දෙහිතක කතාවක් 16

“මහත්තය කොහෙ හරි යන්නද?”

සඳරු එසේ ඇසුවේ කලාතුරකින් එලියට ගන්නා ජීප් රිය ගැරිජියෙන් එලියට ගෙන එය සෝදමින් හුන් සමන් දෙස බලමිනි. අරවින්ද සූරියබණ්ඩාර කොහේ හෝ විශේෂ, වැදගත් ගමනක් යද්දී පමනක් ජිප් රිය එලියට ගන්නා බව සඳරු අත්දැකීමෙන් දනී.

“ටවුමට ගිහින් එනවය කියල ගියා” සමන් පැවසුවේ තවත් වතුර බාල්දියක් ගෙන ජිප් රියට එල්ල කරමිනි. අලුත් දිය දහරාවකින් නැහැවී යන රිය දෙස බලාගෙනම නිවසින් පිටතට ආ අරවින්ද සූරියබණ්ඩාර මේ වනතෙක් කිසිදු කාලයක නොදුටු අන්දමේ අපූරු තාරුණ්‍යයකින්, ලස්සනකින් ඔපවත් වී ඇති බව සඳරු නුදුටුවා නොවේ.

එහෙත් ඒ බව ප්‍රකාශ කරගන්නට නොහැකි වුවද, එක එල්ලේම තමා දෙස බලා හිඳින සඳරු හිත අස්සෙන් යමක් කියන්නට තනන බව අරවින්දට නොතේරුනා නොවේ.

“මොකෝ බං අමුතුවට බලන් ඉන්නේ?”

“මුකුත් නෑ” කියා ලැජ්ජාවෙන් සිනාසෙන සඳරුගේ උරහිස මතින් අත දාගෙන හිතවත්කම පෙන්වමින් අරවින්ද නැවත වතාවක් එකම පැනය ඇසුවේය.

“කියපන් කියපන් මොකද්ද උඹ නොකිය හිත අස්සෙ හංගගෙන ඉන්නේ?”

මහා තේවතු යායක එකම හිමිකරු වුවද අරවින්ද සූරියබණ්ඩාර වනාහී මාන්නයෙන් උදම් වූ අයෙකු නොවන බව සඳරුත් සමනුත් ඇතුලු සමස්ත එනසල්වත්ත ගම්මානයම දැන උන්නහ. ඉතින් මෙවන් හිතවත්කම්, විහිලු තහලු ඔවුන්ට අමුතු දෙයක්, අලුත් දෙයක් වූවා නොවේ.

“ඊයෙට වඩා වෙනස් වෙලානෙ?”

“කවුද?” අරවින්ද එසේ ඇසුවේ කුහුලෙනි. මෙතෙක් වේලා සඳරුගේ කර මත තිබුණ අත් දෙක ඉණ මත තබාගෙන අරවින්ද එසේ ඇසුවේ ඇත්තටම කුතුහලයෙනි. කෙල්ලක වූවානම් රැයේ ගැල් වූ යම් ආලේපනයක් නිසාවෙන් උදෑසන පෙරදාට වඩා සුන්දරව හිඳි බව විශ්වාස කරන්නට තිබුනද තමා පිරිමියෙකි. මැදි වියත් ඉක්මවමින් හිඳින පිරිමියෙකි. හිසේත් ඇඟේත් ලයිෆ්බෝයි සුදු සබන් කැටේ ගා නාන පිරිමියෙකි.

“මහත්තය තමයි. වෙන කවුද?”

“මොකද්ද වෙනස”

“දන්නෙ නෑ. වෙනස් වෙලා. ලස්සන පෙනුමයි”

සඳරුගේ වදන් වලට සමන් වුව නිහඬව එහෙත් මද සිනහවක් මුව මත රඳවාගෙන තම රාජකාරිය කරමින් හිඳී. 

කොල්ලන්ගෙ මෙවනි විහිලු ඉතින් සතුටෙන් ඉවසා දරාගන්නා අරවින්ද නිසාම හොඳය.

“මං ටවුන් එකට යනවා. එනවද යන්න?”

“කොහෙද යන්නේ මහත්තය”

“මට ගෙදරට බඩු ටිකක් ගන්න තියෙනව. තව තාත්තගෙ දානෙ එනවනෙ කොල්ලො. ඒකට ඕන කරන බඩු වගේකුත් ගන්න යන්න තියෙනවා”

“මේ පාරත් ලොකුවට දෙනවද දානේ?” සඳරු එසේ ඇසුවේ පසුගිය වසරවල පවා ගමේ සියල්ලන්ටම එන්න යැයි කියමින් හාමුදුරුවරුන් විසි නමක් පමණ වඩම්මවා අරවින්ද සුරීයබණ්ඩාර විසින් දෙන්නට යෙදුණ තම පියාණන්ගේ දානය පිළිබඳවය.

සඳරුට හෙක්ටර් සූරියබණ්ඩාර මහතා ගැන කිසිත් මතකයක් නැති නමුත් අදටත් තම මව් දෙමව්පියන් ද ගමේ බොහෝ උදවියද එතුමා පිළිබඳව කතා කරන්නේ මහත් ගෞරවයෙනි.ඒ බිය මුසු ගෞරවයක් නොව ආදරයත්, මනුසත්කමත් රැඳුන ගෞරවයකි.

“හෙක්ටර් මහත්තය හන්දයින් තමා එනසල්වත්ත මෙච්චරවත් දියුණු වුනේ. වතුර ලයින් අදින්න පවා මහන්සි උනේ ඒ මනුස්සයනෙ” කියමින් අදටත් එතුමාව මතක් කරනා ගම්මුන් හිඳිනා බව නොරහසකි.

“නොදී බෑනෙ පුතා. මොනව උනත් ඒ දෙන්න හන්දනෙ මට මේව අයිතිවෙලා තියෙන්නෙ. අනික ඉතින් මගෙ තාත්තනේ”

“ලොකු නෝන එන්නෙ නැද්ද?”

“අම්මවත් ගෙන්න ගන්න ඕන. රෝද පුටුවෙ ඉන්න හන්දනෙ අම්ම මෙහෙ ඇවිල්ල ඉන්න අකමැති. නැත්තම් මං කැමතියි අම්ම හැමදාම මෙහෙ ඉන්නවනම්. සීතල නිසා දණහිස් තව අමාරු වෙයි කියල බයට තමයි අම්ම කොළඹට වෙලා ඉන්නෙ. අම්මව එක්කන් එන්න ඕන දානෙට දවසකට දෙහෙකට කලින්”

එඩ්නා සූරියබණ්ඩාර මහත්මිය සැමියාගේ මරණයෙන් අනතුරුව වඩාත් වියපත් වූ බව නොදන්නා කෙනෙකු නොවුනු. ඒ වේදනාව සමගින් කාලය ගෙවද්දී දණිස් අමාරු නිසාවෙන් රෝද පුටුවකට සීමා වූ ජීවිතයක් ලද එඩ්නා සූරියබණ්ඩාරට දෙණියායේ තේ වතු මැද, එන්සල්වත්ත, Tea Villas අතහැර කොළඹ යන්නට වීම තවත් දුකක් විය. එහෙත් නිරතුරුවම දිනපතා තමා අමතමින් තම දුක සැප සොයන අරවින්දගේත්, අරවින්ද විසින් මුදල් ගෙවා සාත්තු සේවයට තබා තිබෙන සේවිකාවගේත් යහපත්බව මැද කොළඹ ජීවිතය අපහසුවක් නොවීය.

“යන්” කියමින් අරවින්ද සමගම සඳරු වාහනයට නැග්ගේ ටවුම බලා යන්නටය. නිවසේ හිඳ ඉඳහිට වලව්වට එන පුත්‍ර රත්නය ගිය පයින්ම නිවස බලා ඒම උගහට බව සඳරුගේ අම්මාට පුරුද්දෙන් දන්නා නිසා ඒ ගැන බියවන්නටටද කාරණාවක් නොමැත

කඳු පල්ලම් අතරින් බැසගෙන යන ජිප් රියේ විවර වී තිබෙන කවුලු ඔස්සේ ඇදී එන සීතල සුලඟ අරවින්දට දැනුනේ හිත සනසන ඔසුවක් මෙනි. ඒ සිහිලස් හැඟීම පෙරදින දුටු නම නොදත් සුන්දරිය මතක් කරවන්නකි. 

රැය පුරාම තමා නින්දත් නොනින්දත් අතර කාලය ගෙවන්නට හේතුව වූයේ ඇය බව සිත හොඳින් දන්නා නමුත් අරවින්දට ඒ ගැන තරහක් තිබුනේ නැත. පෙරදින සිදු වූ සිදුවීම නිසාවෙන් ඇයට බන වැදීම ගැන සිතට වේදනාවක් වූ බව සැබෑවකි. යලිත් හමු වූ දිනක ඇයගෙන් ඒ සඳහා සමාව ඉල්ලිය යුතු බවට අරවින්ද සිතුවද ඇයව යලි හමුවෙතැයි සිතීම පවා තේරුමක් නැති දෙයකි.

“අපේ අයියගෙ දූ තමයි ඉතින් මට නෑයෙක්ට කියල ඉන්නෙ. ඒත් ඉතින් ඒ දරුව ඉන්නෙත් කොළඹනෙ” කියා වතාවක් පබෝධා විසින් කියන්නට යෙදුණ වග අරවින්දට මතකය. එදවස ඇය කවුද, වයස කීයද, කුමක් කරනවාද කියා කිසිත් අදහසක් නොවුන නමුත් ගෙවුණ පැය කිහිපයක කාලය තුල ඇය විසින් තම සිතට කර තිබෙන බලපෑම අතිමහත් ය.

ඇය පබෝධාගේ ඥාති දියණියක වන්නේ නම් සඳරු ඇයව දැනගැනීමට ඇති ඉඩකඩ වැඩි බව දන්නා නමුත් ඒ පිළිබඳව සඳරුගෙන් ඇසිය නොහැකි පැකිලීමක් අරවින්දට තිබුණි.

“සඳරු මං ගැන මොනව නොහිතාවිද?” කියන බව සිත අස්සෙන් මුමුණන අයුරු අරවින්දට දැනේ.

“දැන් රිසල්ට්ස් එන්නෙ කොයි කාලෙ වගේද?”

“තව මාසයක් විතර යාවි කියල කියන්නෙ”

“කැම්පස් යන්න පුලුවන් වෙයිනේ?”

එයට පිළිතුරු නැත. එහෙත් මුව මත රැඳී තිබුණ සිනහව බොහෝ කතා පවසන්නකි.

“මොකෝ ඒකට සද්ද නැත්තෙ? විභාගෙ හොඳට කරා කිව්වනේ. ඉතින් බයවෙන්න දෙයක් නෑනෙ කැම්පස් යන එක ගැන”

“බයවෙන්න නම් දෙයක් නෑ. ඒත්…”

“කියපන් බං තටමන්නෙ නැතුව. උඹයි මමයිනෙ මෙතන ඉන්නෙ”

“කැම්පස් ගිහින් ඉගෙන ගන්න අතරෙ මොකක් හරි වැඩක් කරගන්න පුලුවන් උනා නම් හොඳයි. අම්මලටම ඉතින් කරදර කරන්නත් බෑනෙ. තාත්තත් පෙන්ශන් යනවනෙ ලබන අවුරුද්දෙ. එතකොට වියදනුත් වැඩිවෙනවනේ. ඒකයි මං කල්පනා කරේ”

සඳරු ගැන අරවින්දගේ හිතේ කොහොමත් එදා සිටම තිබුනේ පුදුමාකාර ආදරයකි. සෙනෙහසකි. ලබැඳියාවකි. සඳරු තමාට වඩා වසර විස්සකින් පමණ බාල වුවද කිසිදිනක සහෝදර සමාගමක උණුහුම නොලැබූ අරවින්ද විටෙක සහෝදර ප්‍රේමයෙනුත්, විටෙක පුත්‍ර සෙනෙහසකිනුත් සඳරුට සැලකුවේය.

“මේ බං, ඒව හිතන්න එපා. උඹ කැම්පස් සිලෙක්ට් උනොත්, උනොත් නෙවෙයි වෙනවා. මට ඒක ඉර හඳ වගේ ශුවර්. එහෙම උනාම ඒ වියදම් ඔක්කොම මම බලාගන්නව. මට කවදාවත් එහෙම සලකන්න අයියල මල්ලිල ඉඳල නෑනෙ. දරුවෙක් ඉන්න එහෙකුත් නෑ කවදාවත්. ඒ හන්දා උඹ කැම්පස් ගියාම මම ඒව ඔක්කොම බලනවා. මං වයසට ගියාම උඹ මාව බලාගනින්කෝ”

සිත සනසන, මනුසත්කම් වැකි වදන් පෙලක් වුවද අරවින්ද එය අවසන් කලේ තම සුපුරුදු සිනහව සමගින් උස් හඬින් සිනාසෙමිනි. සඳරු උන්නේ වදන්වලින් කියාගන්නට නොහැකි උණුසුම් සංවේගදායී හැඟුම් දහරාවක ගිලෙමිනි.

“දැන් මං ගියාම වත්තෙ අකවුන්ට්ස් වැඩවලට කෙනෙක් හොයාගන්න වෙනවනේද?’

“ඒක නම් එහෙම තමයි. ඒ උනාට ඒව ගැන හිත කරදර කරගන්න එපා.මං කොහොමත් ඇඩ් එකක් දාන්න හිටියෙ ඒවට කවුරුහරි ගන්න කියල”

“දැන්ම දාන්න නේද? එතකොට අපිට පුලුවන්නෙ යන්න කලින් එයාට කියන්න වෙන්න ඕන දේවල්”

“දැන් රිසල්ට්ස් ඇවිල්ල කොච්චර කාලෙකින් වගේද කැම්පස් යන්න වෙන්නෙ? අවුරුද්දක් විතර යනවා නේද? ඒ නිසා දැන්ම හදිසි වෙන්න ඕන නෑනෙ. ඊටකලින් සඳරු වෙන කොහෙ හරි යන්න ඉන්නවද?”

“නෑ නෑ එහෙම නෙවෙයි මං නිකන් කිව්වේ”

අරවින්ද එසේ පවසමින් වාහනය පාර මැද තිබූ කලුගලක් උඩින් පැන්නුවේත්, සඳරු “අක්කේ” කියා කියමින් වාහනයෙන් පිටතට හිස දමා පසුපස බලා කෑගැසුවේත් එකවරමය.

“මොකද බං බෙරිහන් දෙන්නේ?” කියා අරවින්ද හිස හරවා බැලුවේ කුකුසෙනි.

ඒ ඊයේ රැය පුරා තම හිත් සන්තානයේ පිපී හුන් උන්මාදිනිය බව දුටුවිට හිත ගැස්සුණාද, සැනසුණාද යන්න සැකයකි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles