ජීවිතය කවියක් නොවේ – 24

0
1253

ධනංජය නිවස බැංකුවට උකස් කර ලබාගත් මුදලත් වාහනය විකුණා ලැබූ මුදලත් ඩොලර් වලට හරවා ගත්තේ රැගෙන  යාම පිණිසය.තමාටත් නිර්මිතාටත් මෙම ගමන සූදානම් කරන පුද්ගලයාගේ ඉතිරි මුදලද ධනංජය විසින් එකවර ගෙවා දැමුවේය.

ගෙවී ගිය කාලය පුරාම හසාරාගේ දුරකථන ඇමතුම්වලට කෙටියෙන් පිළිතුරු දුන් තරුණයා ඇගේ වීඩියෝ ඇමතුම් සියල්ලක්ම මගහැර සිටියේ හිතාමතාමය.අන් සියල්ලටම වඩා ඔහු උත්සාහ  දැරුවේ බිඳී විසිරෙන සිතුවිලි සන්සුන් කර ගැනීමටය.

අතීත මතක ඒ සිත රිදවමින් තිබූ සෑම විටකම වර්තමානයේ ජීවත් වන්නට ඔහු උත්සාහ දරමින් සිටියේය.වරදකාරී හැඟීමකින් සිත පෙළෙන සෑමවිටකම සිය සිතුවිලි සමග තර්ක කරමින් ඔහු තමාවම නිවැරදි කරගන්නට උත්සාහ දරමින් සිටියේය.කලින් සිතා සිටි පරිදි ගමේ යන්නට වුවමනා වුවත් අවසන ඔහු එම අදහස පවා අතහැර ගත්තේය.තවමත් අම්මාටත් තාත්තාටත් හසාරා යනු සිය ජීවිතයේ කල හොඳම තෝරා ගැනීමයි.ඒ විශ්වාසය බිඳ දමන්නට බැරි කමක් ඔහුට විය.ඒ සියල්ලටම වඩා ඔවුන්ව අතහැර යාමේ ලෝබකම දුකක්ව තමා රිදවාවියැයි  ධනංජය බිය විය..දැන් ඔහුට උවමනා වී  ඇත්තේ තමා හා බැඳුණු අතීත මතක සියල්ලක්ම අමතක කර දමන්නටය.අපහසුවෙන් හෝ තමාගේකම්ද  අමතක කර දමන්නටය.

තමා ගත් තීරණය නිවැරදිම එකක්දැයි ඔහු ආපසු නොසිතුවේය.වේදනාව ,ද්වේශය , වෛරය මුල් කරගනිමින් ගන්නා හදිසි තීරණ යහපත්ම ඒවා නොවේයැයි සිතන්නට තරම් නිරවුල් මනසක් ඔහු සතු නොවූවේය.පසුගිය සමය පුරාම දරා උන් රිදවුම් ඔහුව උන්මත්තක මිනිසෙකු බවට පත් කර තිබිණ.සැමවිටම තමා නිවැරදියැයි සිතුවා මිසක ආපසු හැරී බලන්නට වුවමනාවක් නොවූවේය.නිවැරදිම තීන්දු තීරණ ගැනීමට යහළුවන්ට පවා උපදෙස් දුන් තරුණයා මැරී සිටියේය.

මිනිසුන් තීරණ ගත යුත්තේ හදවතට නොව බුද්ධියට ඉඩ දෙමින් යැයි තමාම ඕනෑ තරම් මිතුරන්ට පවසා ඇති බව ඔහුට අමතකව තිබිණ.ද්වේෂ සහගත සිතුවිලි , වෛරීය සිතුවිලි ඔහුගේ තර්කන ශක්තිය බුද්ධිය පවා හීන කරවා තිබිණ.

දෙදෙනාම ගමන් මළු  පවා සකස් කලේ   ප්‍රංශයේ සිටින මිතුරාගේ උපදෙස් පරිදිය.ජීවත්වීම සඳහා කුඩා නිවසක් කුලී පදනම මත ලබා ගැනීමට විශාල මුදලක් ඔහුගේ ගිණුමට බැර කළේ පෙරේදාය.

නිර්මිතා සිටියේ දහසක් බලාපොරොත්තු තබාගෙන වුවද ධනංජය උන්නේ හසාරාට රිදවීමේ අරමුණින්ම පමණි.සිතෙහි වන රිදවුමේ තරමටම ඒ වෛරී සහගත සිතුවිල්ල ලියලා වැඩෙමින් තිබිණ.පසුගිය දින කිහිපය පුරාමත් ඇගෙන් ලැබුනේ උපදෙස්ය.තවමත් ඈ සිතා සිටින්නේ තමා කිසිවක් කරකියා ගත නොහැකි බාල බොළඳ යෞවනයෙකු සේය.හසාරාගේ කිසිඳු සහායක් නොපතමින් ගෙවී ගිය වසරකට ආසන්න කාලය ඇයට අමතකව ගිය ගණනය.

****================*—==

“ ඇත්තටම ඔය මිනිහා උඹට ආදරේ කරනවද බං. එහෙම නැත්නම් උඹ ඔය මිනිහට ආදරේ කරනවද…..”

තම කාමරයෙහි වූ මල් වැලක් කැටයම් කල  කණ්නාඩියට එබී සිටිනා අතරේ නිර්මිතා විමසූයේ තමාගෙන්මය.කන්නාඩියෙන් පෙනෙන රුවෙහි වූයේ අවඥා සහගත  සිනහවක් බව විශ්වාසය.

“ එයා මට ආදරේ කරයි….ඒ නැති උනත් ධනංජය ළඟ ජීවත් වෙන්න පහසු වෙයි.මං ආදරේ හොයාගෙන යන ගමනක් නෙමෙයි මේ…”

ඈ පිළිතුරු දුන්නේ මද හඬකින්ය.

“ උඹ හිතනවද උඹ  දිනුවා කියලා….”

“ දිනන්න මට කාත් එක්කවත් තරඟයක් තිබුණෙ නෑ.මට තිබුණේ හිත් රිදීමක් කලකිරීමක් විතරයි.ඇයි මට හැමදේම නැති වුණේ කියන වේදනාවක් විතරයි..කවුරුත් දන්නෙ නෑ ඒ වේදනාව ගැන.කවුරුත් දන්නෙ නෑ ලෝකෙට පේන්නෙ නැතුව මං අඬපු තරම්…කවුරුත් දන් නෑ ඒ විඳවීම ගැන…”

“ හසාරා උඹට  සාප කරයි…හසාරා උඹෙන්  පලි ගනී..”

“ මං ඒකට බය නෑ. හසාරා සාප කලත් නැතත් මගේ ජීවිතේ  සාපයක් වෙලා තිබුණේ.ගෙවුණු හැම තත්පරයකම මම ජීවත් උනේ මං ගැනම තිබුණු මහ ආත්මානුකම්පාවක් එක්ක.
මං මේ යන්නේ මට ජීවිතයක් හොයාගෙන මිසක්කා කවුරුවත් වෙනුවෙන් ජීවත් වෙන්න නෙමෙයි.ධනංජය කොහොමත් හසාරා දාලා යනවා.ඒක එහෙම වෙන එක හොඳයි.හසාරා  උනත් හැමදාම තමන්ගේ ජීවිතේ අඬ අඬා  දුක් විඳ විඳ මිනිහගෙන් ගුටි කකා ජීවත් වෙන ගෑනියෙක්  වෙන්න ඕන නෑ.ඒ වේදනාව මං හොඳටම දන්නවා.ඒකයි මං ධනංජයව  බැඳීමක හිර කර ගන්නේ නැත්තේ.ආයෙ හසාරා  ළඟට එන්න ඕනේ කියලා හිතෙන ඕනම වෙලාවක එයාට එන්න පුළුවන්.හසාරගෙන් මං සමාව ඉල්ලන්නෙ  නෑ.මං එයාගේ දෙයක් උදුරගෙන  නෑ……”

“ ඒ උනාට ලෝකයා උඹව දකින්නේ එහෙම….”

“ ලෝකයා මට මොනවද කළේ…මට මොකුත්ම කලේ නෑ.අඩුගානේ මගේ දුකට හවුල් වෙන්න මගේ වේදනාව ගන්න එයාලට පුළුවන් උනාද..හැම දෙයක්ම දරා ගත්තේ මම හැම දෙයක්ම වින්දේ මම.ඉතින් මොකටද මට ලෝකයාගේ කතා.මගේ සතුට එයාලා ගෙනත් දෙන් නෑ..”

“ උඹ උඹේ  පපුවට තට්ටු කරලා බලපං..ඔය  හිත දොස් කියනව නේද…”

“ මං හැමදාම ජීවිතේ දිහා බැලුවේ පරාර්ථකාමී ගැහැණියක් විදිහට.අනිත් අය දිහා බැලුවෙත් පරාර්ථකාමී ගැහැණියක් විදිහට
ඒ උනාට මට ලැබුණු දෙයක් නෑ.මං එකම එක පාරක් ආත්මාර්ථකාමී ගෑනියෙක් වෙලා බලනවා.දැන් මට අමුතුවෙන් නැති වෙන්න දෙයක් නෑ…”

කණ්නාඩියෙන් පෙනෙන රුව වියරුවෙන් සේ හිනැහෙමින් සිටියාය.නිර්මිතා බලා සිටියේ දෑස් විසල් කරගෙනය.ඒ වියරුවෙන් හිනැහෙන්නේ තමාම බව විශ්වාසය.” පණ “ යනුවෙන් සටහන්ව නාද වූ ජංගම දුරකථනය තිබුාණ්  කණ්ණාඩි මේසය මතමය.ඒ දෙස තත්පර කිහිපයක් බලා උන්නත්  ඈ දුරකථනයට අත නොතැබුවාය.දෙවරක් නාද වූ ජංගම දුරකථනය යළිත් නිහඬ නිසොල්මන් විය.

තමා ධනංජය ගැන එක් එක් ආකාරයෙන් සිතන්නට වෙහෙස වූ අයුරු නිර්මිතා සිහි කළේ වේදනාවෙන්ය.ඇය ඔහුට කෙටි නම් වලින් ආමන්ත්‍රණය කරන්නට උත්සාහ ගත්තාය.පණ , රත්තරන් ,බබා ,පැටියෝ යනුවෙන් වරින් වර ඔහුගේ ජංගම දුරකථන අංකය තම දුරකථනයේ ගබඩා කර ගත්තාය.ඔහු වෙනුවෙන් තෑගි බෝග මිලදීගෙන ඒ ආදරේ යැයි සිතන්නට වෙහෙස වූවාය.ඔහු වෙනුවෙන් දරා සිටින්නට කැප කිරීම් කරන්නට වෙහෙස වූවාය.එහෙත් පපුවට දැනුනේ අංශුමාත්‍රික හැඟීමකි.ඒ පපුව ආදරයෙන් පිරී තිබුණේ නැත.ඒ වෙනුවට යුතුකම් ඉටු කරන්නට අවසන හිත හදා ගත්තාය.විටෙක පොදු වූ මිනිස් හැඟීමක් වෙනුවෙන් යහන බෙදා ගත්තාය.එහෙත් කායික ඇසුරකින් ලබන තෘප්තිමත් හැඟීමක් විනා ආත්ම තෘප්තියක් ඒ කිසි විටෙක නොලද බව විශ්වාසය.

“ ඒ උනාට මේ ජීවිතේ වෙනසක් වෙන්නම ඕනේ…”

අවසන ඈ එසේ සිතමින් සිත හදා ගත්තාය.කාලය මේ ඉඩ දී තිබෙන්නේ ඒ වෙනසටය.

================*======

අධික කාර්ය බහුල කාලයක් ගෙවී යමින් තිබිණ.ඒ අතරේම හසාරා ඇතුළු පිරිසට පුද්ගලික සංචාරය සඳහාද දින දෙකක කාලයක් වෙන් විය.ඇය ධනංජය වෙනුවෙන් බොහෝ දේ මිලට ගත්තාය.සිත රිදී තිබිණ.වෙනදා සේ ඔහුගේ ආදරය කැටි වූ  වදන් වීඩියෝ දුරකථන ඇමතුම් කිසිවක් වූයේ නැත.අඩු තරමින් තමා නැතිව ගෙවන දින ගණනේ පාළුව කාන්සිය හෝ අඩුව පිළිබඳව ඔහු වදනක්වත් කතා නොකළ තරම්ය.එහෙත් හසාරා ඒ පිළිබඳව සිතන්නට උත්සාහ නොකළාය.කොහොමටත් මේ අවිවේකී ජීවිතය තුළ දැන් ඇයට සිතන්නට තැවෙන්නට වේලාවක් නොවේ.මව් සමාගමෙහි වූ පුහුණුවට සහභාගී වී සිටියත් ඇගේ රාජකාරි කොටස මාර්ගගත ක්‍රමයට හෝ ඉටුකරන්නට ඇයට සිදුව තිබිණ.එනිසාම හෝටල් කාමරයට පැමිණියත් ඈ උන්නේ අවිවේකීවය.

අපහැදුම් සිත් වේදනාවන් ඇති වූ තරම්ම වේගයෙන් නිමා නොවනා බව විශ්වාසය.ඊට දිය යුත්තේ කාලයයැයි  හසාරා දැන උන්නේ අත්දැකීමෙන්මය.

ඈ එතැන් සිට ජීවිතය සැලසුම් කරමින් උන්නාය.බොහෝ පිරිමින් කැමති වනුයේ ගැහැණුන් ඔවුන් යටතේ ජීවත්වනු දැකීමටය.අධ්‍යාපනයෙන් වෘත්තීය මට්ටමෙන් හෝ තමාගේ කුසලතාවලින් ගැහැණියක කොතරම් ඉහළ මට්ටමක සිටියත් තමාගේ පවුල් සංස්ථාව තුළ ඇයට හිමි වන්නේ සැමියාට වඩා පහත් තැනකි.දකුණු ආසියාතික රටවල් අතරින් පිරිමියා මුල් කරගත් පවුල් සංස්ථාව ගැන බොහෝවිට කතා කරන්නේේ ඉන්දියාවේය.ඇය තමා හා කාමරය බෙදාගත් ඉන්දියානු තරුණියගෙන්  ඒ පිළිබඳව බොහෝ විස්තර අසා දැනගත්තාය.අදටත් ඉන්දියාවේ සමහර නොදියුණු ප්‍රාන්තවල ගැහැණු දරුවන්ට ඉගෙනීමට ලැබෙන ඉඩ රැකියාවක් කිරීමට ලැබෙන ඉඩ සීමා සහිත බව ඈ පැවසුවාය.ලෝකය කොතරම් ගෝලීයකරණය වුවත් ඇඟිලිතුඩක දුරින් අන්තර්ජාතික සම්බන්ධතා වුවත් මිනිසාගේ සිතෙහි මුල් බැසගෙන සිටින සමහර සාම්ප්‍රදායික අදහස් වෙනස් කළ නොහැකි බව නන්දිතා හසාරා හා පවසා සිටියාය.

ඇගේ  සැමියා එරට ප්‍රසිද්ධ වෛද්‍යවරයෙකු  වූවේය.එහෙත් තමාගේ අතපසුවීමකදී දරුවන්ගේ අතපසුවීමකදී ඔහු තමාට දොස් පවරන බව නන්දිතා පැවසූයේ සිනහ මුසුවය.

“ ගොඩක් හස්බන්ඩ්ලා හිතන් ඉන්නවා තමන්ගේ අතින් සිද්ධ වෙන අතපසුවීමකට පවා වග කියන්න ඕනේ තමන්ගේ වයිෆ් කියලා.එයාල කැමතියි වයිෆ් රටේ  ජනාධිපති උනත් තමන්ගේ යටහත් පහත් සේවිකාවක් විදිහටම දකින්න.අපි කොහොම කිව්වත් අපේ පවුල් සංස්ථාව ඇතුලේ පිරිමියා අපිව අවබෝධ කරගෙන ඉන්නේ කියලා එයාලා කැමති නැහැ අපි එයාලා පරද්දෙනවාට.ඒකයි ගැහැණියකට නිසි තැන දෙන්න ගොඩක් පිරිමි බය.ගැහැණියකට ඇත්තේ තමන්ගේ ස්වාමිපුරුෂයා අභිබවා යනවා කියන  හැඟීම නොවුනට පිරිමියෙකුට තියෙනවා විශේෂයෙන්ම තමන්ගේ වයිෆ් ළඟදී පරාජය වෙන්න බෑ කියන හැඟීමක්…අපි ලෝකයක් පාලනය කලත් ගෙදරට ඇතුළු වෙන්න ඕනේ හස්බන්ඩ් නැතුව කිසි දෙයක් කරකියා ගන්න බැරි කෙනෙක් විදිහට “

ඇය පවා පවුල් සංස්ථාව තුළ ගැහැණියකට හිමි තැන පිළිබඳව කතා කරද්දී පැවසූයේ ඒ අයුරින්ය.

“ පිරිමි අය හරි කැමතියි තමන්ගේ වයිෆ්ට තමන් නැතුව කිසිම දෙයක් කරගන්න බෑ කියලා හිතන්න.ඒක එයාලට ලොකු ආඩම්බරයක් , අභිමානයක්.මෙන්න මේ හැඟීම අවබෝධ කරගෙන ජීවිතය සමබර කරගන්න පුළුවන් ගැහැණියෙක්ට පුළුවන්  තමන්ගේ ෆැමිලි ලයිෆ්  එක නීරස තැනක් නොවී තියාගන්න.ගැහැණිය කියන්නේ උපතින්ම කැප කිරීම් කරන්න දරාගන්න ශක්තිය ඇතුව උපන් කෙනෙක් කියලා මං විශ්වාස කරනවා.ගැහැණියක්ට පුළුවන් අන්න ඒ කැප කිරීම් තුළින් තමන්ගේ ජීවිතේ සතුට තීරණය කරන්න.ඔයාලගේ ශ්‍රී ලාංකික සංස්කෘතිය ඊට වඩා වෙනස් ඇති.මං මේ කතා කරන්නේ මම ජීවත්වෙන පරිසරය ගැන.”

නන්දිතා තවදුරටත් පවසා සිටියේ ඇය ජීවත්වෙන ආකාරය ගැනය.හසාරා තමාගෙන් සිදුවූ අඩුපාඩු තේරුම් ගනිමින් සිටියේ ඒ වචන ඔත්සේ දිව යමින්ය.

“ ඔයා මාව ගන්න එයාපෝර්ට්  එකට එනවනේ…”

හසාරා  ධනංජයගෙන් විමසූයේ   ලංකාවට පැමිණීමට දින තුනකට පෙරය.එවේලෙහිත් ඔහු උන්නේ තම පිටරට ගමන සඳහා අවශ්‍ය ගමන් මලු සකස් කරමින්ය.

“ සොරි…..මට එන්න බැරිවෙයි හසාරා.මට වැඩක් තියෙනවා.ඔයා ඔෆිස් වෙහිකල්  එකක එන්න කොහොමත් එන්නේ ගෙදරට නේ?…”

ධනජය එසේ පැවසූයේ මදක් වෙලා ගත්තාට පසුවය.

( යළිත් හමු වෙමු ආදරයෙන්…..)

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here