නත්තල් පැණිරස – Coconut Ice

නත්තල කියන්නෙ රසම රස කෑම ජාති ගොඩාක් පිළියෙල වෙන ඒ කෑම ජාති බොහෝ දෙනෙක් අතර හුවමාරු වෙන වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සාමය සහ සතුට පිරුණු කාල වකවානුවක්නෙ.

මේ නත්තලේ තමන් අතින්ම පිළියෙළ වුන කෑම වර්ග තමන්ගෙ ආදරණීයයන්ට පිළිඟන්වන්න අපේ ගෘහණියො ගොඩ දෙනෙක් කැමතියි. 

ඉතිං අන්න ඒම ඔබට ලේසියෙන්ම හදාගන්න පුළුවන් තවත් රසම රස කෑමක් අරගෙනයි smart lady අපි අදත් ඔබව හොයාගෙන ආවෙ. 

එහෙනම් අපි අද බලමු පොල් වලින් හදන coconut ice හදාගන්නෙ කොහොමද කියල.

පුරුදු විදිහටම මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

ඳිසිදි පොල් / ඩෙසිකේටඩ් කොකන්ට් කෝප්ප 02 ක් 

(හදන විදිහ අපි කියල දෙන්නම්) 

කුඩු කරගත් සීනි කෝප්ප 01 ක් 

වැනිලා තේ හැඳි ½ ක් 

රසකල උකු ටින් කිරි / කන්ඩෙන්ස්ඩ් මිල්ක් 200ml ක් 

ඔබ කැමති පාටකින් ආහාර වර්ණක

තෙල් කඩදාසි අතුරා සූදානම් කරගත් බේකින් තැටියක් 

සාදාගන්නා ආකාරය

මුලින්ම, අපි ඳිසදි පොල් එහෙමත් නැත්නම් ඩෙසිකේටඩ් කොකනට් හදාගෙන ඉමු. 

ඒ සඳහා පොල් ගෙඩියක් බිඳගෙන පොල් කට්ටෙන් පොල් මඳය වෙන්කරගන්න ඕන.

වෙන් කරගත් පොල් මදයේ වටේ දුඹුරු පැහැති කොටස පීලරයක් හෝ පිහියක් භාවිතයෙන් ඉවත් කරගන්න ඕන.

ඊලඟට, පොල් මදයේ සුදු පැහැ කොටස කුඩා තීරු වලට කඩා බ්ලෙන්ඩරයට දමාගෙම හොඳින් කුඩු වෙන සේ බ්ලෙන්ඩර් කරගන්න අවශ්‍යයි.

දැන් වියළි භාජනයක් ඉතාම අඩු ගින්දරේ ලිපෙ තබාගෙන අර කුඩු කරගත් පොල් ටික එයට දමා හැඳිගාමින් පොල් වල තෙත ගතිය සම්පූර්ණයෙන් ඉවත් වී වියළි කුඩු ගතියක් දැනෙන තුරු හොඳින් වියළාගත යුතුයි. 

මේ විදිහට හොඳින් වියළාගත් පොල් කෝප්ප 02 ක් සහ කුඩු කරගත් සීනි තරමක් විශාල භාජනයකට දමා හොඳින් කලවම් කර ඊට වැනිලා එකතු කරගෙන නැවත හොඳින් කලවම් කරගන්න.

දැන් මේ භාජනයටම උකු ටින් කිරි එකතු කර නැවත හොඳින් කලවම් කර ලැබෙන මිශ්‍රණයෙන් භාගයක් අපි කලින් සූදානම් කර තබාගත් තැටියට දමා එහි එකම ඝනකමට සිටින සේ හොඳින් තදකරමින් අතුරා ගන්න. 

දැන් ඉතිරි කොටසට ඔබ කැමති ආහාර වර්ණයකින් බින්ඳුවක් පමණ එකතු කර හොඳින් කලවම් කරගෙන ඒ කොටසත් කලින් කොටස උඩින් දමා නැවත පෙරලෙසම හොඳින් තුනී කරගන්න.

වියළි පොල් ටිකක් උඩින් ඉසගන්න.

දැන් මේ තැටිය පැය 02 ක් පමණ ශීතකරණයේ තබාගත යුතුයි.

ශීතකරණයෙන් ඉවතට ගත් මිශ්‍රණය තෙල් කඩදාසියත් සමඟම තැටියෙන් ඉවතට ගෙන ඔබ කැමති ප්‍රමාණයේ කැබලි වලට කපාගන්න පුළුවන්.

ඔන්න එහෙනම් අපි coconut ice හදාගෙන ඉවරයි.

එහෙනම් රස බලන්නයි තියෙන්නෙ.

මේ විදිහට හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා  

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles