පවුල් දෙකේ ම තාත්තලා ට හා මනමාලයාගේත් මනමාලිගේත් සොයුරන්ටත් මංගල උත්සවය සඳහා ඇඳුම් කට්ටල සැකසීමට එක ම උත්සව ඇඳුම් සැපයුම්කරුවෙකු වෙත ඇණවුම් කෙරිණ. ඉතිරි වී තිබුණේ මණී ගේ හා අමාගී ගේ සාරි මිල දී ගැනීමට ය. අම්මාගේ සාරිය ගන්නට යාම සඳහා දිනයක් වෙන් කරගන්නැයි ආර්ය මණී ට කීවේ ය.
“අනේ මටනං ඔය සාරි තෝරන වැඩේ තනියම කරන්න තේරෙන්නෑ. එහෙනං මාගිවත් එක්කගෙන යන්න ඕනෙ”
ඇය ගත් කටට ම කීවා ය. ආර්ය ගේ මුහුණ තොරණක් වාගේ එළිය විණ. කොහොමටත් අමාගී ගේ සාරිය ගෙන දීමේ ආශාවක් ආර්ය ට විය. දැන් එය වඩාත් පහසු වී තිබේ.
ඔවුන් ඒ සඳහා යොදා ගත්තේ සන්ධ්‍යා කාලයකි. ආර්ය මඳක් කල් ඇතිව කාර්යාලයෙන් ගෙදර ආවේ ය. ඔහු එන විටත් අමාගී ආයු ද සූදානම් කොට ගෙන පිටත් වීමට සැරසී සිටියා ය.
“සුදූට ඕනකරන දේවල් ඔක්කොම ගන්නකො”
කියා උදේ යන විට දුරේශ් සිය බැංකු කාඩ් පත අමාගී ට ලබා දී ගියේ ය. සාප්පු සවාරි යාමේ ගැහැනුන්ට පොදු ආශාවෙන් ඈ සිටියේ බලාපොරොත්තු සහගතවයි. මණී සමග එවැනි ගමන් යන්නට ඇය කොහොමත් කැමති ය. ඒ වෙලාවට මණී අමාගී ගේ වයසට ම එළැඹෙන බැවිනි. සාමාන්‍යයෙන් මණී ට ඇඳුමක් තෝරන්නට අමාගී යන එක කවදටත් පුරුද්දක් බැවින් අශ්විනී ට මේ ගැන වචනයක් කිව හැකි වූයේ නැත. නමුත් අද යන්නේ ආර්ය සමගින් වන නිසා ඇගේ හිතේ යම් නො සන්සුන් බවක් ද නොවූවා ම නොවේ.
“ආයුවත් අරං ගිහිං කොහොමද අනේ ඔය සාරි කඩ වල සාරි තෝරන්නෙ… ආර්යට ළමය බලාගෙන ගෙදර ඉන්න කියල ඔයා මණී ආන්ටි එක්ක කැබ් එකක් දාං යන්නකො”
හැකි පමණින් ඒ ගමන කඩාකප්පල් කිරීමේ අහිංසක උත්සාහයක් දැරුවේ එබැවිනි. නමුත් අමාගී ඒ උගුලෙන් රිංගා යන්නට තරම් උපක්‍රමශීලී වූවා ය.
“මණී ආන්ටිට ගිය ගමං එක තැනකින් සාරි එකක් තෝරගන්න පුළුවන් කියල ලොකූ හිතනවද… එයාට ස්කර්ට් බ්ලවුස් ගන්න ගියත් ශොප්ස් කීයකටනං යනවද… අනේ මට පෙටා වල එහෙම තනියම ඇවිදින්න තේරෙන්නෙත් නෑ ලොකූ. හැම තැනම පාකිනුත් නෑනෙ. ඒක නිසා මණී ආන්ටි එයාගෙ පුතෙක් එක්ක එන එක හොඳයි”
“ආයි ආයි යන්න තියාගන්න එපා එහෙනං. අද ඔක්කොම අරං ඉවර කරගන්න කියන්න”
“අපෝ මං කියල තියෙන්නෙ”
කාර්යාලයේ සිට පැමිණි ආර්ය දිය නා සැහැල්ලු ඇඳුම් වලින් සැරසී ගත්තේ ය. ඔහු රුසිරුව ද ගමන සඳහා කැඳවීම අමාගී ට ද සතුටක් විය. රුසිරු ඉන්නා විට ඇයට පාළු නැත. පොඩි කාලේ පටන් ඔවුන් දෙදෙනා එක් වූ විට එතැන මැවෙන්නේ ඝෝෂාවකි. ඒ රණ්ඩු බෙහෙවින් ආදරණීය ය. සහෝදරාත්මක ය.
රියෙහි ඉදිරි අසුනේ රුසිරු හිඳීම අශ්විනී ට සැනසිල්ලක් දැනවී ය. ආයු ගේ කරදරය නිසා අමාගී ට ආර්ය ළඟ ඉදිරි අසුනේ හිඳගන්නට වෙතැයි ඈ සිටියේ තරමක නො සන්සුන් බවක යි.
අමාගී ට නම් ඒ ගමන සදානුස්මරණීය එකකි. ආර්ය ද ඔහු ගේ පුතු ද ඔහු ගේ මව ද ඔහු ගේ බාල සොයුරා ද සමග පිටස්තර කෙනෙකුට සිටිනුයේ ඈ පමණකි. නමුත් ඇයට තමන් පිටස්තරයි කියා නො සිතෙන තරමට ඔවුන් ඇගේ ය. ඔවුන්ට ද ඇය එසේ ය. ඉස්සර නම් ආර්ය ඇයට සම්පූර්ණයෙන් දුරස්තර වී ද දැන් ඔහු ගේ ඇස් වල වන්නේ ඇගේ සම්පූර්ණ අයිතිය ගැන කතාවකි. එබැවින් හදවත් වලින් ඔවුහු එක ම ඒකකයක් වූහ. එක ම හදවතකින් විසිර ගිය කැබලි ඔවුන් හැම කෙනෙකු ගේ ම උරස් කුහර වල පර්ශු කූඩුවට යටින් වම් පසට බරව මැදට වන්නට ස්ඵන්දනය වෙමින් තිබිණ.
මණී තද පාට වලට කැමති ය. ඇය තේරූ වර්ණ ගැන අමාගී ගේ මනාපයක් වූයේ නැත. අවසන ඇය මණී වෙනුවෙන් රිදී පැහැයෙන් වැඩ දැමූ ලා දම් පැහැති සාරියක් තේරුවා ය. ආර්ය ද රුසිරු ද මනාපය දුන්නේ ඒ සාරියටයි. එබැවින් මණී ඊට එකඟතාවය පෑවා ය.
“මැඩම්ට ලස්සනට තියෙයි මේ සාරිය. ලේලි දන්නව නැන්දම්මට ලස්සන ම කලර් එක”
ඔවුන් ට සාරි තෝරන්නට උදව් කළ සාප්පු සහායකවරයා ගේ කතාවට මණී හයියෙන් සිනහ වී අමාගී ගේ බඳ වටා අත දමා ඈ ලං කොට ගත්තා ය. අමාගී ට නම් දැනුණේ පණ පිටින් අධි ශීත වූවා වන් හැඟීමකි.
“ලේලි කියන වචනෙ මෙයාට මදි. මේ මගෙ දුව”
“අනේ වාසනාවන්. මැඩම්ගෙ අලුත් ලේලිත් ඒ වගේම මැඩම්ට ආදරේ කරන්න ඕනෙ”
රුසිරු පසෙකට වී උගුරෙන් අමුතු හඬක් නිකුත් කොට සිනහ වූයේ ය. ආර්ය ඔහු ගේ බෙල්ලෙන් අල්වා ගත්තේ කිති ගැන්වී රුසිරු දෙකට නැවෙනා ලෙසයි.
“මොකද තමුසෙ…”
“මුකුත් නෑ මුකුත් නෑ”
අමාගී රුසිරු දෙස බලා “හොඳ වැඩේ” යයි කියවෙන සේ දෙතොල් සැළුවා ය.
ඊළඟට තිබුණේ අමාගී ට සාරියක් තේරීමේ අවස්ථාවයි. ඊට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ රුසිරු ය. ආයු වඩාගත් ආර්ය පසෙකට වී බලා සිටියේ ය.
“මිස්ටනං මේ ඕනම පාටක සාරියක් ලස්සනට තියෙයි”
සහායකයා ගේ චාටු බස් අමාගී නම් කනකට ගත්තේ නැත. ඇය ඇත් දළ පැහැති සාරියක් ඈ වෙනුවෙන් තෝරා ගත්තා ය. එය සුදුසු ද යන පැනය ආර්ය දෙස බැලූ ඇගේ ඇස් වල විය. ඔහු ගේ මුහුණේ වූයේ ප්‍රසාදයකි.
“මේක කොච්චර චාම් සාරියක්ද කියනවනං… බලන්නකො… මනමාලිටත් වැඩිය මිස්ව එතන කැපිල පේනව කියල මට ශුවර්. ඇන්දහම අපිටත් ෆොටෝ එකක් දාන්න මිස්”
අමාගී දුරේශ් ගේ කාඩ් පතින් මුදල් ගෙවන්නට සැරසෙත්දී ආර්ය සාරි දෙකට ම මුදල් ගෙවා තිබිණ.
“එහෙම එපා… මං මේකෙන් පේ කරන්නං ලොකයියෙ”
අමාගී බැගෑපත් වූවා ය. නමුත් ආර්ය නෑසුණා සේ සිටියේ ය.
“එහෙනං මං කාඩ් එකෙන් කෑශ් අරං දෙන්නං… සාරි එකේ අමවුන්ට් එක”
“පිස්සුද…”
ඒ වෙලාවේ නම් ඔහු ඇත්තට ම කේන්තියක් පෙන්වූයේ ය.
එන ගමන් ආර්ය ගාලු මුවදොර පිටිය අසල රිය නතර කළේ ය. ආයු ට මඳක් දුව පැන සෙල්ලම් කරන්නට ඉඩ හැරීම ඔහු ගේ බලාපොරොත්තුව විය. නමුත් මණී ට සිහි වූයේ රාත්‍රී ආහාර පිළියෙළ කිරීම ගැන ය. ගාලු මුවදොර රැඳීම නිසා ගෙදර යාමට පමා වනු ඇත. ආර්ය අම්මා ගේ හිත කල් ඇතිව ම හැඳින සිටියේ ය.
“යනකොට රෑට කෑම ගෙනියමු. අක්කට කියන්න උයන්න ඕන නෑ කියල”
කියමින් ආර්ය අමාගී වෙතට සිය දුරකතනය පෑවේ අශ්විනීට අංකනය කොට ය. අමාගී ගේ ඇස් ලොකු විය. නමුත් යමක් සිතන්නටත් පෙර එහා ඉමෙන් අශ්විනී “හෙලෝ” කීවා ය.
“කියන්න ආර්ය”
“ලොකූ මේ මං. ලොකයිය කිව්ව උයන්නෙපා කියල. කෑම ගේනව”
අශ්විනී ‘හ්ම්’ කීවා විතර ය. ඒ ද කැමැත්කින් නොවේ. “ආර්යගෙ ෆෝන් එකෙන් ගන්න ඕනයැ… සුදූගෙ ෆෝන් එක තියෙද්දි” යන නො රිස්සුම් සිතිවිල්ල ඈ තුළ පැතිර යන්නට විය.
සන්ධ්‍යාවත් රාත්‍රියත් එකට ගැටෙනා මොහොතේ දී ගාලු මුවදොර වූ කලී සදෙව් ලොවට යන පාරේ අතරමැද තැනක් වාගේ ය. ඉදිරියෙන් රැලි බිඳෙනා සයුර ද ඈතින් හිරු මිය ගිය අඹර ද අවටින් දැල්වෙන විදුලි බුබුළු ද සැඳෑ සුළඟ හා හීන් අඳුර ද එක් වූ විට මැවෙනා චමත්කාරය නිර්වචනය කළ හැකි වචන ශබ්ධ කෝෂ තුළ අන්තර්ගත නොවේ. ඔවුහු මඳ වෙලාවක් ගල් බැම්මක වාඩි වී ඒ මනරම් මොහොත සමග ඒකාත්මික වෙමින් සිටියහ. ආයු අවකාශයෙහි ඔබ මොබ සැරුවේ ය.
“මේ වයිබ් එක මාරයි නේ මාගි…”
රුසිරු නිහඬතාව බිඳ දැමුවේ ය.
“හ්ම්. කතා නොකර හිටියොත්නං අහසෙ පාවෙනව වගේ මූඩ් එකකට එන්න පුළුවන්”
ආයු මඳක් එපිටට ඇවිද ගියෙන් අමාගී නැගිට ඔහු දෙසට ගමන් කළා ය.
“ඉස්සො වඩයක්වත් කමු නේ…”
කියමින් රුසිරු නැගිටගත්තේ ය.
“අනේ ලොකු පුතා පොඩ්ඩක් බලන්න දරුව ඈතට යයි”
ආයු සිනහ වෙමින් ද හැරී බලමින් ද පිට්ටනියේ ඈතට දුවමින් සිටියේ ය. අමාගී ඔහු පසුපස වූවා ය. ආර්ය ඉක්මන් අඩි තබා ඔවුන් දෙදෙනා වෙතට ලං වූයේ ය.
“තාත්ති බලයි ලොකයිය ඇයි සාරි එකට පේ කළේ කියල”
අමාගි ගේ බිය තැවරි මුදු හඬ ගොඩ සුළඟ මුහුද දෙසට ගෙන ගියේ ය. දෑත් කලිසම් සාක්කු වල ඔබාගෙන ඔහු ඈ ළඟින් පිය තැබුවේ සංසාරයක් තිස්සේ එහෙම ආ ගිය හුරු පුරුද්දකින් මෙනි. අමාගී ආයු ගේ අතින් අල්වාගෙන සිටි අතර ඒ දිගේලි සීමාව තුළ ඔහු ප්‍රීතිය හා නිදහස උපරිමයෙන් භුක්ති වින්දේ ය.
“ඒ ප්‍රශ්නෙත් ඉවර කරල දාමුකො එහෙනං”
අමාගී වහා හිස නගා ආර්ය දෙස බැලුවා ය.
“ඒ කිව්වෙ…”
“කියන්න ඉතිං මං ගෙව්ව කියල”
ඔහු හරි පිළිතුරක් දුන්නේ නැත. පපුවට දැනුණේ සැහැල්ලුවක් ද බරක් ද කියා වෙන් කොට හැඳින ගන්නට ඇයට වැටහුණේ නැත. තවත් ටික වෙලාවක් ආයු ට ඒ නිදහසේ සැරිසරන්නට ඉඩ හළ ඔවුන් යළි රියට නැගෙත්දී අඳුර දැඩි වී තිබිණ. කෑම ගැනීමෙන් පස්සේ ආර්ය සුපිරි වෙළෙඳ සැලක් ළඟ රිය නතර කොට රුසිරු සමග එහි ගොස් බීර කෑන් ටිකක් මිල දී ගත්තේ ය. අමාගී ට අර පපුවේ අමුතු සීරුම ආයේ ම දැනිණ.
විවාහ උත්සවයේ කටයුතු නිසා හැම කෙනෙකුට ම විඩාබර බවක් විය. එහෙම වෙලාවක උයන්නේ නැතිව ඉන්නට හැකිය කියන්නේ ගැහැනු හිත් වලට නිම් නැති සැනසිල්ලකි. මහානාම ගෙදර කෑම මේසය මත කෑම සූදානම් විය. මල්වත්තගේ ගෙදර සේපාලිකා ගහ යට බංකුව කේන්ද්‍ර කරගෙන බීර සාදය සූදානම් කෙරිණ. බංකුව අයිති තාත්තලා දෙන්නාට ය. අයියලා මල්ලිලා වෙනුවෙන් සන්දේශ් විගස ප්ලාස්ටික් පුටු දමා අනිත් පසින් තැනක් පිළියෙළ කළේ ය. තරුණයන් කණ්ඩායමත් පියවරුන් දෙදෙනාත් අතරේ ආර්ය විටින් විට සක්මන් කළේ කුරුල්ලෙකු මෙනි. නමුත් ඒ කුරුලු හදවතේ සිතු සේ පියාසර කළ නො හැකි බරක් පැටවී තිබිණ. ඔහු මාන බැලුවේ ඒ බරෙන් කොහොම නිදහස් වෙන්න ද කියා හරියට ම සිතාගත නො හැකිව ය. නමුත් කෙසේ හෝ අද ඒ කළ යුතු බව ඔහු ඉඳුරා විශ්වාස කළේ ය.