ටික කලක පටන් අශ්විනී ගේ හිතට නිවනක් නැත. ඒ අමාගී නිසාවෙනි. ඇය කවදත් ආයු ට ආදරය කළ බව අශ්විනි දනී. නිධී සිටින කාලයේ දී ඇය හැන්දෑ වරු වල මල්වත්තගේ ගෙදරට ඇවිත් දුරකතනය ඔබමින් හෝරා ගණන් ගත කරයි. ඒ අමාගී ආයුව බලා ගන්නා බව දන්නා නිසාවෙනි. ආයු වූ කලී හුරබුහුටි හුරතල් කොලු පැටියෙකු නිසාවෙන් ඕනෑ ම කෙනෙකු ගේ හිත ඔහු වෙත ඇදී යයි. නමුත් අමාගී ඔහු ට දක්වන ආදරය අප්‍රමාණිත ය. නිධී සිටිනා කාලයේ දී අශ්විනී කිසි සේත් ඒ ගැන සිතුවේ නැත. නමුත් දැන් එහෙම නොවේ. අමාගී ආයුට දක්වන බැඳීම අනවශ්‍ය තරම් යයි ඇය සිතයි. ඔහු හින්දා දැන් ඇගේ දවසෙන් වැඩි කාලයක් ගෙවෙන්නේ මහානාම ගෙදර ය. ඒ ගෙදර වූ කලී අමාගී ට නුහුරු තැනක් නොවන බව ඇත්ත ය. බිළිඳියක කාලයේ පටන් ඇයට ඒ ගෙදරත් මේ ගෙදරත් කියා වෙනසක් නොවිණි. සමහර විට මහානාම පිරිමි ළමයෙකු අමාගී ට පෙම් කරනු ඇති බව ඉස්සර සිට ම අශ්විනී ට සිතී තිබේ. ඒ තරමට ඇය ඔවුන්ගේ වී සිටියා ය. ඇතැම් විට අමාගී ගේ සොයුරා වන සන්දේශ් ට පවා නොමැති අයිතියක් ඈ කෙරෙහි ඔවුහු පෙන්වූහ. එහෙම සබඳකමක් ඇති වී ද කිසිවෙකුට එහි ගැටළුවක් නොවන බව ඇය දැන සිටියා ය. ඒ ගෙදර හැම කෙනෙක් ම ඔවුන්ගේ ගෙදර අනිත් ගෑනු ළමයින් දෙදෙනා ට වඩා අමාගී ට ආදරේ ය. ඇයට ළෙංගතු ය. ඇය ඔවුන්ට විශේෂිත ය.
නමුත් නිධී ගේ නික්ම යාමත් සමග සියල්ල වෙනස් වී තිබේ. නැඟණිය ආයු ට පමණකුදු නොව දැන් ජීවිතයෙහි ගැහැනියක නොවන ආර්ය ට පවා සීමා මායිම් අතික්‍රමණය කරමින් සමීප වෙතැයි අශ්විනී තුළ සාධාරණ බියක් ඇති වී තිබේ. ඔහු මහානාම පුත්‍රයෙකු බව සැබෑ ය. ඔහු සියලු මහානාම පුතුන් අතරින් වඩාත් විනීත හා මහත්මා ගති ඇති තැනැත්තා බවත් ඇත්ත ය. නමුත් දැන් ඔහු විවාහක පුරුෂයෙකි. විවාහය බිඳී දරුවෙකු සමග තනි වූ පුරුෂයෙකි. එවැන්නෙකු ට සිය නැඟණිය සමීප වෙනවා දකින්නට අශ්විනී ට කොහෙත් ම උවමනා නැත. පුංචි කෙල්ලට දරුවෙකු සිටිනා පුරුෂයෙකු ගේ පවුල් බරට කර ගසන්නට ඉඩ තැබිය නො හැකි ය.
අනවශ්‍ය ලෙස ආයු ට නො බැඳෙන ලෙස අශ්විනී කිහිප විටක් ම අමාගී ට අනතුරු ඇඟවූයේ ආර්ය ගැන වචනයක් හෝ නො කියමිනි. කුඩා කල පටන් අමාගී ට ආර්ය ගැන තිබූ උන්මාදය ගැන අශ්විනී තරම් දන්නා කෙනෙකු නොමැති තරම ය. ඒ කාලේ නංගී ඒ තරමට ඔහු ට ආදරය කරත්දී ඔහු ඇය ප්‍රතික්ශේප කිරීම ගැන අශ්විනී නො රිස්සුම් වී ද තිබේ. නංගී ඔහු ගේ අතින් අල්ලන්නට මාන බලත්දී ඔහු පපුවෙහි අත් දෙක බැඳගනු දැක අමාගී ව ඇය වෙත ඇදගෙන තිබේ. ඊට පස්සේ කාලය ගත විය. අමාගී ඔහු ගෙන් දුරස් වූ බව පෙනිණ. ඇය අනිත් ළමයින් සමග සතුටින් සිටියා ය. ආර්ය විවාහ විය. ඔහු ගේ බිරිඳ ආයු බිහි කළා ය. නංගී ආයු ට පණ දී ආදරය කළා ය. අශ්විනී කවදාවත් අමාගී ට වචනයකින් හෝ දොස් පවරා නැත. මහානාම පිරිමි ළමයින්ව ඇය කෙසේ ඇසුරු කළ ද අක්කා ට ගැටළුවක් නොවී ය. නමුත් ආර්ය දැන් නැවතත් තනිකඩ වී තිබේ. අමාගී ආයු ට සේ ම නැවත ආර්යට ද බැඳෙමින් සිටිනා බවක් අශ්විනී ට පේන්නට තිබේ. ඇය බිය ඒ ගැන ය.
කසුන් ගේ මිතුරෙකු ගෙනා මේ යෝජනාව නිසා අශ්විනී දැඩි සොම්නසකට පත් වූයේ එබැවිනි. මේ කිසිත් ගැන කතා කරන්නේ හෝ නැතිව ඒ අලුත් සම්බන්ධයට නංගී ව යොමු කරගන්නට හැකි වේ නම් අශ්විනී ට නිවනකි. නමුත් අමාගී එකහෙළා එකී යෝජනාව ප්‍රතික්ශේප කළා ය.
“සුදූට ඕන විදිහට තීරණ ගන්න දෙන්න බෑ තාත්ති. මේක හොඳ ප්‍රපෝසල් එකක්නෙ. පොඩ්ඩක් කතා බහ කරලවත් බලන්නැතුව මේ බැහ් ගාන්නෙ…එයාට හිතුවක්කාර වෙන්න දෙන්න බෑ. දැං මාත් ගියාට පස්සෙ එයාව ආංබාං කරගන්න තාත්තිට බැරිවෙයි. ඒක නිසා අපි මේකට කැමති කරවගමු. වීඩියෝ කෝල්ස් වලින් කතා බහ කරල… තව මාස දෙක තුනකින් ඒ ළමය ලංකාවට ආවහම තව ටිකක් ළඟින් ආශ්‍රය කරල බලන්න පුළුවන්නෙ තාත්ති. ඊට පස්සෙනෙ මැරි කරන්නෙ”
රාත්‍රියේ අමාගී ආයුව නිදි කරවන්නට ගිය අතරේ අශ්විනී දුරේශ් ගේ හිසට සිය අදහස එන්නත් කරවීමේ උත්සාහයක් දැරුවා ය.
“මේ අනුංගෙ ළමයි මත්තෙ නැහෙන්න ඕනද මෙයා… ජොබ් එකත් අතෑරිය. මේව සරල දේවල් නෙවේනෙ තාත්ති. අපි පොඩ්ඩක් මැදිහත් වෙලා මෙයාව හරි ට්‍රැක් එකට දාන්න ඕනෙ. නැත්තං ඔය කොහෙහරි යන කුණු ගොඩකට පැටළුණොත් එහෙම… තාත්ති අපි වෙනුවෙන් කරපු කැපකිරීම් වලිනුත් වැඩක් නැති වෙලා යනව”
“අපි බලමුකො ආශ් පුතා. නංගි තාම පොඩි කෙල්ලනෙ. ලොකුවට ජීවිතේ ගැන බරක් පතලක් ඇත්තෙත් නෑනෙ… ම්…”
“මේ ළමයත් එක්ක කතා කරන්න කියල කියන්න තාත්ති. ඕනවට වඩා හුරතල් කරන්නත් එපා. එයාට හොඳක් කරන්නනෙ අපි බලන්නෙ”
“හ්ම්”
දුරේශ් අශ්විනී ගේ හිස පිරිමැද කාමරයට ගියේ ය. අශ්විනී වූ කලී පොඩි කමට මුළු පවුලට ම අම්මා කෙනෙකු වූ කෙල්ල ය. නංගිලා මල්ලිලා තිදෙනා ම සමාජයේ හොඳ ම තැන් වල සැපවත් ජීවිත ගෙවනවා දැකීම ඇගේ එක ම පැතුම වේ.
