හද සාගරේ – 40

0
6736

බිම ඇද වැටේවියි ක්ෂණික බියක් ඇති වූයෙන් ආදියා ළඟ ම තිබූ අසුන මතින් යන්තම් හිඳගත්තා ය. ඒ අතරේ රිසීවරය දිගේ ඉක්මන් ගැහැනු හඬක් නැගෙමින් තිබිණ.

“සාරධා බෙත්මගේ කියන පේශන්ට්ගෙ ගෙදර නේද…”

“ඔව්…”

“පේශන්ට්ව ලේබර් රූම් එකට ගන්න අපි ලෑස්ති වෙන්න කියලයි තිබුණෙ. පස්සෙ එයාව ගන්න බලනකොට එයා නෑ. අපි හැම තැනම බැලුව. පස්සෙ වෙන වෝඩ් එකක නර්ස්ල දෙන්නෙක් අරං ආව. එයා ඈත කොරිඩෝ එකක තනියම ඇවිදගෙන යනවලු. අපි දැං ලේබර් රූම් ගන්නව. හැබැයි ඩිලිවරි එකෙන්   පස්සෙ වෝඩ් එකට දැම්මහම එයා ළඟ කවුරුහරි නතර වෙන් වෙයි”

“හ්… හරි මිස්. දැන්ම එන්නං. බොහෝම ස්තූතියි මිස්”

ආදියා ගේ සිරුර දිග දහදිය වැලක් ගලමින් තිබිණ. හැම කෙනෙක් ම ඇය වටා රොක් වී, කුමක් සිදු වී දැයි දැනගන්නා නො ඉවසිල්ලක පසුවූහ.

“අක්ක ළඟ ඉන්න කෙනෙක් එන්න කිව්ව. එයා වාට්ටුවෙන් එළියට ඇවිදගෙන ගිහිංලු. නර්ස්ල දෙන්නෙක් වෝඩ් එකට ගෙනත් තියෙන්නෙ”

ආදියා ගේ පිළිතුර වියළි විය. හඬ පමණකුදු නොව දෙතොල් පවා හදිසියේ වියළී ගිහින් තිබේ. එහෙම වෙන්නේ කොහොමද කියා ඈ දන්නේ නැත. කිසියම් මොහොතක දී මුළු ශරීරය ම, හැම සෛලයක්, තන්තුවක්, ස්නායුවක් ගානේ ම වියළී යන්නට පිළිවන් ද?

“සාරධා එයාට දරාගන්න බැරි තරං ප්‍රෙශර් එකක ඉන්නෙ. ගෙදර ආවට පස්සෙ එයාව සයිකෑට්‍රිස්ට් කෙනෙක්ට පෙන්නමු ආදියා. අඩු ගානෙ මුලින් කවුන්සලර් කෙනෙක්ටවත්”

දෙව්රම් ගේ වචන ආදියා ට ඇසුණේ සිහිනයෙන් ඇසෙන්නා සේ ය.

“ඊට කලින් දැන් කරන්න ඕනෙ ඒ ළමය ළඟ ආරක්ෂාවට කවුරු හරි නවතින එකනෙ”

“මං යන්නං අක්ක ළඟ ඉන්න”

ආදියා කොඳුරාගත්තා ය.

“ඔයා  කොහොමද චූටි දුව අක්ක ළඟ ඉන්නෙ… ඔයාට මොනා තේරෙනවද…”

ජිනාදරී ගේ හඬ ශෝකයෙන් භරිත වී තිබි අතර එක් මොහොතක දී ඇගේ පාලනයෙන් මිදී බිඳී ගියේ ය.

“මං යන්නං සාරධා ළඟ ඉන්න. අනේ දෙයියනේ මේ දරුවගෙ මේ ප්‍රශ්න ඔක්කෝම මෙතනිංවත් කෙළවරක් කරල දෙන්න! ලොකු දුවට වගේම අපිටත් මීට එහාට මේක දරාගන්න බෑ”

ඒ වචන පිට වූයේ ජිනාදරී ගේ ආත්මයෙන් ම ය. ආදියාගේත් ඇගේත් ඇස් වලින් කඳුළු ගිලිහී ගියේ එක වරමයි.

“අඬන්නෙපා දුව”

නාලිනී ආදියා ගේ හිස පිරිමැද්දා ය.

“දරාගන්න අමාරුයි තමයි. ඒත් එහෙම වෙලාවට තමයි අපි තවත් හිතට හයිය අරගන්න ඕනෙ. දෙයියංගෙ පිහිටෙන් මුකුත් කරදරයක් වෙලා නෑනෙ. එහෙම නෙවෙන්න අපි මේ දරුවව පරිස්සං කරගමු. දුවයි ජිනාදරී නංගියි දෙන්නම මේ වෙලාවෙ හිත කලබල කරගෙනනෙ ඉන්නෙ. ඉතිං එහෙම කලබල හිතකින් ඔය වගේ ලෙඩෙක් බලාගන්න ලේසි නෑ. ඒක නිසා මං යන්නං ලොකු දුව ළඟ අද ඉන්න. නංගි හෙට එන්න සූදානං වෙලා ඉන්නකො. එහෙම හොඳයි නේ පුතා…”

“අනේ කොච්චර දෙයක්ද අම්මෙ අම්මට එහෙම ඉන්න පුළුවන්නං. මේ වෙලාවෙ නිශ්ශංක අංකල්ල වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් කරමු”

හැම දේ ම තීරණය කළේ ඔවුන් ය. එහෙම මිනිසුන් ජීවිත වල සිටිත යුතු ය. තමන් ගැන වැදගත් ම තීරණ ගත නො හැකි තරමට හිත් වියවුල් තිබෙන මොහොත වල අප වෙනුවෙන් තීරණ ගන්නට බලය දිය හැකි මිනිසුන් කෙනෙකු දෙදෙනෙකු හෝ අප සමග සිටිත යුතු ය. මේ වෙලාවේ ආදියාට දැනුණේ එහෙව් සැනසිල්ලකි. දෙව්රම් බලා ගන්නවා නම් ඇයට මේ වෙහෙසින් ඇස් දෙක පියවාගෙන විවේකයක් ලද හැක.

ඒ අනුව ඒ මැදියමෙහි නැවත ද දෙව්රම්, නිශ්ශංක හා නාලිනී රෝහලට ගියහ. නාලිනී එහි රඳවා පැමිණෙන විටත් සාරධා ප්‍රසූතිකාගාරයෙන් වාට්ටුවට ගෙනැවිත් නැත. දුවක බිහි වී ඇති බව දැනගන්නට ලැබිණ. අළුයම කිරිතේ හා උදේ කෑම ගෙන ජිනාදරී හා නිශ්ශංක ද ආදියා ද රෝහලට ගියහ. ඇතුළට යාමට අවසර ලැබුණේ ජිනාදරීට හා නිශ්ශංකට පමණි. ආදියා දෙව්රම් සමගින් රථ ගාලෙහි රැඳුණා ය.

“බයවෙන්න එපා ඉතිං. දැං බබයි අම්මයි දෙන්නම කරදරයක් නැතුව ඉන්නව කියල අපි දන්නවනෙ”

දෙව්රම් ගේ ස්වරයෙහි මුණිවර ශාන්තියක් වී ද ආදියා ට එපමණකින් සෑහිය නො හැකි ය.

“ඒත් මේක අද මෙතනිං ඉවර වෙන ප්‍රශ්නයක් කියල හිතන්න බෑ නේද… අක්ක දැන් දුවල දෙන්නෙක්ගෙ අම්ම කෙනෙක්. එයාගෙ මහත්තය හිරේ. මාස ගාණකින් නිදහස් වෙලා ආවත් එතන විසඳගන්න බැරි ප්‍රශ්න ගුලියක් තියනව. ඒ මනුස්සය හරියකට ජොබ් එකක් කරන්නෑ. බේබද්දෙක් වගේ බීගෙන ගෙදර ඇවිත් රණ්ඩු අල්ලනව. ළමයින්ටයි අක්කටයි ජීවත් වෙන්න විදිහක් නෑ. ඉන්න තැනක් නෑ. මෙහෙම දෙපැත්තක ජීවත් වෙන එක විසඳුමකුත් නෙවෙයි. ගෑනු ළමයි දෙන්නෙක්ගෙ අනාගතේ… එයාලට උගන්නන්න ඕන. අනේ ඉතිං අක්කගෙ ඔළුව උඩ ඔය ඔක්කොම ප්‍රශ්නනෙ… මට වුණත් පිස්සු හැදෙයි ඔය වගේ තත්වෙක හිටියනං”

“මට තේරෙනව ආදියා ඔයාගෙ හිත. ඒත් වැඩිය හිතන්නෙපා. අපි මේ වෙලාවෙ කරන්න ඕන දේ කරගෙන යමු. ඊලඟට මොනාද කරන්න ඕනෙ කියල පස්සෙ බලමු. ම්…”

