වියෝ ගී ගැයෙනා හදේ – 10

0
3587

තාත්තව ඉල්ලා හොඳටම අඬන පෙත්මලීව සනසගන්න මේධාවිණීට එදා රැයේ හොඳටම මහන්සි වෙන්න වෙච්ච එක ඇත්තකි. ඒ මහන්සිය ඇඟටත් වඩා හිතට දැනුන විත්තියත් ඇත්තකි. ගෙදර කොච්චර සුවපහසු කාමරේක වුණත් එදා රැයේ නින්ද අහිමි වුණේ ඒක හන්දා වෙන්න ඇතිය. අම්මා මින්ට් ටී තේ කෝප්පයක් අරගෙන කාමරේට ආවේ තමන් නිදි නැති බව දන්න හන්දා බව තේරුම් ගන්න මේධාවිණිට බැරි උනේ නැත.

“මං ඒත් හිතුවා ඔයා නිදි නැතුව ඇති කියලා” කමලිනී කාමරේට ආවෙ ආයාසයෙන් මුව මත ඇඳගත්ත හිනාවක් එක්කය. මොන දේ උනත් හවස පෙත්මලී තාත්තාව ඉල්ලමින් අඬද්දි ඇයව නලවගන්නට බැරිවෙද්දි අම්ම කෙනෙක් වෙච්ච තමන්ගේ හිත රිදිච්ච බව අමතක කර දමන්නට කමලිනීට හැකියාවක් නැත.

“අපි බබාට පොඩි කෙල්ලගෙ ඉස්කෝලෙ නිවාඩුව ඉවර වෙනකන් මෙහෙ ඉන්න කිව්ව එක වැරදිද කියලත් මට හිතෙනව සුමති. මොක උනත් ඒක එයාගෙ ෆැමිලි ලයිෆ් එකනෙ” කියා තමන් කියද්දී ඇඳ උඩ වාඩි වී ටැබ් එකෙන් මොන මොනවද බලමින් උන්නු සුමති එක මොහොතකටවත් තමන් දිහා ඇස් උස්සා නොබල ඔහු හිතුව දේ කියන්න කලින් සමච්චල් සහගත හිනාවක් දෙතොල් උඩ ඇඳගත්ත විත්තිය කමලිනී නොදැක්කා නොවේ. 

“ඒ ෆැමිලි ලයිෆ් එකට යන්න කලින් තමයි මේධා අපේ දරුවා උනේ. අනික ඒ තාත්තාට තමන්ගෙ දරුව ගැන හිතේ තියෙන වේදනාව දුකම මට මගේ දරුවා ඒ ගෙදරක දුක් විඳින එක ගැණත් හිතේ අමාරුවක් තියෙනවා. එයාලාගෙ දරුව ගැන හිතන්න කලින් මම මගේ දරුවා ගැන හිතන්න ඕනනෙ” කියා කියද්දී මේ කතාව ඉතින් කොහොමත් මනුර සුමතිපාල එක්ක කතා කර තේරුමක් නැති බව දන්න හන්දාම කමලිනී ඒ ගැන කතාකරන්න මේධාවිණීගේ කාමරෙට ගියේ මෙච්චර දෙයක් වුණාට පස්සෙත් නිදාගන්න පුලුවන්කමක් තමන් අවුරුදු විසි තිස් ගාණක් තිස්සේ හඳුනන තමන්ගේ දරුවට බැරිබව හොඳාකාරවම දන්න හන්දාය.

“නින්ද යන්නෙ නෑ අම්මි. පෙත්ව නිදි කරවන්න සෑහෙන මහන්සි වෙන්න උනා”

“පව් පොඩි කෙල්ල හොඳටම අඬලා කන්නෙත් නැතුව නිදාගන්න ගියේ” කියා කිව්වේ ආච්චි අම්මා කෙනෙක් උනත් වචන අවසානයේ අම්මා හෙලූ සුසුම අග මව්වත් වේදනාව ඕනවටත් වඩා තැවරී තිබුන බව හඳුනාගන්න අලුතෙන් අම්මා කෙනෙක් වුණ මේධාවිණීට අමාරු උනෙ නැත.

“මට වෙලාවකට හිතෙනව අම්මි මට තිබුනෙ චිරත් එක්ක ගෙදර යන්න කියල. මොක උනත් දරුවා ගැන හිතලා හරි”

“දරුවා ගැන හිතලා තමයි කසාදෙ පරිස්සම් කරගන්න ඕන කියන කතාව අයිතිවෙලා තිබ්බෙ තාත්තිගෙ මගේ ජෙනරේශන් එකට කියල තමයි බබා මම හිතාගෙන හිටියෙ. මං හිතුවෙ නෑ ඔයාලා වගේ සෑහෙන අප්ඩේටඩ් ලමයි පවා එහෙම හිතනව කියල. මට තියෙන ප්‍රශ්නෙ අපි ඔයාව හදපු විදියට, සැප දුන්න විදියට ඔයා ඔහොම තනියෙන් හැමදේම කරගෙන සෆර් කරන්න ඕන ද කියල. චිරත් කොයි වෙලෙ බැලුවත් ගෙදරක නෑ. අද ඊයෙක වෙච්ච දෙයක් නෙවෙයිනෙ. මෙහෙම දේවල් කී වතාවක් නම් වෙලා ඔයාට අපි ලඟට ඇවිල්ල ඉන්න වෙලා තියෙනවද කියල හිතන්නකො. මතකනෙ අර ඔයාගෙ කකුල ඇම්මැට්ටි වෙච්ච වෙලේ. ඔයා තනියම ඔක්කොම ගෙදර වැඩ කරගනිද්දි ඔයත් ඒක අපිට හංගගෙන ඉඳලා, ඔයා කකුලත් බැන්ඩේජ් කරගෙන කීල්ස් එකට ගිහින් ඉන්නව දැකල මිසිස් පීටර්සන් කතාකරල කිව්වයින් පස්සෙ තමයි අපි ඇවිල්ලා ඒ වෙලාවෙත් ඔයාව මෙහෙ එක්කරගෙන ආවෙ.ඒ වතාවෙත් චිරත් එයාගෙ බිස්නස් ගැනයි ඔෆිස් එකෙ වැඩයි ගැන කිය කිය ඒවට මහන්සි උනා මිසක්කා ඔයාට කිසිම සපෝට් එකක් දීලා තිබුනෙ නෑනෙ.

අනික ඕක මාසෙක දෙකක දෙයක් උනානම් කමක් නෑ. දැන් අවුරුදුම කීයක්ද කියන්නකො? මට තේරෙන්නෙ නෑ ඇත්තටම ඔයා කොහොමද ඒක ඉවසන්නෙ කියලා. මෙච්චර කාලයක්වත් එහෙම ඔයා තනියෙන් හැමදේම කරගත්තෙ කොහොමද කියන එක මට හිතාගන්න බෑ. තාත්ති හරියට හිතෙන් වොරි උනා ඔයා මේ හැමදේම තනියෙන් කරගන්නවා, කොටින්ම ගෑස් එක පවා ගෙදරට ගේන්න යන්නෙ ඔයා කියලා. අපි ගෙවල සර්වන්ට් කෙනෙක්ව ගෙදර තියන්න හැදුවත් ඒක චිරත් දැක්කෙ නිකන් මේ මහ මදිකමක් අපෙන් කාලා බීලා ඉන්නව වගේ දෙයක් විදියටනෙ. අනික තාත්ති කිව්ව දේ කොච්චර වැරදි උනත් ඔය ගෙදර උනත් අපි දුන්නෙ නැත්තම් ඔයාලට තාමත් ඉන්න වෙන්නෙ කුලී ගෙදරක තමයි. චිරත්ලට පුරුදු උනාට මේ දුක් විඳල උඩට එන ලයිෆ් එකක් ඔයාලට ඒව පුරුදු නැනෙ බබී. අනික ඔය රෙස්ටුරන්ට් එකක් ඕපන් කරන්න යන්නෙ චිරත්ට මොකද වෙන්නෙ තාත්තිගෙ ක්ලෝතින් බිස්නස් එකට ජොයින් උනානම්. කොහොමත් මමයි තාත්තියි නැති කාලෙක ඒව මැනේජ් කරගන්න වෙන්නෙ ඔයාටනෙ. වෙන පිරිමි නම් මෙහෙම දෙයක් හම්බුනාම තියෙන දේවලුත් අතෑරල දාලා ඇවිල්ලා මේවට හේත්තු වෙන්නෙ. ඔයා වරද්දගත්තෙ එයා එහෙම නොකරන එක මාර හොඳක් කියල හිතපු එක. එයාට මගෙන් කිසිම දෙයක් ඕන නෑ අම්මි කියල ඔයා ඒ දවස්වල කියද්දිම මට හිතුනා ඒත් මොකක් හරි කොස්සක් ඔතන තියෙනව කියලා.ඔය ඕනවට වඩා හොඳයි කියල පෙන්නන මිනිස්සු එක්ක ජීවත් වෙන්න අමාරුයි ළමයො. දැන් ඔයාටම ඒක හොඳට තේරෙනවා ඇතිනෙ” කියා අම්මා කියද්දි මේධාවිණීට ඒවා නොසිත ඉන්න පුලුවන්කමක් තිබ්බේ නැත. අම්මා මේ කියන කතාව ඇත්තක් බවත්, ඇත්තටම බලද්දි පහුගිය කාලයේ කියා මේ විවාහයෙන් තමන්ට ලැබිච්ච එකම වටිනාම දේ පෙත්මලී විතරක් නේද කියාත් හිතෙද්දි තමන් දැන් කරන්නෙ පැමිණී දුක් පැණි රසයි කියා ඒ මත්තේම නැහෙන එක නොවේද කියාත් මේධාවිණී හිතුවාය. 

“මං මොකද්ද කරන්න ඕන කියල මටවත් තේරෙන්නෙ නෑ අම්මි” කියා මේධාවිණී බී අහවරවෙච්ච තේ කෝප්පෙ අතෙන් තියා කාමරයට යද්දි කමලිනිත් ඒ පස්සේ කාමරයට ගියේ ඇත්තටම ඒකට දෙන්න ඕන උත්තරේ මොකද්ද කියා හිතාගන්න බැරුවය. 

මේධාවිණී ඒ විදියට නිදි නැතුව රැය පහන් කරද්දී චිරත් උන්නේ මේධාවිණිත් පෙත්මලීත් නැති අන්ධකාර ගෙදරක් අස්සේ තනිව කල්පනා සාගරයක් අස්සේ ගිලි යමින් ය. මේ කසාද ජීවිතේ ඇතුලෙ තමන්ගෙ අතින් පසුගිය කාලයක් පුරාවටම අතපසුවීම්, මග හැරීම් වෙච්ච එක ඇත්තකි. තමන් එනවා කියා පොරොන්දු වී ඒ පොරොන්දු කඩකල අවස්තාවන් බොහොමයකි. “ට්‍රිප් එකක් යන්කො” කියා මේධාවිණී කිව් බොහෝ අවස්තාවන්වල ඒවාට හා කියා අනතුරුව ඒවා අමතක කර දැමූ අවස්තාවන් බොහොමයක් බව ඇත්තකි. ඒත් ඒවා මේධාවිණීට තමන්ව මෙහෙම ප්‍රතික්ශේප කරන්න හේතුවක්ද කියා චිරත් ඇහුවේ ඒ අන්ධකාරය දිහාවට නෙත් යොමාගෙන තමන්ගෙන්මය. තමන්ගේ හිතෙන්මය.

වෙනදාත් මේ විදියට තමන්ට ගෙදර රැඳෙන්න බැරි අවස්තාවන්වල මේධාවිණී දරුවාවත් එක්කරගෙන තමන්ගේ මහ ගෙදර ගියත් අද මේ වෙච්ච දේ එක්ක මේ වෙලා තියෙන්නෙ වෙනදාට වඩා වෙනස් දෙයක් බව චිරත්ගේ හිතට ලාවට මෙන් තේරුණේය. මේධාවිණී තමන් එක්ක මොන විදියේ ප්‍රශ්නයක් තිබ්බත් කවදාවත් තමන්ගේ මව් දෙමව්පියන් ඉදිරියේ මේ විදියට තමන්ව ප්‍රතික්ශේප කල නැති බව මතක් වෙද්දී මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ තමන්ගෙ අතෙන් වෙච්ච අතපසුවීම්, මේධාවිණී ඉවසූ කාලය අවසන් වී ඇති බව චිරත්ගේ හිත නොකියා කිව්වේය.

“දැන් මොකද්ද කරන්නෙ?” කියා චිරත් ඇහුවේ හිතෙන්‍ ය. එහෙත් ඒකට දිය යුතු උත්තරේ මොකද්ද කියා ඇත්තටම හිත දැනගෙන හිටියෙත් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here