ගැලපීම් සහ නොගැලපීම්

කාර්යාලයෙහි වීදුරු දොරෙන් එහාට වෙලා දුරකථන ඇමතුමක ඉන්න ශානිකාගේ කලබලකාරී බව කාර්යාල කාමරය ඇතුලේ ඉන්න බොහෝ දෙනෙක් දැක්කා .විනාඩි කිහිපයකට පස්සේ අවුල් සහගත මුහුණින් යුතුව ශානිකා ඇවිත් තමන්ගේ අසුනෙන් වාඩි උනා

” මොකක් හරි අවුලක් ද ශානිකා ? “

ශානිකා දිහාවට මුලින්ම හැරුණේ ඇගේ ළඟම හිතවතිය වුන උපේක්ෂා

” කවීෂ කතා කළේ “

ශානිකා කිව්වෙ බිඳුනු ස්වරයෙන්

” ඉතින් “

” මේ රණ්ඩුව යන්නේ ඊයේ රෑ ඉදන් අනේ “

” මොන රණ්ඩුව ද ? “

” ඊයෙ මට ෆෝන් එක ආන්සර් කරන්න බැරි වෙච්ච එකක් අල්ලගෙන කවීෂ තාමත් කෑගහනවා . මට මේක එපා එපා වෙලා තියෙන්නෙ උපේක්ෂා “

ශානිකාගේ ඇස් අග කඳුළු බින්දු එකතු වෙන හැටි උපේක්ෂා දැක්කා.

” ෂේප් එකේ ඉන්න බලන්න දැනට .අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියලා “

කරුණාවන්ත හඬකින් එහෙම කියපු උපේක්ෂා ශානිකාගේ පිටට තට්ටුවක් දැම්මා. පරිගණක තිරයට දෑස් යොමු කළත් ශානිකා ඉන්නේ වෙනමම කල්පනාවක කියලා කවුරුත් දැක්කා.

” කලින් කොල්ලාත් එක්කත් ඔය වගේ රණ්ඩු කරලා තමයි දෙපැත්තකට උනේ.එතකොට ඒ එෆෙයාර් එක ගැන රටේ ලෝකෙ මිනිස්සු ඔක්කොම දැනගෙනත් හිටියා.ඇයි ඉතින් මෙයා ෆේස්බුක් එකේ උජාරුවට ෆොටෝ දානවනෙ”

මුහුණ හෝදගන්න වොශ් රූම් එක පැත්තට යන ශානිකා දිහා බලල තනූජා එහෙම කිව්වේ සමච්චලයට වගේ හිනා වෙන ගමන්

Two employees gossiping in office cubicle

” එයාට නොගැලපෙනවා කියලා හිතුන නිසා වෙන්න ඇති නේ අයින් වෙන්න ඇත්තෙ තනූජා. අපි ඒ දේවල් ගැන කතා නොකර ඉමු නේද ?”

උපේක්ෂා එහෙම කිව්වෙ තනූජාගේ සමච්චල් සහගත කතාවට තවත් කවුරු හරි එකතු වෙන්න කලින්

” මම එෆෙයාර් එක නැවැත්තුවා උපේක්ෂා “

දවස් කීපයකට පස්සේ කෑම පැයකදී ශානිකා උපේක්ෂාට එහෙම කිව්වා

” කවීෂ ගෙන් අවුලක් නැද්ද එතකොට ?”

” එයාට කිසිම ගානක් නෑ මම එෆෙයාර් එක නවත්තමු කිව්වත්. හැමදාම රණ්ඩු වෙවී මේක කරන්න බැහැනේ උපේක්ෂා.සෑහෙන්න කල්පනා කරලයි ඒ තීරණය ගත්තේ මම “

පිළිවෙලකට පීරන්නේ නැති කොන්ඩයත් , අපිලිවෙල ඇඳුම් පැළඳුම් වගේම මැලවී ගිය මුහුණත් හින්දා ශානිකා ඉන්නේ දුකෙන් කියලා කාර්යාලයේ කාටත් දැනගන්න ලැබුණා

” අපි එයාට උදව් කරන්න ඕනේ “

ශානිකාගේ අවුල් සහගත බව ගැන ඇය නැති තැන කතා වෙන කාටත් උපේක්ෂා කිව්වේ එහෙම

” ඔව්වා ඉතින් එයා ගිහින් දාගත්ත ලෙඩ නේ උපේක්ෂා අපි මොනවා කරන්නද ? “

අනුකම්පා විරහිත හඬකින් තනුජා එහෙම කියද්දී උපේක්ෂාට දැනුනේ කෝපයක්

” ඔයාට උදව් කරන්න බැරිනම් අඩුම ගානෙ ඒ ළමයට අපහාස නොකර හරි ඉන්නකො තනූජා “

උපේක්ෂා තදින්ම එහෙම කියනකොට තනුජා නිහඬ වුණා.ශානිකා අතින් අතපසු වෙන කාර්යාලයේ වැඩ වලට ඇයට සහයෝගය දක්වන්න දවසින් දවස එක එක්කෙනා එකතු වෙන්න පටන් ගත්තේ බොහෝ දෙනා තුළ මනුසත්කම තවමත් ඉතිරිව තියෙන බව ශානිකාට පසක් කර දෙමින්

” එයා බොරුවට අඩලා දොඩලා අනිත් අයගේ අනුකම්පාව අරගෙන වැඩ ටික කරවගන්න ද කොහෙද ඒ පාර ප්ලෑන් එක “

හැමෝම ශානිකාට උදව් කරන එක ගැන තනූජා දැරුවේ ඒ වගේ මතයක්

” මොන හරි දෙයක් නිසා හිතෙන් දුක්විඳලා කෙනෙකුට recover වෙන්න ටික කාලයක් යනවා. ඒක කොච්චර කාලයක් ද කියලා තීරණය වෙන්න එයාගෙ වටේ ඉන්න අයත් බලපානවා තනුජා. ඔයත් ශානිකාට ටිකක් හරි උදව් කරනවා නම් එයාට ඉක්මනට ගොඩ එන්න පුළුවන් වෙයි “

මැදි වයසේ පසුවන උදුලා, තනූජාට පිළිතුරු දුන්නේ අවවාදාත්මක ස්වරූපයෙන්

” මෙච්චර අවුරුදු ගාණක් මේ ඔෆිස් එකේ එක්ස්පීරියන්ස් තියෙන ඔයාත් අහු උනානේ උදුලා අක්කේ ශානිකාගේ ගැටවලට “

අසීරු අවධියක් පසු කරමින් ඉන්න ශානිකාට උදවු කරන එක ප්‍රතික්ෂේප කරපු තනූජා ශානිකාට උදව් කරන අයට පවා ඇනුම්පද කියන්න අමතක කළේ නැහැ

” අපේ අම්මලා මට ප්‍රොපෝසල් ගේනවා උපේක්ශා. එයාලගේ වදෙන් බේරෙන්න බෑ .කවුරුහරි ඉන්නවනම් කියන්න ලු.නැත්තං එයාලා කියන දේකට කැමති වෙන්නලු “

නොගැලපෙන සම්බන්ධතාවයකින් පීඩා වින්ද ශානිකා ටිකෙන් ටික ඒ මතක වලින් ඈත් වෙනකොට සාම්ප්‍රදායික මත දැරූ ඇගේ දෙමව්පියන්ට අවනත වෙන්න ඇයට සිද්ධ වෙලා තිබුණා

” මේ ඉරිදා මනමාලයෙක් එනවලු මාව බලන්න “

කෑම පැයෙදි ශානිකා කතා කළේ නොරිස්සුමෙන්

” ඉතින් හොදයිනේ. ඔයාට ගැලපෙනවා කියලා හිතනවානම් කැමතිවෙන්න ශානිකා . ඔයාට හැමදාම ඔහොම ඉන්න බෑ නේ. අනිත් එක තමයි ගැලපෙන්නෙ නැති එෆෙයාර් එකක් දෙකක් තිබුනා කියලා ඒකෙන් කියවෙන්නෙ නෑ ඔයාට ඉස්සරහටත් එහෙම වෙනවා කියලා “

” හරියට අඳුරන්නෙ වත් නැති මනුස්සයෙකුට කොහොම කැමති වෙන්නද උපේක්ෂා “

ශානිකා කතා කළේ දෙගිඩියාවෙන්.තවත් කෙනෙක් ගැන විශ්වාසයක් ගොඩනඟා ගන්න පුළුවන් තත්ත්වයක ඇය නොඉන්න බව උපේක්ෂා වටහාගෙන හිටියා

” අම්මලා කතා කරලා දෙනවා කියන්නේ නොගැලපෙන පවුලක නරක මනුස්සයෙක් වෙන්න බැහැනේ. ඒ නිසා ඔයා කතාබහ කරලා බලන්න. හරි යනවා නං එහෙමයි නැත්තං නිකන් ඉමු “

උපේක්ෂා එහෙම කිව්වට පස්සේ දෙමව්පියන්ගේ තීරණයට අනුව කටයුතු කරන්න ශානිකා හිතා ගත්තා.කවීෂගේ සම්බන්ධය නතර වෙලා ඒ වෙනකොට මාස කිහිපයක් ගත වෙලා තිබුන නිසාත් , තරමක් දුරට හිත සුවපත් වෙලා තිබුන නිසාත් ශානිකා සුපුරුදු පරිදි තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කරලා තිබුණා.

එළඹුන සතියේ සදුදා දවසේ ශානිකා කාර්‍යාලයට ආවේ කැවිලි පාර්සලයකුත් අරගෙන

” අම්මලා ඊයේ තේ මේසයක් ලෑස්ති කරලා තිබුණානේ.කැවිලි ගොඩාක් ඉතුරු උනා “

ශානිකා කාර්යාලයේ හැමෝටම කැවිලි බෙදුවේ එහෙම කියන ගමන්.ඇයව බලන්න මනමාලයෙක් ආවා කියලා ඒ වෙනකොට බොහෝ දෙනා දැනගෙන හිටියා වගේම ඒ ගැන හැමෝම වගේ සතුටු වුණා

” ඉතින් කොහොමද මනමාලයා “

උපේක්ෂා ඇහුවේ නොඉවසිල්ලෙන් වගේ

” එයා නං හරි අහිංසකයි වගේ.අපේ අම්මලාත් උඩින්ම කැමතියි උපේක්ශා.මගෙත් ඉතින් එහෙම අකමැත්තක් නැහැ. අකමැති වෙන්න හේතුවක් පේන්න තිබුණේත් නැහැ .එයාගේ අම්මයි තාත්තයි එහෙම හොඳ වැදගත් මිනිස්සු.එයත් හොඳට ඉගෙන ගෙන හොඳ රස්සාවක් කරන කෙනෙක්. ඊළඟ ඩිග්‍රි එකට එයා රට යන්න ඉන්නේ “

ශානිකාගේ දෑස් වල බලාපොරොත්තුවක සේයාවක් දැල්වෙලා තියෙන හැටි උපේක්ෂා පැහැදිලිවම දැක්කා

” එයා ඉතින් හැම කොල්ලා ගැනම මුලදී ඔහොම තමයි කිව්වේ “

ශානිකා එහාට මෙහාට වෙනකං ඉඳලා තනුජා සුපුරුදු කතාව පටන් ගත්තා.ඒත් කිසිම කෙනෙක් ඒ කතාවට අනුබල දුන්නේ නෑ

අහම්බෙන් ආව මංගල යෝජනාව ස්ථීර උනාට පස්සේ ශානිකාව ඉක්මනින් විවාහ කරලා දෙන්න ඇගේ දෙමව්පියන් තීරණය කරලා තිබුණා.

” නාලක එයාගේ degree එකට රට යන නිසා wedding එකෙන් පස්සේ මමත් එයත් එක්ක රට යනවා උපේක්ෂා .ඒ නිසා මට ජොබ් එකෙන් අයින් වෙන්න වෙනවා “

විවාහයට ලහිලහියේ ලෑස්ති වෙන ගමන් දවසක් ශානිකා උපේක්ෂාට එහෙම කිව්වා.

” ඉතිං කොච්චර ශෝක්ද ? එයා විතරක් රට යනවා නම්නේ ප්‍රශ්නේ “

” ඒක තමයි .එයා කැමති නැහැ තනියම රට යන්න. ඒ නිසා එයා මාවත් එක්කගෙන යන්න ඕන දේවල් ලෑස්ති කරනවා “

ශානිකා රැකියාවෙන් ඉවත්වෙලා විවාහයෙන් පස්සේ විදෙස්ගත වෙන බව කාර්යාලයේ කාටත් දැනගන්න ලැබුණා. අතීතයේ දින වල නොගැලපෙන සබඳතා නිසා මානසික වශයෙන් පීඩා වින්ද ශානිකාගේ ජීවිතයට වසන්ත කාලය එළඹෙමින් තිබෙන නිසා කවුරු කවුරුත් ඒ ගැන සතුටු වුනා වගේම හැමෝම ශානිකාට සුබ පතන්නත් අමතක කලේ නෑ

” හිටිහැටියේ ආව මනුස්සයෙක් නිසා රස්සාවත් අත ඇරලා ගිහින් හදිසියේ හරි දික්කසාද වෙන්න වුණොත් ශානිකා කොහෙන් නතර වෙයිද දන්නෙ නෑ “

හැමෝගෙම සුභ පැතුම් අතරේ තනුජාගේ අසුබවාදී සිතුවිල්ල එළියට එන්න වැඩි වෙලාවක් ගත වුනේ නැහැ

” පහුගිය කාලෙම ශානිකාගේ ජීවිතේ හිටපු නොගැලපෙන මිනිස්සු ඈත් වුණා . සමහරවිට ඔයා වගේ හිතන කෙනෙක් එයාගෙන් ඈත් වෙන්න ඕන නිසාද දන්නෙත් නෑ තනූජා ,ශානිකාට හොඳ හේතුවකට මේ ඔෆිස් එකෙන් අයින් වෙන්න වෙන තැනට වැඩ සිද්ද උනෙත් “

උපේක්ෂා කාටත් ඇහෙන්න එහෙම කියනකොට හැමෝම ඉස්සරහා ලැජ්ජාවට පත් වුණ තනූජා බිම බලාගත්තා

More Stories

Don't Miss


Latest Articles