කෑම මේසයට වෙනස් රසක් අරන් එන Chicken and shrimp Chow Mein

අපේ පවුලේ ටිකක් විශේෂ දවසක් හෝ අවස්ථාවක් සමරන්න වගේම අමුත්තන් ආහාර සඳහා එකතු වෙන වෙලාවට හැමදාම පිළියෙළ කරන එළවළු බත්, ෆ්‍රයිඩ් රයිස්, කහ බත්, බිරියානි වෙනුවට හදාගන්න පුළුවන් රස වගේම එළවළු වලින් ලැබෙන ඉහළ පෝෂණ ගුණයත් මුසුවුනු කෑමක් ගැන රසවත් ආරංචියක් අරගෙනයි smart lady අපි අද ඔබත් එක්ක මේ එකතු වෙලා ඉන්නෙ. 

අද අපි හදන්න යන්නෙ කුකුළු මස් සහ ඉස්සන් එළවළුත් එක්ක එකතු කරල හදාගන්න Chicken and Shrimp Chow Mein කියන ජපන් ආභාෂය තියෙන නූඩ්ලස් වර්ගයක්. 

ඔබ ඉස්සො රසට කැමති නැත්තන්, ඉස්සන් වෙනුවට කුකුළු මස්ම එකතු කරගන්නත් පුළුවන්. ඒත් ඉස්සො වලින් මේ ලැබෙන වෙනස්ම රස නම් එතකොට ඔබට මඟහැරෙන නිසා ඉස්සන් එකතු කර ගැනීම වඩාත් සාර්ථකයි කියලත් අපි මුලින්ම මතක් කරන්න කැමතියි. 

එහෙනම් මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගෙන ඉමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

අඟලක පමණ දිගට කපාගත් ලූණු කොළ 60 g ක් 

ලූණු ගසේ සුදු පැහැ කඳ කොටස සහ කොළ කොටස වෙන වෙනම කපා පිළියෙල කරගන්න. 

සිහින් පෙති කපාගත් කැරට් 60 g ක් 

කැරට් අලයක් දිග අතට දෙකට පාලාගෙන එක් එක් කැබැල්ල පෙති කපාගන්න.

පැළවූ මුං බීජ 150 g ක් 

(ඔබ කැමති නම් බොක් චෝයි / bok choy, ගෝවා කොළ, කැප්සිකම් වුනත් එකතු කරගන්න පුළුවන්) 

කුඩා කොටු හැඩයට කපාගත් සුදුළූණු 10 g ක් 

කුඩා කොටු හැඩයට කපාගත් ඉඟුරු 05 g ක් 

කුඩා කොටු හැඩයට කපාගත් ඉදුණු මිරිස් 15 g ක් 

ඔබ කැමති නූඩ්ලස් වර්ගයකින් 200 g ක් 

මේ සඳහා යොදාගන්න නූඩ්ලස් වර්ගය chow mein නූඩ්ලස් ලෙස හඳුන්වනවා. ඒ නූඩ්ලස් වර්ගය සොයාගන්න ඔබට පුළුවන් නම් එය වඩාත් හොඳයි. 

මේ නූඩ්ලස් ලුණු ස්වල්පයක් දමාගත් වතුරේ තම්බාගෙන සූදානම් කරගෙන තබාගන්න. 

තල තෙල් 

අඟලක පමණ කොටු හැඩයට කපාගත් කුකුළු මස් 200 g ක් 

හොඳින් සෝදා පිරිසිදු කරගත් ඉස්සන් 100 g ක් 

ගම්මිරිස් කුඩු 

ලුණු කුඩු

මේ සඳහා කොම්බු සෝල්ට් නැමැති ලුණු කුඩු සහ කොම්බු ලෙස හඳුන්වන වියළාගත් කොළය එකට බ්ලෙන්ඩර් කර සාදාගත් විශේෂිත ලුණු වර්ගයක් ජපන් ජාතිකයන් භාවිතා කරනව. 

නමුත් ඔබට සාමාන්‍ය ලුණු කුඩු භාවිතා කරන්න පුළුවන්.  

