ජීවිතය කවියක් නොවේ – 3

0
4285


විනාඩි කිහිපයක් ගතව යනතුරු ධනංජය දෙස බලා උන් හසාරා කාමරයෙන් නික්මුණේ දිගු සුසුමක් මුදා හැරියාට පසුවය.උදෑසන සිට ඇදගෙන උන් ඇඳුම් අහවර කරන්නටවත් ඉඩක් නොදුන් ඔහු කියවමින් සිට දෑස් පියා ගත්තේ බොහෝ වේලා ඉක්ම යන්නට මත්තෙන් ය.

වෙහෙසකර අයුරින් උඩුමහලේ විසිත්ත කාමරයෙහි  සුවපහසු අසුනකට බර වූ හසාරා දෑස් පියා ගත්තේ  මේ සිදු වූයේ කුමක්දැයි සිතමින්ය.ඉද හිටක මිතුරන් එක්වන සාදයකදී මත්පැන් පානය කළත් ධනංජය මේ අයුරින් අවසිහියට පත්ව සිටිනු ඈ කිසි දිනෙක දැක තිබුණේ නැත.එනිසාම හසාරාගේ සිතෙහි වූයේ අමුත්තකි.වරින් වර ඔහු පැවසූ වදන් යළි යළි මෙනෙහි කරමින් ඈ ඒවා ගලපා ගන්නට උත්සහ දැරුවේ එනිසාය.

“ මට නොකියන මොනවා හරි දෙයක් ධනා හිතේ තියාගෙන ඉන්නවද..අද විතරක් නෙමෙයි. ඊයේ පෙරේදා ඉඳලා එයාගේ මේ හැසිරීම හරි අමුතුයි..කියන කතාත් හරි අමුතුයි…”

හසාරා අවසන තමාටම මුමුණා ගත්තාය.නිර්මිතාට කතාකොට මේ සියල්ල පවසන්නට සිතුනත් ඇය උන්නේත් යමක් තේරුම් බේරුම් කරගත හැකි තත්ත්වයක නොවේ. මේ වනවිටත් බමන මතින් ඇඳට වැටුණු ඕ සුව නින්දක බව විශ්වාසය.යළිත් දිගු සුසුමක් මුදා හැර නැගී සිටි තරුණිය නිදන  කාමරයට ගොස් සාරිය උනා දමා තුවායක් ඇද ගත්තේ නාන කාමරයට යාමේ අරමුණෙන්ය.ධනංජය තද නින්දකය.දිගු කලිසම  ගලවා සරමක් අන්දවා ඔහුට සුවපහසු නින්දක් ලබා දෙන්නට සිතුවත් අවසන හසාරා එසේ නොකළාය.මේ නින්දෙන් අවදිකිරීම ඔහුව කෝප ගන්වනු ඇතැයි ඇයට සිතිණ.ඔහුගැන බියක් ඒ සිතෙහි ඉපදී තිබුනේ අහේතුකව නොවේ.

*******==================

නිර්මිතා කාමරයේ වූ බඩු සීසී කඩ විසිකර දැමුවේ මහ හඬින් හඬමින්ය.අවසන දොර අසලට වී දෑස් විසල් කරගෙන බලා උන් අම්මාවත් එලවා ගත් ඈ ඇඳ පාමුල බිම වාඩි වූයේ සිය හිසකේ දෑත් වලින්ම ඇදගනිමින්ය.

තමා මේ ජීවිතය තුළ අසාර්ථකම ගැහැණියක වූයේ කෙසේදැයි ඇයට නොතේරේ.සිතූ පැතූ කිසිවක් ඒ අයුරින් ඉටු වන්නේ නැත.ජීවිතය දිනන දිරිය ගැහැනියක වීමට පැතූ පැතුම් සේම කළ කැප කිරීම් ද අපමණය.එහෙත් යළිත් වරක් තමාට සිදුවූයේ පරාජය දෝතින් දරාගෙන නිහඬවන්නටය.එකම විශ්ව විද්‍යාලයක එකම බෝඩිං කාමරයක ජීවිතය බෙදාගත් යෙහෙළිය අද වන්නේ තමාට අත පෙවිය හැකි මානයක නොවේ.දිනෙන් දින තම රැකියාවේත්  ජීවිතයේත් ඉහලට පියනගන ඇය දැන් කාගේත් සිත දිනා ගත් සුවිශේෂී චරිතයකි.කාර්යාලයේ සේම අවශේෂ සමාජයේද ඇයට ඇත්තේ ඉහළ තැනකි.කුමන පැත්තකින් බැලුවත් හසාරා  අංග සම්පූර්ණයැයි නිර්මිතාට සිතුනේ වරක් දෙවරක් නොවේ.

“ ඇයි එයාට පුළුවන්නම් උඹට බැරි වුණේ….”

තමා කණ්ණාඩියට එබෙන සෑම වරකම කණ්ණාඩියෙන් පෙනෙන තමාගේම රුව ප්‍රශ්න කරනා අයුරු නිර්මිතාට සිහි වූයේත් ඒ හදිසියේමය.

“ ඒකි  මගේ යාලුවා. ඒකිට හරියන්න ඕනේ…ඇයි මං මෙහෙම හිතන්නේ…
ඒකි හැමදාම දුකට සැපට මාත් එක්ක හිටියා.මගේ ජීවිතේ හැම දෙයක්ම එයාගේ දෙයක් කරගෙන බෙදා ගත්තා..”

එසේ සිතමින්,  තමාටම පවසා ගනිමින් සිතත් සමඟ තර්ක කර වරෙක නිර්මිතා හෙම්බත් වූවා ඇයට මතකය.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළදී තමාට මුලින්ම හසාරා හමු වූ අයුරු නිර්මිතා සිහි කළේ සීතල සිමෙන්ති පොළොවේ වැතිරගෙන.සාමාන්‍ය පෙළ හදාරද්දී සිදුවූ රිය අනතුරකින් සිය පියා අහිමි වද්දී නිර්මිතාත් සොහොයුරාත් අම්මාත් එකට ගුලි වී හැඬුවේ අනාගතයේ මුහුණ දෙන්නට සිදුවන අභියෝගවලට බියපත්වය.තාත්තා පුද්ගලික ආරක්ෂක අංශයක ආරක්ෂක නිලධාරියෙකු වශයෙන් සේවය කළේ මහ මෙරක් තරම් වැටුපක් ලබාගෙන නොවේ.බඩගින්නේ නොතියා නිවැසියන්ගේ බඩ පිරවූවාට,දරු දෙදෙනාට අධ්‍යාපනයක් ලබා දුන්නාට, නොතෙමී සිටින්නට නිවසක් තිබුනාට ජයසිරි ගම්ලත් යනු යමක් ඉතිරි කරගන්නට සමත් වූ පුද්ගලයකු නොවේ.කිසිවෙකුට අත නොපා හෝමාගමවන් කොළඹට තදාසන්න ප්‍රදේශයක ජීවත්වීමට අවකාශ ලැබුණේත් තම බිරිඳගේ සකසුරුවම්කම නිසා බව ඔහු දනී.හදිසියේ සිදු වූ ඔහුගේ වියෝව  නිර්මිතාටත්  සයුරුටත් දරාගත නොහැකි එකක් වූයේ එනිසාය.චන්ද්‍රාණී අසල වූ රබර් කර්මාන්ත ශාලාවක සේවය කරන්නට පටන් ගත්තේ එතැන් සිටය.උසස් පෙළ විභාගයෙන් පසුව නිර්මිතා රැකියාවක් සොයා ගැනීමට උත්සහ දරද්දී චන්ද්‍රාණී බලකර කියා සිටියේම ඇය විශ්ව විද්‍යාලයට යා යුතු බවය.

“ ඒක අර මිනිහගේ හිතේ තිබුණු ලොකු ආසාවක් දරුවෝ.මට සහ ගහයි මං ඒ කැමැත්ත ඉෂ්ඨ කරේ නැත්නම්.මං මොනවාම හරි කරලා උඹට උගන්නනවා.උඹට පුළුවන් උඹේ ඇස් පාද ගෙන මල්ලිගෙත් ඇස් පාදන්න..ඔය විකාර අදහස් ඔලුවෙන් අහක් කරලා විශ්ව විද්‍යාලයට යන්න ලෑස්ති වෙමු පුතේ…”

පමුණුවෙන් අඩු ගණනට ලබාගත් රෙදි බෑගය නේවාසිකාගාර කාමරයේ කුඩා ඇඳ මතින් තැබූ නිර්මිතා එහා පස උන් යුවතියට මද සිනහවක් පා කොට ඇදෙන්ම අසුන් ගත්තේ ඈ  ගෙනැවිත් තිබූ රෝද සවිකල ගමන් බෑගය දෙස බලාගෙනය.

“‘මම හසාරා…නුවර…ඔයා…”

මුලින්ම හඬ අවදි කළේ ඈය.

“ මම නිර්මිතා..කළුතර..”

එතැන් සිට යුවතියන් දෙදෙනාට කතා කරන්නට ඕනෑ තරම් දේ විය.හසාරා නුවර නගරයට ආසන්නයේම පදිංචි බව පැවසුවේ ඈය. තාත්තා වතු පරීක්ෂකවරයෙකු බවත් අම්මා ගුරුවරියක බවත්  එකම සොහොයුරිය පිටරටක වෙසෙන බවත් මවත් පියාත් එහි යාමට අපේක්ෂාවෙන් සිටින බවත් නිර්මිතා හා පැවසුවේ හසාරාමය. ඇයට තමා  තරමටම ආර්ථික අපහසුකම් නොවන බව නිර්මිතා වටහා ගත්තේ ඇගේ ඒ කතා බහෙන් පසුවය.තමාගේ නිවසේ විස්තර  යෙහෙළිය හා පවසද්දී දෑස් තුළ පිරී තිබූ කඳුළු කොපුල් දිගේ බේරී ගිය අයුරු ඇයට අද මෙන් මතකය.වහ වහා නිර්මිතා සමීපයට පැමිණි හසාරා ඇයට සමීපව අසුන් ගත්තේ ඒ දෑත් වලින් තදින් අල්ලාගෙනය.

“ අනේ ඇයි මේ….අපි කවුරුත් සදාකාලිකව ජීවත් වෙන්න මේ ලෝකෙට ආපු මිනිස්සු නෙමෙයිනේ.තාත්තා ගෙනා ආයුෂ එච්චරක් වෙන්න ඇති.ඔයාගේ අම්මා කියපු දේ ඇත්ත.තාත්තගේ ආසාව ඒකනම් ඔයා ඒ ආසාව ඉෂ්ඨ කරන්නම ඕනේ.අපේ අම්ම නිතරම කියන දෙයක් තමයි ගෙදරක වැඩිමහල් දරුවා හොඳට හැදුනොත් ඒ දරුවා දිහා බලාගෙන අනිත් සහෝදර සහෝදරියොත් තමන්ගේ ජීවිතයේ ලස්සනට පිළිවෙලක් කරගන්නවා කියලා.ඉතින් ඔයා දිහා බලාගෙන මල්ලිත් කවද හරි හොඳ තැනකට එයි.අද ඉඳලා මමත් ඔයා එක්ක ඉන්නව හැම දුකකටම සතුටකටම…”

හසාරා අවසන එසේ පැවසූයේ යෙහෙළියව වැළඳගෙනය.විනාඩි කිහිපයක් යනතුරුම ඒ උණුසුමේ රැඳුණු නිර්මිතා හඬා වැටුණේ තමා ගැනම උපන් ආත්මානුකම්පාව අන් සියල්ලටම වඩා ඉස්සරව තිබූ නිසාය.

හසාරා පැවසුවා සේම එතැන් සිට දෙදෙනා වූයේ සොහොයුරියන් සේ ජීවිතය බෙදා ගෙනය.ඉදිකට්ටයි නූලයි යනුවෙන් විශ්ව විද්‍යාලය තුළ දෙදෙනාට නම් පට බැඳුනේත් එනිසාය.යම් යම් තැන්වලදී යෙහෙළියගේ අනුකම්පාව තමා වෙත ලැබෙන බැව් නිර්මිතාට වැටහුම් වුවත්  ඒ අනුකම්පාව නොව ආදරයයැයි සිතන්නට ඈ උත්සහ දැරුවාය. කිසිවෙකු තමාට අනුකම්පා කරනවායැයි සිතන්නට ඒ සිත රිසි වූයේ නැත.තමාගේ පොත්පත්වල අඩුපාඩු පවා වරෙක සොයා බැලුවේ හසාරාය.. බොහෝ ඇඳුම් පැළඳුම් තමා වෙත ගෙනවිත් දුන්නේත් ඈය.පිටරට සිටින සහෝදරිය යමක් එවූයේනම් ඒ සියල්ල දෙකට බෙදා නිර්මිතා හා බෙදා ගැනීමට හසාරා ලෝබ නොවූවාය.දෙදෙනා අතර මේසා තද බැඳීමක් ඇතිවූයේ එනිසාය.විටෙක නිර්මිතාට තම යෙහෙළිය ගැන ඇති වූයේ පුදුමයකි.

හසාරා ධනංජය හා පෙමින් බැඳුණේ විශ්ව විද්‍යාලයේ පළවෙනි වසරේදීමය.ධනංජයක් යමක් කමක් ඇති පවුලක අයකු නොවේ.හසාරා සේම ධනංජයත් බොහෝ අවස්ථාවල තමාට සහෝදරයෙකු සේ උදව් උපකාර කළ අයුරු නිර්මිතාට මතකය.

නිර්මිතාගේ ප්‍රේමය දිනා ගත්තේ  විශ්ව විද්‍යාලයේ අයෙකු නොවේ.ඔහු වෘත්තියෙන් ඉංජිනේරුවෙකි.නිවසේ සිට කොළඹ එන බස් රථයකදී හමුවූ තරුණයා නිර්මිතා හා දුරකථන අංක හුවමාරු කරගත්තේ විනාඩි කිහිපයක කතා බහකින් පසුව.ඉන්පසුව ඔහු කිහිප වරක්ම ඇයව හමුවී තිබුණේ විවිධ හේතූන් නිර්මාණය කරගෙනය.

හසාරාටත් ධනංජයටත් නිපුණ හමුවූයේ එක් වරක් හෝ දෙවරක් පමණි.එහෙත් ඔවුන් හා ලෙංගතු යහළුකමක් ගොඩනගා ගැනීමට නිපුණ අපොහොසත් විය.ඔහු සෑම විටකම තම තත්වය ගැන උජාරුවෙන් කතා කල අයෙකි.

යෙහෙළියක් ඔහුත් අතර නොගැලපීම් රැසක් වෙතැයි හසාරා වරින් වර ධනංජය හා පැවසූයේ නිර්මිතාගේ වදන්වලට සවන් දීගෙන සිටියාට පසුවය.පසු කලෙක ඈ ඒ පිළිබඳව එළිපිටම සිය යෙහෙළිය හා කතා කරන්නට උත්සාහ දැරුවාය.එහෙත් ඒ උත්සාහය නිෂ්ඵල වූයේ සියල්ලන්ටම වඩා  නිර්මිතා තම පෙම්වතාව දැඩිව විශ්වාස කළ නිසාය.

( යළිත් හමු වෙමු…)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here