“මං රට ගිය ගමං මල්ලිව එහෙට ගෙන්නගන්න එකයි මගෙ පළවෙනි බලාපොරොත්තුව”
කාලයක් තිස්සේ ම ඇය එහෙම කියයි.
“අනේ මේ මන්නං මේ රට දාල වෙන කොහෙවත් යන්නෑ ලොකූ. ඔයත් ගියාම තාත්තවයි නංගිලවයි බලාගන්න කවුද ඉන්නෙ මාත් ගියාම…”
එහැම විටෙක ම සන්දේශ් ගේ ප්‍රතිචාරය එයයි. තාත්තා හා සහෝදර කැළ බලාගෙන ඔවුන් පේන මානයේ ජීවත් වෙන්නට තිබෙනවා නම් අශ්විනී ද කැමති ය. කසුන් සමග ප්‍රේමයෙන් බැඳෙත්දී දිනෙක විදේශයක පදිංචි වීමට සිදු වනු ඇතැයි ඈ සිතුවේ ම නැත.
ලොකු දූ පමණකුදු නොව ඔහුට වැඩියෙන් ම බැඳී හිඳිනා සුදූ පවා විදේශයක පදිංචි වීම සිය මහළු හදවතට දිනෙක කෙසේ දැනෙනු ඇත්දැයි දුරේශ් පපුවේ රෝම අතරේ අතැඟිලි දුවවමින් සිතුවේ ය.
ආර්ය ට උණ හොඳ වන විට මණී වෛරසයට ගොදුරු වී සිටියා ය. ගෙදරක අම්මා දවසකට දෙකකට හෝ ඇඳට වැටුණු කල ඒ ගෙදර ම වැඩ කටයුතු ඇනහිටී. නමුත් අමාගී හැකි තරම් මණී ගෙන් සිදු වෙන මෙහෙය සපුරා තැබීමට උත්සාහ කළා ය. කවදටත් මණී ගිලන් වූ කල ඇය එසේ කරනා බැවින් අශ්විනීට වුව ඊට එරෙහි විය හැකි නොවිණ.
අමාගී උදයෙන් ම භාජන සෝදා ගෙදර අයට තේ සාදා දෙන්නී ය. ඊළඟට උදේට කන්නට බතක් තබා මොනවා හෝ පහසු ව්‍යාංජන දෙකක් තනයි. දවල් කෑම රැකියා වලට යන අය පිටතින් ගත යුතු ය. මණීට හා රුසිරු ට මල්වත්තගේ ගෙදරින් දිවා ආහාර සැපයේ. ආයු ගේ කෑම ටික අමාගී සතුටෙන් පිළියෙල කරන්නී ය. පිරිමි ළමයින් බලන්නේ ටිකක් හෝ වැඩිපුර නිදන්නටයි. නමුත් මණී මෙන් නොව අමාගී කෑ ගසා ඔවුන් අවදි කොට තේ බොන්නට දෙයි.
“මණී ආන්ටි වගේ තේ නිවුණහම මන්නං ආයි රත් කරයි කියල හිතන්නෙපා. නැගිට්ටෙ නැත්තං ගෙනත් වක්කරනව තේ එක හැමෝගෙම ඔළුවෙ”
ඇගේ හඬ ඝණ්ඨාරයක් සේ ගේ පුරා පැතිරෙයි. අනිත් අයගේ තේ කුස්සියේ තැබුවාට මණී ගේ උපුල් ගේ හා ආර්ය ගේ තේ කාමර වලට ම ගිහින් දෙන්නට ඇය උනන්දු වේ.
“අනේ තියන්න මාගි අපි ඇවිත් බොන්නං පුතේ. මේ කෙල්ල නහින නිසා ඇත්තටම ලෙඩකටවත් ඇඳට වෙලා ඉන්න මට හිතෙන්නෑ”
මණී කෙඳිරි ගාමින් අනිවාර්යෙන් එසේ කියන්නී ය.
“අනේ මේ. හොඳ වුණාම ඔයා කරගන්නකො. දැං කුස්සියෙ වැඩ කරල පුළුවන්නං ඕක වසංගතයක් වගේ බෝ කරන්න හොඳේ. ඔයාගෙ පුතාලට බෝ වුණාටනං මට කමන්නෑ. අර ආයු පැටියට එහෙම ඕව ඕන්නෑ”
එහෙම කියමින් මාගි පියගැට පෙළ නගී. බොහෝ විට ඒ වෙලාවට ආර්ය රැකියාවට යාමට සූදානම් වෙමින් හිඳී. පහළ මහලෙන් ඇගේ ගෝරනාඩු හඬ ඇසෙත්දී ඔහු තනිව ම සිනහ වෙයි. පවුලක් වශයෙන් ඔවුන් ඇයට ණයගැති යයි ඔහු ට සිතේ.
ඇගේ පියවර හඬ පියගැට පෙළෙහි නැගෙනා තුරු බලා ඉන්නා එක දැන් ආර්ය ගේ දවසේ පළමු බලාපොරොත්තුවයි. ඒ මොහොත උදා වන තුරු ඔහු සිටින්නේ නො ඉවසිල්ලෙනි. වයස දහ අටක නව යෞවනයෙකු කෙල්ලක දකිනා තුරු නො ඉවසිලිමත් වන්නා සේ ඔහු ට බලා සිටිය නො හැකි බැව් ආර්ය සිය සිතට කියා දෙයි. අමාගී වූ කලී යෞවනියකි. දරා ගත් මහ කන්දක් වන් ප්‍රේමයක් ඈ සතු බව දන්නවා වුව ද ඊට අනුබල දිය නො හැකි බවත් ඔහු දනී. මල්වත්තගේ පවුල සමගින් මහානාම පවුලේ බැඳීම කෙතරම් ප්‍රබල වී ද මෙහෙම සම්බන්ධයකට කිසිවෙකු කිසි දා එකඟ නොවනු ඇත. විශේෂයෙන් ම දුරේශ් ඇතුළු ඔහු ගේ පවුලේ අයගෙන් කිසිදු බුරුලක් බලාපොරොත්තු විය නො හැකි වනු ඇත. නමුත් මේ චමත්කාරයට දැන් ආර්ය ගේ හිත ලෝභ ය. ඇය නො ලැබෙන බවට හිතේ පැත්තක් වැඩියෙන් බර වී ද පුළුවන් තරම් දවසක් ඔහු කිසි දා විඳ නැති මේ මහඟු හැඟීමෙන් ආතුර වන්නට හිතේ අනිත් පැත්ත බල කොට සිටී.
“ශාක්‍යගෙයි පූජනගෙයි ඇඳ ළඟටත් තේ අරං යනවද…”
තේ එක අමාගී ගෙන් අතට ගන්නා ගමන් එහෙම නො අසා ඉන්නට තරම් ඊර්ෂ්‍යාව පාලනය කරගන්නට ආර්ය සමත් වූයේ නැත. අමාගී රවාගෙන ඉවත බලාගත්තා මිස ප්‍රතිචාර දක්වන්නට ගියේ නැත. ඒ කේන්තියට ඉඩ දුන්නේ වී නම් ඔහු ට බණින්නට ඇයට සිත් වනු ඇත. අනිත් අතට හිත යටින් ඕ ආර්ය ගේ ඊර්ෂ්‍යාව ගැන සතුටු වූවා ය.
“ආයු මැණික… අපි කුක්කු එක බොමුද…”
ආයු තවමත් අවදි වී නැත ද අමාගී ඔහු අවදි කරවන්නට උත්සාහ කළේ තවත් ටික වෙලාවක් කාමරයේ රැඳෙන්නට ඇයට උවමනා කළ බැවිනි.
“ළමයව ඇහැරවන්න එපා ඉතිං”
කියමින් ආර්ය ඇයට උණුහුම දැනෙනා තරම් පරතරයක් ඇතිව යහන මත හිඳ තේ උගුරක් බීවේ ය. අමාගී එද වචනයක් කතා නො කළා ය.
“හරි හරි කේන්ති ගන්න ඕන්නෑ ඉතිං”
“මොකටද කේන්ති ගන්නෙ… පොඩීයියගෙයි චූටියියගෙයි දෙන්ගෙම රූම්ස් වලට ගිහින් තේ දෙක පොවල තමයි ආවෙ”
ඇය කම්මුල් කේන්තියෙන් රතු කරගෙන ආයු ගේ හිසකේ පිරිමැද්දා ය.
“මං දන්නව ඉතිං පොඩි කාලෙ ඉඳලම මාවයි ඕනවුණේ කියල”
ඒ වචන පෙළ ඇයට ඕනවටත් වැඩි විය. අමාගී ආර්ය ගේ උරහිස සන්ධියෙහි සිය නළල ස්පර්ශ වෙන්නට ඇරියා ය. එහෙම කල්පයක් කල් සිටියත් ඇයට එපා නොවනු ඇත.
“මේ සැරේනං මට ඔයා නැති කරගන්න බෑ ලොකයියෙ”
ඒ ස්වරය රහසකට ළඟ ය. කඳුළකට බර ය.
“ඒත් සුදූ…”
“මට මොනාත් කියන්නෙපා. කසුන් අයියගෙ යාළුවෙක් මාව මැරි කරන්න අහල. ලොකූ මාව ඉංග්ලන්ඩ් වලට යවලත් ඉවරයි කියලයි හිතං ඉන්නෙ…”
“කොහොමත් දුරේශ් අංකල්…”
“මට දැනගන්න ඕනෙ ඔයාට මාව ඕනද කියල විතරයි ලොකයියෙ. ඒකට උත්තරේ ඔව්නං… ඉර හඳ තාරකා කුඩුපට්ටං කරල හරි මං ඔයා ළඟට එනව”
“ඔයා දන්නව උත්තරේ ඔව් කියල”
ආර්ය සිය මුහුණ ළඟ ම වූ ඇගේ හිස් මුදුන සිපගත්තේ ය.
“ඒත් දුරේ අංකල් එක්ක මට ඒකට ෆයිට් කරන්න බෑ කියල ඔයාට තේරෙන්න ඕන සුදූ. එයත් මං වගේම තාත්ත කෙනෙක්. අම්ම කෙනෙක් නැතුව ළමයි හතර දෙනෙක් රැකපු තාත්ත කෙනෙක්. මං කොහොමද සුදූ දුරේ අංකල් බෑ කිව්වොත්…”
“තාත්තියි ඔයයි ආයුයි තුන්දෙනාගෙන් එක්කෙනෙක්හරි නැති ජීවිතයක් දැන් මට ඕන්නෑ ලොකයියෙ”
“ඔයා දැං පහළට යන්න සුදූ මං එන්නං”
“යන්න හිතෙන්නෑ”
“කට්ටිය මොනාහරි හිතයි”
“හිතපුදෙං”
“මට මේ ලස්සන දවස් ටික ගොඩාක් දිග වෙන්නයි ඕනෙ”
“මටත්”
“ආයු නැගිට්ටහම මං අරං එන්නං. ඔයා දැන් යන්න”
ඔහු නැවත ද ඇගේ කොපුලක සිය දෙතොල් පහස තැබුවේ ය. හිස් තේ කෝප්පයත් සමග අමාගී පියගැට පෙළ බැස්සේ ලෝකයක් ජයගත් හැඟීමෙනි. ඈ ඉක්මනට උදේ කෑම මේසය සූදානම් කළා ය. ආර්ය පහළට එන තුරු සිය වතාවක් පිය ගැට පෙළ දෙස බැලුවා ය.