“ඔයාට හිතෙනවද මොන කුණු ගොඩකටද මේ  කරගහන්න යන්නෙ කියල…”

ආදියා ඒ අසාගත්තේ ටික දවසක් තිස්සේ ඇගේ ම හදවත තුළින් බුබුළු නගමින් මතුපිටට පැමිණෙමින් තිබූ පැනයකි. දෙව්රම් ඇගේ දෑසින් එබී බැලුවේ ය. ඒ ඇස් මත කඳුළු මුතු කැට දෙකකි. ඔහු ඇගේ ඇඟිලි තුඩගින් ඇල්වූයේ ය. අතැඟිලි වල සීතල!

“මොනාද ඔයා කියන්නෙ ආ… හීනෙකිංවත් මං එහෙම හිතල නෑ”

“ඒත් එහෙම හිතෙයි. ඔයත් මනුස්සයෙක් නිසා එහෙම හිතෙන්න ඕනෙ. මට දැං හිතෙනව මං කරන්නෙ මේ වරදක් කියල. මේ වගේ ප්‍රශ්න පිරිච්ච තැනක නෙවෙයි ඔයා නවතින්න ඕනෙ. හිතේ නිදහසෙන් ඉන්න පුළුවන් සාමකාමී තැනක”

“පිස්සි. ඉතිං අපි අතරෙ ප්‍රශ්න තියනවද… මං ඔයා ළඟ ඉන්නෙ පුදුම හිතේ නිදහසකින් තමයි. සාරධා ඔයාගෙ අක්ක. එයාගෙ ප්‍රශ්න ඔයාගෙ හිතට බරක් කියන එක මං පිළිගන්නව. ඔයාගෙ ඔළුවෙ තියන ප්‍රශ්න මගෙත් ප්‍රශ්න තමයි ආදියා. අපි හෙමිහිට මේ හැම ගැටළුවක්ම විසඳගෙන අපේ ගමන යමු. අපේ අයත් පරිස්සං කරගෙනම… ම්… ඔයාට මාව විශ්වාස කරන්න බැරිද…”

මිනිසුන් අරබයා ඇය විශ්වාසය යන වචනය අවභාවිතා කිරීමට කැමති නැත. ඇසුරු කරන්නට ලැබෙනා බොහෝ මිනිසුන් විශ්වාසවන්ත අය නොවෙනා බව මේ කෙටි ජීවිත කාලය ඇයට පසක් කොට දී තිබේ. ඇතැම් අය සිතනුයේ විශ්වාසය තිබෙන්නේ රකින්නට බැරිනම් කඩන්නට කියා ය. එහෙම මිනිසුන් අතරේ දෙව්රම් ගැන ඇගේ විශ්වාසය දිගු කාලයක් තිස්සේ හෙමි හෙමිහිට වැඩුනකි. ඔහු හා ඇය අතරෙහි වන්නේ විශ්වාසය ගැන සිදුරක් නොවේ. ඊට වැඩියෙන් සංකීර්ණ වූ ගැටළුවකි. ඔවුන් දෙදෙනා ගේ ලෝක දෙක අතරෙහි වන අර්බුධය ගැන ප්‍රශ්නයකි.

අලුත් බිළිඳිය දුටු විට නිශ්ශංකට හා ජිනාදරී ට බොහෝ හිත් වේදනා අමතක වී ගිය තරමි. අම්මාත් බබාත් ශාරීරික ව සුවයෙන් පසු වීම ඔවුන්ට සහනයක් විය. දිවා කාලයේ රෝගීන් බලන වේලාව එන තුරු ම සාරධා හා බිළිඳා ළඟ රැඳෙන්නට නාලිනී එකඟ වූයෙන් නිශ්ශංකලා ගෙදර ගියහ.

අර්බුධය කෙතරම් සංකීර්ණ ද අභ්‍යන්තරික තුවාල කෙතරම් ගැඹුරු ද කියා හරියට ම ප්‍රත්‍යක්ෂ කරනා සිදුවීම සිදු වූයේ නාලිනී ලා ගෙදර පැමිණි පසුයි.

සාරධා ට කෑම ටිකක් කවා ගත්තේ වදයෙන් පොරයෙනි. දරුවා පෝෂණය කිරීමට අම්මා පෝෂ්‍යදායී ආහාරයක් ගැනීමේ වැදගත්කම ගැන නාලිනී අවධාරණය කළා ය. සාරධා අමුතු බව නාලිනී ට දැනෙමින් තිබිණ. ඇය අලුත් බිළිඳෙකු බිහි කළ අනිත් අම්මලා වාගේ සතුටක් පෙන්වූයේ නැත. ආඩම්බරයෙන් හා ආදරයෙන් දරුවා දෙස බැලුවේ ද නැත. නාලිනී දරු සම්පත්තියෙහි වටිනාකම් ගැන සාරධා ගේ හිතේ පුංචි පුංචි බීජ රෝපණය කිරීමේ උත්සාහයක් ගත්තා ය.

සාරධා කෑම ගත් පිඟාන සෝදන්නට නාලිනී පිටතට ගිය ටිකට සාරධා හනි හනික අලුත් බිළිඳා ව දෝතින් ගත්තා ය. බිළිඳිය අම්මා ගේ පපුවට ගුළි වී උණුහුම සෙව්වා ය. කෙඳිරිලි නැගුවා ය. සියුමැළි අතැඟිලි ඉතා තදින් ගුළි කරගෙන ඇස් තද කරගෙන සිටියා ය. නමුත් සාරධා ඒ ආදරබර වූ කිසිවක් ම දුටුවේ නැත.

දරුවෙකු බිහි කළ අම්මා කෙනෙකු යම් කාලයක් ගත වෙන තුරු දරා ගන්නා අසීරුතා තිබේ. එවැන්නියක ඇවිදින්නේ වුව සාමාන්‍ය ස්ත්‍රියකගේ  තත්වයෙන් නොවේ. නමුත් නාලිනී දකිනා අවස්ථාවේ සාරධා ඇවිදිමින් සිටියේ සාමාන්‍ය ස්ත්‍රියක වාගේ ම, ඇතැම් විට ඊටත් වැඩි වේගයකිනි. ඒ ගමන්   වේගය නිසා ම නාලිනී ගේ අවධානය වහා ඇය වෙත යොමු විය. මොළය විසින් තීන්දු තීරණ ගන්නටත් පෙර ම ඇය ක්‍රියාත්මක වූවා ය. පිඟාන හා හැන්ද අතේ තිබියදී ම නාලිනී සාරධා වෙතට දිගු අඩි තැබුවා ය. ඇය බිළිඳිය තුරුලු කරගෙන ගියේ මහල් ගොඩනැගිල්ලෙහි කොරිඩෝරය දෙසටයි. දරුවා දෝතින් ගෙන කොරිඩෝරයේ   කෙටි බිත්තියෙන් ඉවතට දමන්නට සැරසෙන විට ම නාලනී කෑ ගසාගෙන බිළිඳිය අල්වා ගත්තා ය. දෙවියන් ඒ        සුළු මොහොතක අවස්ථාව දුන්නේ නාලිනී ගේ දෝතටයි. ඇය වෙව්ලමින් සිටියා ය. ඇගේ මාතෘ හදවත අසාමාන්‍ය වේගයකින් ගැහෙමින් තිබිණ. බිලිඳු දියණිය ඇගේ පපුවේ උණුහුමට ගුළි වී සිටියා ය. නාලිනී ගේ කෑ ගැසීම නිසා වාට්ටුවේ හෙදියන් කිහිප දෙනෙක් වහ වහා ඔවුන් වෙත පැමිණියහ.

“ඇයි බබාව එළියට විසිකරන්න ගියාද…”

ඔවුන් ගේ ඇස් වල භීතිය දෝංකාර නගන්නට විය. නමුත් සාරධා හිස් කඩදාසියක් වන් මුහුණකින් ඔහේ බලා සිටියා ය. ගලා හැළුණ නාලිනී ගේ කඳුළු, හෙදියන්ගේ ප්‍රකාශය නිහඬව තහවුරු කරනා සාධක වූයේ ය. සාරධා ගේ අත් දෙකෙන් අල්වා ගත් හෙදියන් දෙදෙන ඇයව යහන වෙත ගෙනැවිත් හිඳුවා වහාම වෛද්‍යවරයාට කතා කළා ය.

“බබාවයි අම්මවයි තනියම දාල ඔයා හෙල්ලෙන්නවත් එපා”

නාලිනී ව වැඩිදුරටත් දැනුවත් කෙරිණ. වෛද්‍ය නියමය මත සාරධා ව මානසික ප්‍රතිකාර සඳහා රෝහල තුළින් ම යොමු කෙරිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here