ජීවිතය කවියක් නොවේ – 21

0
2995

හසාරා තමා වෙනුවෙන් වෙන් කර ඇති හෝටලයේ කාමරයට ගිය සැණින්ම ධනංජයට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය.ශ්‍රී ලංකාවේ සිට ඇමරිකාවට පැමිණීමට ගතවූ ඒ පැය කිහිපයේම ඇය උන්නේ ඔහු ගැන සිතුවිල්ලේය.ගෙවී ගිය කාලය තම ජීවිතයේ නියං සමයක් බව විශ්වාසය.ඒ සියල්ල මතකයේ කොනකවත් නොමැති අයුරින් අතුගා දමන්නට ඕ සිත හදා ගත්තාය.කොහොමටත් හසාරා යනු වැරද්ද පමණක් දකිමින් ඒ පසුපස හඹායාමට කැමති වූ ගැහැණියක නොවේ.

හසාරා සේවය කළ ආයතනයේ මුල් සමාගම වූයේ ඇමරිකාවේය.එනිසාම  ඕ රාජකාරීන් සඳහා ඇමරිකාවට පැමිණි පළමු වතාව මෙය  නොවේ.මින් පෙර තෙවතාවක්ම පැමිණියත් ඒ දින තුනකට පහකට හා සතියකටය.මෙවර ඒ ගමන සති තුනක්වන් කාලයක් වූයේ දැන් ඈ එම සමාගමේ මුල් පුටුවකම වූ නිසාය.ඒ සෑම වතාවකම වරින් වර ඔහු හා වීඩියෝ දුරකථන ඇමතුම් මාර්ගයෙන් සම්බන්ධ වීමේ අවස්ථාව තිබූ නිසා එතරම් පාළුවක් කාන්සියක් නොදැනුණි.ඒ එක් වතාවක ධනංජයත් ඇය සමඟම පැමිණියේය.ඒ පුද්ගලිකවය.

“ දවස් තුන ගෙවිලා ගියේ අවුරුදු තිහක් වගේ..”

මුල්ම වතාවේ  ඇමෙරිකාවට පැමිණ ආපසු යද්දී ගුවන් තොටුපොළේදී තමාව  වැළඳගත්  ධනංජය පැවසූ ආකාරය ඕ සිහි සිහිකලේ වේදනාවෙන්ය.පසුගිය කාලය පුරා සිදු වූ නොසලකා හැරීම් සිත් රිදවීම් අබියස මේ අයුරේම වේදනාවක් තමා විඳී බව ඇයට මතකය.හදහන් ,නක්ෂාත්‍රවලට ජීවිතය බාර නොදුන්නත් එහි කුමක් හෝ සත්‍යයක් ඇතැයි හසාරාට සිතේ.බලා සිටියදී ඔහු වෙනස් වූයේ කිසියම් අදිසි හස්තයක බලපෑමකින් සේය.

⁣දෛවඥයා  විසින් පැවසූයේ ඉදිරියට ඇති වසර තුනක කාලයත් ධනංජය බොහෝ කල්පනාකාරීව සිය ජීවිතයේ තීරණ ගත යුතු බවය.ඔහු නැත්තට  නැතිවී සිඟන්නෙකුගේ තත්ත්වයට වැටෙන බවද පැවසීය.එපමණක් නොව බන්ධනාගාර ගත වන්නට තරම් වැරදි ක්‍රියා ඔහු අතින් සිදුවීමට හැකිවේයැයිද පැවසීය.

ධනංජය ව්‍යාපාරයක් අරඹන්නට සිතීම මෙවේලෙහි නුසුදුසු ක්‍රියාවක් යැයි හැඟුණත් හසාරා ඊට විරුද්ධව කිසිවක් නොකීවේ හිතාමතාමය. පසුගිය කාලය පුරා ඔහු යම් හීන මානයකින් පසුවනා බව ඈ හොඳ හැටිම වටහා ගත්තාය.එවන් පිරිමින් සුලබය.තමා වෙනුවෙන් ලබාදිය යුතු වූ ආදරයත් ,ගෞරවයත්, සහයත් එකම අයුරකින් ලබා දුන්නත් ඔහු එකම තැනක නතරව සිටීම පසු කලක ඔහුටම දරා ගැනීමට නොහැකි හැඟීමක් වන්නට ඇතැයි හසාරා සිතුවාය.ඔහු තමාගේ අතින් සිදු වූ වැරදි අඩුපාඩු යම් තැනකදි තේරුම් ගන්නට ඇත.

“ මේ අපල හින්ද වෙන්න ඇති ඔයාට මං ගැන උනත් වැරදි වැටහීමක් ඇතිවෙන්න ඇත්තේ.අපි හැමදේම ආපහු මුල ඉඳලම හදා ගමු ධනා.ආයෙත් අපි ඒ ලස්සන ලෝකේ ජීවත් වෙමු..”

හෙට අනිද්දා  හිමින් සීරුවේ අරඹන  ව්‍යාපාරය තමා යටතේ අරඹන්නට ඔහු හා කතා කරගත යුතුයැයි ඈ සිතුවාය.දෛවඥයා පැවසූ ආකාරයට මේ ඔහුට කිසිවක් කරන්නට සුදුසු සමයක් නොවේ.එහෙත් තමාගේ හඳහන දියුණුවීම සඳහා ව්‍යාපාරයක් අරඹන්නට සුදුසු හඳහනක් බවද ඔහු පැවසීය.

====–================

විසල් කාමරයේ යුගල යහනාව මත වැතිර උන්  ධනංජය හිස එසවූයේ එක දිගට නාද වන ජංගම දුරකථනයේ හඬටය.තමාගේ දකුණත මත වැතිර දෑස් පියාගෙන උන් නිර්මිතාව හෙමින් සීරුවේ පසෙකට කළ ඔහු ජංගම දුරකථනය අතට ගත්තේ දිගු සුසුමක් මුදා හරිමින්ය.

“ කවුද…..”

නිර්මිතා ඇසුවේ පොරෝනය සිය ගතට දමා ගනිමින් තව තවත් ඔහුට තුරුළු වනා අතරේය.

“ හසාරා…”

“ වීඩියෝ කෝල් එකක් ගනියිද…”

“ නෑ මං හිතන්නේ නෑ…”

“ එහෙනම් ආන්සර්  කරන්න ඉතින්..”

“ ඕන නෑ “

“ දිගින් දිගටම ගනිද්ද ඔයා  ආන්සර් නොක⁣ලොත්  සැක හිතෙන්න පුළුවන් ධනංජය.ආන්සර් කරලා වචනයක් දෙකක් කතා කරලා කට් කරලා දාන්න.මේ වෙලාවේ එයාට සැක හිතෙන කිසි දෙයක කරන්න එපා..”

ධනංජය යළිත් වරක් නාද වන ජංගම දුරකථනයට සිය ඇඟිලි තුඩු තැබුවේ ඉන්පසුවය.හසාරා හා වදනක් කතා කරන්නට ඔහුට සිතක් වූයේම නැත.

“ ධනා  ඔයා කොහෙද හිටියේ?….”

එහා පසින් ඇසුණු ඒ හඬ සන්සුන්ය.ආදරනීයය.ධනංජයගේ  නිර්මිතාගෙන් දෑස් මුදා ගත්තේ එනිසාය.

“ මට ටිකක් නින්ද ගියා.”

“ මමත් දැන් විනාඩි දහයක් විතර වගේ තමයි වෙන්නේ රූම් එකට ඇවිල්ලා.කොහොමත් තව පැය විසි හතරක් යනකල් අපිට රෙස්ට් කරන්න පුළුවන්.ඉන්දියන් ලේඩි කෙනෙක් තමයි මා එක්ක රූම් එක ෂෙයාර් කර ගන්නේ..”

“ කාලද  ඉන්නේ…”

“ ඔව් ආපු ගමන්ම කෑවා.මං ඒ වෙලාවේ ඔයාට කෝල් එකක් ගන්න  ට්‍රයි කලා මගේ ෆෝන් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තිබුනා.ඔයා කෑව නේද…බඩගින්නේනම් ඉන්න එපා ග්‍රෑස්ට්‍රයිටීස් එයි.මං ගෑස්ට්‍රයිටීස් වලට ඕන කරන බෙහෙත් ගෙනත් තිබ්බා.”

“ ඔයා නැගිට්ටපු  එකත් හොඳයි මං ටිකක් එළියට යන්න කියලා හිතාගෙන හිටියේ.බිස්නස් එකේ පොඩි වැඩකට.එහෙනම් ඔයත් රෙස්ට් එකක් ගන්න අපි පස්සේ කතා කරමු.මට දැන් පරක්කු වෙලා..”

ධනංජය එසේ පැවසූයේ නැති හදිසියක් මවා පාමින්ය.ඒ හා සමඟම ඔහු කෙටි සමු ගැනීමකින් පසුව දුරකථනය විසන්ධිකර දැමුවේය.එහාපස උන් නිර්මිතා ඔහු දෙස බලා උන්නේ අවඥාගත සිනහවක් මුවඟ තබාගෙනය.

“ ඔච්චර හොඳට හොයලා බලන වයිෆ් කෙනෙක් ඉදිද්දිද  මෙහෙම කරන්නේ…බලන් ගියාම සේරම පිරිම් එකම අච්චුවේ…”

අවසන ඇය ඇසුවේ අපිළිවලට  රැවුල් කොට වැවී තිබූ ඔහුගේ කොපුළක් මිරිකමින්ය.හසාරානම් මේ අපිළිවෙලට කැමති නැත.

“ මගෙන් මොකුත් අහගන්න එපා..”

“ මං දැන් ඔක්කොම අහගෙන තියෙන්නේ.තවත් අහගන්න දෙයක් තියෙනවද කියලා මං මේ කල්පනා කළේ..”

“ ඔයාට ගෙදර යන්න ඕනද…”

“ ප්‍රශ්නයක් නෑ මං අම්මට කෝල් එකක් දීලා කියන්නම් යාළුවෙක්ගේ ගෙදර නවතිනවා කියලා.අපි කොහෙද යන්නේ..”

“ කොහේ හරි… හරි… මට බොන්න ඕනේ..මහා පාළුවක් තනිකමක් දැනෙනවා..”

“ දුකටද. සතුටටද.මං කියන්නේ බොන්නේ..!

“ඒ දෙකම එක වගේ තියෙනවා කියලා කිව්වොත්..”

“ හසාරව අතෑරලා දාන්න ඔයා ගතපු තීරණය ගැන කවද හරි පසුතැවීමක් ඇති වෙයිද….”

එවර නිර්මිතා ඇසුවේ ඔහුගේ නිරුවත් පපුව මත නියරටා අඳිමින්ය.ඇය මේ සොයන්නේ ආදරය නොවේ.ජීවත් වන්නට තැනකි.

ඔවුන් කාමරය තුළට පැමිණෙන්නට පෙර යුගල යහනාවට හොඳින් පෙනෙන සේ තබා තිබූ හසාරාගේත් ධනංජයගේත් සේයාරුව පසෙකින් තැබුවේ ඇයමය.

“ පසුතැවීමක් ඇතිවෙන්නේ මම ලිමිට් එකක් නැතුව එයාට ඉස්සරහට යන්න ඉඩ දීපු එක ගැන.මම එයාව නැති කරගන්න හිතාගෙන එයාව මැරි කලේ නෑ නිර්මිතා.එයාව හම්බවෙන්න කලින් මට පොඩි එෆෙයාර් එකක් තිබුණා.ඒත් ඒ ගර්ල්ගේ මූණවත් මට ඇත්තටම මතක නැහැ.ඒ නිසා අදටත් මගේ ෆස්ට් ලව් එක හසාරා විදිහට තමයි මට දැනෙන්නේ.ඔයාට හංගන්න දෙයක් නෑ අපි දෙන්න ඉඳපු විදිහ අපි දෙන කරපු දේවල් මේ හැම දෙයක්ම ඔයා දන්නවා.මට  හසාරා  අමතක කරන්න ලේසි වෙන එකක් නැහැ.ඒ උනත් මේ වෙලාවේ  හසාරා ගැන  මගේ හිතේ තියෙන්නේ මහා කලකිරීමක්, කේන්තියක්..ඒ කලකිරීම ,  කේන්තිය නරුමයෙක් වගේ පිට කරලා දාන්න මට බැහැ.සමහර විට කාලයත් එක්ක ඔයාට පුළුවන් වෙයි මගේ හිතේ ඇතිවෙච්ච හිස්තැනන පුරවන්න. ඔයා මගේ ජීවිතේට ලං වෙන්නවත් මං ඔයාගේ ජීවිතේට ලං වෙන්නවත් සැලසුම් කරලා හසාරාගෙන් අරගෙන ඈත් වුණා නෙමෙයිනේ.අපි දෙන්න මේ විදිහට ලං වෙන්නත් ඒ වැරැද්ද කළේ හසාරා…”

“ ඔයා හසාරාව අමතක කරන්න ඕනෙමයි ධනංජය.එහෙම නොවුනොත් මගේ ජීවිතේ තුන්වෙනි වතාවටත් මට සිද්ධ වෙන්නේ කලින් වතාවල් දෙකේදිම සිද්ධ වෙච්ච දේම තමයි.එනිසා ප්ලීස්..අපි අද දවසේ ජීවත් වෙමු. වර්තමානයේ ජීවත් වෙමු…කවදාවත් මට කියන්න එපා මං නිසා හසාරාව අමතක කලා කියලා..”

නිර්මිතා එසේ පැවසූයේ ඔහුගේ දෑස් දෙස බලාගෙනය.සැබවින්ම ඒ දෑස්තුළ වූයේ කඳුලකි.ධනංජය පිළිබඳව ඒ සිතෙහි ආදරයක් ඉපිද තිබුණේ නැත.එහෙත් පැතූ අන්දමට සිහින මැවූ අන්දමට ජීවත් වීමේ ආසාවක් ඇයට විය.ඒ සිහින සැබෑ කරවන්නට නම් ධනංජය වැන්නකු තම ජීවිතයට ලං විය යුතු යැයි ඈ විශ්වාස කළාය.මේ අහඹුවකි.ධනංජය නිවැරදිම පුද්ගලයා නොවූවත් අවස්ථාවේ හැටියට තමාට හමුවූ හොඳම පුද්ගලයායැයි නිර්මිතා විශ්වාස කළාය.එනිසාම ඔහුව අතහැර ගන්නට ඇයට සිතුනේ නැත.ඒ දෑස් වල වූයේ කඳුලකි.ඒ තමා පිළිබඳවම වූ  ආත්මානුකම්පාවට උපන් කඳුළක් බව ධනංජය නොදැන සිටියේය.තමාව විශ්වාසකල නිර්මිතාගේ විශ්වාසය රකින්නට ඔහු තමාටම සපථ කර ගත්තේ එනිසාය.

“ ඒ කොහොම වුනත් මං ඔයාට අසාධාරණයක් කරන්නේ නෑ නිර්මිතා.මොකද මේ වෙලාවේ ලොකු හයියක් වෙලා ඔයා මං ළඟ හිටියා.මට තීරණයක් ගන්න ශක්තිය දුන්නා.ඒ තීරණේදිත් ඔයා මාව තනි කළේ නෑ.ඒ විතරක් නෙමෙයි. ඔයා ඉතිරි කාලෙදි මමත් එක්ක ජීවිතේ බෙදාගන්න මං ළඟ ඉන්නවා කියලා පොරොන්දු උනා.මං වෙනුවෙන් ගොඩක් කැප කිරීම් කරන්න ඔයා ලෑස්තියි…අපි ජීවිතේ අලුතින් පටන් ගමු.”

ඕ  ඒ නිරුවත් පපුවේ හිස හොවා  ගත්තේ ධනංජය එසේ පැවසුවාට පසුවය.සිය දෑස් වලට බර වැඩි වූ කඳුලක් ඔහේ ගලා යන්නට විය.ඒ තමා ගැනම වූ ආත්මානුකම්පාවට උපන් කඳුලක්ද , එසේ නොවීනම් ධනංජයගේ හදවතේ දෙවෙනියා වීමට සිදුවීම නිසා උපන් කඳුලක්ද එසේත් නොමැති නම් හසාරාට ද්‍රෝහී වීම පිළිබඳව දොස් නගන යටි හිතට එකඟව උපන් කඳුලක් ද යන්න ඈ දැන සිටියේ නැත.කෑ ගසා හඬන්නට සිතුණු වේලාවටත් දත්මිටි කමින් දරා ගත් ගැහැණිය රිසිසේ හඬා වැටෙන්නට වූයේ ඒ පිරිමි පපුවට තුරුළුවය.

ධනංජයගේ දිගු අතැඟිලි ඒ හිසකේ මත දිව යන්නට වූයේ අරමුණකින් තොරවය.ආපසු හැරෙන්නට තරම් සිතක් ඔහුට වූයේ නැත.දුක , කෝපය,  වේදනාව කලකිරීම බොහෝ විට නතර වන්නේ වෛරයකට පරිවර්තනය වීගෙනය.තමා සිටින්නේත් එවන් අවධියක වග වැටහීමක් ඔහුට වූයේ නැත.

(  යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here