මල් බිඟුන් – 28

ආර්ය කාමරයේ වීදුරු පියන්පත හැරගෙන ජනේලයෙන් මල්වත්තගේ ගෙදර දෙස බලා සිටියේ ය. රාත්‍රී සීතල ගලා හැලේ. ඒ සීතල මැද පිනි ඉහිරුණ පුංචි බිම්මලක් සේ මල්වත්තගේ ගෙදර නිස්කාංසුවේ හිඳී. ඔහු හෙමිහිට ඇවිද විත් යහනේ වැතිර ගත්තේ ය. ආයු ඉක්මන් හුස්ම ගනිමින් ද ගැඹුරු නින්දකට අවතීර්ණ වෙමින් ද හිඳී. වැලමිටට බර දී ගෙන ටික වෙලාවක් පුතු දෙස බලා උන් ආර්ය ඔහු ගේ කිරි සුවඳ මුව හෙමිහිට සිප ළඟින් වැතිරගත්තේ ය. මීට මොහොතකට පෙර සිදු වූයේ කුමක් දැයි ඔහු ට අදහා ගත නො හැකි තරමි. ඔහු සිය දෑතත් පපුවත් අතරෙහි රුවාගෙන අමාගී සහස්‍යා මල්වත්තගේ ව සිපගත් බව කෙසේ විශ්වාස කරන්න ද? ඒ නො සිදු විය යුතුව තිබුණ දෙයක්ද කියා සිතන්නට ඔහු වෙහෙස නොවුණේ ය. නො සිදු විය යුතු දෙයක් වී ද දැන් ඒ සිදු වී හමාර ය.
ඒ පුංචි කෙල්ලගේ හදවතෙහි හංගා ගත් ඒ තරම් විසල් ප්‍රේමයක් ඔහු නමින් නඩත්තු කොට ඇතැයි කොහොම සිතන්න ද? නමුත් ඒ විශ්වාස කළ යුතු සත්‍යයකි. අමාගී ගේ දෑස් සේ ම කඳුලු හා හැසිරීමත් ඇගේ හැම වචනයක් ම විශ්වාස කරනා ලෙස බල කොට සිටී. කාලයක් තිස්සේ මිදී ගල් වී ගිය හැම හැඟීමක් ම හෙමි හෙමිහිට ලිහිල් වෙමින් ද දිය වෙමින් ද පවත්නා බවක් ඔහු ට දැනේ. ඈ වූ කලී කෙතරම් නම් නිර්භීත කෙල්ලක් ද? ඔහු ඉඳුරා ඈ ප්‍රතික්ශේප කළ දැරියක සන්දියේ පටන් ඇය සියල්ල උහුලා දරා හිඳ තිබේ. ඔහු ගේ හැම වෙනස්කමකට ම ආදරය කළා පමණකුදු නොව වෛර නොකොට හැම මතකයක් ම හදවතේ දරා හිඳ තිබේ. ඔහු විවාහ වී දරුවන් හදත්දීත් ඇය සිය ළමා වියෙහි ප්‍රේමය සදහට ඈ ළඟ සුරක්ෂිත කොටගෙන තිබේ. ඒ විසල් ප්‍රේමය අස තමන් කුරා කුහුඹුවෙකු තරම්වත් නො වටිනා වග ආර්ය ට සිතේ. තවත් ටික වෙලාවක්, තව බෝ වෙලාවක් ඒ දැඩි ග්‍රහණයෙන් ම ඈ වැළඳගෙන ඉන්නට තිබිණි නම්! නමුත් ඒ ග්‍රහණයෙන් මිදුණේ ඇය ම ය. ඒ වෙලාවේ කඳුළින් පෙඟුණු දෑස් තටු අතරින් බලා ඕ පිනි ඉහිරුණ මලක් සේ සිනහ වූවා ය. ආර්ය ගේ දෑත් ඒ දෙකොපුල් දෙපසින් රැඳුණේ ඔහු ගේ හිතිවිල්ලක් මත නොවේ. නමුත් ඒ මොහොතේ ඒ කඳුලු කොපුල් සිප නොගෙන ඉන්නට නම් ඔහු ට බැරි විය.
“මට සමාවෙන්න සුදූ”
වසර ගණනාවක් තිස්සේ තනි හිතින් උහුලා ගත් මහ කන්දක බර ආර්ය ගේ දෙපා පාමුල තැබුවා සේ අමාගී ලිහිල් වූවා ය. සැහැල්ලු වූවා ය. එසේ ම නිම් හිම් නැති ස්නේහ හැඟීමකින් ආතුර වූවා ය. මේ මොහොතෙන් පසු ජීවත් වුණත් මිය ගියත් කම් නැතැයි හිතෙනා තරම් ඕ සන්තෘප්ත භාවයකට පත් ව සිටියා ය. සන්තානීය පූර්ණ හැඟීමකින් ආර්ය ගේ අතක් දෑතින් ම ගත් ඕ ඒ අත්ල මුව මත තබා ඉතා තදින් සිප ගත්තා ය. ඊළඟට යහන මත පහත් වී ආයු ගේ කොපුලක් සිපගෙන කාමරයෙන් පිටව ගියා ය. තව ටිකක් වෙලා ඇය සිටියා නම් යයි තැවීමක් ආර්ය ට දැනිණ. ජීවිත කාලයක් පුරාවට ඔහු සමගින් ම සිටි කෙනෙකු හෝරා කිහිපයකට වෙන්ව ගියා බඳු හද්දා පාළුවක් දැනිණ. මුළු කාමරය ම ඇසිල්ලකින් පාළු වී ගියේ ය. සන්තානය අඳුරෙන් අඳුරෙහි ගිලී ගියේ ය.
පියගැට පෙළ බසිත්දී අමාගී ට දැනුණේ වලාකුළුමය පාවීමකි. ශේෂ වූ කඳුළක තෙත තවමත් ඇසග විය. හිස කේ යන්තම් අවුල් වී තිබිණ. කම්මුල් රතු වී ඇති සෙයක් ඇයට දැනිණ. ආලින්දයෙහි සෝෆා කට්ටලයෙහි හිඳ එතෙක් රූපවාහිනියේ රඳවාගෙන උන් හැම නෙතක් ම දැන් ඇය වෙත දැල්වී තිබුණේ ය.
“හැමෝටම තියන ප්‍රශ්නෙ මං මෙහෙ එන එකනෙ. මට ජොබ් එකට යන්න කියල ඔච්චර කියවන්නෙ ඒකනෙ. හරි ඉතිං මං හෙට ඉඳං මෙහෙ එන්නැතුව ඉන්නං”
නිමා නොවූ තෙතමනයක් දැනුණු නාසය ඕ ඉහළට ඇද්දා ය. මණීත් ඇගේ පුතුනුත් මුහුණු බලාගත්හ.
“ශුවර් එකටම ලොක්ක බැනල ඇති මාගිට. ඔය මිනිහට කිව්වට වැඩක් නෑ”
ශාක්‍ය අසුනේ මඳක් ඉදිරියට වූයේ නැගිට අමාගී පසුපස යාමේ සිතිවිල්ලෙනි.
“බැන්නනං මාගිත් දෙක තුනක් කියල තමයි යන්නෙ. ඔයනං බැනල නෙවෙයි”
රුසිරු අඩ සිනහවකින් එ’කී කතාව නිසා, නැගිටින්නට ගිය ශාක්‍ය ට ඒ ශක්තිය උපදවා ගත හැකි නොවිණ.
අමාගී පොරෝනාවට ගුලි වී බිත්තියෙහි නළල තියා සීතලේ ම අංශුවක් වෙමින් නෙතු පියවාගත්තා ය. නමුත් නිදිමතක සේයාවක් ඇසගැටෙන මානයක වූයේ නැත. ඇගේ රතදර සිනහවකට නලියයි. කාලයක් තිස්සේ කාටවත් ම කියාගන්නට අවසර නැතිව සිටි කතාවක් අදාල පුද්ගලයාගේ මූණට ම කියාගන්නට අද අවස්ථාව ලැබිණි. ඒ ඇය සිහිනයෙන් හෝ බලාපොරොත්තු වූ මොහොතක් නොවේ. එක අතකට ඉරණම කියන්නේ පුදුම දෙයකි. ආර්ය හැමදාමත් ඇයට අහිමි වෙමින් සිටියේ ය. ඒ ගැන ගතු කියන්ටවත් අවසර නැති තැනෙක ඇය හුදෙකලා වී සිටියා ය. නමුත් හදිසියේ ම සියල්ල වෙනස් වී ඇයට ඔහු වෙත ප්‍රවේශ විය හැකි මාවතක් විවර වී තිබේ. අඩු තරමින් ළමා වියෙහි පටන් කෙලි හිතේ පිරී තිබූ ස්නේහය ගැන කියාගන්නට අවස්ථාව ලැබිණ. කල්පයක් බඳු එක මොහොතක් ආර්ය ගේ දෑතත් පපුවත් අතර අවකාශයෙහි ගෙවාගන්නට ලැබිණ. එපමණක් වුව ප්‍රමාණවත් ය. යන්තම් ඔහු ගේ අත අල්වාගන්නට, දැනෙන නො දැනෙන ගාණට ආර්ය ගේ සිරුරට හේත්තු වන්නට, යාන්තමින් බර දී ඔහු ගේ උකුල මතින් හිඳගන්නට දැරියක දා පටන් තිබූ අප්‍රමාණ ආශාව සාක්ශාත් කරගන්නට ලැබීමේ ප්‍රීතිය නිමිත්තෙන් කුමක් කළ යුතු ද කියාවත් අමාගී ට තේරෙන්නේ නැත. දෙවියනි ඔහු ඇගේ කඳුළින් පෙඟුණ කොපුලක් සිපගත්තේ ය!
මහානාම ගෙදරට යන්නට බැරි දෙගිඩියාවකින් උදයේ අමාගී පෙළුණා ය. සේපාලිකා මල් ඇහිඳින්නටත් පහන් දල්වා බුදුන් වඳින්නටත් ඕ වැඩි කාලයක් වැය කළා ය. මණී හිතුවේ ඇත්තට ම ඈ නෑවිත් ඉඳීවී කියා ය. ඉතින් තාප්පය ළඟට පැමිණි ඕ තොමෝ ඉන් එබීගෙන,
“මාගි… අනේ පුතේ ආයු නැගිටල ඔයාව අහල අඬනව. කිරි එක බොන්නෑ. හොඳ කෙල්ල වගේ පොඩ්ඩක් එන්නකො මැණිකෙ”
කියා බැගෑපත් වූවා ය.
“පොඩ්ඩක් දරුවව බලන්නකො සුදූ”
කියා දුරේශ් කාමරයේ සිට කීවේ ය. ඒ අවසරයෙන් අමාගී එහි ඉගිළුණා ය.
“ආයෙ එන්නෑ කිව්ව නේද…”
දොරකඩදීම පූජන ඇනුම්පදයක් කීවේ ය.
“එන්නෑ තමයි. ආයු අඬනව කියපු නිසා ආවෙ”
ඇය ගස්සාගෙන පියගැට පෙළ නැග්ගා ය. ආර්ය කාර්යාලයට යාමට සූදානම් වෙමින් සිටියේ ය. විලවුන් සුවඳින් කාමරය පිරී තිබිණ. කණ්ණාඩි මේසයේ කැඩපතින් බලාගෙන හිස කේ සකසන ගමන් ඔහු අඩ සිනහවකින් ඇදෙස බැලුවේ ය.
“දැං බුලත් දෙන්නත් ඕනද එන්න…”
සිරුර දිගේ විදුලියක් පැතිර යන්නා බඳු හිරියක් ඇයට දැනිණ. අමාගී ප්‍රතිචාර නො දක්වා යහන මත හිඳ ආයු වෙතට නැඹුරු වූවා ය. සිඟිත්තා ඇගේ අතට පැන්නේ ය. ඕ ආදරයෙන් ඔහු වඩා ගත්තා ය. තවමත් අඩ නිදිමතේ සිටි ආයු අමාගී ගේ උරහිසේ හිස සතපා ගත්තේ ය.
“දෝමතයිද… ම්…”
ඇගේ හඬ ආදරය වෑහෙන මව්වත් තානයක් තුළ සුසර විය. ඒ තරම් විසල් ආදර උල්පතක් ඒ තරම් පුංචි කෙල්ලක තුළ උත්පාද කරන්නට සොබා දහමට උවමනා වූයේ මන්දැයි සිතා ගන්නටවත් ආර්ය සමත් නැත. ඔහු නික්ම යාමට සූදානමින් ඔවුන් දෙදෙනා ගේ ආදර ආලිංගනය වෙත පැමිණියේ ය.
“පුතු මැණික… තාත්ති යනව එහෙනං හොඳේ”
අමාගි ගේ උරමඬලෙහි හිස තිබියදී ආයු නෙතු ඔසවා ආර්ය දෙස බැලුවේ ය. එතෙක් යහන මත හිඳගෙන සිටි අමාගී ආයු වඩාගත් වන නැගිටගත්තා ය.
“පරිස්සමෙං ඉන්නෝනෙ හොඳේ. මාට කරදර කරන්නෙපා”
කියමින් ආර්ය ආයු ගේ මුහුණ සිපගත්තේ ය. දරුවා ගේ හිස වූයේ අමාගී ගේ උර මත, ඇගේ මුහුණේ ගෑවෙමිනි. ඒ මුව සිපගත්දී ආර්ය ගේ කොපුලක් අමාගි ගේ කොපුලක යන්තම් ගෑවිණි. ඇගේ ගෙල මත ඔහු ගේ හුස්මක් තැවරිණි. කම්මුල රැවුල් කොට ඇනුණ සුවයක් වින්දේ ය. ඇය ඔහු සුවඳින් පපුව පිරෙනා හුස්මක් ගත්තා ය.
“මං යන්නද එහෙනං…”
ඈ ඒ හුස්ම පහළ හෙළන්නටත් පෙර ම ආර්ය අමාගි ගේ ඇස් අල්වාගත්තේ ය.
“පරිස්සමට ගිහිං එන්න ලොකයියෙ”
ඊට වැඩිය ආදරය තැවරිය හැකි වචන ටිකක් ඒ වෙලාවේ ඇගේ ශබ්ධ කෝෂයෙන් සොයාගත හැකි වූයේ නැත.
“ආයු තව චූට්ටක් ලොකු වුණාම මං ජොබ් එහෙකට යන්නං”
ඔහු හැරෙත්දී ම ඈ මිමිණුවා ය. ආපසු අමාගි වෙතට අඩියක් තැබූ ඔහු ඇගේ හිස මත අතක් තැබූයේ ය. ඇගේ දෑස් වල, කැළඹුණු ක්ෂීර පථ තරම් ගැඹුරු සන්සුන් සංසාරික ප්‍රේමයක් විය.
අමාගී ඉක්මනට දොර ඇරගෙන බැල්කනියට ආවා ය. ආර්ය මෝටර් රථය පෙරට ගනිමින් සිටියේ ය.
“බායි කියන්න තාත්තිට”
ආයු හඬ නගා “බායි තාත්තී” කියමින් අත වැනුවේ ය. අමාගී සිනහවකින් පිරීගෙන ආයු වඩාගත් වන ආර්ය යන මග බලා සිටියා ය. ගේට්ටුව ළඟදී නො පෙනී යන්නට පෙර ඔහු රියෙහි නලාව හැඬවූයේ ය. ඒ තරම් පිරිපුන් හැඟීමකින් ගෙදරින් පිටත් වී ගිය වෙනත් දවසක්, ආර්ය ගේ මතක ඉතිහාසයෙන් සොයා ගත නො හැකි ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles