චිත්‍රපට කියන්නේ ඇබ්බැහියක්නේ. ඒ අතරිනුත් මලයාලම් සහ දමිළ චිත්‍රපට කියන්නේ අපූරු ඇබ්බැහියක්. ඒ නිසාම තමයි අපි ස්මාර්ට් ලේඩි තුලින් ඔබට විවිධ පරාසවලට පැතිරෙන අපූරු චිත්‍රපට ගැන ඉඟි අරගෙන එන්නේ. විවේකී දවස වෙනුවෙන් මේ චිත්‍රපට ගැන මතක සටහන් කරගන්න කියලා සිහිපත් කරන ගමන්, 2025ට අලුතින් නිකුත් වුන තිරු මානික්කම් කියන imbd අගය 9.2 ක් විදියට සටහන් වෙලා තියෙන දමිළ චිත්‍රපටය ගැන තමයි ඔබට කියන්න යන්නේ.
මානික්කම් කියන අවංක, සාධාරණ පුද්ගලයෙක් වටේ තමයි මේ චිත්‍රපටය ගොඩ නැගිලා තියෙන්නේ. සාම්ප්‍රදායික මිනීමරුම් සහ අභිරහස් සීමාව ඉක්මවලා ගිහින් මනුස්සකම් සහ අවංක සමාජයක් ගැන කතා කෙරෙන මේ චිත්‍රපටය අනිවාර්‍යෙන්ම ඔබේ නැරඹුම් ලැයිස්තුවට ඇතුලත් කරගන්නම ඕනි.
කතාව පටන් ගන්නේ පොලිස් නිළධාරින් දෙදෙනෙකුගේ කතා බහක් එක්ක. එතනින් එක් නිළධාරියෙක් හදිසියේම තවත් නිළධාරියෙකුට තුමක් ගන්නවා.
” ඔයාගේ බලප්‍රදේශයට කෝටි එක හමාරකුත් අරගෙන මනුස්සයෙක් ඇවිල්ලා ඉන්නවා… වහාම ඒ පුද්ගලයාව හොයාගන්න …. විශ්වාසවන්ත කෙනෙක් දෙන්නෙක් එකතු කරගෙන මම මේ ෆොටෝ එකේ එවන පුද්ගලයාව හොයාගෙන පොලිසියෙන් පිට කොහේ හරි රඳවාගන්න … කේෂවන් .. මේක රහසේ කරන්න ඕනි වැඩක් …”
ඊට පස්සේ වාහනේ ඉන්න පොලිස් නිළධාරියෙක් කේශවන් කියන අනෙක් පොලිස් නිළධාරියාට අත් අඩංගුවට ගන්න අවශ්‍ය පුද්ගලයාගේ පින්තූරයකුත් යවනවා.
එතන්දී අපිට පේනවා ඒ පින්තූරයේ ඉන්නේ අපේ කතා නායකයා වෙන මාණික්කම් බව.
ඊට පස්සේ චිත්‍රපටය මාණික්කම් දිහාවට හැරෙනවා. මාණික්කම් පොත් කඩයක් සහ ලොතරැයි අලෙවි සැලකුත් කරගෙන යන බව පෙන්නනවා. ඉතාම සාධාරණ සහ අවංක වෙළෙන්දෙක් වෙන මාණික්කම් මුලු නගරයේම ඉන්න අය එක්ක හිතවත්ව ජීවත් වෙන කෙනෙක් බවත් චිත්‍රපටය ආරම්භෙයේදීම අපට අඟවනවා.
පිට අයට විතරක් නෙවෙයිතමන්ගේ පවුලේ අයටත් මාණික්කම් ඉතා ආදරණීය පුද්ගලයෙක්. විවාහ වෙලා කුඩා දියණියන් දෙන්නෙක් ඉන්න මේ මාණික්කම් කියන කතා නායකයා කෝපයෙන් තමන්ගේ බිරිඳ එක්කවත් කෑ ගහගන්න කෙනෙක් නම් නෙවෙයි.
ඊට පස්සේ පෙන්නවා මාණික්කම්ගේ කුඩා දියණිය වන වානතීගේ කතා කිරීමේ අපහසුතාවයක් නිසා ඇයට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කරලා තියෙන බව.
” අහන්න මාණික්කම් … දරුවාට තියෙන තත්වය සමහරවිට කාලෙත් එක්ක මඟ හැරෙන්නත් පුලුවන් .. ඒ කොහොම වුනත් දැනට අපිට කරන්න පුලුවන් හොඳම දේ තමයි නිතරම එයා එක්ක කතා බහ කරන එක .. එයාව කතා කරන්න යොමු කරවන එක .. අපිට මේකට කරන්න පුලුවන් සැත්කමකුත් තියෙනවා… ඒත් ඒක ඉතාම වියදම් අධිකයි .. අවශ්‍යම වුනොත් අපි ඒ විකල්පය ඉතුරු කරමු .. එතකල් අපි මේ මම කියන විදියට කරමු …”
වෛද්‍යවරයා මාණික්කම්ට කියනවා. පවුලේ හැමෝම මේ දේ හොඳින් වටහාගෙන ඒ අනුවම කටයුතු කරනවා. ඒ ප්‍රශ්නේ ඇරුනාම මාණික්කම්ලාගේ ජීවිත වලට ප්‍රශ්න කියලා කිසිම දෙයක් නැති තරම්. ඒ හතර දෙනා ඉතාම සැහැල්ලුවෙන් කාලය ගත කරනවා. ඒ වගේම මාණික්කම් පල්ලියේ පියතුමා එක්කත් සමීප සම්බන්ධතා පවත්වගෙන යනවා.
කාලය මේවිදියට ගෙවිලා යනවා. එක දවසක් උදේ පොලිස් නිළධාරියෙක් මාණික්කම්ගේ බිරිඳ වුන සුමතිව මුන ගැහෙන්න එනවා.
” එස් අයි මහත්තයාට හොඳටම තරහ ගිහින් තියෙන්නේ .. දැන් පොරොන්දු වුන දවස පැනලා..”
“අනේ සර් මල්ලිව රට යවන්න නේ සල්ලි ගත්තේ … මල්ලි රට යවන්න උන්න ඒජන්සියේ අයිතිකාරයා සල්ලිත් අරගෙන පැනලා ගියා සර් ….”
” ඒ කතා වැඩක් නෑ.. එස් අයි මහත්තයා කිව්වා සති දෙකෙන් සල්ලි ඕනෑ කියලා…”
පොලිස් නිළධාරියා මෙහෙම කෑ ගහනකොට සුමතිගේ මාමාත් ඇවිල්ලා කරුණු පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා.
මාණික්කම් මේ සිදුවීම ගැන නොදන්න නිසා සුමතිට මාණික්කම්ට ඒ ගැන කියන්න විදියකුත් නැතිව දහ අතේ කල්පනා කරනවා. ඒ අතරේ මාණික්කම්ගේ වෙළඳසැල තියෙන ගොඩනැගිල්ලේ අයිතිකාරයා මාණික්කම් මුණ ගැහිලා කියනවා ඔවුන් ඒ ගොඩ නැගිල්ල ඉවත් කරලා , ඒ වෙනුවට අලුත් ගොඩනැගිල්ලක් හදන්න සැලසුම් කරලා තියෙන බව. ඒ හින්දා සති දෙකක් වගේ ඇතුලත මාණික්කම්ට කඩේ ඉවත් කරගන්න වෙන බව. එකපාරටම කඩේ වෙන තැනකට අරගෙන යන්න අතේ සල්ලි නැති හින්දා මාණික්කම් කණස්සල්ලෙන් ඒ ගැන සුමති එක්කත් කතා කරනවා.
” ඔයා කලබල වෙන්න එපා .. අපි මොකක් හරි කරමු …”
සුමති එහෙම කියලා මාණික්කම්ව අස්වසනවා.
පහුවෙනිදා මාණික්කම් කඩේට ගිහිල්ලා කෑම කන්න සූදානම් වෙනකොට දකිනවා ඒ කෑම එක එක්ක තියෙන සුමතිගේ මාලේ. මාණික්කම් වහාම සුමතිට ඇමතුමක් ගන්නවා.
” මම ඒ මාලේ ඔයාට දුන්නේ කැමැත්තෙන්මයි .. ඔයා ඕක උගස් කරලා සල්ලි අරගෙන කඩේකට ඇඩ්වාන්ස් එකක් දෙන්න … අපි පස්සේ ඕක බේරගමු …”
සුමති විශ්වාසෙන් එහෙම කියනවා.
ඊට පස්සේ අපට පෙන්නන්නේ ටව්න් එකේ වාඩිවෙලා ඉන්න වයසක පුද්ගලයෙක්ව. ඊට පස්සේ ඔහුට මතක් වෙනවා විවාහ කරලා නිවසින් පිටත් කරපු ඔහුගේ දියණිය මාස කිහිපයක දරු ගැබක් එක්ක නිවසට ආව විදිය. ඒ වයසක පුද්ගලයාට ඊට පස්සේ මතක් වෙනවා බෑණාගේ නිවසින් දෑවැද්දක් නැතිව බාරගන්න නොහැකි බව කියලා තමන්ගේ දියණියව පිටමං කරපු විදිය.
ඔහු ආයේම පියවි සිහියට එන්නේ ලඟ උන්න කාන්තාවෝ කිහිප දෙනෙක්ගේ හඬෙන්.
අල්ලපු ගමේ කාන්තාවකට කෝටි ගානක ලොතරැයියක් ඇදුණු විස්තරයක් ගැන තමයි ඒ කාන්තාවෝ කතා කර කර ඉන්නේ. ඒ කතාවෙන් ඉවතට හැරෙනකොටම මේ වයසක පුද්ගලයා දකිනවා මාණික්කම්ගේ ලොතරැයි කඩය. වයසක පුද්ගලයා ඒ දිහාවට ඇවිදගෙන එන විදිය දකින මාණික්කම් දැකලා ඔහුව පිළිඅරගෙන තේකක් එහෙමත් දීලා කතා බහ කරනවා.
ඒ අතරේදී එතැන තිබුන ලොතරැයියක් අරගෙන මෙහෙම කියනවා.
” මගේ දුවව විවාහ කරලා දුන්නේ අපිට ලැබෙන්න තියෙන සාම්ප්‍රදායික දේපල බලාපොරොත්තුවෙන්.. ඒත් ඒවා නොලැබුන නිසා බෑණාගේ පවුලේ අය මගේ දුවව පිටමං කලා .. මේ ටිකට් එක ඇදුනොත් මට දේපල ප්‍රශ්නේ විසඳගන්න පුලුවන් …”
ඊට පස්සේ ඔහු තව ලොතරැය්‍යක් අරගෙන මාණික්කම්ටම මෙහෙම කියනවා.
” මගේ බිරිඳ කාලේක ඉඳන් ඉන්නේ අසනීපෙන්… මේ ටිකට් එක ඇදුනොත් මට එයාව තව අවුරුදු ගානක් ජීවත් කරවා ගන්න පුලුවන් …”
ඊටත් පස්සේ ඔහු තවත් ලොතරැයියක් අරගෙන මාණික්කම් දිහාවටම මෙහෙම කියනවා.
” අපි ඉන්න ගෙදර හොඳටම අබලන් වෙලා .. මේ ටිකට් එකඇදුනොත් මට ගේ හදාගන්නත් පුලුවන් …”
එහෙම කියලා ලොතරැයි තුනම ගන්න මේ වයසක පුද්ගලයා, ඉණේ ගහගෙන ඉන්න පසුම්බිය හොයනවා. ඊට පස්සේ ඔහු දකිනවා පසුම්බිය හැලිලා බව. මාණික්කම් වහාම කලබල නොවී ඉන්න කියලා ඒ වයසක පුද්ගලයාව සන්සුන් කරවනවා
” මේ ටිකට් ටිකේ සල්ලි ඔයා මට පස්සේ ගෙනල්ලා දෙන්න .. මේ බස් එකේ යන්න සල්ලි …”
” හරි මම හෙට ඇවිල්ලා මේ ලොතරැයි තුන අරගෙන යන්නම්.. එතකල් තියාගන්න …”
ඒ දවස අවසාන වෙලා පහුවෙනිදාට එළි වුනාම මාණික්කම්ට ලොතරැයි අලෙවි ඒජන්සියෙන් ඇමතුමක් එනවා.
” ඊයේ රෑ දිනුම් ඇදපු ලොතරැයිය අපේ ඒජන්සියෙන් නිකුත් වෙලා තියෙන්නේ . ඒක අලෙවි වෙලා තියෙන්නේ ඔයාගේ කඩෙන් .. මේ සීරියල් නම්බර් එක ලියාගන්න …”
ඊට පස්සේ මාණික්කම් මේ සීරියල් අංකය අර වයසක පුද්ගලයා තියලා ගියපු ලොතරැයි අංක එක්ක නිකමට ගලපනවා. එතනදී තමයි ඔහු දකින්නේ එතැන දිනුමට අදාල ලොතරැයිය තියෙන බව. මාණික්කම් උද්දාමයෙන් උඩ පැන පැන කෑ ගහනවා.
ඉතින් සර්ව සාධාරණ අවංක මාණික්කම් ඊට පස්සේ මොකක් කරාවිද ?
මේක දැනගන්න නම්, අනිවාර්‍යෙන්ම ඔබ තිරු මාණික්කම් බලන්නම ඕනි.
ReplyForwardAdd reaction |