එකම එක හාදුවක් – 45

0
5157

නවකතාවක, චිත්‍රපටයක ඇරෙන්න ඇත්ත ජීවිතයේ මෙහෙම දෙයක් වෙන්න පුලුවන්කමක් තියෙනවද කියන එක ගැන ඇත්තටම අයේශ්වරී හිතුවාය. අක්කව නැගිට්ටවා මේ කතාව කියන්න තිබුණා නම් හොඳ බව ඇත්තක් නමුත් “නෑ නංගි එහෙම නිදාගන්න දෙන්න. එයා හිතන් ඉඳපු කතාව ඇත්ත නොවුනත් ඒ ළමයගෙ හිතට මාර අමාරු ඇතිනෙ” කියා ලක්ශාන් යැයි හඳුන්වා දුන් මනුස්සයා කිව් නිසාවෙන්ම අයේශ්වරී අක්කාව ඇහැරවන්න හිතුවේ නැත.

“මට හිතාගන්න බෑ ඔයාලා කියන මේ කතාව මං විශ්වාස කරන්න ඕනද නැද්ද කියල. ෆිල්ම් එකක ඔහොම දෙයක් උනානම් මම පිලිගන්න තිබ්බා. ඒත් ඇත්ත ජීවිතේ අපිටම ඔහොම දෙයක් වුනාම පිළිගන්න තියා හිතාගන්නත් අමාරුයි නෙ. අනේ මන්දා” 

“නෑ නෑොයා කියන දේ මම පිළිගන්නව නංගි. ඕන තරම් පිරිමි ළමයි කෙල්ලො රවට්ටල පපුවෙ හිලක්, මහණ වෙනවා, මම කෝමා එකක ඉඳියා වගේ දේවල් කියන කාලෙක මෙහෙම මේ කාලයක් අතුරුදහන් වෙලා ඉඳියා වගේ මනුස්සයෙක් එකපාර ආයෙ මතු උනාම කාටවත් සැක හිතෙන එක සාධාරණයි. 

ඒ වුනාට ඇත්තටම උනේ අපි කවුරුවත් ඔයාගෙ අක්කයි මූයි අතරෙ තිබ්බ අෆෙයාර් එක දැනගෙන උන්නෙ නැති එක. මූ මට හැමදේම කියන එකා ඕක හැංගුවෙ ඇයි කියන්න මම ඇත්තටම දන්නෙ නෑ නංගි. මම නිකන් හරි දැනගෙන හිටියනම් මම කවදාවත් මෙහෙම ප්‍රශ්න වෙන්න ඉඩ දෙන්නෙ නෑ. කොටින්ම සිහිය ආවට පස්සෙ මූට මාවවත් අඳුරගන්න පුලුවන් උනේ නෑ. ඔය හීනෙන් වගේ ගෑණු ළමයෙක්ගෙ කතාවක් කියන්න පටන් ගත්තයින් පස්සෙ තමයි මං කිව්වේ ලංකාවට වරෙන් කියල. එහෙම ආවයින් තමා මේක මෙහෙම සෙට් වුණේ. 

සමහරවිට ඔයාගෙ අක්කා උනත් මේ කතාව විශ්වාස කරන එකක් නෑ. ඔයාලට අවිශ්වාස නම් අපි මෙඩිකල් ඩොකියුමන්ට්ස් උනත් ගෙනත් පෙන්නන්නම් නංගි. නෙවින්ගෙ අක්කා උනත් කන්ටැක්ට් කරල දෙන්න පුලුවන්” කියා ලක්ශාන් කියාගෙන යද්දි උනත් අයෙශ්වරී කලේ නිහඬවම ඈත මිදුමෙන් වැහිච්ච කන්ද දිහාව බලාගෙන ඉන්න නෙවින් දිහා බලපු එකය. අක්කා ඇතුලු දහසක් කෙල්ලන්ගේ ඇස් මන්මත් කල ඒ රූපය පොඩ්ඩක්වත් වෙනස් වී තිබුණේ නැති නමුත් ඒ දෙනෙත්වල රැඳී තිබුණේ අඳුරක් මුහුවෙච්ච වේදනාවක් බව අයේශ්වරී නොදැක්කා නොවේ. වැස්ස තුරල් වී තිබුණ නමුත් නෙවින්ගෙ ඇස් අස්සෙන් ඒ අන්ධකාරය ගිලිහී ගොස් තිබුණේ නැත. අනික අතට අක්කා විසින් තමන්ට කියු නෙවින් සේනාරත්න යනු මෙයාකාර නිහඬ පුද්ගලයෙකු නොවේ. ඇතැම්විට මේ කියන කතාව ඇත්තක් නම් මේ වෙනස් වීමට හේතුව එයම වෙන්නට නොහැකිද?

“ඔයා අක්කා ඇහැරුණාම එයාට කියන්න නංගි අපි ඇවිත් ගියා කියලා. දැන් හවස් වෙලානෙ අපි ආයෙ හෙට එන්නම්. අද යන්න හිතාගෙන හිටියට අපිට පුලුවන් තව දවසක් දෙකක් ඉන්න. ඉඳලා මේව කතා බස් කරලම යන්න. මොකද මූ ඔස්ට්‍රේලියාවෙ ඉඳලා මෙහෙ ආවෙත් ඔය හීනෙන් වගේ පේන කෙල්ලව හොයාගන්න ඕනම කියලා හිතලා. එහෙම එකේ ඒ ළමයව හම්බුවෙච්ච වෙලේ නිකන් ආයෙ කොළඹ ගිහින් මූ ඕක කල්පනා කර කර ඉන්නවට වඩා හොඳයිනෙ වෙන දෙයක් වෙච්චාවෙ කියලා ඕක කතා කරලම යන එක නේද?” කියා ලක්ශාන් අහද්දිත් අයේශ්වරී කලේ ඔව් කියන්නට වගේ ඔලුව වනපු එකය. මේ ප්‍රශ්න තමන්ට උත්තර දෙන්න පුලුවන් ප්‍රශ්න නොවේ. මේවා අක්කා විසින් සිතා අසා උත්තර දෙන්න ඕන ඒව බව ඇත්තකි. 

ශාර්වරීට ඇහැරුණේ නෙවිනුත් ලක්ශානුත් ඇවිත් ගොස් පැය දෙකකට පමණ පස්සේය. ඒ වෙද්දිත් ඇඬීම නිසාත් වැස්සට තෙමීම නිසාත් ඔලුව පුපුරන්න වගේ ආ ඔලුව කැක්කුම ඉතුරු වී තිබුණේ දුක නිසා බර වී තිබුණ හිතට සමගාමීව ඔලුවත් බර කරමිනි. එහෙම තැනම මේ වෙච්ච දේවල් අහන්න ලැබිච්ච දේවල් කියා අක්කාගේ හිතට තව බරක් එක්කරන්න ඕනද කියන ප්‍රශ්නෙ හිත ඇහුවත් අයේශ්වරී කතාව කියා ඉවර කරන්න හිතුවෙ අඩුමතරමේ මෙච්චර දවසක් තමන්ගේ ප්‍රේමවන්තයා තමන් සොයා පැමිණ නැත්තේ හිතා මතා නොව දෛවය විසින් ඔවුන් දෙදෙනා ඉදිරියට ගෙනවිත් තිබුණ ඉරණම් තීන්දුවක් නිසා බව දැනගන්න එක අක්කාගේ හිතට සහනයක්, මද අස්වැසිල්ලක් හෝ අරගෙන එන්න හේතුවනු ඇතැයි සිතාය.

“මං කොහොමද නංගි ඔය කතාව විශ්වාස කරන්නෙ? හරි ඇත්තමයි කියල කියමුකො. ඒක ඇත්තක් නම් එයාට මතකයක්වත් නැත්තම් අපේ සම්බන්ධෙ ගැන දැන් මොකද්ද එයාටයි මටයි කතා කරන්න තියෙන්නෙ? මං අඳුරගෙන උන්නු, මං ආදරේ කරපු මනුස්සයා නෙවෙයිනෙ ඒ.  දැන් එතන ඉන්නෙ මං කියලා කෙනෙක් මතකවත් නැති, මං කවුද කියලවත්, අඩුමගානෙ මගෙ නමවත් දන්නෙ නැති මනුස්සයෙක්. මාව නොදන්න මමවත් නොදන්න මනුස්සයෙක්. එහෙම මනුස්සයෙක් එක්ක මට ගනුදෙනුවක් නෑනෙ ඉතින්” කියා කිව්වට අක්කා උන්නේ අහන්න ලැබිච්ච දේවල් එක්ක අන්ද මන්ද වෙලා විත්තිය තේරුම්ගන්න බැරිකමක් අයෙශ්වරීට තිබ්බේ නැත. 

“මං අක්කා කිව්ව කතාව බොරුවක් කියලවත් වැරදියි කියලවත් කියන්නෙ නෑ. අක්කෙ ඒ උනාට අන්තිමේ බලද්දි ඔයාලා දෙන්නම තැන් දෙකක තනිවෙල ඉන්නෙ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ගෙවත් කිසි වරදක් නැතුව. අඩුම තරමෙ ඔයා හිතන්නකො ඔයාට නම් මතකයි වෙච්ච දේවල් මොකද්ද කියන එකවත්. නෙවින්ට එහෙම දෙයක්වත් මතක නෑ. ඒක කොච්චර පව් ද? තමන් ආදරේ කල කෙල්ලව, තමන් ගෙ ජීවිතේ මොන වගේද, තමන් අතරෙ උන දේවල් මොනවද කියන එක මතක නැතුව ආයෙ අලුතෙන් මනුස්සයෙක්ට ජීවිතේ වයස අවුරුදු හතලිස් ගණන්වලදි පටන් ගන්න වෙනවා කියන්නෙ ඒකම මාර ලොකු දඬුවමක් නේද? දඬුවමක් ලබන්න ඒ මනුස්සය කිසි වරදක් කරල නැතත් එයාව ඔයාව රැවැට්ටුව කියල හිතාගෙන ඔයා පහුගිය කාලයක් පුරාවට හිත රිද්දගත්ත හැම පාරකටමයි, ඇහෙන් බිමට වැට්ටුව හැම කඳුලු පාරකටමයි හරියන්න මනුස්සයට ලැබිච්ච ඒ දඬුවම ඕනවටත් වඩා වැඩියි කියලා ඔයා හිතන්නෙ නැද්ද?”

“මොකද්ද නංගි මං ඒකට කරන්නෙ? ඉස්සර උන්නු නෙවින් අඩුමගානෙ මගෙ තත්ත්වෙ දැනගෙන තමයි මට ආදරේ කරේ. මේ ඇවිත් ඉන්න නෙවින් ඇවිත් ඉන්නෙ ඒ කිසිම දෙයක් මතක නැතුව. සමහර විට එයා ආවෙ අර ඔයා කිව්ව වගේ එයාට මං කියල කෙනෙක් ලාවට වගේ මතක හින්දා මිසක් මට ආදරේ හන්දා නෙවෙයිනෙ. එයාට තියෙන්නෙ ඔලුවට වද දෙන මං ගැන මතකයක් විතරයි. එයා සමහරවිට ආවෙ මං කවුද කියල දැනගන්න විතරක් නම්?  එයා එහෙම හෙව්වෙ කරේ එයාගෙ ඔලුව ඇතුලෙ මං කවුද කියලා තිබිච්ච ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න විතරක් නම්? මට අනුකම්පා කරන්න හිතාගෙන නම්? අන්තිමේ ආයෙ ලංවෙලා හිත රිද්දගන්න වෙන්නෙ මට නේද? එතකොට ආයෙම දඬුවමක් ලැබෙන්නෙ මට නේද? කිසිම වරදක් නොකර දඬුවම් විඳින්න වෙන්නෙ මට නේද?

ඒක පව් නැද්ද?” 

ඒ කතාව ඇත්ත බව පිළිගන්න පුලුවන් නමුත් ප්‍රේමවන්තයින් දෙදෙනෙක් මේ විදියට දෙපැත්තකට වී එකිනෙකා ගැන සිතමින් තැවෙන එක දෛවය විසින් කල අසාධාරණ දෙයක් බව හිතුන හන්දාම යන්න කලින් ඉල්ලාගත් නෙවින් සේනාරත්නගේ දුරකතනයට අයේශ්වරී අක්කා සේවය කරන මල් හලේ ලොකේශන් එක යැව්වාය. 

ඒ “මං කතා කරාට අක්කා තාම ඉන්නෙ හිත රිද්දගෙන අයියෙ. එයා වැරදියි කියන්න බෑ. සමහර විට මං කිව්වට දෙයක් නොපිලිගත්තට අයියා කතා කරොත් අක්කා කියන දෙයක් අහවි” කියන පණිවිඩය එක්කය.

නෙවින් ඒ පණිවිඩය දිහා බලාගෙන කල්පනා කලේ එතනට ගොස් ඇයට කතා කරන එක ගැටලුවක් නොවන බව දන්න නමුත් කතාව පටන් ගන්නේ කොහෙන් කොතනින් කොහොමද කියන එක ගැනය. ලක්ශාන්ට පින්සිද්ද වෙන්නෙ ඇගේ නම ශාර්වරී බව හෝ දැනගන්නට ලැබුණ එක ලොකු දෙයකි. එහෙත් හැමෝම කියන විදියට තමාත් ඇයත් අතර ප්‍රේමයක් තිබී තිබේ. හීනයේ පෙනුන ආකාරයට තමන් සහ ඇය අතර ඉතා සමීප සම්බන්ධයක් තිබී තිබේ. තමාට අමතක නමුත් ඒ සියල්ල ඇයට මතකය. තමන්ට අමතක නමුත් තමන් ඇයට රිදවා ඇත. තමන් වරදක් නොකර නමුත් ඇයට අනුව තමන් වැරදි කරුවෙකි. තමන් ආයෙම ඉල්ලිය යුත්තේ ආදරයද සමාවද?

ඒ සියල්ල අමතක වුණ තැනක ආයෙම අලුතෙන් කතාවක් පටන් ගන්න එක කොපමණ නම් අමාරුද?

අනෙක් අතට මේ නැවත හමුවීම අවසන් විය යුත්තේ ආදරයෙන්ද?

“මං එයාට ආදරෙයිද?” නෙවින් හිතෙන් ඇහුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here