පතිනියකගේ සටහන් – 12

“දැන් අඬන එක නවත්තන්න තාරු. කූල් ඩවුන් වෙලා මට කියන්න මොකක්ද වුණේ කියලා”

වසර ගණනක් පුරා මගේ හොඳම මිතුරිය, රුවිනි මං දිහා බලා ඉන්නේ නොඉවසිල්ලෙන්.. මගේ කඳුලු පිසින්නත්, මට විසඳුමක් දෙන්නත් ඇය ඇත්ත දැන ගන්න ඕන.

ඉතා කුඩා සිදුවීමකින් මහා විශාල රණ්ඩුවක් ඇති වූ හැටි ඇයට කියන්න මම පටන් ගත්තා. භානුකටත් මටත් දෙන්නටම පරාජය භාර ගන්න උවමනා වුණේ නෑ. සමහර විට කාලයක් තිස්සේ හිතේ එකතු වුණු පුංචි පුංචි අමනාපකම් සියල්ල එළියට එන්න ඇති. මේ විවාහ ජීවිතේ නෙවෙයි, කාලෙකට කලින් පෙම්වතුන් වෙලා හිටිය කාලේ වුණු හිත් තැවුල් පවා එළියට ආවා.

පුංචි මත ගැටුමක් මොන තරම් විනාසයක් කරා ද?

“ඔය පොඩි හේතුව ගැන කිය කිය එල්ලි එල්ලි ගියේ ඇයි බං??” රුවිනි අහන්නේ හිනාවකින්. මං භානුකට දෙතුන් වතාවක් සිහි කැඳවූ දෙයක් ඔහු අමතක කිරීම යකා ඔලුවට අරන් අවුරුදු පහක කතන්දර කිය කියා බනින්න ඇත්තටම මටත් පිස්සු ද?

“මතකද තාරු දහය වසරෙදී අපේ පන්තියේ කෙල්ලො පොඩි කේලම් සිද්දියක් දුර දිග යවාගෙන මහා වලියක් ඇදගන්න පටන් ගත්තා..”

රුවිනි කතාවක් පටන් අරන්. ඔව්. මට ඒ සිදුවීම මතකයි. රුවිනියි මමයි පවා අමනාප වුණු කාලයක් ඒ.

“රම්‍යා මිස් කරපු දේ මතකද? පැමිණිලි පෙට්ටිය. අපි කා එක්ක හරි තරහකින් නම් එයාට ඒ ගැන කියලා පැමිණිළි පෙට්ටියට නෝට් එකක් දැම්මා. කේලම් කාරයෝ අනවශ්‍යයි. දිගින් දිගට ආගියුමන්ට් නැහැ. මං ඔයා එක්ක කේන්ති ගත්ත හේතුව ඔයා කෙලින්ම ඒ නෝට් එකෙන් දන්නවා. වචන එන්නේ හිතන්නේ නැතුව. දිවට ලිමිට් නෑ. ඒත් දෙයක් ලියනකොට හිතලා බලලා ලියන්න පුලුවන් . අපි කෙනෙකුට බනින්න කලින් හිතන් නෑ. බනිනවා.ඒත් සමහර වෙලාවට අපි ඒ පැමිණිලි පෙට්ටියේ දාපු නෝට්ස් අයිතිකාරයා බලන්න කලින් ආපහු ගත්තත්නෙ. තරහ නිවුණාම.”

ඒ අතීතයේ මතක මට අරගෙන ආවේ හිනාවක්. අපි ඉක්මනින් සන්සුන් කරපු රම්‍යා මිස්ගේ ට්‍රික් එක. ඒත් ඒක මෙතනට අදාල කොහොමද?

“ඕක වැඩියෙන්ම හොඳ පවුලකට තාරු. පොඩි පැමිණිලි පෙට්ටියක් තියන්න අල්මාරියෙ අලවලා හරි ඩ්‍රෙසින් ටේබල් එක උඩින් හරි. බනින්නම හිතෙන චෝදනා ඒකට දාන්න. භානුත් පුරුදු වෙයි ඒකට. ඊට පස්සෙ තෙත තුවායක් ඇඳ උඩ අතාරින්න එපා ඉඳලා ඔෆිස් එකේ එහා කැබින් එකේ ගර්ල් එක්ක ඕනවට වඩා සෙල්ෆි ගන්න එපා කියන තැනට එනකන්ම කඩා පැනලා නොකියා ඒ බොක්ස් එකට ලියලා දාන්න. සමහර වෙලාවට උදේ ලියන දෙයක් භානු එන්න කලින් අයින් කරන්න තරම් ඔයාගෙන් කේන්තිය මැකිලා තියෙයි”

රුවිනි ගියේ මගේ හිත තවත් නිවෙන්න බොහෝ දේවල් කියලා. පවුලක් ඇතුළේ අවුලක් කියන්න ඕන ඒක නිවෙන්න මේ වගේ සුන්දර හේතු හොයා දෙන මිතුරියකට. ඒක තවත් අවුලවන කෙනෙකුට නෙවෙයි.

පැමිණිලි පෙට්ටියක් හදන්න ඕන. කේන්ති නිවෙනකොට මටම පැමිණිල්ල ඉරලා විසි කරලා හිනා වෙන්න හිතේවි.

වචන පිට කරන්න කලින් ආයෙ ආයෙම හිතන්න ඕන..

ඒ පාඩම මං ඉගෙන ගත්තේ කඳුලු ගඟකට පස්සේ.

-නිබන්ධිකා-

Related Articles

Don't Miss


Latest Articles