සෝයා සෝස් මේස හැඳි 01 ක්, ඔයිස්ටර් සෝස් මේස හැඳි 01 ක්, තල තෙල් තේ හැඳි 02 ක්, සීනි මේස හැඳි ½ ක් සහ කෝන් ෆ්ලා මේස හැඳි ½ ක් කලවම් කර සාදාගත් සෝස් මිශ්‍රණයක් 

එහෙනම් අපි බලමු Chicken and Shrimp chow mein හදාගන්නෙ කොහොමද කියල.

සාදාගන්නා ආකාරය

මුලින්ම, අපි සූදානම් කරගත් කුකුළු මස් සහ ඉස්සන් භාජනයට දමා එයට ඔබේ රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු සහ සාදාගත් සෝස් මිශ්‍රණයෙන් මේස හැඳි ½ ක් එකතු කර හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න. 

ඊළඟට, භාජනයක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වූ විට කපාගත් සුදුළූණු, ඉඟුරු, ඉදුණු මිරිස් එකතු කරගන්න. 

සියල්ල හොඳින් කලවම් කර විනාඩියක් දෙකක් පමණ තබා ලූණු ගස් වල කඳ කොටස, කැරට් සහ පැළවූ මුං බීජ එකතු කර කැරට් තැම්බෙන තුරු හැඳිගාමින් මඳ වේලාවක් තබාගන්න. 

ඊළඟට, ලූණු කොළ දමා ගින්දර ඉතාම අඩුකර ලූණු කොළ තද කොළ පාටවී තැම්බෙන තුරු තබා මේ එළවළු තෙම්පරාදුව ලිපෙන් ඉවත්කර වෙනම භාජනයකට දමා ගන්න. 

දැන් ඒ භාජනයටම තෙල් තේ හැන්ඳක් පමණ දමා අපි සූදානම් කර තැබූ මස් සහ ඉස්සන් එකින් එක භාජනයේ අතුරා ගන්න. 

අවශ්‍ය නම් තව තෙල් ස්වල්පයක් එකතු කරගන්නත් පුළුවන්. 

ඊළඟට මස් සහ ඉස්සන් රන්වන් පැහැයට හුරු දුඹුරු පැහැයක් ලැබෙන සේ දෙපැත්ත හරවමින් බැඳගන්න ඕන. 

මේ විදිහට බැඳගත් මස් සහ ඉස්සනුත් උයන භාජනයෙන් ඉවත් කරල වෙනම භාජනයකට දමාගෙන පසෙකින් තබාගත යුතුයි. 

ඊළඟට, අවසාන පියවර විදිහට අපි නූඩ්ලස් පිළියෙල කරගමු. 

කලින් භාජනයටම තෙල් ස්වල්පයක් දාගෙන තෙල් රත්වෙද්දි තම්බාගත් නූඩ්ලස් ඒ භාජනයට දමා හොඳින් අතුරාගෙන භාජනයේ ගෑවෙන නූඩ්ලස් ලා දුඹුරු පැහැයක් වෙන විදිහට තරමක් බැදෙන්න දෙන්න ඕන. 

ළා දුඹුරු පැහැයට නූඩ්ලස් බැදීගෙන එද්දි තෙම්පරාදු කරගත් එළවළු, බැදගත් මස් සහ ඉස්සන් නූඩ්ලස් වලටම එකතු කරල හොඳින් කලවම් කරගත යුතුයි. 

මේත් එක්ක අපි සූදානම් කරගෙන මස් වලට දමා ඉතිරි වූ සෝස් සියල්ලත් එකතු කර නැවත හොඳින් කලවම් කර විනාඩි 02 ක් 03 ක් පමණ තබා ලිපෙන් ඉවත් කරගෙන Chicken and Shrimp Chow mein නූඩ්ලස් පිළියෙල කරගන්න ඔබට පුළුවන්. 

දැන් ඔන්න උණුසුම්වම රස බලන්නයි තියන්නෙ. 

හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles