චිකන් සම්බල් 

බත් කද්දි බැඳුමකුත් හොයන එක අපි වැඩිදෙනෙක්ගෙ පුරුද්දක්නෙ. 

වේලිච්ච මිරිස් කරලක් දෙකක්, කරවල කෑල්ලක්, සාලයො හරි හුරුල්ලො හරි මාළුවෙක්, මුරුක්කු, පපඩම්, උම්බලකඩ සම්බෝලයක්, ලූණු සම්බෝලයක් වගේ කෑම වර්ග අපි කාගෙත් බත් පිඟානක නිතරම දකින්න ලැබෙන්නෙ ඒ නිසයි.

හැබැයි ඔන්න අපි අද කියල දෙන්නෙ නන් අපිට හුරුපුරුදු රසකින් ටිකක් වෙනස් විදිහෙ සම්බෝලයක් හදාගන්නෙ කොහොමද කියලයි.

සාමාන්‍යයෙන් කන සම්බෝල වලට වඩා වෙනස් රසක් අරන් එක කුකුළු මස් සම්බෝලයක් හදාගන්නෙ කොහොමද කියල අපි අද බලමු.

හරිම ලේසියෙන් ඉක්මණින් හදාගන්න පුළුවන් මේ සම්බෝලෙ හොඳින් සෝදා වතුර සම්පූර්ණයෙන්ම ඉවත් වෙන තෙක් වේලාගත්තු වීදුරු බෝතලයක ගබඩා කරල එහෙමත් නැත්නම් ආහාර සඳහා සෞඛ්‍යාරක්ෂිත ප්ලාස්ටික් භාජනයක දමලා ශීතකරණයේ තබාගෙන කන්න වුනත් ඔබට පුළුවන්.

පුරුදු විදිහට එහෙනම් මුලින්ම අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් 250g ක් 

ලොකු ලූණු 300g ක් 

රටකජු 50g ක් 

කරපිංචා ඉති 02 ක කොළ

කහ කුඩු

මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු

ලුණු කුඩු 

තෙල්

වතුර

මේ දේවල් භාවිතා කරල කුකුළු මස් සම්බෝලෙ හදාගන්නෙ කොහොමද කියල අපි ඊළඟට බලමු.

සාදාගන්නා ආකාරය

මුලින්ම, කුකුළු මස් කැබලි වලට ඔබේ රස අනුව කහ කුඩු, ගම්මිරිස් කුඩු සහ ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

කලවම් කරගත් කුකුළු මස් පැය භාගයක් පමණ තබා වතුර ටිකක් එකතු කර හොඳින් තම්බා ගන්න.

තම්බාගත් කුකුළු මස් වතුරෙන් ඉවතට ගෙන කටු තිබේ නම් කටු ඉවත් කර සම්පූර්ණයෙන් නිවෙන තුරු පසෙකින් තබන්න.

ඒ අතරතුර ලොකු ලූණු හැකිතරම් සිහින්ව දිගට ලියාගන්න. කොටු හැඩයට කපන්න එපා.

තෙල් තාච්චියක් ලිප තබා ලියාගත් ලූණු ටික රන්වන් පාට වනතුරු බැඳගන්න. ලූණු වල වටේ රන්වන් පාට වී මැද සුදු පාටට තිබියදී ඉවතට ගැනීමෙන් ලූණු අනවශ්‍ය විදිහට කර නොවී තබාගන්න පුළුවන්.

සෙන්ටිග්‍රේට් අංශක 180 ක උෂ්ණත්වයේ විනාඩි 5 න් 5 ට ඉවතට ගෙන කලවම් කර එයා ෆ්‍රයර් එකේ වුනත් ලූණු හරිම ලස්සනට බැදගන්න ඔබට පුළුවන්. විනාඩි 05 වාර 04 කින් 05 කින් පමණ ලූණු ටික බැදගෙන අවසන් කරන්න ඔබට පුළුවන්.

මෙලෙසම රටකජු ටිකත් රන්වන් පාට වනතුරු ගැඹුරු තෙලේ බැදගන්න.

දැන් ලිප නිවා තෙල් වල රස්නෙන්ම කරපිංචා කොළ ටිකත් තද කොළ පාට වනතුරු බැදගෙන පාට වෙනස් වීමට කලින් තෙලෙන් බාගන්න.

දැන් නිවෙන්නට තැබූ කුකුළු මස් ටික බ්ලෙන්ඩරයට දමා කුඩා කැබලි සිටින සේ කුඩු කරගන්න.

සම්පූර්ණයෙන් කුඩු වෙන තුරු බ්ලෙන්ඩර් කරගන්න එපා.

දැන් පැතලි තාච්චියක් ලිප තබා එයට තෙල් මේස හැඳි 02 ක් පමණ දමා තෙල් රත්වන විට කුඩු කරගත් කුකුළු මස් ටික තෙලට දමා ගන්න.

කලවම් කරමින් කුකුළු මස් රන්වන් පාට වනතුරු බැදගෙන ලිපෙන් ඉවත් කරගන්න.

එම භාජනයටම නැවත තෙල් මේස හැඳි 02 ක් දමා රත්කර ඔබේ රස අනුව කෑලි මිරිස්, මිරිස් කුඩු, ලුණු කුඩු සහ ගම්මිරිස් කුඩු එකතු කර කලවම් කරගන්න.

දැන් එයට බැදගත් කුකුළු මස්, ලූණු, කරපිංචා සහ රටකජු එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් ඔබේ සම්බෝලය ලිපෙන් ඉවතට ගෙන සම්පූර්ණයෙන් නිවුණු පසු ඇසුරුම් කර තබාගෙන ආහාරයට ගන්න පුළුවන්.

සම්බෝලය ඉවතට ගනිද්දි ඒ සඳහා තෙත නොවූ වියළි හැන්ඳක් වෙනමම තබා ගන්න ඔබට පුළුවන්. 

එහෙනම් හදල බලමු නේද?

සටහන – දුලානි නවෝද්‍යා

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles