නව යොවුන් විය කියන වයස ගැන කියද්දිම අපි අතරෙ හරි බහුලවම පාවිච්චි කරන වදනක් තමයි “ඕක හරි නරක වයස” කියලා. ඇත්තටම මේ නව යොවුන් විය කියන වයස් කාණ්ඩයට අයිති වෙන්නෙ අවුරුදු 10 ඉඳලා 19 විතර වෙනකම් වයස් කාණ්ඩය. මේක අවුරුදු 10-13 මුල් යොවුන් විය විදියටත්, 14-16 මැද යොවුන් විය විදියටත්, 17-19 කාණ්ඩය පසු යොවුන් විය කියලත් හඳුන්වනවා.
මේ නව යොවුන් විය කියන්නෙ ඕනම මනුස්සයෙක්ගෙ ජීවිතේ හරිම වැදගත් සන්ධිස්තානයක්. ළදරු වයසෙන් පස්සෙ ඕනම කෙනෙක්ගෙ ජීවිතේ ඉතාම වේගවත් වර්ධනයක් පෙන්වන කාලයක් තමයි මේ නව යොවුන් විය කියන්නෙ.
පසුගිය කාළයේදි අපිට නිතරම වගේ දකින්න ලැබුනා අපේ රටේ දරුවො, විශේෂයෙන්ම මේ නව යොවුන් වයසෙ ඉන්න දරුවො තමන්ගෙ ජීවිතේ ගැන එක එක වැරදි තීරණ අරගත්ත අවස්තාවන් පිළිබඳව ප්‍රවෘත්ති. මේ නව යොවුන් වයස කියන වයස ගැන වැඩිහිටියො දකින්නෙ “දරුවො අපි කියන කිසිම දෙයක් අහන්නෙ නැති කාලයක්” විදියටනෙ. ර්‍ඒ වගේම නව යොවුන් වියේ ඉන්න දරුවන් වැරදි තීරණ ගත්තම අම්මලා තාත්තලා දරුවන්ගෙන් අහන ප්‍රශ්නයක් තමයි “ඔය වයසෙදි මොනවද ඔයාලට තියෙන ප්‍රශ්න?” කියන එක. ඉතින් ඒ නිසාමයි අපි හිතුවෙ මේ වෛද්‍ය ලිපි පෙළින් මේ වගේ කාලීන මාතෘකා ගැන කතාකරන්න.
මේ සඳහා අපි සම්බන්ධ කරගත්තා දන්ත සංරක්ෂණය පිලිබඳ විශේෂඥ වෛද්‍ය, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය දන්ත වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, දන්තජ ප්‍රීමියම් ඩෙන්ටල් චෙම්බර්ස්හි අධ්‍යක්ෂක ලක්මාල් කුලසේකර මහතාව.
නව යොවුන් වියේ දරුවන් අද මුහුණ දෙන විශාලතම අභියෝගය ලෙස ඔබ දකින්නේ කුමක්ද? එයට හේතු මොනවාද?
නව යොවුන් වියේ දරුවන් මේ කාලෙ මුහුණ දෙන විශාලතම අභියෝගය විදියට මම දකින්නේ, මම මේක මගේ වැඩසටහන් වලදිත් දැකලා සහ කියලා තියෙනවා, සමාජ මට්ටම, අධ්‍යාපන මට්ටම කුමක් වුණත් මේ දරුවන්ට තියෙන ප්‍රශ්නෙ තමයි දෙමව්පියන් දරුවන් එක්ක කතාකරන්නෙ නෑ කියන එක.
ඒකත් එක්කම දරුවො තව කියන දෙයක් තමයි අපේ අම්මල තාත්තලා අපිත් එක්ක කතාකරන්නෙ ඉස්කෝලෙ ලකුණු ගැන, විභාග ගැන අහන්න විතරයි කියලා. ඒ ඇරෙන්න ළමයෙක්ගෙ හිතේ ළමයට කියන්න තියෙන දේ අහන්න දෙමව්පියන් ඉඩක් දෙන්නෙ නැහැ කියන එක.දෙමව්පියන් හිතනවා අපි දරුවො එක්ක කතාකරනවනෙ කියලා. ඒ වුනාට මෙතනදි අපි ලොකුම අවධානය දෙන්න ඕන දෙයක් තමයි තමන් දරුවන් එක්ක කතාකරන්නෙ මොන වගේ දෙයක්ද කියන එක ගැන. ඒ වගේම ඒ කතාබහ ඇතුලෙදි දරුවට තමන්ගෙ හිතේ තියෙන දේ නිදහසේ කියන්න ඉඩක් තියෙනවද කියන එක ගැනත් බලන්න ඕන.
ඒක තමයි දැනට තියෙන ලොකුම ප්‍රශ්නෙ. ලංකාවෙ විශේෂයෙන් අපේ දෙමව්පියන් හිතනවනෙ දරුවො යන්න ඕන, එයාලා ලබාගන්න ඕන තමන්ට ලබාගන්න බැරි වුණ, තමන්ට යන්න බැරි වුණ තැනට කියන එක. ඒක නරක දෙයක් කියලා කියන්න බෑ. නමුත් ඔය කාරණාව ඇතුලෙ දෙමව්පියන්ට ළමයා කියන කෙනාව මග හැරෙන්න පුලුවන්.ඒ නිසා ඔතන තියෙන ලොකුම ගැටලුව විදියට මම දකින්නෙ දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සන්නිවේදනයේ තියෙන දුර්වලතාවය.කතා කරන වෙලාවේ ප්‍රමාණය විතරක් නෙවෙයි කතා කරන දේ ගුණාත්මකබවත් දැනගන්න ඕන.
සමාජ මාධ්‍ය හා තාක්ෂණය නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යයට බලපාන ආකාරය ඔබ සිතන්නේ කෙසේද?
අපි දැන් දන්නවනේ ලෝකෙ ගොඩක් රටවල ඇතැම් සමාජ මාධ්‍ය තහනම් කරලා තියෙනවා. අවුරුදු 16න් පහල ළමයින්ට සමාජ මාධ්‍ය භාවිතා කරන්නා බැරි වාරණ නිකුත්වෙලා තියෙනවා.
මම ඕක දකින්නෙ ටිකක් වෙනස් විදියට.හේතුව මේ කාලෙ ළමයෙක්ට සමාජ මාධ්‍ය භාවිතා නොකර ඉන්න එක ටිකක් ප්‍රායෝගික දෙයක් නෙවෙයි.මොකද දැන් උගන්වන Note එක පවා ගුරුවරු එවන්නෙ WhatsApp එකට වගේනේ. ඉතින් WhatsApp එකේ Chat ගොඩක් තියෙන නිසා ළමයින්ගෙන් මේක ඉවත් කරන එක ප්‍රායෝගිකව කරන්න බෑ වගේම මග හැරලා යන්න අමාරුයි.
ඉස්සර නම් අම්මලා කිව්වනෙ “අපේ ගෙවල් වල ටීවී දාන්නෙ නෑ” කියලා. ඒක ඉස්සර එහෙම කලාට දැන් ඇත්තටම ඒක කරන්න බෑ. මේවා අපි හඳුන්වන්නෙ Conventional Media කියලනෙ.සම්ප්‍රදායික මාධ්‍ය එක්ක ඉස්සර තිබුණ ගැටලුවම තමයි දැන් සමාජ මාධ්‍ය එක්ක තියෙන්නෙ.දෙමව්පියන්ට තමන්ගෙ දරුවන් එක්ක හරි සන්නිවේදනය, බැඳීම තියෙනවනම් ළමයට ලෝකෙ අලුත් වෙන විදිය එක්ක මුහුවෙන්න නිදහස දෙන්න ඕන කියන එක මම විශ්වාස කරනවා. අවබෝධයෙන් බැඳීම හැදෙන එක වඩා හොඳයි.
දැන් උදාහරණයක් කිව්වොත් මගෙ අම්මා මම පොඩි කාලෙ අරක කරන්න එපා, මේක කරන්න එපා කියලා කිව්වෙ නෑ, ඒ ලැබුණ නිදහස ඇතුලෙ මට අවබෝධයක් සහ වගකීමක් ලැබුණා කල යුතු දේ සහ නොකල යුතු දේ මොනවද කියල තේරුම්ගන්න.
සමහර වෙලාවට ඕනවට වඩා පාලනය කල ළමයින්ට වඩා අර ලැබුණ නිදහස අවබෝධයෙන්, වගකීමක් සහිතව භාවිතා කළ දරුවන් ජීවිතේ උසස් තැන්වලට ගිහින් තියෙනවා කියන එක.
දරුවන්ගේ ශාරීරික හා මානසික වෙනස්කම් ඔවුන්ගේ පවුල් ජීවිතයට බලපාන්නෙ මොන ආකාරයෙන්ද?
පිරිමි ළමයෙක්ට වුනත් ගැහැණු ළමයෙක්ට වුණත් මේ වගේ දේවල් ගැන කතාකරන්න තියෙන හොඳම තැන සහ හොඳම පිරිස වෙන්නෙ තමන්ගෙ දෙමව්පියන්.ඒක අපි වැඩිහිටියන් විදියට පිළිඅරගෙන දරුවන්ට ඕනම දෙයක් නිදහසේ අපි එක්ක කතාකරන්න ඉඩ කඩ හදලා දෙන එක තමයි අපේ වගකීම විය යුත්තේ.
ඒ කියන්නෙ සරලවම කිව්වොත් අපි දරුවන්ට මේ වයසෙදි ඇතිවෙන ශාරීරික සහ මානසික ගැටලු ගැන අපි එක්ක කතාකරන්න බැරි තැනකට දරුවන්ව අරගෙන එන්න එපා. දරුවන් තමන්ගෙ නව යොවුන් වියේදි තමන්ට ඇතිවන මානසික, ශාරීරික, ලිංගික වෙනස්කම් ගැන තමන්ගෙ දෙමව්පියන් එක්ක කතාකරන්න ඉඩක් තියෙන එකෙන් ඒ ගැන දැනුම වැරදි විදියට හෝ, වැරදි තැනකින් ලබාගෙන, ජීවිතේ වරද්දගන්න තියෙන ඉඩකඩ අවම කරලා දානවා. ලංකාවෙ පාසලකට ගියත් දරුවෙක්ට බයක් නැතුව මේ වගේ දෙයක් කතාකරන්න කෙනෙක් නෑ. මොකද ඒ විවෘත බව අපේ පාසල් සහ ගෙවල් ඇතුලෙන්ම වාරණ දාලා හංගලා තියෙනවා. ඒත් ඒකෙන් අපිට බෑ දරුවන්ගෙ මනසට හිතෙන දේවල්, ශාරීරිකව එයාලාට දැනෙන දේවල් වලට වාරණයක් දමන්න. ඒ නිසාම තමයි දෙමව්පියන් දරුවන් කියන්න හදන දේට සවන්දෙන්න ඕන.
“අම්මා මේ මොකද්ද? තාත්තා මේ මොකද්ද?” කියල දරුවෙක්ට බය නැතුව ඇවිල්ල අහන්න පුලුවන්කම තියෙද්දි දෙමව්පියෙක්ට දරුවො එක්ක වඩා හොඳින් Engage වෙන්න පුලුවන්.ඒ ඉඩ ගොඩක් වෙලාවට නතර කරන්නෙ දෙමව්පියන්.
“ඕව කතා කරන්න එපා, ඕව ළමයි අහන ප්‍රශ්න ද?” කියලා දරුවන්ගෙ ඇඟට කඩාගෙන පැන්නම දරුවො ඒව ගැන දැනගන්න උපදෙස් ගන්න ඉතාම නුසුදුසු කෙනෙක් ලඟට යන්න පුලුවන්. ඒ නිසා හැමතිස්සෙම මේ වගේ කාරණා ගැන සංවේදී වෙන්න. තමන්ටත් මෙහෙම කාලයක් තිබුනා කියන එක අමතක කරන්න එපා.
දරුවෙකු තුළ මානසික ගැටලු ඇති බව දෙමව්පියන්ට හඳුනාගත හැකි ලක්ෂණ මොනවාද, තම දරුවාට මානසික ගැටලුවක් ඇති වූ විට දෙමාපියන් ගත යුතු පළමු පියවර කුමක්ද?
දෙමව්පියන් එක්කනෙ දරුවො ගෙදර ඉන්නෙ.එතකොට දරුවෙක්ගෙ වෙනසක් ඇස් කන් ඇරගෙන ඉන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ට පේන්න ඕන.ළමයා බලාගත්ත අතේ බලාගෙන ඉන්නවනම්, එකම ඇඳුම ගඳ ගහ ගහ අඳිනවනම්, කාමරේ අපාය වගේනම් දරුවා ඉන්නෙ නිරවුල් මානසික තත්ත්වයක නෙවෙයි කියන එක වටහගන්න දෙමව්පියන්ට පුලුවන් කම තියෙනවා. ඒ වෙලාවට ඔබ කරන්න ඕන එකම එක දෙයයි. ඒ තමයි “ඇයි පුතේ?” කියලා දරුවෙක්ගෙන් අහන්න.
ඒක තමයි ඔය ප්‍රශ්නෙට කරන්න ඕන පලවෙනිම දේ. ඔය ඩිප්‍රෙශන්, ස්ට්‍රෙස් වගේ කියන මානසික බලපෑම් ඉස්සර උන්නු දරුවන්ටත් තිබුණා. අදත් තියෙනවා. ඒ වගේ දේවල් වලදි දෙමව්පියන්ට පුලුවන් දරුවන්ගෙ හිතට දැනෙන විදියට ලංවෙලා, ප්‍රශ්නෙ මොකද්ද කියන එක අඳුරගෙන ඒකට අදාල විශේෂඥ විසඳුම් ලබාගන්න.
ඔය නව යොවුන් වියේ දරුවන් සියදිවි නසාගැනීම පිළිබඳ මම දකින්නෙ ඒ වගේ සිදුවීම් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ උලුප්පා දැක්වීම ගැටලුවක්. මොකද මානසිකව නිරවුල් නොවූ තැනක ඉන්න දරුවෙක් ඔහොම දෙයක් දැකලා ඒක තමන්ගෙ ප්‍රශ්නෙට උත්තරයක්, විසඳුමක් විදියට දකින්න පුළුවන්.ඒ නසා තමයි මම හිතන්නෙ මේ වගේ දේවල් ගැන අපි උවමනාවට වඩා කතා නොකල යුතුයි කියන එක ප්‍රසිද්ධ මාධ්‍ය වල.
ඉස්සරත් ඔය වගේ මානසික ප්‍රශ්න තිබුණා. හැබැයි මාධ්‍ය භාවිතය අවම නිසා ඒ කාලෙ උන්නු දරුවො ඒ වගේ දේවල් විසඳුම් විදියට දුටුවෙ නෑ. ඒ නිසා හොඳම දේ තමයි දෙමව්පියන් දරුවන්ගෙ පොඩි හරි වෙනස්කමක් දැක්කම කරන්න ඕන එයාලා එක්ක පැහැදිලිව ඒ ගැන කතාකරන එක.දරුවව එළියට එක්කරගෙන යන්න පුලුවන්, විනෝද ගමනක් යන්න පුලුවන්, දරුවා එක්ක සහයෝගයෙන් කරන දේවල් කරන්න පුලුවන්. ඕනමනම් උපදෙසක් ගන්න සුදුසුකම් සහිත කෙනෙක් ලඟට අරගෙන යන්න පුලුවන්. මේ හැමදේටම මුල වෙන්නෙ දෙමව්පියන් සහ දරුවන් අතර තියෙන සම්බන්ධෙ. ඒක නැතුව අනිත් කිසිම දෙයක් සම්පූර්ණ වෙන්නෙ නෑ.
පාසල් වලට නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීම සඳහා කළ හැකි දේවල් මොනවාද?
ඔය වගේ තැනකදි අපි ප්‍රායෝගික පැත්තත් හිතන්න ඕනනෙ. පාසලක පංතියක ළමයි හතළිහක් පණහක් ඉන්නවා. පීරියඩ් එකක් විනාඩි හතළිස් පහයි. ඒ වගේ පොඩි වෙලාවක් ඇතුලෙ හැම ළමයෙක්ටම හොඳින්ම අවධානය දෙන්න පුලුවන්කමක් ගුරුවරුන්ට නෑ වගේම අපි ගුරුවරුන්ගෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන එකත් සාධාරණ නෑ.
හැබැයි පාසල්වල ඉන්නවා මේ වගේ දේවල් වලට ඇත්තටම දක්ශ ගුරුවරු. දරුවන්ව හොඳින්ම අවබෝධ කරගත්ත ගුරුවරු. දරුවන්ගෙ පොඩි වෙනසක් උනත් පේන ගුරුවරු. සමහර පාසල්වන නම් උපදේශනය ඉගෙන ගත්ත, ඒකට සුදුසුකම් තියෙන ගුරුවරු පවා ඉන්නවා. එහෙම කෙනෙකුගේ සහය දරුවෙක්ට ලබාගන්න පුලුවන්කම තියෙනවා. හැබැයි මෙතනදි අනික් තියෙන ප්‍රශ්නෙ තමයි දරුවන්ගෙ ප්‍රශ්නෙකට විසඳුමක් දෙන්න ඉදිරිපත් වෙන කොට “මෙයත් මගේම දරුවෙක්” කියල හිතලා උත්තර දෙන්න කටයුතු කරන්න ඕන. දරුවෙක්ගෙ ප්‍රශ්නයක් දැනගත්තම ඒක තැන් තැන් වල කිය කිය යන, පස්සෙ වෙන ප්‍රශ්නවලට ඕක හේතුවක් කරගෙන බනින කරන, ප්‍රසිද්ධියෙ ඕව ගැන කතාකරන කෙනෙක්ට මේ වගකීම ගන්න බෑ වගේම ඒ වෘත්තිය ප්‍රවීණත්වය නැති එක ගැටලුවක් වෙන්න පුලුවන්.
ඉතින් ඒ වගේ වගකීමක් දෙද්දි අපි හොඳින් හිතල බලලා තමයි ඒ තීරණ ගන්න ඕන. ඒ වගේ Counselling Unit එකක් පාසලක තියෙන එක ඇත්තටම හොඳ දෙයක්.
ශ්‍රී ලංකාවේ නව යොවුන් වියේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය පිළිබඳ තත්ත්වය කෙසේද?
පිටරටවල් එක්ක සාපේක්ශව බැලුවොත් ඒ රටවල දෙමව්පියන්ට අපේ රටේ තරම්වත් දරුවො සහ දෙමව්පියන් අතර තියෙන සබඳතාවයක් නෑ. දරුවො තනියමමනෙ ජීවත් වෙන්නෙ උස්මහත් වෙන්නෙ.
මෙහේ ඊට වඩා හොඳ උනාට පිටරටවල දරුවන්ට පැඑ රාටේ දරුවන්ට වඩා සාපේක්ශව නිදහසක් තියෙනවා.මෙහෙ ගොඩක් වෙලාවට අපේ අධ්‍යාපන ක්‍රමය එක්ක දරුවන් පුදුමාකාර තරගයක ඉන්නෙ. ඒක ලොකුම ලොකු ප්‍රශ්නයක්. දරුවෙක්ට පිට්ටනියකට යන්න, නාට්‍යයක් බලන්න වෙලාවක් නෑ. හැමදේම තරගයකට එකතු වෙලා. ඒ ඇරෙන්න තමන්ගෙ දක්ශතා වර්ධනය කරගන්න හෝ වින්දනය ලබන්න කියන පරමාර්ථයෙන් දෙයක් බලන්න කරන්න දරුවන්ට පුලුවන්කමක් නෑ. අපි නොහිතුවට ඒ වගේ දේවල් දරුවන්ගේ මානසික සෞඛ්‍යයට ලොකු බලපෑම් කරනවා කියන එක අපි තේරුම්ගන්න ඕන.
ඉතින්,
දරුවො කියන්නෙ මල් වගේ. තරගකාරී ලෝකෙක ඉපදෙන්න උනාට, දෙමව්පියන් සහ වැඩිහිටියන් විදියට අපිට පුලුවන්කම තියෙනා දරුවන්ගේ නිර්මාණශීලීත්වය, පරිකල්පන හැකියාව දියුණු වෙන විදියට උස් මහත් වෙන්න දරුවන්ට ඉඩකඩ සහ නිදහස ලබාදෙන්න.
හොඳ දරුවෙක් බිහිවෙන්නෙ හොඳ පවුල් පරිසරයකින් කියන එක අපිට අමතක කරන්න බෑ. දරුවො කියන්නෙ අපිට අවශ්‍ය වූ නිසාවෙන්ම මේ ලෝකෙට ආව අහිංසකයන් පිරිසක්. ඉතින් දහසක් කටු අකුල්, විස ඝෝර සර්පයන් බහුල මේ ලෝකෙ පරිස්සම් ගමනක් යන්න දරුවන්ට කියලා දෙන්නත් ඕන අපිම තමයි!