කුසගින්න නිවන්න වගේම අපේ ශරීරය සහ මනස නීරෝගීව පවත්වා ගන්න අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස අපි ගන්නා ආහාර හඳුනාගන්න පුළුවන් වුනත් අද වෙද්දි අපේ සමහර ආහාර පුරුදු සහ සමහර ආහාර වර්ග නිසා ඇතිවෙලා තියෙන සෞඛ්‍ය ගැටළු රාශියක් ගැන ලොව පුරා දැඩි කතාබහක් ඇතිවෙලා තියෙනව.
කුඩා කාලෙ ඉඳල අපිට හුරුපුරුදු සන්නාම වලින් තියෙන අපිට හුරුපුරුදු කෑම වර්ග වුනත් අද අපේ දරුවන්ට දෙන්න කලින් අපිට දෙපාරක් හිතන්න වෙලා තියන්නෙ ඒ නිසාමයි.
මේ විවිධ හේතු නිසා හැකිතරම් පිරිසිදුව, සෞඛ්‍යාරක්ෂිතව නිවසේදී පිළියෙල කරගන්න පුළුවන් ආහාර ගැන වැඩි අවධානයක් යොමුකරන්න අද බොහොදෙනා යොමුවෙලා තියෙනව.
ඔන්න smart lady අපි අද ඔබත් එක්ක එකතු වෙන්නෙ චිකන් රසැති සුප් කැට ගෙදරදීම හදාගන්නෙ කොහොමද කියල ඔබට කියල දෙන්නයි.
එහෙනම් මුලින්ම අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
සමරහිත හෝ සමසහිත සම්පූර්ණ කුකුළු මස් කකුල් 02 ක්
(මේ සඳහා කටු සහිත රහිත ඕනෑම කුකුළු මස් කොටසක් භාවිතා කරන්න පුළුවන්)
සෝදා පිරිසිදු කරගෙන පොත්ත ඉවත් කරගත් සාමාන්‍ය ප්‍රමාණයේ කැරට් අල 02 ක්
සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපාගන්න.
ලීක්ස් ගස් 02 ක්
සාමාන්‍ය ප්‍රමාණයේ කැබලි වලට කපාගන්න.
තරමක් ලොකු කොටු හැඩයට කපාගත් ලොකු ලූණු ගෙඩියක්
දෙකට පලාගත් සුදුලූණු බික් 04 ක් 05 ක්
මේ එළවළු වර්ග වලට අමතරව නෝකෝල්, සෙලරි දඬු, පාස්ලි වගේ ඔබ කැමති එළවළුවක් යොදාගන්න පුළුවන්.
ගම්මිරිස් ඇට මේස හැන්ඳක්
රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු
තෙල්
වතුර
සාදාගන්නා ආකාරය
මුලින්ම, භාජනයක් ලිපතබා එයට තෙල් තේ හැන්ඳක් පමණ එකතු කර එයට කුකුළු මස් ටික දමා රස අනුව ලුණු සහ ගම්මිරිස් කුඩු ස්වල්පයක් එකතු කර එක් පැත්තක් විනාඩි 03 ක් 04 ක් පමණ වනසේ තරමක් බැදගන්න.
ඊළඟට, මේ කුකුළු මස් සහිත භාජනයට වතුර කෝප්පයක් පමණ එකතු කර භාජනයේ පියන වසා විනාඩි 10 ක් පමණ මස් ටික හොඳින් තම්බා ගන්න.
දැන් ලිප නිවා භාජනයේ පියන විවෘත කර තැම්බූ කුකුළු මස් කැබලි ටික ඉවතට ගෙන කුකුළු මස් තැම්බූ වතුර ටික වෙන්කර වෙනම තබාගන්න.
කුකුළු මස් වල කටු ඇත්නම් ඉවත් කර මස් කැබලි අතින් කඩා පසෙකින් තබාගන්න.
දැන් කලින් කුකුළු මස් තැම්බූ භාජනයම ලිපතබා එයට තෙල් ස්වල්පයක් එකතු කර තෙල් රත්වන විට කපාගත් එළවළු කැබලි එකතු කර හොඳින් කලවම් කරගන්න.
විටින් විට කලවම් කරමින් එළවළු වල වතුර ඉවතට එන තෙක් විනාඩි 08 ක් 10 ක් පමණ තබා කටු ඉවත්කරගත් මස් කැබලි, මස් තම්බාගත් වතුර, රස අනුව ලුණු කුඩු සහ ගම්මිරිස් ඇට එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් මේ භාජනයේ පියන වසා විටින් විට හැඳිගාමින් එළවළු ටික හොඳින් තැම්බෙන තෙක් විනාඩි 20 ක් පමණ පිසගන්න.
එළවළු මිශ්‍රණයේ වතුර සම්පූර්ණයෙන් හිඳී නොයන සේ යම් ප්‍රමාණයක් තෙතට තිබිය යුතුයි.
දැන් මේ මිශ්‍රණය ලිපෙන් ඉවතට ගෙන නිමෙන්නට තබා නිමුණු පසු බ්ලෙන්ඩරයක් ආධාරයෙන් කෑලි නොසිටින සේ හොඳින් අඹරාගත යුතුයි.
අඹරාගත් මිශ්‍රණය අයිස් කැට සාදන තැටියකට අසුරාගෙන ශීතකරණයේ තබා සවිවන තුරු තබාගන්න පුළුවන් එහෙමත් නැත්නම් මිශ්‍රණය තැටියක අතුරා ශීතකරණයේ තබා සවිවූ පසු කැබලි වලට කපාගන්නත් පුළුවන්.
සවිවූ සුප් කැට තෙල් කඩදාසි හෝ ෆොයිල් කොළවල ඔතා විදුරු බෝතලයක ගබඩා කර ශීතකරණයේ තබා අවශ්‍ය වෙලාවට භාවිතයට ගන්න එහෙනම් පුළුවන්.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |