අමාගී සහස්‍යා මල්වත්තගේ, විසල් වීදුරු පියන්පත් වසා ලූ විල්ලුද තිර රෙදි දෙපසට කළා ය. ඈ අභියස වන්නේ සඳරැස් ගලන සයුරු වෙරළකි. තඹ පාට සඳ පානේ තඹවන් වැල්ලෙහි පෙම් කෙළිනා රැල්ල, වෙරළට හාදු දී යළි දියඹෙහි සැඟවෙන්නේ දඩබ්බර පෙම්වතෙකු සේ ය. අමාගී යන්තම් හිස හරවා, සුව සේ නිදනා සිය පෙම්බරා හා බිළිඳු පුතු දෙස බැලුවා ය. ඈ යහනෙන් නැගී සිටියදී ඔවුන් දෙදෙනා සිටියේ ඈ දෙපසිනි. දැන් ආයු ඇගේ ඉඩ ආක්‍රමණය කොට පියා ගේ සිරුර මතින් පාදයක් ද දමාගෙන නිදයි. අමාගී ගේ දෙතොල් අතරේ මඳහස් රැල්ලක් ඇඳිණි. ඉස්සර, ටිකක් වයසින් වැඩෙනා තුරු ම ඈ නින්දට ගියේ තාත්තා ගේ යහනේ ය. ඒ සිඟිති දැරිය ඔය විදිහට ම තාත්තා ගේ සිරුර මතින් දෙපා දමාගෙන නින්දට ගිය හැටි, යටි හිතේ පත්ලේ නිදන්ගත වී තිබි මතකයක් හිත මතුපිටට ගෙනාවේ ය. ඇය නිසංසලේ ඔවුන් දෙස බලා සිටින්නට වූවා ය. අම්මලා නොමැතිව දරු බර හිස මත පටවා ගත් තාත්තලා මතු සම්මා සම්බුදු පදවි ලද යුතු ම ය. හදවත පලාගෙන ආ වේදනා හැඟුමකින් ඕ ජංගම දුරකතනය ගෙන දුරේශ් ගේ දුරකතනය අංකය කළා ය. ‘තාත්ති’ යනුවෙන් ඉංග්‍රීසි අකුරෙන් ලියැවුණ ඒ නම තිරය මත ආලෝකවත් වෙත්දී ආදරයෙන් එදෙස බලා සිටියා ය. එසැනෙන් “සුදූ” යන දයාර්ද්‍ර ආමන්ත්‍රණය ඇසිණ.
“මේ රෑ… කරදරයක් එහෙම නෙවෙයි නේද සුදූ…”
“අනේ නෑ තාත්ති. මට නින්දෙන් ඇහැරුණා. ඊට පස්සෙ නින්ද ගියෙ නෑ. ලොකයියයි ආයුයි හොඳට නිදි. මට ඉතිං තාත්තිට කතා කරන්න හිතුණා. තාත්ති ලොකු නින්දකද හිටියෙ… මං නින්ද කැඩුවද…”
“අනේ නෑ සුදූ… ඒතරං ලොකු නින්දක් නෙවෙයි. මට ටක්ගාල ඇහැරුණ ෆෝන් එක රිං වෙනකොට”
දුරේශ් සිනහවකින් කීවේ ය. නමුත් ඔහු එහෙම කීවේ අමාගී ගේ හිත කලබල නොකරනු වස් ය. මේ තව වෙනතුරුත් ඔහු ට නින්ද ගියේ නැත. ඒ සන්තාප හැඟීමකින් නොවනා බැව් ඔහු මැනවින් දනී. දැනෙනා සියල්ල සන්සුන් ය. ශාන්තිදායක ය. සුරක්ෂිත ය. නමුත් ඇතැම් සතුටු කාරණා ද නින්ද පමා කොට උඩුහිත පවා අවදියෙන් තබයි.
ඔවුන් ගේ විවාහ උත්සවය සඳහා ආර්ය හා අමාගී විසින් තෝරාගෙන තිබුණේ බොල්ගොඩ කුඩා දූපතකි. පෝරුව සැකසුණේ ඔය අද්දර එළිමහන් හරිත පරිසරයේ ය. කහ අරලිය මල් වැල් වලින් පෝරුව සකසා තිබිණ. ආරාධිතයන් වෙනුවෙන් අසුන් පැනවුණේ ද එළිමහනේ ය. තෙත සුළං රැලි අතරේ ය. සුදු සේද රෙදි හා ඩේසි මල් වලින් සරසා තිබූ විවෘත අංගනයක බුෆේ එක සැකසිණි.
එය සුරංගනා ලෝකයක මංගල්ලයක් සේ විය. අමාගී එහි සුරංගනාව වූවා ය. මුදු සුදු සේද ගවුමකින් සැරසී ඒරම් ලිලී මල් පොකුරක් අතින් ගත් ඕ සුරංගනා ලෝකයෙන් මිහි බට සුරංගනාව වූවා ය. දුරේශ් ගේ වැළමිට සන්ධියේ එල්ලීගෙන ඇය කඩවසම් මනාලයා ආර්ය නිර්වාන් මහානාම වෙත පැමිණියේ ඔහු ගේ හදවත හුම්මානයක් සේ හැඟීම් පුපුරා යන්නට ඔන්න මෙන්න වී තිබියදී ය. අමාගී ගේ අත ආර්ය ට දෙන ගමන් දුරේශ් ලස්සනට සිනහ වූයේ ය. අනිත් දූවරුන් දීග යත්දී හිතට දැනුණ දුක්මුසු බර, මේ උදෑසන ඔහු ට දැනුණා නොවේ.
“නරක බෑණෙක් ලැබෙනව කියන්නෙ පවුලකට දුවෙක් නැති වෙනවය… හොඳ බෑණෙක් ලැබෙනව කියන්නෙ පවුලට අලුත් පුතෙක් ලැබෙනවය කියල කතාවක් තියනව. ආර්ය පුතා අපේ පවුලට පුතෙක් කියල මට ඉර හඳ වගේ විශ්වාසයි. ඒක නිසා අද මං දුකෙං නෙවෙයි. සතුට ගැන විශ්වාසෙං”
ආර්ය දුරේශ් ව වැලඳ ගත්තේ ය.
“තෑන්ක් යූ දුරේ අංකල්… එහෙම මාව විශ්වාස කළාට”
“අනිත් පැත්තත් එහෙමම තමයි සුදූ. මණී ආන්ටිටයි මහා අංකල්ටයි ලේලි කෙනෙක් නෙවෙයි දුවෙක් වෙන්නයි ඕනෙ. අපේ පවුල් සම්බන්දෙ කවදාවත් පළුදු නොවී තව තව හයිය වෙන්නයි ඕනෙ”
“මං දන්නව තාත්ති”
“ලොකු පුතාව බැන්දෙ නැතත් මාගි අපිට දුව තමයි දුරේ”
මණී උගුර යටින් කියාගත්තා ය. මේ විවාහ උත්සවය තුළ වැඩි ම සතුටකින් පසුවූයේ ඇය යයි කිව හැකි තරමි. ඒ සතුට ඇගේ හැම ඉරියව්වකින් ම දෝරෙ ගැළුවේ ය.
මේ විවාහයේ වැඩි ම වගකීම් ප්‍රමාණයක් ඉහිලූයේ සන්දේශ් ය. සිය බාල නැඟණිය ඇගේ සතුට ලෙස කෝරාගත් යුග දිවියට සම්ප්‍රාප්ත වීමේ ප්‍රීතිය ඔහු සිත් පුරා විඳගත්තේ ය. ලංකාවට එන්නට උත්සාහ නොකර අශ්විනී ද ඇගේ දරුවා සේ බලා කියා ගත් නැඟණිය වෙනුවෙන් යුතුකම් ඉටු කළා ය. මංගල උත්සවය වෙලාවේ ඇය වීඩියෝ ඇමතුවක් ගත්තේ ඊට සහභාගී වෙනවා වාගේ ම ලස්සනට සැරසීගෙනයි.
“අපේ ජීවිත එක එක පැති වලට විසිරිලා ගියා. ඒත් අපි හැමෝගෙම හදවත් ගැහෙන්නෙ එක හදවතක කොටස් විදිහට සුදූ. ආයෙ එක තැනක හම්බුණ දවසක අපි එකට බදාගමු. ඒ වෙනකල් ලොකූව අමතක කරන්නෙපා සුදූ. ඔයාගෙ ලස්සනම දවසෙ ඔයා ළඟ ඉන්න බැරි වුන එක ගැන මාත් එක්ක තරහ වෙන්නත් එපා”
ඇය නො හඬන උත්සාහයක් දරමින් කීවා ය. නමුත් අක්ක නගෝ දෙදෙනාට ම කඳුළු නො සලා සිටිය හැකි වූයේ නැත.
නමුත් එය සතුට ඉතිරුණ දවසකි. විශේෂයෙන් ම ආයු ගේ සතුට කැපී පෙනිණ.
“ඒකනෙ මං කිව්වෙ මා මගෙ මලමාලි කියල. මගෙ මලමාලි වෙලා අපේ ගෙදල එනව. මේ… මං මලමාලය”
ඔහු සිය කෝට් කට්ටලයේ වූ බේබීස් බ්‍රේත් මල් පොකුර පෙන්වා ලස්සනට සිනහ වූයේ ය. අමාගී ඔහු උකුලේ හිඳුවාගෙන සිටියා ය.
“මා කියන්නෑ නේ… අම්ම නේ කියන්නෙ…”
ඇගේ මුහුණ ඔහු වෙත හරවා ගෙන ආයු බලාපොරොත්තු සහගතව ඇසුවේ ය.
“ඔයා කැමති එකක් කියන්න රත්තරං… ඔයා ඉතිං මගෙ පුතු පැටියනෙ”
අමාගී ට අම්මා කෙනෙකු ගේ ආඩම්බරය දැනිණ. නෑසියන්ගෙන් සමුගන්නට පෙර එදා අන්තිම මොහොතේ දී ඇය ගීයක් ගැයීමේ අවස්ථාව ලබාගත්තා ය. දුරේශ් ගේ අතක එල්ලීගෙන, එතෙක් ඔහු ට කියූ නො කියූ ආදරේ, ලවන් අභිශේක් ගේ ගීය තුළින් කියාගත්තා ය.
“දෙපිය නගලා හරියකට ඇවිදින්නවත් බැරි පුංචි කාලේ… කාටවත් බය වුණේ නෑ මං වීරයා ළඟ උන්න වේලේ… පේළි ගැහිලා කූඹියන්ටත් මාවතේ ඇවිදින්න ඉඩ දී… කූඩු හදනා කුරුල්ලන් සේ නිදහසේ පියඹන්න දිරි දී…
ජීවිතේ ගැන මේ තරම් දේ දන්න හැටි පුදුමයි… ආදරේ හංගලා දෙන්නෙ පියවරුමයි… හදවතේ ගැඹුරේ තියෙන්නේ ඔබ කියූ වදනයි… තාත්තේ මගෙ ලෝකයේ මහ වීරයා ඔබමයි…
අත අතැර දුර යන්න ඉඩ හැර වැටෙන නැගිටිණ හැටි කියා දී… අපි ගැනම හිත හිතා වෙහෙසෙන වෙහෙස නොබලා රෑ දවාලේ… දුක හිතෙනකොට ඉන්නෙ කොහොමද කිසි දෙයක් නොම වුණ විලාසේ… වීරයොත් තනියෙන් අඬනවලු කවුරුවත් ළඟ නැති වෙලාවේ…”
ගීය ගයා අවසාන වන විට අමාගී ගේ දෑස් හා දෙකොපුල් කඳුළු උල්පත් මවා තිබිණ. දුරේශ් ඇගේ දෙකොපුලින් අල්වා කඳුළු පිරිමැද්දේ ය.
“පරිස්සමෙන් සතුටෙන් ගිහින් ඉන්න. තාත්ති ගැන බය වෙන්නෙපා. ආර්ය පුතා මගෙ හුස්ම ටික පරිස්මෙන් බලාගන්න ඕනෙ”
දුරේශ් නො හඬා ඉන්නට වග බලා ගත්තේ ය. නැත්නම් අමාගී ඔහු ගැන හිතමින් තැවෙනු ඇතැයි හෙතෙම බිය වූ බැවිනි.
“පොඩී තාත්තිගෙ බෙහෙත් ටික හරියට බලල අතටම දෙන්න. නැත්තං තාත්ති ඒක අමතක කරල දානව”
රියට නැගුණු පසුත් අමාගී සාන්වී ට ඒ ගැන සිහිපත් කළා ය. සාන්වී සිටිනුයේ ගර්භණී සමයේ අවසන් අදියරේ ය. ඇයට දැනෙනා කායික මානසික අපහසුතා සමග තාත්තා ගැන විමසා බැලිය නො හැකි වේවි ද යන සැකය අමාගී ට වද දිණි.
“ඔයා ඒ ගැන හිතන්නෙපා සුදූ. මං ඒක බලල දෙන්නං. අයියයි ශාක්‍යයි ඉන්නවනෙ..ඔයා දවස් දෙක තුනක් ඔය මොනාත් හිතන්නැතුව සතුටෙන් සැහැල්ලුවෙන් ඉඳල එන්න. තාත්තිට අපි ඔක්කොමල ඉන්නවනෙ”
අමාගී ට සැනසිල්ලකට තිබුණේ ඒ වචන ටිකයි. නමුත් මේ සමුද්‍රාසන්න හෝටල් කාමරයෙහි සිට ද දුරේශ් ගේ බෙහෙත් ගැන සිහිපත් කරමින් අමාගී සාන්වී ට ඇමතුමක් දුන්නා ය.
“මං දැං තාත්තිගෙ බෙහෙත් ටික දෙන්න යනකොටත් අයිය දීල. ඔයා ඒ ගැන හිතන්නෙපා සුදූ”
සාන්වී නැවත ද අවවාද කළා ය.
“සුදු පුතා දැන් ටිකක් නිදියන්න..උදේට ආයු නැගිට්ටට පස්සෙ ඉතිං නිදාගන්න බෑනෙ”
කියමින් දුරේශ් දුරකතන සංවාදය නිමා කළ පසු ද තවත් මොහොතක් අමාගී සයුර දෙස බලා සිටියා ය. පහන් වන්නට තව ඒ හැටි වෙලාවක් නැත. සයුරට ඉහළින් අනන්ත අහස ඝණ සුදු පැහැයකට හැරෙමින් තිබේ. අමාගී සුසුමක් හෙළමින් යහනට එන්නට හැරෙත්දී ම ආර්ය ගේ දෑත් ඇගේ බඳ වටා වෙළිණ. ඔහු ගේ මු ඇගේ ගෙල මතින් පහත් විය.
“ඔයාට නින්ද ගියේ නැද්ද…”
ඔහු ගේ ස්වරයෙහි වරදකාර හැඟීමක් ඇඳී තිබිණ. අමාගී මඳහසකින් ඒ කොපුලක් අතින් අල්වාගත්තා ය. අතැඟිලි රැවුල් කොට අතරේ මුදු සරාගී සරකින් එහෙ මෙහෙ විණි.
“මට කතාකරන්නෙපැයි ඉතිං…”
“කතා කරන්න ලෝබ හිතුණ ඉතිං. ඔයා හොඳට නිදිනෙ… මෙතනට වෙලා මුහුද දිහා බලං ඉන්නකොට හිතුණ තාත්තිට කතා කරන්න. එයත් නිදාගෙන නෙවෙයි හිටියෙ. පව්. තාත්තිට දුක ඇති. අම්ම කෙනෙකුත් නැතුව දුවල තුන්දෙනෙක් හදල… අද එයාට කවුරුත් නෑ කියල හිතෙනවද දන්නෑ”
“ඒ දුවල තුන්දෙනා හය දෙනෙක් වෙලා දැන් ඇවිත් ඉන්නෙ කියල දුරේ අංකල් දන්නව”
“හයයි නෙවෙයි අටයි. අපේ පුතයි පොඩීලගෙ බබයි එක්ක”
“ඇයි අපේ දුව”
අමාගී ගේ කම්මුල් පුපුරු ගැසුවේ ය. ඒ කම්මුලක් මත ආර්ය ගේ රැවුල් කොට ඇනෙනා හාදුවක් තදින් තෙරපිණි.
“මං විහිළුවක් කළේ. තාම ඔයා චූටි කෙල්ලෙක්. තව හුඟක් කල් නිදහසේ ඉන්න ඕනෙ”
ඔහු ගේ පිටිඅත්ල සිය ඇඟිලි තුඩගින් පිරිමැද්දා මිස අමාගී කිසිත් කීවේ නැත.
“ඔයා සතුටෙන් නේද සුදූ…”
වාචික පිළිතුරක් වෙනුවට ඈ කළේ යන්තමින් හිස සලනා එකයි.
“ඔයාට ගොඩක් තාත්තව මතක් වෙනවද… හෙටම ගෙදර යන්න ඕන වගේද…”
“පොඩීල තාත්තිව බලාගනී”
“මොනවත් තනියම හිතේ තියාගෙන තනියම දුකෙන් ඉන්නෙපා. ඕන වෙලාවක මං ඔයාව තේරුං ගන්නව. ඕනම දෙයක් ඔයාට මාත් එක්ක කතා කරන්න පුළුවන්. දැන් ඔයා මගෙ වයිෆ්. ආයුගෙ අම්ම විතරක් නෙවෙයි. කසාදයක් ඇතුළෙ විඳවන එක මහ දුකක් සුදූ. මං සැරයක් එහෙම ජීවිතයක් ගත කරපු මිනිහෙක්. ආයෙ එහෙම ජිවිතයක්නං ඕනම නෑ. එහෙම විඳවපු මිනිහෙක්ට නිදහස් ආදරේ පිරුණ පවුලක් කියන්නෙ කොහොම හැඟීනක්ද කියල ඔයාට හිතාගන්නත් බැරුව ඇති..දැන් මං ඒ සැනසිල්ල විඳිනව. ඒ සැනසිල්ල වෙනුවෙන් ඕනම දෙයක් හිලව්වට දෙන්න මං ලෑස්තියි. හැමදාම අපි සතුටෙන් ඉන්නයි ඕනෙ. ආදරෙං ඉන්නයි ඕනෙ. බොරු මවාපෑමක් නැති ඇත්ත ස්වභාවික ජීවිතයක් ගෙවන්නයි ඕනෙ”
“මට තේරෙනව ලොකයියෙ”
ඇය මුදු ස්වරයකින් මුමුණා ගත්තා ය.
“තාත්ති ගැන දැනුණ ගෞරවේ ඒකාලෙ ඉඳන්ම මට ඔයා ගැනත් දැනෙන්නැති. තාත්ති වගේම මගෙ ජීවිතේ ඔයත් වීරයෙක් වෙන්නැති. තාත්ති වගේම මගෙ ළඟින් ඉන්න ලොකයියෙ. එච්චරයි ඔයාගෙන් ඉල්ලන්නෙ. අපි හැමෝටම ඇතිවෙන්න තරං ආදරේ මං ළඟ තියනව”
අමාගී ගේ හඬ නික්මුණේ බිඳුණු උගර යටිනි. ආර්ය ඈ සිය පපුතුර රුවා තදින් සිපගත්තේ ය. ඒ වාචික නොවූ පොරොන්දුවක් බව ඇගේ හදවත ගැඹුරට ම දැනිණි.