සාන්වී හා ශාක්‍ය ගේ පැමිණීම මහානාම හා මල්වත්තගේ පවුල් දෙකට ම අදිසි සතුටක් ගෙන ආවේ ය. දෙවන ගමනක් නොවූයෙන් ශාක්‍ය ගේ අදහස වී තිබුණේ ටික දිනක් නිදහසේ ඇවිදිමින් ද ලස්සන නවාතැන් වල නතර වෙමින් ද හිඳ සාන්වී ව සතුටෙන් තැබීමටයි. නමුත් එක රැයක් ගෙදරින් පිටත ගෙවූ ගමන් ඇය ගෙදර මතක් වී ඇසට කඳුලක් නගා ගත්තා ය. ගෑනු නම් පුදුමයි කියා ඒ වෙලාවේ ඔහු ට සිතිණ.
“මදැයි සතියක් හමාරක් හනිමූන් ඉන්න ගියා”
ශාක්‍ය ආර්ය ට පමණක් ඇසෙන සේ පැත්තකට ගොස් කීවේ අඩ සිනහවකිනි. ආර්ය ඒ ලොකුවට ගත්තේ නැත.
“තමුසෙ කෙල්ලව එක්කං ආපු එක හොඳයි. ගෙදරත් එක්ක ලොකු බැඳීමකින් එක පොකුරක් වගේ හැදිච්ච එවුන්නෙ. එහෙම එක පාරටම ගෙදරින් ඈත් වෙන්න බෑ”
“නෑ මං එහෙම ඈත් වෙන්න ඕන කිව්ව නෙවෙයි”
“දැන් සාන්විට තමුසෙ ගැන අලුත් විශ්වාසයක් බැඳීමක් ඇති වෙයි. මොනා වුණත් මූ මං ගැන හිතනවනෙ මාව සතුටෙන් තියන්න ඕන කියල හිතනවනෙ කියල”
“ගෑනු තේරුං ගන්නව කියන්නෙත් මාර ගේමක් නේද ඕයි…”
“තමුසෙ සතුටු වෙනව. මොනා වුණත් දුරේ අංකල්ගෙ කෙල්ලො කට්ට කෛරාටික වෙට්ට පිත්තල අම්මණ්ඩිල නෙවෙයි. දැක්කනෙ නිධී කරපු දේ…”
ආර්ය කේටරින් ආයතනයකට ඇනවුම් කොට පවුල් දෙකට ම කෑම ගෙන්වූයේ ය. හදිසියේ ඔවුන් අතරේ අලුතෙන් ම බැඳීම් දැඩි වූවා සේ ය. කවුරුත් සිටියේ සතුටෙනි. නමුත් මල්වත්තගේලාට වරින් වර අශ්විනී මතක් වී සංකාවක් දැනුණා කීවොත් මුසාවක් නොවේ.
“ලොකූත් හිටියනං”
කියා අමාගී ට කිහිප වරක් ම කියවිණ.
“ලොකූල ඉන්නෙ කැන්ඩි වලනෙ මාගි. එක පාරටම එන්නත් බෑනෙ. ඔහොම ටිකක් නිදහසේ ඉඳල එයි”
ශාක්‍ය ඇගේ හිත හැදුවේ ය. නමුත් දුරේශ් ගේ පපුවට යම් බරක් දැනෙමින් තිබිණ. ඒ කාටවත් කියාගත නො හැකි හැඟීමකි. ඔහුටවත් පදරුත් පසිඳගත නො හැකි සංවේදනයකි.
සතුටු සාමීචී කතා වලින් ද රාත්‍රී භෝජනයෙන් ද පසු මල්වත්ගේ ලා නික්ම යන්නට සූදානම් වූහ. ඊට පෙර අමාගී මතු මහලේ ආර්ය ගේ කාමරය නව යුවළ වෙනුවෙන් අලුත් ඇඳ ඇතිරිලි ආදිය දමා සැකසුවා ය. ඒ සමගින් ම ශාක්‍ය ගේ ඇඳ ආර්ය හා ආයු වෙනුවෙන් සකසා තැබුවා ය.
“අපේ ඇඳේ මං තනියෙං ඉන්නකොට ඊයෙ රෑ මාව මැරෙන්න ගියා පොඩී. ඊට පස්සෙ මං තාත්ති ළඟ නිදියගත්තෙ”
“ලොකූ සතුටෙන් ඇති කියල හිතමු සුදූ…අපිට ඕන වෙලාවට දුවං එන්න දැන් ඉතිං එයාට බෑනෙ. ඔයා අනං මනං හිතන්නැතුව නිදියන්න. මං ඉන්නවනෙ දැං”
“ඔයා ආපු එක මට හයියක් පොඩී. ඇත්තටම මං හරි අමාරුවෙන් හිටියෙ. ඒක දරාගන්න මාර අමාරුයි”
සමු ගන්නට පෙර උනුන් වැලඳ සිටි අක්ක නගෝ රහස් කොඳුරාගත්හ. කිසිවෙක් ඒ ගැන විමසිලි කරන්නට නොගියහ. ඒ රාත්‍රිය සාමකාමී ව ගෙවන්නට තරම් අමාගී සන්සුන් වී සිටියා ය. විශේෂයෙන් ම ඍජු කතාබහක නොයෙදී ද ආර්ය ළඟින් ටික වෙලාවක් හෝ රැඳෙන්නට හැකි වීම නිසා ඇය ඇතුළාන්තයෙන් පවා මඳක් නිශ්චල වී සිටියා ය.
ගෙදර යන්නට කළ යෝජනාව කසුන් විසින් ප්‍රතික්ශේප කරනු ලැබීම නිසා අශ්විනී සිටියේ කැළඹීමක ය. සැබවින් ම ඇය අපේක්ෂා භංගත්වයකට පත් වූවා ය. ගෙදරත් එක්ක, පවුලත් එක්ක තිබූ පෙකණිවැල් බැඳීම විවාහයත් සමග ඒ තරම් ඉක්මනින් සිඳ බිඳ දමන්නට සිදු වනු ඇතැයි අදහාගන්නට පවා ඇයට අපහසු විණි.
“ඉතිං දැං බුම්මගෙන ඉන්න එපා ඒකට. ඔයා ටිකක් තේරුං ගන්න බලන්න ආශ්”
කසුන් ඇය වෙත සමීප වූයේ අශ්විනී ගේ නාසය පවා බුරුල් වී ඇති බව දැනුණාට පසුයි.
“ඔයා ගෙදරත් එක්ක තියන බැඳීම හුඟක් ලොකු එකක් කියල මං දන්නව. දැං ඔයා හිතන්නෙපා මං මහ නරුම මිනිහෙක් කියල. එහෙම නෑ. එකක්… මේ අපේ හනිමූන් එක. ආයෙ කවදාවත් අපිට මේ වගේ දවස් ටිකක් එන්නෑ. අනිත් එක ඔයා දැං බැඳල වෙනම අලුත් පවුලක් හදන්න ගිය කෙල්ලෙක් කියල හිතන්න. ඉස්සර තරංම දැං ගෙදර එක්ක බැඳිල ඉන්න බෑ. මොකද ඔයා මං ගැනත් බලන්නෝනෙ. නංගිල මල්ලිල ගැන මෙච්චරකල් ඕනවටත් වැඩිය බැලුවනෙ. දැං ඒගොල්ලො තම තමන් ගැන බලාගනී. ඒගොල්ලො පොඩි ළමයි නෙවේනෙ. ඔයා ඒගොල්ලොන්ගෙ ජීවිත වලට අනවශ්‍ය විදිහට බලපෑම් කරන එකත් නවත්තන්න. සුදූ ට ආර්යව බඳින්න ඕන කියනවනං ඔයා ඒක මැද්දට පනින්න හදන්නෙපා. ඒව තාත්ත බලාගනී. දැං ඔයා ප්‍රයෝරිටි දෙන්න ඕනෙ අපි දෙන්නගෙ පවුලට”
අශ්විනී වචනයක් හෝ කීවේ නැත. කසුන් අදහස් කරන දේ සැබෑවක් විය හැකි ය. නමුත් විවාහයෙන් පසුවත් පවුලත් එක්ක තිබූ බැඳීම් එලෙස ම පවත්වා ගැනීම ඇගේ බලාපොරොත්තුව විය. කොහොමටත් ගෙදර පමණකුදු නොව රටත් අතැර ඔහු සමගින් විදේශගත වීමට ඇය හිත හදාගෙන සිටියා ය. නමුත් කසුන් ඒ ගැන මේ තරම් අසංවේදී වනු ඇතැයි ඈ සිතුවේ නැත.
සාන්වී ලා පැමිණි පසු පවුල් දෙකේ අය එකට හිඳ ගත් ඡායාරූප කිහිපයක් අමාගී අශ්විනී ට එවා තිබිණ. ඒවායේ ඔවුන් හැම කෙනෙකු ම සිටිනුයේ කෙතරම් නම් සතුටෙන් ද? නමුත් කසුන් ට එහෙම සිය පවුල සමගින් මුහු විය නො හැකි බැව් අශ්විනී ට වැටහෙමින් තිබේ. ඔහු ඇයට ප්‍රේම කරන බව ඇත්ත ය. ඔහු ඇයව ඉතා හොඳින් රැක බලා ගනු ද ඇත. නමුත් ඒ ඇය ව විතර ය. ඔහු ගේ ලෝකයේ ඇගේ පවුලේ අයට විශේෂ ස්ථානයක් නොමැත. ඔහු ගේ හිතේ ඔවුන් ගැන විශේෂ බැඳීමක් හෝ හැඟීමක් නැත.
“නංගිල දෙන්නත් මැරි කරල ගියාට පස්සෙ තාත්ති තනි වෙනව. මල්ලි බඳින ගෑනු ළමය තාත්තිට කොහොම සලකයිද කියල කියන්න බෑනෙ”
වතාවක් ඈ කසුන් ට එසේ කීවේ සහෝදරියන් ගේ කටයුතු පිළිවෙළ වූ පසු තාත්තාව ඔවුන් වෙතට ගෙන්වා ගැනීමේ අදහස යටි හිතේ තියාගෙනයි. එහෙම වුණොත් හැමදාම ඇයට ඔහු බලා ගත හැකි වනු ඇත. තාත්තා කන්නට බොන්නට රිසි ආකාරය පවා ඇය මිස මෙලොව වෙන දන්නා කෙනෙකු නොමැත්තේ ය. ඈ ළඟ සිටියදී කොහොමටත් තාත්තා ට දුකක් තනිකමක් හෝ පාළුවක් නො දැනෙන සේ වග බලාගන්නට ඇයට පිළිවන. නමුත් කසුන් ගේ පිළිතුරෙන් ඒ වෙලාවේත් ඈ තිගැස්සී ගියා ය.
“එහෙම අවුලක් වුණොත් තාත්තව හොඳ වැඩිහිටි නිවාසයක් බලල දාමු. මං දන්න මෙහෙ ඉන්න ෆැමිලි එකකත් අම්මයි තාත්තයි දෙන්නම එහෙම තැනක ඉන්නෙ. එතන හැම පහසුකමක්ම තියනවලු. ඒසී රූම්ස් වුණත් දෙනවලු. හැබැයි ඉතිං ගාණ සැරයිලු. ප්‍රශ්නයක් නෑ අපිට වුණත් වියදමනං බලාගන්න පුළුවන්නෙ”
ඒ වෙලාවේ ඒ තරම් දුර දිග නො සිතුවත් අශ්විනී ට යම් යම් කාරණා ගැන බරපතල ලෙස දැන් දැන් දැනෙන්නට පටන්ගෙන තිබේ. කසුන් වූ කලී ඇයට හමු වූ ඉතාමත් හොඳ මිනිසෙකි. නමුත් ඔහු පුද්ගල සබඳතා පවත්වනුයේ හදවතට වැඩි ඉඩක් දී නොවේ. ඒ ඔහු ගේ වරදක් නොව ඔහු ගේ ස්වභාවයයි. නමුත් මෙවන් කුඩා කාරණා ගැන දැන් අශ්විනී ගේ හිත රිදේ.
ඈ නැති ගෙදර අමාගී කොහොම වැඩ ටික කරගත්තා දැයි සිහි වන විටත් ඇගේ ළය රිදුම් දෙයි. නමුත් සන්දේශ් කීවේ හැම දෙයක් ම වෙනසක් නැතිව ඉටු කරන්නට අමාගී උත්සාහ කරන බවයි. චූටි නංගී ඒ විදිහට වගකීම් සහගත වීම ගැන නම් අශ්විනී ට සතුටු ය. ඈ නැතිවත් ඔවුන් හොඳින් සිටිත යුතු වේ. ඇයට ඉඳහිට එහි ගොස් බලන්නට නො හැකි වීත් ඔවුන් සතුටෙන් සිටිත යුතු වේ!
විවාහ උත්සවයෙන් දෙවන දිනයේ ගෙවල් දෙකේ ම අය රැකියා වලට යන්නට සූදානම් වූහ. අමාගී එලාම් එකට අළුයම අවදි වී ආහාර පිසින්නට ගත්තා ය. පෙර දා රෑ බෝ වන තුරු ම නව යුවළ සමගින් මහානාම ගෙදර රැඳුණු නිසා කිසිත් සකසා තැබිය නො හැකි වූයෙන් ඒ වෙලාවේ වැඩ වැඩි විය. නමුත් දුරේශ් ද, වෙනදාට අශ්විනී ට කෑ ගසාවත් අවදි කරවා ගත නො හැකි සන්දේශ් ද ඒ පාන්දර නැගිට මුළුතැන්ගෙට පැමිණියහ.
“ඔය දෙන්න තව ටිකක් නිදියන්න අනේ. ඔෆිස් ගිහින් වැඩ කරන්න එපැයි. මං ඕගොල්ලො ගියාම ටිකක් නිදියන එකනෙ”
අමාගී එරෙහි වූවාට දුරේශ් හිරමනය ගෙන පොල් ගෑවේ ය. සන්දේශ් තේ හදන්නට සූදානම් කළේ ය. ඔවුන් ආහාර පිස නිම වන විට මණී තාප්පයට උඩින් එබී බලා කතා කළා ය.
“මාගි උයන්නෙපා හොඳේ. මං තාත්තටයි අයියටයි ගෙනියන්න කෑම දෙක ඔතල දෙන්නං”
“අනේ මං උයල ඉවරයි මණී ආන්ටි. ඔහොම ඉන්නකො චුට්ටක්”
ඈ මුළුතැන්ගෙට දිව ගොස් ඉස්සන් තෙම්පරාදුවෙන් ටිකක් දීසියකට දමාගෙන පැමිණියා ය.
“මහා අංකල්ගෙයි ලොකයියගෙයි බත් දෙකට ටික ටික තියන්න. හැබැයි ඉතිං රහනං නැතුව ඇති”
“පාන්දර නැගිටල උයන්න පුරුදු නෑනෙ ඔයාට. හෙට ඉඳං මං කෑම දෙක දෙන්නං හොඳේ”
ඒ ඉස්සන් තෙම්පරාදුව ගැන මණී විශේෂයෙන් ම ආර්ය ට කීවා ය.
“මහා අංකල්ව ඉස්සරහට දැම්මට කෙල්ලට ඕන වුණේ ලොකු පුතාගෙ කෑම එකට මේ ටිකක් දාන්න තමයි ඉතිං”
ඒ වෙලාවේ ආර්ය කිසිවක් ම කීවේ නැත. අම්මා සමගින් මාගි පිළිබඳව එහෙව් කතාවකට යන්නට මේ වයසේදීත් ඔහු ලැජ්ජ ය. නමුත් දිවා ආහාරය වෙනුවෙන් ඔතා දුන් ඒ බත් එක කන කුසගින්නක් උදෙන් ම ඔහු ට වද දෙන්නට ගති. අන්තිමට ඔහු බත් මුල ලිහාගෙන උදේට කෑවේ ය.
“මාර රසයි ඉස්සො ටික”
කියා අමාගී ට වට්සැප් පණිවිඩයක් ද තැබුවේ ය. ටික දවසකට හිත සතුටෙන් තියාගන්නට ඒ වචන ටික ප්‍රමාණවත් වාගේ අමාගී ට දැනිණ.
තාත්තාත් අයියාත් රැකියා වලට නික්ම ගිය පසු අමාගී ඉක්මනින් ගෙදර වැඩ අවසාන කළා ය. දැන් ගෘහ පාලනය සිදු වනුයේ අශ්විනී ගේ සැලසුම් අනුව නොවේ. දෛනික කාල සටහන ද ඇගේ නොවේ. අමාගී වැඩ කළේ ඇගේ ක්‍රමයකටයි. මුලින් ම ඇය මුළුතැන්ගෙයි කලමනා ඇයට අවැසි පරිදි යළි ස්ථානගත කළා ය. ඒ වැඩ අතරේ දී සාන්වී ගෙදර ආවා ය.
“අනේ සුදූ ඔයා උදේ ඉව්වලු නේද… මට ඇහැරුන්නෑනෙ උයන්න එන්න”
සාන්වී වෙත වූයේ සැබෑ පසුතැවීමකි.
“පිස්සුද… ඔයා එන්නෙපා. අනික ඔයා තාම අලුත් මනමාලිනෙ. කසුන් අයියට වගේ පොඩීයියටත් තරහ යයි”
“ශාක්‍යනං එහෙම නෑ. මට හරි අවුල් අප්ප. මණී ආන්ටිත් උදේ නැගිටල උයල. මං නිදිනෙ ඉතිං…”
“ඔෆිස් යන්න ගත්තහම ඔයත් නැගිටල මණී ආන්ටි එක්ක උයන්න. එතකොට හරිනෙ. මට මෙහෙ බලාගන්න පුළුවං පොඩී”
“ශාක්‍යත් කිව්ව තාත්තිටයි අයියටයි ගෙනියන්න කෑම දෙක අපි දෙමු කියල. ලොකයියත් එහෙම කියල. අනේ මට දුකයි ඔයා ඉව්ව කිව්වහම”
“එහෙම ඕන නෑ. ඒක හැමදාම කරන්නත් බෑනෙ. මං මෙහෙම පුරුදු වෙන්න ආසයි. කොහොමත් මං තාත්තිව බලාගන්න ඕනනෙ හැමදාම”
“සුදූ. ඒකට අපිත් ඉන්නව. ලොකූට නිතර බලන්න බැරි වෙයි. ඒත් ලෝකෙ කොතන හිටියත් අපේ හිත් තියෙන්නෙ එක තැනකනෙ. ඔයා තනිවෙලා කියල හිතන්න ඔට්ටු නෑ හරිද… “
වැඩ ටික නිමා වීමෙන් පසු අමාගී එදා දවස ම ගත කළේ මහානාම ගෙදර ය. ආයු වඩාත් සතුටෙන් සිටියේ ය. අමාගී ප්‍රාර්ථනා කළේ දුරේශ් ගෙදර එන්නට පෙර ආර්ය පැමිණේවා කියා යි. කාලෙකට පස්සේ ඇගේ ඒ පැතුම නම් ඉටු විය. වතුර ටිකක් බොන්නට වාගේ ආර්ය කුස්සියට එත්දී අක්ක නගෝ තේ හදමින් සිටියහ.
“ශාක්‍යගෙ මග් එක කාමරේ. මං අරං එන්නං”
කියාගෙන සාන්වී මගහැර ගියා ය. අමාගී ආර්ය වෙනුවෙන් ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් වත්කළා ය. ඔහු ළඟ ඉතිරි ව පැවති දවසේ අවසාන විලවුන් සුවඳ ඇයට දැනවූයේ ස්නේහ හැඟීමකි. ඔහු ඈ අතින් වතුර වීදුරුව ගෙන ඇයට ලංව පැන්ට්‍රි මේසයට පිට දී හිටගත්තේ ය. ආර්ය ගේ අතැඟිල්ලක් යන්තමින් අමාගී ගේ අතැඟිල්ලක ස්පර්ශ විය. ඒ අතේ එල්ලී ඔහු වෙත වාරු වෙන ලෝභී සිතිවිල්ල ඈ දරාගෙන සිටියේ අසීරුවෙනි. නමුත් පැන්ට්‍රි මේස දාරය අල්වාගත් ඇගේ අත මතින් ආර්ය සිය අත තැබුවේ ය. ඒ අතින් ඇතුළු වූ විදුලියක් සිරුර පුරා දිව යනු අමාගී ට දැනිණ.
“වොශ් දාං එනවද නැත්තං තේක දාල දෙන්නද…”
ඇය වෙව්ලනා සරකින් අසාගත්තාය.
“ඒ මොනාත් ඕන්නෑ. ඔයා මෙහෙම හිටියහම ඇති”
හුස්ම ගන්නට මේ තරම් අසීරු ඇයි දැයි අමාගී ට තේරුණේ ම නැත.