරි කමක් මට දැනිණ. මල්ෂා ළඟ හිඳිත්දී එසේ කිරීම ඇයට කරන වරදක් ය කියා ද මට සිතිණි.

“හරි ඉතිං…ගියත් මං එනවනෙ…ඉඳ හිට හරි…”

කෙසේ වේවිද කියා නො දන්නා හෙට දවසක් ගැන මම අවිනිශ්චිත කතාවක් කීවෙමි.

“අක්කි යන්නද හදන්නෙ කොළඹ..”

මල්ෂා ගේ සිනහව දීප්තිමත් විය. මා ඉක්මනින් යන තරමට ඇය වඩාත් කැමති වෙතැයි ඒ සිනහව අනුව මට සිතා ගත හැකි විය. දෙතොල් තද කර ගෙන මා යන්තම් හිස සැලූයේ ඒ සතුට සැබවින් ම ඇයට හිමි විය යුතු නිසාවෙනි.

සංකල්ප ගේ මූණේ හොඳක් වූයේ නැත. වෙනදාට පුරුදු විහිළු හා දඟකාර ගති ඔහු ට අමතක ව ගියා සේ ය. ඒ මා යන නිසා ය කියා මල්ෂා අනුමාන කළා දැයි නො දනිමි. කෙසේ වෙතත් ඇය සමගින් මට කිසිදු තරගයක් නො තිබිය යුතු බවට මම සිතට පැහැදිලි කර දෙමින් සිටියෙමි. මා වූ කලී යන්නට ආ මගියෙකි. තාවකාලික නවාතැන් කරුවෙකි.

“මොකද අනේ මෙයා බුම්මං ඉන්නෙ…”

මල්ෂා සංකල්ප ගේ උරහිසකට ගැසුවා ය.

“ඔයා යන නිසා ද මේ…”

ඇය මදෙසට හැරී ඇසුවා ය. මම සිතේ නැති සතුටකින් හඩ නගා සිනාසුණෙමි.

“අපෝ…මං යනවට දුක් වෙන්න මෙයා…සතුටෙං ඇත්තෙ දැං…මගෙං තිබුණ කරදරෙත් ඉවරයිනෙ කියල”

“හැබැයි ලෝක පුදුමයක් මෙයා ඔයාව මෙහෙම රත්නපුර වටේ හරි එක්ක ගිය එක”

“ඇයි…”

“මං කොච්චර කියල තියෙනවද ට්‍රිප් එකක් දාගමු කියල…ඩොන්ට් කෙයා තමයි ඉතිං”

“මගෙ නර්සරි එකේ ඉඳලම යාළුවනෙ ඉතිං…”

මිනිසුන් ඉපදී සිටින්නේ ම රඟපාන්නද කියා මට සිතිණි. අප කෑම කෑවේත් වංගු අතර තණ නිල්ලක හිඳ ගෙන ය. සංකල්ප ගේ අත සෝදන්නට වතුර දමන ගමන් මල්ෂා ට නෑසෙන සේ,

“සිංහරාජෙ එක්ක යනවද…”

කියා මම බැගෑපත් ව ප්‍රශ්න කළෙමි. ඔහු මදෙස බැලුවේ නළල රැළි නංවා, කුඩා කර ගත් දෑසිනි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles