ඔන්න smart lady අපි අද ඔබ එක්ක එකතු වෙන්නෙ ටිකක් වෙනස් ඒත් හරිම ඉක්මණින් ලේසියෙන් හදාගන්න පුළුවන් කෙටි කෑමක් ගැන ආරංචිය ඔබත් එක්ක බෙදාගන්නයි.
අපි අද හදමු sweet milk balls / ස්වීට් මිල්ක් බෝල්ස්.
මේ රසම රස කෑම හදන්න ඔබේ පොඩ්ඩොත් එකතු කරගන්න අමතක කරන්න එපා ඔන්න.
ඒ තරම් ලේසියෙන් හදාගන්න අපි සූදානම් කරගන්න ඕන අමුද්‍රව්‍ය මොනාද කියල මුලින්ම බලමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පෙනේරයකින් දෙවරක් පමණ හලාගත් කෝන් පිටි 100 g ක්
සුදු සීනි 30 g ක්
කිරි 200 ml ක්
වැනිලා එසන්ස් 2 ml ක්
දියකරගත් බටර් 20 g ක්
ලුණු බිඳක්
කෝකෝ පවුඩර්
එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ ස්වීට් මිල්ක් බෝල්ස් හදාගන්න පුළුවන් කියල.
සාදාගන්නා ආකාරය
මුලින්ම තරමක් විශාල භාජනයක් අරන් අපි හලාගත්ත කෝන් පිටි ටික ඒ භාජනයට එකතු කරගන්න ඕන.
ඊළඟට, අපි සූදානම් කරගත්තු සීනි සහ ලුණු කුඩු ටිකත් කෝන් පිටි වලටම එකතු කරල හොඳින් කලවම් කරගන්න ඕන.
මේ විදිහට කලවම් කරන්න විස්ක් එකක් පාවිච්චි කරනව නම් වැඩිය හොඳයි.
දැන් මේ කෝන් පිටි මිශ්‍රණයට කිරි සහ වැනිලා එසන්ස් ටිකත් එකතු කරගෙන නැවත හොඳින් කලවම් කරගන්න ඕන.
දැන් අඩිය පැතලි උස අඩු භාජනයක් / පෑන් එකක් අඩු ගින්දරේ ලිපේ තියල අපේ කිරි මිශ්‍රණය ඒ භාජනයට එකතු කරල හෙමින් හැඳිගාන්න පටන් ගන්න.
මේ විදිහට හැඳිගාන්න පැතලි හැන්ඳක් හෝ ස්පැචූලා එකක් භාවිතා කරන්න පුළුවන්.
ටික වෙලාවක් මේ විදිහට හැඳිගාද්දි මේ මිශ්‍රණය කැටි ගැසීම ආරම්භ වෙන බව ඔබට දැකගන්න පුළුවන්.
අන්න ඒ වෙලාවෙදි බටර් ටිකත් මේ මිශ්‍රණයට එකතු කරල නැවත හැඳිගාගන්න ඕන.
ටික වෙලාවක් හැඳිගාද්දි කිරි ටික සම්පූර්ණයෙන් හිඳිල ගිහිල්ල හරිම මෘදු පිටි ගුලියක් ඔබට ලැබෙනව.
දැන් මේ පිටි ගුලිය ලිපෙන් හැන්දෙන්ම කොටු හැඩයට හදාගෙන ලිපෙන් ඉවත් කරල පැතලි පිඟානකට දාගන්න ඕන.
ඊළඟට අඟලක ප්‍රමාණයට දිග පලල තියෙන කොටු කපලා වෙන් කරගෙන එක එක කොටුවෙන් කුඩා බෝල හදාගන්නයි තියන්නෙ.
ඔන්න අපි ස්වීට් මිල්ක් බෝල්ස් හදාගෙන ඉවරයි.
බෝල ටික පිළිවෙලට අසුරලා පෙනේරයක් ආධාරයෙන් උඩට කොකෝ පවුඩර් ඉහගෙන රස බලන්න ඔබට දැන් පුළුවන්.
එහෙනම් හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා.
සටහන – දුලානි නවෝද්‍යා