සාන්වී ලවන්‍යා මල්වත්තගේ, සිය ජීවිත ගංගාවෙහි ඇති වෙමින් තිබූ සුළි කුණාටුව හරහා හෙමිහිට පිහිනා යන්නට වූවා ය. විටෙක ඒ ගෑනු හදකට දරාගත නො හැකි ප්‍රචණ්ඩ තරංග පෙළකි. තවත් පිහිනිය නොහැකියි කියා දැනුණ මොහොත වල ඇය ඒ සඳහා උත්සාහ කිරීම අතැර නිසල වූවා ය. නමුත් හැම විට ම, ගිලෙනවාට වැඩිය පිහිනීම පහසු බව ජීවිතය දනී. ඒ වූ කලී පරම්පරා කෝටි ගණනක් තිස්සේ ඉපදෙමින් මියෙමින් මිනිස් අත්භවයක් වර්ධනය කරගන්නා වූ ජාන සංයුතියේ විශිෂ්ටත්වයකි. එවන් අසීරු අවස්ථා වල පීඩනය දුරු වී යන තුරු ඈ කළේ හඬනා එකයි. එතකොට හිස තියාගන්නට සුවපහසු උරහිසක් පවුල විසින් ලබාදෙන ලදී. පීඩනය තුනී වූ විට යළි මඳ දුරක් පිහිනා යත හැක.
“කාලය ප්‍රශ්න විසඳන්නෙ නෑ. හැබැයි තුවාලයක් සනීප වෙන්න වුණත් කාලය ඕනෙ පුතාල. ඒ කාලය ඇතුළෙදි අපිට නොයෙක් දේවල් පේන්න ගන්නව. අපි වෙනදට වැඩිය දේවල් ඉගෙනගන්නව. කාලය අපිට ප්‍රශ්න විසඳගන්න ඕන කරන වෙලාව අරං දෙනව. කලබල වෙලා කොරොස් කටවලුත් පෙරලගන්නවට වැඩිය… ඉවසීමෙන් ඉස්සරහට අඩිය තියන එකයි වැදගත්. පොඩි පුතාට හිතෙනව ඇති ඔයා ඇතුළෙන් ටික ටික මැරෙනව වගේ. අපි ගොඩක් බලාපොරොත්තු තියං අපේ ජීවිතේ කොටසක් කරගෙන හිටපු කෙනෙක් දුරස් වුණහම එහෙම දැනෙන එක හරිම සාමාන්‍යයි. හැබැයි මං හිතන්නෙ අපිට එහෙම අභ්‍යන්තර මරණයක් ඕනෙ පුතාල. මොකද ඊට පස්සෙ අලුතෙන් ඉපදෙන අපි තමයි කලින් හිටිය අපිට වැඩිය ශක්තිමත් කෙනා වෙන්නෙ. හැබැයි ඔය ඔක්කොම වෙන්නනං අපි මේ අමාරු කාලෙ කොහොම හරි පන්නගන්න ඕනෙ. අපි එහෙම කරමු. මොකද ඔයා තනිවෙලා නෑනෙ. අපි ඉන්වනෙ… ම්…”
තවත් බෑ කියා සිතෙනා වෙලාවල දුරේශ් විසින් කියනු ලබන ඒ විදිහේ වචන ටිකක් යළිත් සාන්වී ව නැගිටුවාලයි. ජීවිතාශාව දල්වයි. ගෙවල් දෙකේ ම අය කාට කරදරයක් වුණත් ඒ කෙනා වටේ රොක් වෙන එක පවුල් දෙකට ම හයියකි. එක පවුලක් වෙනුවට දෙකක් තිබෙනා එක සැබවින් ම හයියකි. ඔවුන් ගේ තිබෙන විශේෂත්වය කවර ව්‍යසනයකදී වුව පවුල් දෙක දෙපසට බිඳී නොයාමයි. එක් සාමාජිකයෙකු අතින් වරදක් වී ද එය පවුලක වරදක් සේ නොගෙන මුළු පවුලකින් පළි නො දැරීමයි. අමනාප නොවීමයි. හිත් රිදීමක් වී ද අවබෝධයෙන් කතා බහ කොට ඊට මුහුණ දෙමින් ගැටළුව ලිහාගැනීමයි. සමාන්තර ලෙස පවුල් දෙකේ ම දරුවන් දෙදෙනෙකු ගේ ජීවිත වල දෙදරා යාමක් සිදු වී ඇති මේ අවස්ථාවේ ඔවුහු වඩාත් සහයෝගී වූහ.
ආයු දවසින් දවස වැඩෙමින් සිටියේ ය. නිධී ඔහු හැර ගිහින් මාස කිහිපයක් ඉක්ම ගොස් තිබියදී, ඔහු එදාට වැඩිය කායික මානසික වශයෙන් වර්ධනය වී සිටියේ ය. ඒ වර්ධනය වීම තුළ ඔහු ට සිය ස්වභාවික අම්මා අමතක වී ගොස් තිබිණ. දරුවන් ගේ හිත් සුදු කඩදාසි වැනි ය. එහි විවිධ සිතුවම් අඳින්නේ වැඩිහිටියන් විසිනි. ඒ අනුව අම්මා කියන චිත්‍රය ආයු ගේ හිතේ මැකී යමින් තිබුණේ ය. එතැන ලස්සනට ‘මා’ කෙනෙකු ඇඳෙමින් සිටියා ය. ආයු එකී මා ට බෙහෙවින් බැඳෙමින් සිටියේ ය. ඔහු ගේ ලෝකයේ සුන්දර ම ප්‍රාණීන් දෙදෙනා තාත්ති හා මා වූහ. ඔහු ට වැඩිම ආදරයකින් ආමන්ත්‍රණය කළේ, වැඩි ම ස්නේහයකින් වැළඳ ගත්තේ, වැඩි ම කාලයක් ඔහු වෙනුවෙන් වැය කළේ ඒ දෙදෙනා ය. ගෙවල් දෙකේ අනිත් අයට වැඩියෙන් ඔහු ආකර්ෂණය වූයේ ඔහු කෙරේ දැක්වූ අන්න ඒ වැඩි ආදරයට ය.
“ඒ වුණාට සුදූ ඔහොම අනුංගෙ ළමයෙක්ට බැඳෙන එක ගැන මටනං හරි බයයි”
දවසක් හවසක තේ බොන අතරේ අශ්විනී දුරේශ් ඉන්නා තැන ම කීවා ය. අමාගී මඳ නෝක්කාඩු බැල්මකින් අක්කා දෙස බැලී ද අශ්විනී ට ඕන වී තිබුණේ හැමදාමත් වහං වී නොසිට තාත්තා ව මේ ප්‍රශ්නය ඉදිරියට ගෙන ඒමටයි. අමාගී ගේ හැදූ අම්මා වශයෙන් ඇයට ඒ අයිතිය තිබෙන බව අශ්විනී විශ්වාස කළා ය. ඒ වෙලාවේ ආයු සිටියේ මල්වත්තගේ ගෙදරයි. මිදුලේ උඳුපියළිය පලසේ සෙල්ලම් කරනා ඔහු සිනහ වෙවී ඇවිත් අමාගී ගේ උකුලට පනියි.
“ළමයි ඉතිං තමංගෙද අනුංගෙද කියල නෑ ආශ් පුතා. ළමයි කියන්නෙ වැඩිහිටියන්ගෙ පොදු වගකීමක්. මුළු ලෝකෙම ළමයි අපේ ළමයි කියල හිතන්න පුළුවන් වෙන්නයි ඕනෙ. සුදූ පොඩි කාලෙ මණී ආන්ටි මව්කිරි දීලත් තියනව”
දුරේශ් සන්සුන් ඉවසිලිවන්ත සරකින් බිණුවේ ය. අශ්විනී මඳක් කෝපත් වූවා ය.
“එහෙමයි කියල සුදූ ආයුට කිරි දෙන්න ඕනද”
කියා අසාගන්නට ඇයට උවමනා වී ද ඕ තමන් පාලනය කරගෙන සිටියා ය.
“මේ කිරිකැටියට අපි කවුරුත් ආදරේ වෙන්නයි ඕනෙ”
තාත්තා ට ඈ කියනා දේ තේරෙන්නේ නැතැයි අශ්විනී සිතුවේ මඳ නො රිස්සුමකිනි. මණී අමාගී ට කිරි දුන් එකත් අමාගී ආයු ට අනවශ්‍ය තරමට බැඳෙන එකත් අතරේ වෙනසක් තිබේ. මණී ඒ කාලේ විවාහක ස්ත්‍රියකි. දරුවන් සිව් දෙනෙකු ගේ මවකි. උපුල් ද ඇය පසෙක සිටියේ ය. නමුත් අමාගී එහෙම නොවේ. ඇය අවිවාහක යුවතියකි. ඈ සහභාගී වූ රැකියා සම්මුඛ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස පෙර දා රැකියාවට කැඳවීමේ ලිපියක් ලැබී තිබේ. කාලයක් තිස්සේ රැකියාවකට යන ආශාවකින් සිටියේ වී ද අමාගී ඒ අවස්ථාව පැහැර හැරීමට මාන බලයි. අශ්විනී මේ ගැන මණීට ද ගතු කීවා ය. ඒ අමාගී ගේ සිත රැකියාව කෙරේ පොළඹවන ලෙසයි. මණී මුළු හදවතින් ම එහෙම කළා ය.
“ඇත්තටම අක්ක බය වෙලා තියන එක සාධාරණයි මාගි. අනිත් එක ඒක හොඳ ජොබ් එකක්නෙ. ඇත්තටම ඔයාගෙ පළවෙනි ජොබ් එක. ඔයාගෙ අනාගතේ පුතේ. ඒකට යන්න. ආයු බලාගන්න එක මට ඔය කොහොමහරි කරගන්න පුළුවන්. ඕන්නං අවුරුදු තුනෙන් නර්සරි දාන්නත් පුළුවන්නෙ. තව අවුරුද්දනෙ…”
අමාගී අඩ සිනහවකින් අසා සිටියා මිස ප්‍රතිචාර දක්වන්නට නොගියා ය. ඒ ප්‍රතිචාර දැක්වීම යනු ඔවුන් ට එකඟ වීම හෝ එරෙහි වීම යන දෙකෙන් එකක් විය යුතු බැවිනි. ඇයට ඒ දෙක ම කරන්නට හයියක් ඇත්තේ නැත. සමහර වෙලාවට තීරණයක් නොගෙන ඔහේ පා වෙමින් සිටිනා එක පහසුයි සේ දැනේ. කෙසේ වෙතත් මණී මේ ගැන ආර්ය සමගින් ද කතා කළා ය.
“ලොකු පුතා මාගිට කියන්න ජොබ් එකට යන්න කියල. නැත්තං අශ්විනීල අපි ගැන වැරදියට හිතන්නත් පුළුවන්. මාගි තාම පොඩි කෙල්ලෙක් වගෙයි හිතන්නෙ. එහෙමට පවුලෙ වගකීමකුත් නෑනෙ. එයාට දැන් තියෙන්නෙ ආයුට බැඳිච්ච වේගෙට එයාගෙන් ඈත් වෙන්න බැරිකම. අපේ ළමය නිසා අපිට ඒ ළමයගෙ අනාගතේට වැට බඳින්න බෑනෙ”
“මං අමාගිට තේරුං කරල දෙන්නං අම්මෙ”
ආර්ය ඒ වගකීම තමන් මත පවරාගත්තේ ය. ඒ අනුව අමාගී ආයුව නිදි කරවමින් යහනේ වැතිර උන් සන්ධ්‍යාවක ඔහු කාමරයේ දොරකඩට ගියේ ය. සාමාන්‍යයෙන් ඇය ආයු සමග කාමරයේ සිටිනවා නම් ආර්ය හිතා මතා ම එහි නොයා සිටියේ ය. කෙලින් ම කාමරයට ගියේ වී නම් ඒ ඇය එහි හිඳිනා බව නොදන්නා අවස්ථාවකයි.
“මං ඇතුළට එන්නද…”
ආර්ය ගේ හඬ කාමරයේ දොරකඩින් ඇසෙනා විට ආයුත් එක්ක ම අමාගී ගේ ඇස් ද පියවෙමින් සුවදායි නින්දක් වෙත ඇය ප්‍රවේශ වෙමින් සිටියා ය. ආර්ය ගේ හඬ නින්දෙන් වුව හැඳිනගත් ගමන් ඕ අතනින් ගවුම් සාය පහළට කරමින් ඇස් යටින් බැලුවා ය. ආර්ය ගේ මුව කොනක් සිනහවකට ඇද විය. “ඕන වෙලාවක නිදියන්නෙ ගවුම උඩ දාගෙන තමයි ඉතිං” වැනි කතාවක් ඔහු ගේ ඇස් වල විය.
“එන්න ලොකයියෙ”
කියා රහසින් වාගේ කියමින් අමාගී එකතකට බර වී කෙළින් වූයේ ඇගේ සුළු චලනයකින් හෝ ආයු නෙතු හරීවියි ප්‍රවේසමෙනි. මේ පුංචි කෙල්ලට මේ තරම් මව් ගති කොහොම ලැබුණා දැයි මොහොතකට ආර්ය ට සිතිණ. අඩු තරමින් අම්මා කෙනෙකු යනු කව්ද කියා හෝ නො විඳි කෙල්ලෙක්!
ආර්ය කාමරය තුළට විත් අමාගී ට අඩියක දෙකක පරතරය ඇතිව එහි දාරයක හිඳගත්තේ, ලොකු කතාවක් වන බව ඉඳුරන්ගෙන් ම අඟවමිනි.
“ලොකයිය නිදියනවද…”
ඇය බොරුවට විමසුවා ය.
“නෑ නෑ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕනෙ. ඔය ජොබ් එකට යන්න අමාගි. ආයු බලාගන්න තියන නිසානං ඔයා ඒකට නොයා ඉන්න එපා. ඒක ඔයාට හොඳ ඔපචුනිටි එකක්”
“දැං කවුද ඔයාට උගන්නල එව්වෙ ඔහොම කියන්න කියල…”
ඒ වචන අතරේ සාවඥ බවක් තැවරී තිබිණ. ඒ අවඥාවෙන් ආර්ය ගල්ගැසී ගියේ ය.
“ලොකයියෙ මං ජොබ් එකක් හෙව්ව තමයි. ඇත්තටම ආයු මට මෙච්චර ක්ලෝස් වුණේ නැත්තං මං මේකට යයිත් තමයි. ඔයා කියන විදිහට ඒක හොඳ ඔපචුනිටි එකක් වෙන්නත් පුළුවන් තමයි. ඒත් ආයු එක්ක දවස ගෙවන එක මට කොච්චර සැනසීමක්ද දෙයියනේ. ඇයි මට ඒක විඳගන්න එපා කියන්නෙ…”
“අමාගී… බබාල හම්බුණාට පස්සෙ අම්මලත් ආයෙම ජොබ් එකට යනව. ගෑනු ළමයෙක් ඉගෙනගෙන ඒ ඉගෙනගත්ත එකෙං ප්‍රයෝජන ගන්න එක මැරි කළාට පස්සෙ නතර වෙන්න ඕන කියල එකක් නෑ. නිධීට වුණත් මං කවදාවත් කියල නෑ එහෙම කරන්න කියල. ඉතිං මේ අනුංගෙ ළමයෙක් නිසා ඔයා එච්චර මෝඩ වැඩක් කරන්න එපා. ආයු බලාගන්න මං මොකක්හරි අරේන්ජ්මන්ට් එකක් කරගන්නං”
“අනුංගෙ…”
අමාගී ඒ වචනය පුනරුච්චාරණය කළේ දෑස් වඩාත් කුඩා කොට ය.
“ඔයා මාවත් පොඩි කාලෙ පැත්තකට ම කළේ එහෙම හිතල වෙන්නැති ලොකයියෙ. මං ඔයාට කොච්චර ආදරේ කළාද… දෙයියනේ අදටත් මට තේරෙන්නෑ ඒක කියන්න”
බිඳුණු හඬින් කියවමින් යහනෙන් බැසගත් අමාගී ආර්ය ට සම්මුඛව හිටගෙන කෙළින් ම ඔහු ගේ මූණ බලාගෙන කතා කළා ය. සිය අභ්‍යන්තරයෙහි විසල් කැළඹීමක් හටගනු ආර්ය අත්වින්දේ ය.
“ඔයා මහ ප්‍රාතිහාර්යක් වගෙයි මට පෙනුණෙ. මං හිනාවෙද්දිත් මට රවන… මං ආදරේ කරද්දිත් මාව ප්‍රතික්ශේප කරන… මං දැවටිල ඉන්න හදද්දි මාව පන්නගන්න… කාටද එහෙම කරන්න හිතෙන්නෙ… ඒක නිසාම ඔයාව මට ප්‍රාතිහාර්යක් වගෙයි දැනුණෙ. මං දන්නව චුට්ටක්වත් මං ගැන ආදරයක් තිබුන්නෑ කියල. අඩු ගානෙ අම්මත් නැති පොඩි කෙල්ලෙක්නෙ කියල අනුකම්පාවක්වත්. හරි ඒකට කමන්නෑනෙ ඉතිං. ඔයා මට කැමතිම නෑ ඔයාට මාව පේන්න බෑ කියල දැනගත්තට පස්සෙ මං පස්සෙන් ආවෙ නෑනෙ. කරදර කළේ නෑනෙ. අඩු ගානෙ…ඔච්චර මාව දකින්න අකමැති නිසා මං මූණක්වත් පෙන්නන්න ඔයා ඉන්න පැත්ත පලාතට ආවෙ නෑනෙ. හැබැයි මගෙං ඔයාව උදුරගත්ත වගේ… ඔයාගෙ පුතාවත් උදුරගන්න එපා ලොකයියෙ. පින් සිද්ද වෙයි. මං ඔයාට වැඳල කියන්නං”
අමාගී ගේ දෑස් කඳුලු පොකුණු දෙකක් වී තිබිණි. ඒවායින් පිටාර ගලනා කඳුළින් ඇගේ කොපුල් තෙමී ගියේ ය. ඈ කතා කළේ නාසය උඩට අදිමිනි. කුමක් කළ යුතු ද කුමක් කිව යුතු ද කියා නො දැන ආර්ය තුෂ්ණිම්භූත ව බලා සිටියේ ය.
“මං මේ ඔයාගෙ ජීවිතෙං ඉඩක් ඉල්ලනව නෙවෙයිනෙ. ඉතිං මං ආයු ළඟින් හිටියාම මොකද වෙන්නෙ… මාත් අම්ම නැති කෙල්ලෙක්නෙ. ඉතිං මං දන්නවනෙ බබෙක්ට ආදරේ කියන දේ කොච්චර ඕනද කියල. ආයු මට ආදරේ කළාම මොකද ලොකයියෙ. අපි දෙන්නට අපි දෙන්නව නැති කරන්නෙපා. ප්ලීස්. මට ඒ දේ විතරක් දෙන්න…”
ඒ කොහොම මොහොතක් ද? ඇය ඉකිළමින් හැඬුවා ය. ඒ හැඬුම් හඬින් ආයු අවදි නොවනු වස් හැකිතාක් හඬ පාලනය කරගනිමින් හීල්ලුවා ය. ඒ කිසිත් ව්‍යාජයක් නොවන බව සමස්ථ ඇය සාක්ෂි දරයි. ඇගේ ප්‍රේමය අභියස ඔහු කවුරුන්ද? ඔහු කුරු කුහුඹු ආත්මයක් සේ ආර්ය ට දැනෙමින් තිබිණ. දරුණු ලැජ්ජාවක් ද ආත්ම පරාජිත බවක් ද ඔහු ට දැනෙමින් තිබිණ. ඒ සියල්ල අතරින් නැගී සිටීමේ අත්‍යවශ්‍යතාවයක් හදිසියේ ම ඔහු වෙතින් පැන නැංගේ ය. එතැන්හිදී ආර්ය හදවතට මිසක් වෙන කිසිවකට ඉඩ දුන්නේ නැත. යහනෙන් නැගී උන් හෙතෙම, දැවැන්ත ආත්මයක හිමිකාරිය වන ඒ පුංචි ගෑනු ළමයාව ඉතා තදින් වැළඳගත්තේ ය. ඔහු ගේ පපුවට ඇය දැනිණ. ඇස් දෙක තද කොට පියාගෙන ඔහු මොහොතක් දෙකක් එහෙම නො සැලී සිටියේ ය. ඒ දෑතත් පපුවත් අතර සුවැති අවකාශයෙහි අමාගී සහස්‍යා මල්වත්තගේ යළි ඉපදෙමින් සිටියා ය. ඇය කිසිවක් බලයෙන් කරන්නට ගියේ නැත. කඳුලු නතර වූයේත් ඉකිළුම සන්සුන් වූයේත් ඉබේට ය. නමුත් ඕ අර කුඩා ලෝකයෙහි ගුලි වීගෙන සිටියා ය. කවුරුන් එහි ආවත් කම් නැතැයි ඒ අතරේ මුරණ්ඩු තීරණයකට එළඹෙමින් ද සිටියා ය.