දෙව්රම් සන්දනායක රැගත් මෝටර් රථය රජරටට සේන්දු වන විට රාත්‍රිය මෝරා වැඩෙමින් තිබිණ. හෝරා කිහිපයක් එක දිගට රිය පැදවූවා කියා හෝ ඊටත් පෙර හෝරා ගණනාවක් කාර්යාලීය කටයුතු වෙනුවෙන් කැප කළා ය කියා ඔහු ට වෙහෙසක් දැනුණේ නැත. දින කිහිපයක් ගෙදර රැඳී විවේක ගැනීම ඔහු ගේ අරමුණ විය. ඔහු ට ගනුදෙනු කරන්නට සිදු වන නාගරික හා ජාත්‍යන්තර සමාජ තත්වයන්ගෙන් දුරස් වී ඉපදුණු හැදුණු වැඩුණු ගමට පැමිණි විට මඳක් නිදහසේ නිස්කාංසු සුවය විඳිමින් සිටිත හැකි යයි දෙව්රම් තීරණය කළේ හදිසියේ කාර්යාලයේ දී ය. සියල්ලෙන් විනිර්මුක්ත වී කාටවත් හොයාගත නො හැකි අස්සක මුල්ලක සැඟවීගන්නට ඔහුට උවමනාවක් දැනිණ. නමුත් ඔහු ගේ කැලැන්ඩරය ඉදිරි වසර පුරාවට වැඩ වෙනුවෙන් වෙන් වී තිබේ. දෙව්රම් කියන්නේ කිසි දාක බාර ගත් වැඩක් අතපසු කළ කෙනෙකු නොවේ. සාමාන්‍යයෙන් ප්‍රමාද වී වැඩ වලට පැමිණීම ක්ශේත්‍රයේ බොහෝ ශිල්පීන්ගේ පුරුද්ද වී තිබිණි ද දෙව්රම් උත්සාහ කළේ ඔහු ට නියමිත වෙලාවට වඩා විනාඩියකට හෝ කලින් එතැනට යන්නටයි. ඒ සිය මව් පියන්ගෙන් ඔහු ට ලැබුණ යහපත් ජීවන පුරුද්දකි. ගමට යන අතරේ ම ඔහු ඉදිරි දින දෙක සඳහා සැලසුම් කොට ඇති රූගත කිරීම් අවලංගු කරන්නට සහාය අධ්‍යක්ෂවරයාට කතා කළේ ය.
“මට හදිස්සියෙ ගමේ යන්න වෙලා තියනව. ඒ දවස් දෙකේ කෑන්සල් වෙන ශූටින් රීශෙඩියුල් කරන්න මල්ලි”
සහාය අධ්‍යක්ෂකවරයා ගොළු වූයේ කුමක් කියන්න දැයි සිතා ගත නො හැකි වූ හෙයිනි. ඔහු ගේ අත්දැකීම අනුව මේ දෙව්රම් විසින් රූගත කිරීමක් අවලංගු කළ ප්‍රථම වතාවයි. අදහසක් දක්වන්නට පෙර ම දෙව්රම් විසින් දුරකතන සම්බන්ධය බිඳ දමා තිබිණ.
බාර ගත් වැඩ අවසාන වන්නට හැර, අලුතෙන් වැඩ බාර නො ගෙන ටික දවසක් ගෙවෙන්නට හැරිය යුතු යයි ගමන අතරේ ම දෙව්රම් තීරණය කර ගත්තේ ය. පසුගිය වසර කිහිපය පුරා ම ඔහු විවේකයකුදු නො ගෙන නො කඩවා වැඩ කළේ ය.
“මිනිහෙකුගෙ ලක් එක තියෙන්නෙ ටික කාලයයි. ඒ කාලෙදි මහන්සි වෙලා වැඩ කරල අනාගතේ වෙනුවෙන් සල්ලි ටිකක් ඉතුරු කරල තියාගන්න එකයි කරන්න ඕනෙ”
යන අදහස ඔහු ගේ මනස තුළ නිරන්තර දෝංකාර දුන්නේ ය. දෙව්රම් වූ කලී වැඩ කිරීමෙන් සතුටු වූ මිනිසෙකි. නමුත් ඉදිරියේ දී විවේකයක අවශ්‍යතාවය දැන් ඔහු ට දැනේ. එවන් විවේකයක් ගැනීමට තරම් ඔහු මෙතුවක් කළ වැඩ ප්‍රමාණය වැඩිත් එක්ක ය.
දෙව්රම් ගේ රිය ගේට්ටුව ඉදිරියෙහි නතර වූයේ, සාලිය සන්දනායක ගේට්ටුවේ අගුලු දමා ගොස් මිදුලේ විදුලි පහන් නිවා හැරුණු ගමන් ය. රියෙහි විදුලි පහන් එළියෙන් ගේට්ටුවේ ඉබ්බා දමා ඇති බව දුටු දෙව්රම් රිය නලා හැඬවී ය. තවම තාත්තා ලොකු නින්දකට වැටී නොමැති බව වෙලාව අනුව ඔහු දනී. කාමරයට යන්න ගිය සාලිය ආපසු හැරී විත් මිදුල වටේ විදුලි පහන් දැල්වූයේ ය. ඊලඟට මහ දොර කිට්ටුවෙන් වන වීදුරු ජනේලයට දෑස් ලං කොට පිටත බැලුවේ ය. කඩිනමින් ඔහු දොර ඇරියේ “නාලිනී” යි ගෙතුළට කතා කරමිනි. වත්ත ඇතුළට එන්නට හැරවී ඇති මෝටර් රථය සිය පුතු ගේ මිස වෙනකෙකුගේ නොවන බව දැනුණේ සාලිය ගේ හදවතටයි. ඔහු දොර අගුල විවර කොට දෙපියන් දොර දෙපසට තල්ලු කරනා විට නාලිනී එගොඩගේ ඔහු පිටුපස වූවා ය. රෑ ඇඳුමට මත්තෙන් දමාගෙන පැමිණි ගෘහ කබායේ බොත්තම් පියවමින් ඕ තොමෝ “කවුද” යි විමසූයේ රහස් හඬකිනි.
“පුතා ඇරෙන්න මේ වෙලාවෙ වෙන කෙනෙක් වෙන්න බෑ”
“පුතා එනව කියල කෝල් එකක්වත් දුන්නෑනෙ. කවුද බලන්නැතුව ගේට්ටුව අරින්නෙපා”
නාලිනී ගේ වදන් කනකට ගත්තේ සාලිය නොවේ. ගේට්ටුවේ ඉබ්බාගේ යතුර ගෙන ඔහු වහ වහා ඉදිරියට ගියේ ය. දෙව්රම් පැති වීදුරුවක් පහත් කොට මඳක් නැවී “තාත්තෙ මං” යයි කීවේ ය. පපුව පලාගෙන එන දාරක ස්නේහයකින් යුතුව වහා ඉබ්බා හැර දෙපියන් ගේට්ටුව දෙපසට තල්ලු කොට සාලිය පුතා ට ඉඩ ලබා දුන්නේ ය. දෙව්රම් ගෙදර එන හැම වතාවක ම මේ විදිහට සාලිය ගේ පපුව ආඩම්බරයෙන් වාං දමයි. ගේට්ටුව යළි වසා දමා ඔහු ගේ දෙසට යන විට නාලිනී පුතාව සිපගනිමින් සිටියා ය.
“පුතා එනව කියල කියන්න එපැයි කෝල් එකක් දීල”
ඒ පියෙකු ගේ ආදරණීය නෝක්කාඩුවකි.
“එන්න හිතං හිටියෙ නෑ තාත්තෙ. ඔෆිස් එකේදි හිතුණ අද ගෙදර යන්නම ඕනයි කියල. හෙටයි අනිද්දයි ශූටින් දෙකක් කෑන්සල් කරලයි මේ ආවෙ”
“යංකො ගෙට. මායි අම්මයි කතා කර කර හිටියෙ අපි දෙන්න කොළඹ ගිහිං දවස් කීපයක් පුතා එක්ක ඉඳල එමු කියලයි”
“අනේ එහෙනං කොච්චර දෙයක්ද… තාත්ත එහෙම නිවාඩුවක් ගනී කියල මං හිතුවෙ නෑ”
“ඔයා වෙනුවෙන් අපිට මොනාද පුතා කරන්න බැරි… මං තේ එකක් හදන්නං. ඇඟ පත හෝදගෙන එන්නකො. ළිඳට යන්නෙපා මේ අවේලාවෙ. නාන කාමරෙං හෝදගන්න”
ගෙදර පැමිණි විට අඳින්නට තබා ඇති දෙව්රම් ගේ ඇඳුම් අල්මාරිය හැර සාලිය තුවායක් ඔහු ගේ අතට දුන්නේ ය. අහන්නට කියන්නට කාරණා අපමණ වී ද අම්මා සේ ම තාත්තා ද තවම ඒ කිසිත් ගැන කට නො හෙල්ලූයේ අන් සියල්ලට වඩා ඔවුන්ට සිය පුතනුවන් වටිනා බැවිනි. මොනවා නැත ද, හිස් අතින් ඔහු ගෙදර පැමිණිය ද ආදරයෙන් බාර ගන්නට තවමත් ඔවුන් ගේ හදවත් සූදානමින් බැවිනි.
දිය නාගෙන පැමිණි දෙව්රම් වෙනුවෙන් උණු කිරි කෝපි එකක් සූදානමින් තිබිණ. කිරි කෝපි බීමෙන් කුසගින්න කල් යත හැකි වී ද දීර්ඝ ගමනක තෙහෙට්ටුව නිවෙන්නට කෝපි එකක් තරම් වෙන කිසිත් නොවන බව නාලිනී දන්නී ය. හැමදාමත් ගෙදර පැමිණි ගමන් දෙව්රම් බලාපොරොත්තු වන්නේ අම්මාගේ කිරි තේ හෝ කිරි කෝපි එකකි. අනිත් අතට කොහොමටත් අද රාත්‍රී නින්දක් ගැන නිශ්චිතව කිව නො හැකි නිසා පමා වී බත් කන්නට පිළිවන.
“ඩිවෝස් එක ලැබුණ තාත්තෙ”
දෙව්රම් ඒ දැනුම්දීම කළේ, උගුර පිච්චි පිච්චී කෝපි උගුරු දෙක තුනක් බීමෙන් පසුයි. සාලිය මුව තද කරගෙන ඔහේ බලා සිටියේ ඒ වෙනුවෙන් කියන්නට දෙයක් පාදා ගත නො හැකි වූ බැවිනි.
“වෙන්න තිබුණ හොඳම විදිහට තමයි ඔය වුණේ”
හිස් තැන පියවූයේ නාලිනී ය.
“අපිනං ඉතිං මුල ඉඳලම ඔය කසාදෙට ලොකුවට කැමති වුණෙ නෑනෙ. පුතාට ඒකම කරගන්න ඕන කියපු නිසා… පුතාගෙ හිත රිද්දන්න බැරි කමට ඔහේ බලං හිටිය. ඒ වුණත් පුතා හොඳ පවුල් ජීවිතයක් ගෙවනවනෙ කියල පස්සෙ අපි සන්තෝස වුණා”
“දැන් ඉතිං ඕව කතා කරල ඇති වැඩක් නෑ නාලිනී”
සාලිය සුසුමක් සමගින් එසේ කීවේ පුතා ගේ මූණ මගහරිමිනි. සැබවින් දෙව්රම් ගෙදර පැමිණි මොහොතේ පටන් සාලිය තවමත් හරියට ඔහු ට මූණ නොදුන් තරම ය. ඒ පුතාගේ මූණ බලන්නට හයියක් ඔහු තුළ නැතැයි සිතූ බැවිනි. බිඳී ගිය ප්‍රථම ප්‍රේමය වෙනුවෙන් පුතා ගේ මුහුණේ ඇඳී ඇති වේදනා සිත්තම් දකින්නට තරම් හයියක්, තාත්තා ගේ වියපත් වෙමින් ඇති හදවතට නොවූ බැවිනි.
“දැං ඉතිං පුතා ඕව ගැන හිත හිත කණගාටු වෙන්න ඕනකමක් නෑ. කොහොමත් ඕකුං අපිනං ගණංගත්ත මිනිස්සු නෙවෙයි. මේ සමාජෙට ඔය කුළ ගොත් ගැලපෙන්නෙ නැති වුණාට ආරේ ගුණ නෑරේ කියන්නෙ නිකංම නෙවෙයි”
සාලිය සිය බිරිඳ දෙස බැලුවේ ‘ඔය කතාව නතර කරගන්න’ කියන බැල්ම ඇස් වල රඳවාගෙන යි. නාලිනී ඇවිත් පුතා අසුන් ගෙන සිටි යුගළ අසුනෙහි යාබදව වාඩි වූවා ය. ඇගේ අතැඟිලි ඔහු ගේ හිස කේ අතරෙහි රුවා පරිස්සමෙන් හිස පිරිමැද්දා ය.
“අරකි අර කියන කතා ඇහුණහම මට වාවන්නැතුව ගියා. මං මෙච්චර ලස්සනට වැදගත් විදිහට හදපු දරුවට කියපු නොහොබිනා කතා… දෙයියො කියල කවුරු හරි ඉන්නවනං බලාගන්න ඕන දෙයියනේ…”
නාලිනී ගේ හඬ බිඳී ගියේ ය. දෙව්රම් වමත අම්මා ගේ උරහිස වටා යවා ඇයව වඩාත් සමීප කරගත්තේ ය.
“හරි හරි. දරුවගෙ හිත හදනව වෙනුවට තවත් පාරන්නද ඔයාට ඕනෙ… දැං ඔය කිසි කතාවකින් වැඩක් නෑනෙ. වෙන්න තිබුණ හැමදේම වෙලා ඉවරයිනෙ”
“සපූ ඩිවෝස් එක ඉල්ලපු එක ගැනනං මං දුක් වෙන්නෑ තාත්තෙ. එයාට මාව එපානං ඉතිං වෙන් වෙනව මිසක් වෙන කරන්න දෙයක් නෑනෙ. හැබැයි එයා ඔය ප්‍රසිද්දියෙ කියන කතා ගැන තමයි කණගාටු”
“පුතා එව්ව ගැන කණගාටු වෙන්නත් ඕන නෑ. පරණ අකුසල කර්මයක් ඒ විදිහට ගෙවිල ඉවර වුණා කියල හිත හදාගන්න එකයි තියෙන්නෙ. බැඳීම් වලින් නීතියෙන් විතරක් නිදහස් වෙලා බෑ. හිතෙනුත් නිදහස් වෙන්න ඕනෙ. ඔය දේවල් ගැන හිත හිත සාප කර කර… වෛර කර කර ඉන්න ගියාම තව තවත් ඒ නරා වළේම වැටිල ඉන්නයි වෙන්නෙ”
“මාත් එහෙම හිතනව තාත්තෙ”
නමුත් පුතා ගේ හදවත තවමත් රිදුම් දෙන තුවාලයක් වන බව සාලිය ට සේ ම නාලිනී ට ද දැනේ. ඔහු මේ විදිහට අවේලාවේ ගෙදර දුවගෙන ආවේ ද ඒ නිසා බැව් ඔව්හු දනිති. දෙමව්පියන් වශයෙන් මේ වගේ අසීරු මොහොතක දී නො වෙනස්ව දරුවා ළඟ හිඳිය යුතු යයි අම්මාත් තාත්තාත් විශ්වාස කරති. තවත් ටික වෙලාවක් කතා බහ කිරීමෙන් පසු නාලිනී දෙව්රම් ට බත් කැව්වා ය. දවාලේ පිසූ පොළොස් මාළුවෙන් කොටසක් ද වැව් කරවල බැදුමක් ද ඉතිරි වී තිබි අතර, නාලිනී අමුතුවෙන් බිත්තරයක් බැද්දා ය. දෙව්රම් ඒ කුස පිරෙන්නට අහරක් ගත්තේ දෙතුන් දිනකට පස්සේ ය.
නිදන්නට කාමරයට ගිය පසුව ය ඔහු ඒ කෙටි පණිවිඩය දුටුවේ. අඩ සිනහවකින් කොට්ටයට හරි බරි ගැසී දෙව්රම් එය කියවන්නට ගත්තේ ය.
” කාල බීල හොඳට දොයියන්න. ඩ්‍රිංක්ස් ගන්නෙපා. මිනිස්සුන්ට හැමදේම මතක ටික දවසයි. කතා කරන්න වෙන මාතෘකාවක් හම්බ වෙනකල් විතරයි. ඒ වෙනකල් සෝෂල් මීඩියා යූස් කරන්නෙපා. බොරුවට නෙවෙයි… ඇත්තටම හිනාවෙන්න ලැබෙන්නෝනෙ ඉක්මනින්ම. ඔයාට තරං ලස්සන හිනාවක් මේ ලෝකෙ වෙන කිසිම පිරිමියෙක්ට නෑ”
දෙව්රම් පපුව පිරෙන්නට හුස්මක් ගත්තේ හිතා මතා නොවේ. ඇය කවුරුන් විය යුතු ද? තවමත් ඇයට මේ රහසිගත චරිත නිරූපණය එපා වූයේ නැත්තේ ඇයි? ඔහු ට පෙම් කරනවා පමණකුදු නොව ඔහු නොලැබුණහොත් වස බී මැරෙනවා කියා වස කුප්පි වල පින්තූර පවා එවූ ගැහැනු ළමයින් දෙවරම් ගේ රසික ප්‍රේම ලයිස්තුවේ සිටිති. ඔහු ඒ හැමකෙකුට කරුණාවත් වූයේ ය. ආඩම්බරකම් නො පෙන්වූයේ ය. ඔවුන් සිය පෞද්ගලික ජීවිතයට බලපෑමක් නො කරගන්නට තරම් සියුම් බුද්ධියකින් ද ක්‍රියා කළේ ය. ආදරෙයි කියමින් ද නො ලැබුණොත් මැරෙනවා කියමින් ද ආදරණීය තර්ජන කරනා ලද බොහෝ ස්ත්‍රීන්ට, ලොකු අවධානයක් නොදී හිඳීම මගින් ඒ ප්‍රේමය අමතක කොට දැමිය හැකි බව ද දෙව්රම් දැන ඉගෙන ගත්තේ අත්දැකීමෙනි. නමුත් මේ නාඳුනන සුබ පතන්නී ඒ සියල්ලන්ට වඩා වෙනස් ය. වසර දෙක තුනක් තිස්සේ ඇය සිය චර්යාව නො වෙනස්ව පවත්වා ගනී. දෙව්රම් ගේ ප්‍රේමය ඉල්ලා සිටීමට තරම් අද අද වන තුරා ඇය පෙළඹී නැත. දවසකට දෙකකට වරක් දුරකතන ඇමතුමක් දී නිහඬ ව ඔහු ගේ හඬ අසා සිටිනවා පමණකි. දැන් මේ පැමිණෙන සුවිශේෂ කෙටි පණිවිඩ පවා, ඔහු ගේ පෞද්ගලික ජීවිතයෙහි සිදු වූ වෙනස දැන එවන ඒවා ය. නමුත් ඇය සිය සීමාව අතික්‍රමණය කරන්නට මොහොතකට වුව සිතන්නේ නැත. මේ රහස් මෙහෙයුම එපා වී එය නිමා කරන්නේ ද නැත. සැබවින් ඇය කවුරුන් ද?
යහනෙන් නැගිට ඔහු ඒ අංකය ට ඇමතුමක් ගත්තේ ක්ෂණික සිතිවිල්ලකට නතුවයි. එදා තණකොළ කපන්නෙකු ගැන විමසා පැමිණි ඇමතුම හා මේ නිරන්තරේ සිය හඬ අසා සිටිනු වස් පැමිණෙන ඇමතුම් ද හිත හදන්නට පැමිණෙන කෙටි පණිවිඩ ද සමපාත නොවෙනා බව ඔහු ට දැනේ.
ඒ වෙලාවේ ආදියා නිදි ලොව වෙතට ප්‍රවේශ වෙමින් සිටියා ය. දුරකතනය හැඬවෙත්දී කලබලයෙන් ම එය සවනට ගෙන නිදිමතෙන් “හෙලෝ” කීවාට පස්සේ ය ඇය සැබවින් අවදි වූයේ!