නිදන්නට යහන් වලට ගොඩ වූවාට ඒ රාත්‍රියෙහි කිසිවෙකුට නින්දක් නම් වූයේ නැත. අමාගී ඇස් තද කොට පියාගෙන බිත්තියට මූණ ඔබාන නිදි සේ සිටියා ය. තවමත් අශ්විනී ආර්ය ගේ යෝජනාව ගැන දන්නේ නැත. ඇතැම් විට තාත්තා මේ ගැන අක්කා ට දැනගන්නට ඉඩ නො තබනු ඇතැයි ඇයට සිතේ. අඩු තරමින් ඇගේ විවාහ උත්සවය අවසාන වන තුරු හෝ තාත්තා එය රහසක් සේ රැක ගනු ඇත. සාන්වී දැනටමත් ශාක්‍ය වෙතින් ඒ බව දැන සිටිය ද අක්කා ට කිසිවක් දැනෙන්නට නො හැරියා ය. ඈ හුස්ම ගත්තේත් වෙනසක් ඉව වැටේවියි බියෙනි. අනිත් අතට මේ ප්‍රශ්නයට කෙසේ මුහුණ දෙන්නදැයි ඇයට වැටහෙන්නේ නැත. නංගී ගෙදර බඩපිස්සී ය. හැම දෙනාගේ හුරතලය මැද හැදුණ බෝනික්කිය ය. ඔවුන් හැම කෙනෙකු ම මුලින් ම, තමන්ටත් කලින් සතුටු කරවන්නට සිතුවේ ඇයවයි. එහෙව් සුරතලිය විවාහක පුරුෂයෙකු ගේ දෙවන බිරිඳ වීම ගැන සිතත්දීත් සාන්වි ගේ සිරුර හිරිගැන්වී යයි.
“ඒක ඊයෙ පෙරේද ඇති වෙච්ච ආදරයක් නෙවෙයි. අයිය මාගිව නොදැක්කට මාගි අයියට ආදරේ කළේ පොඩි කෙල්ලෙක් කාලෙ ඉඳන්”
මීට මඳ වෙලාවකට පෙර ශාක්‍ය පැවසූ ඒ වදන් සාන්වී ගේ සවන් තුල පිළිරැව් දෙයි. එක අතකට ඇය ද මීට පෙර වෙනත් තරුණයෙකු සමග ප්‍රේමයෙන් බැඳී සිටියා ය. ඒ සම්බන්ධය අසාර්ථක වී බිඳී ගිය කල මහානාම පවුලේ පුතෙක් දෑත පා ඇයට නැගී සිටින්නට වාරුවක් වූයේ ය. ඉතින් ඒ මහානාම පවුලේ පුතෙකු ඒ තත්වයට පත් වූ කල ඇගේ සොයුරියක ඒ පරිත්‍යාගය කරන්නට පෙරමුණ ගැනීම වරදක් වන්නේ කෙසේ ද? වරද තියෙන්නේ ආර්ය මීට පෙර විවාහකයෙකු වීම තුළ ද? සාන්වී දුලාජ් සමග විවාපත් ව හිඳ මේ තත්වයට පත් වී නම් ඇයට අවිවාහක ශාක්‍ය හා විවාහ වීම අකැප වන්නේ ද?
දුරේශ් සිටියේ පඹ ගාලක පැටලීගෙන යි. කොතැනින් ඒ වියවුල ලිහාගන්න ද කියා ඔහු නො දැන සිටියේ ය. ආර්ය වූ කලී නරකයෙකු නොවන බව ඔහු ඉඳුරා දනී. සැබවින් මහානාම පවුලේ සංවර ම පිරිමි ළමයා ඔහු වේ. එසේ ම මල්වත්තගේ පවුලේ දියමන්තිය අමාගී ය. තාත්තා වන ඔහු ට දරුවන් සියලු දෙනා සම වී ද ඈ කෙරේ ඔහු ම නො දන්නා විශේෂ කොනක් හදවතේ වෙයි. අනිත් සහෝදරයන් ට ද එසේ ය.
අමාගී මහානාම ගෙදරට යන එන එක අද ඊයේක පටන් සිදු වූවක් නොවේ. ඒ ගෙදර පිරිමි ළමයින් ම සිව් දෙනෙකු සිටියදීත් එය නවතන්නට කිසි දා දුරේශ් ට ඕනෑ වූයේ නැත. ආර්ය ගේ බිරිඳ ගෙදරින් පලා ගිය පසුත් අමාගී නිතර එහි ගියා ආවා ය. ආයු වෙනුවෙන් විශේෂිත මව්වත්කමක් ද පෑවා ය. ඒ ඇසුර නවත්වන්නට ඕනෑ වූවා නම් මුලදී ම එසේ කළ හැකිව තිබිණ. නමුත් දුරේශ් එවන් නීතියක් පැනවූයේ නැත. ගින්දර ට පුළුන් ලං කළ කල ඇවිලෙන බව ඔහු නො දන්නවා නොවේ. දැන දැනත් ඔහු ඒ වැළැක්වීමේ විශේෂ උත්සාහයක් නො ත්තේ ය.
අනිත් අතට දුරේශ් තුළ ආර්ය කෙරේ විශේෂ සැලකිල්ලක් වන්නේ ඔහු කුඩා කල පටන් ය. ඒ පවුලේ සංවර දරුවා ඔහු යි. හැදෙන ගසක රුව ගුණ, ආර්ය කුඩා කොලුවෙකු කල දුරේශ් දෙපෙත්තෙන් දැක හැඳින සිටියේ ය. ඔහු අපූරු තරුණයෙකු ලෙස දැන උගත්කම් වලින් ද වැදගත්කම් වලින් ද අනූනව වැඩෙත්දී දුරේශ් ආශාවෙන් බලා සිටියේ ය. ඔහු හා අශ්විනී ආසන්න වයස් වල ළමයින් වූයෙන් දිනෙක ඔවුන් දෙදෙන පෙම්වතුන් වනු ඇතැයි ඒ කාලේ මණී විහිළු කරයි. එතකොට දුරේශ් ගේ මුහුණේ මැවෙනුයේ මන්දහාසයකි. එහෙම වෙනවා නම් පියෙකු වශයෙන් ඔහු බෝ කැමැත්තෙන් සිටියේ ය. නමුත් ආර්ය සිය කාර්යාලයෙහි යුවතියක විවාහ කරගත්තේ ය. ඊට පස්සේ අශ්විනී ද රැකියා ස්ථානයෙහි තරුණයෙකු වන කසුන් සමග විවාහ ගිවිස ගත්තා ය. පවුල් දෙකට එක් වන්නට ඕනේ නම් තව ගෑනු ළමයින් දෙදෙනෙකු ද පිරිමි ළමයින් ද සිටිති. ඒ නිසා ඔවුන්ට බලාපොරොත්තු නැති කරන්නට හේතුවක් නැත. සාන්වී වෙනුවෙන් ශාක්‍ය විසින් පමා වී හෝ විවාහ යෝජනාවක් ගෙන ආ වෙලාවේ ඔවුන් ගේ සතුට පරිපූර්ණ වූ බව දුරේශ් ට දැනිණ. අම්මා කෙනෙකු නැති දරුවන් සිව් දෙනෙකු ඇති දැඩි කරත්දී මහානාම පවුල ඔහුට යෝධ ශක්තියක් විය. ඒ හයිය ජීවිත කාලයට ම පවතින්නට යාම හිතට ස්ථාවර බවක් දනවයි.
ආයු කෙරේ අමාගී ගේ බැඳීම දිනෙක මෙසේ කෙළවර වනු ඇතැයි හිතන්නට බැරි තරම් දුරේශ් කුඩා දරුවෙකු නොවුණේ ය. ඕනේ නම් මුලදී ම එවැන්නක් වළක්වාගන්නට ඔහු ට හැකියාව තිබුණා නොවේ ද? නමුත් සැබවින් ම අද වුව දුරේශ් ආර්ය ට නො කැමති ද?
පසුගිය දින වල අමාගී ආයු ට බැඳීම ගැන අශ්විනී වක්‍රාකාරයෙන් පරල වූයේ ද ආර්ය නිසාවෙන් බව දුරේශ් නො දන්නවා නොවේ. අශ්විනී අමාගී වෙනුවෙන් කසුන් ලවා කෙනෙකු සෙවූ බව ද ඔහු ට නො රහසකි. අමාගී ට ආර්ය වන් දික්කසාද පුරුෂයෙකු ගේ පතිණිය වන්නට හරිනා අදහසක් අශ්විනී ට නැත. පුංචි කෙල්ල අනුන්ගේ දරුවෙකු ගේ අම්මා වෙනවා දකින්නට ඇයට ඕනේ නැත. ඉතින් දුරේශ් ඒ මව්වත් හදවත සිඳ බිඳ දමන්නේ කෙසේ ද? ආර්ය වූ කලී ඔහු ට කිරි හින්දා විසි කරන්නටත් බැරි උණු හින්දා බොන්නටත් බැරි හැඟීමක් නො වන්නේ ද?
සමහර දේවල් දරා ගත නො හැකි සේ දැනෙන්නේ උණුහුම් පිට ය. නමුත් මඳක් කල් ගත වන විට, හෙමි හෙමිහිට නිවී ඒවා සාමාන්‍ය තත්වයට පත් වේ. ඒ සඳහා කාලය අවැසි වනු ඇත. එකී කාලය අමාගී ගේ හිත හෝ අශ්විනී ගේ හිත හදන්නට බැරිත් නැත. සියල්ලට පෙර විවාහයන් දෙකක බර හිසෙන් බිම තැබිය යුතුව තිබේ.
“මල්ලි… ඇයි…”
අශ්විනී කාමරයේ දොර හැරගෙන ආලින්දයට එබුණේ ටික වෙලාවක පටන් දැනෙමින් තිබි සන්දේශ් ගේ පියවර හඬ හින්දා ය. කිසිවෙකුට නෑසෙන තරමට ඔහු හෙමින් සක්මන් කළ ද අශ්විනී ට එය ඇසී තිබේ.
“නිකං. නින්ද ගියෙ නෑ”
ඔහු මඳහසකින් කීවේ ය.
“එහෙනං තේ එකක් හදල දෙන්නද…”
“එපා ලොකූ ඔන්නෑ”
කියා ඔහු කියත්දීත් අශ්විනී මුළුතැන්ගේ දෙසට ගියා ය.
යහනේ වැතිරී සිටියාට සන්දේශ් ගේ අත පොවන මානයක නින්ද වූයේ නැත. එය තනිකර ම ගින්දරක් වාගේ ය. ඔහු ගින්නකින් දැවුණා වාගේ ය. සුදු නංගී ව ආර්ය ට දෙන්නේ කෙසේ ද? නමුත් හැන්දෑවේ ඔහු තාත්තා ට කරුණු දක්වත්දී අමාගී ගේ මුහුණේ සන්දේශ් දුටුවේ සිඳලිය නො හැකි ප්‍රේමයකි.
“ආර්යයි සුදූයි අතරෙ සම්බන්දයක් තියනවලු”
හිස බිමට නමාගෙන, ඉතාමත් හෙමිහිට සන්දේශ් එසේ මුමුණත්දී අශ්විනී ගේ දෑස් විසල් විය. තත්පරයක් දෙකක් ඇය සිටියේ ඒ ඇහුණේ ඇත්තක් ද බොරුවක් ද කියා නිශ්චය කරගත නො හැකි සීමාවක ය. ඊළඟ නිමේශයේ ඇය මුළුතැන්ගේ පුටුවක් මතට ඇද වැටුණා ය.
“එහෙනං ඒක වුණා…”
ඈ සිය දෝතෙහි මුහුණ හොවාගෙන මඳ වේලාවකින් දෑත් වලින් හිස කේ පිටුපසට ඇද ගත්තා ය.
“මං බයේ හිටපු දේ… මං සැක කරපු දේ… මං වළක්වන්න උත්සාහ කරපු දේ වුණා. හැබැයි මං ඒක වෙන්න දෙන්නෑ මල්ලි”
කඳුළක් ඇස් වලින් විසි වී ගියත් අශ්විනී ගේ ස්වරයේ වූයේ දැඩි බවකි. ඇගේ ඇස් මත ගිනිමැළයක උණුහුම විය.
“සුදූ කියන්නෙ අපේ ගෙදර චූටිම කෙල්ල. ආර්ය හොඳ එකා තමයි. ඒත් අපේ පොඩි එකීව බැඳල ළමයෙකුත් ඉන්න එකෙක්ට දෙන්න මටත් හිත හදාගන්න බෑ. ඒත් ලොකූ… සුදූගෙ ඇස් වල තිබුණෙ එක හිතින්ම ආර්ය ඕනෙ වගේ හැඟීමක්. සුදූව කන්ට්‍රෝල් කරගන්න පුළුවන් වෙයි කියල මං හිතන්නෑ ලොකූ”
“කාට ඕනෙ වුණත් මං ඒක වෙන්න දෙන්නෑ”
අශ්විනී මේසයට ගැසූ පාරට ඒ මත වූ බෙලෙක් පිඟානක් පෙරළී ගොස් බිම වැටී මහ හඬක් නැගුවේ ය. ඒ හඬින් තිගැස්සී දුරේශ් හා අමාගී ද සාන්වී ද එකවර යහන් වලින් බිමට පැනගත්හ.
“උඹත් මේවට වගකියන්න ඕනෙ. උඹ ඒ ගෑනිව අරං ගිහිං ඒ පවුල කැඩුණ නිසා තමයි අපේ එකීගෙ හිතේ පොඩිකාලෙ ඉඳං තිබුණ උවමනාවට ආයෙ තටු ආවෙ. නැත්තං මේකි පාඩුවෙ හිටියනෙ. ඒ කාලෙ ආර්ය මෙයා දිහා බැලුවෙවත් නැති නිසානෙ එයා නිධීව බැන්දෙ. මේ හැමදේම උඹ නිසා. මං මේ බොහොම හොඳින් කියන්නෙ මල්ලී. මේක විසඳපං. ආර්ය කොච්චර හොඳ මිනිහෙක් වුණත් දැන් එයාට දෙන්න ගෑනු මෙහෙ නෑ. උඹ ඒක එයාට කියපං”
“මොකද මොකද මේ…”
දුරේශ් කුස්සිය දොරකඩට විත් එසේ විමසන විට ය අශ්විනී පියවි සිහියට එළඹියේ. සාන්වී හා අමාගී තාත්තා ට පිටුපස සිට අක්කා දෙස බලා සිටියහ. ඇය දෙස බලන්නට බිය හිතෙනා තරම ය. කොණ්ඩය අවුල් වි ඇස් රතු වී බැල්ම වියරු වැටී තිබිණ. ඇය කෑගෑවේ ද සිය පාලනයෙන් තොරවයි.
“මොකද මේ රෑ ජාමෙ කෑගහන්නෙ… අහල පහළටත් සද්ද ඇහෙයි”
“ඇහෙද්දෙන් තාත්ති… ඇහෙද්දෙන්. ඇහෙන එක හොඳයි. තාත්ති හරියට උත්තරයක් දුන්නෙ නෑනෙ. ඇහුණාම ඒගොල්ලො බලාපොරොත්තු තියාගන්න එකක් නෑනෙ. ඉතිං ඇහෙද්දෙන්”
“ආශ් පුතා… මොකද්ද මේ හැසිරෙන විදිහ… මං ඕගොල්ලොන්ට ඉගැන්නුවෙ ප්‍රශ්නෙකදි මේ විදිහට හැසිරෙන්න කියලද… නූගත් මෝඩ ගෑනු වගේ…”
“තාත්ති…සුදූව ආර්යට දෙන්න බෑ නියන්න තාත්ති. අනේ සුදූ චූටි කෙල්ලෙක්නෙ තාත්ති. අපි එයාව මලක් වගේ හැදුවෙ අනුංගෙ ළමයින්ට ආයා වෙන්න නෙවෙයිනෙ තාත්ති. ඒක නිසා බෑ කියන්න. අපිට සුදූව කොච්චර හොඳ කොල්ලෙක්ට දෙන්න පුළුවන්ද…”
අශ්විනී ගේ ඇස් වලින් වියරු ලෙස කඳුලු ගලා ගියේ ය. ඇය වෙතින් දිස් වූයේ උන්මන්තක පෙනුමකි. බිත්තියට පිට දීගෙන සිටි අමාගී ඔහේ හිටියාට ඇගේ දෑස් කඳුලු උතුරවමින් තිබිණ. සාන්වී නැගණියගේ අත් ගොබය පිරිමදිමින් ඈ සනසවමින් සිටියා ය.
“ළමයො… ඔය විදිහට කලබල වෙලා ප්‍රශ්න විසඳන්න බෑ. මං දන්නව මේක ඔයාට ටිකක් දරාගන්න අමාරුයි කියල”
“ටිකක් නෙවේ තාත්ති. ගොඩක්. ආර්ය හරි කපටියි. එයා ඉස්සර සුදූව ගණං ගත්තද… ඕගොල්ලො දන්නැති වුණාට මං දන්නව මෙයා හිටියෙ ආර්ය ගැන කැමැත්තෙන් කියල. ඒ වුණාට එයා මොකද්ද කළේ… ඔෆිස් එකෙන් ලොකු නෝනා කෙනෙක්වනෙ බැන්දෙ. දැං මේ ගහෙං ගෙඩි එන්න වගේ මෙයා ගැන ඇති වෙච්ච ආදරේ මොකද්ද… කපටිකම තනිකර. දැන් එයාට ඕනෙ ළමය බලාගන්න නැනී කෙනෙක්. මේ එළදෙන ළමයි දැකල නෑ වගේ ඒ ළමයට මැරෙන්න යනවනෙ. එයා හදන්නෙ ඒකෙන් ප්‍රයෝජනේ ගන්න”
“නෑ. එහෙමනං නෑ”
ඒ හඬ නැගුණේ කොහෙන්දැයි කිසිවෙකුට එකවර සිතාගන්නට පවා නො හැකි විණි. නමුත් ඒ හඬ අමාගී ගේ ය. ඉකිබිඳුමක් අතරින් ඈ එසේ කීවේ පහළ ස්වරයකින් වී ද දැඩිව ය.
“ලොකයිය මගෙන් ආයුට නැනී කෙනෙක් හොයන්නෑ කියන එක මං හොඳට දන්නව. ලොකූ ඔයා මට ආදරෙයි තමයි. අම්ම වගේ මාව හදාගත්තෙ ඔයා තමයි. ඒත් එහෙමයි කියල ඔයාට ඕන කෙනෙක් බඳින්න මං කීයටවත් කැමති වෙන්නෑ. හරි. ඔයා ලොකයියට මාව දෙන්න බෑ කියනවනං කමන්නෑ. මං ඔයා වෙනුවෙන් හිත හදාගෙන මෙහෙම ඉන්නං. හැබැයි මට එක එක්කෙනාව ප්‍රපෝස් කරන්න හදන්නෙපා. ලොකයිය මිසක් මං වෙන කිසි කෙනෙක්ව බඳින්නෑ”
ස්ථිර ලෙස එසේ ප්‍රකාශ කළ අමාගී ආපසු හැරී කාමරය වෙත දිව ගියා ය. අශ්විනී දෑස් විසල් කරගෙන බලා සිටියා ය. නංගී ඇයට මේ විදිහට හිතුවක්කාර වෙතැයි අක්කා ට සිතා ගත නො හැකි ය. වතුර කේතලය උතුරමින් තිබිණ. සන්දේශ් ගෑස් ලිප නිවා දැමුවේ ය.
“තේ ටිකක් හදන්න ආශ් පුතා”
කියමින් දුරේශ් දොර හැරගෙන බරාඳයට ගියේ ය.