ජීවිතය කවියක් නොවේ – 43

0
3614

හිටිහැටියේම කඳවුරතුල ක්ලාන්තව ඇද වැටුණු ධනංජය රෝහල් ගත කර සතියක්ම ගෙවී ගොස් තිබිණ. ඔහුව බලන්නට රෝහලට පැමිණියේ මානව හිමිකම් සංවිධානයක නිලධාරීන් පිරිසක් පමණි. ධනංජය ඕනෑවටත් වඩා මේ ජීවිතය තුළ අසරණව උන්නේය. තමාගේ  කියන්නට කාත් කවුරුවත් නොමැති වූ රටක අසරණව මිය යන්නට සිදුවෙතැයි ඔහුට සිතුණු වාර ගණන අනන්තය. එහෙත් ඒ පිළිබඳව තැවීමක් ඒ සිතෙහි වූයේ නැත. වරදක් කළානම් දඬුවමක් ලැබිය යුතුමය. අද තමා මේ ගෙවා දමන්නේ හසාරාට දුන් වේදනාවන්හි ප්‍රතිඵල විය යුතුය. උණක්,  සෙම්ප්‍රතිශ්‍යාවක් සෑදුනත් ඈ තමා අසලට වී උවටැන  කළ අයුරු සිහිපත්ව ධනංජයගේ දෑස් කඳුළින් තෙමී යන්නට විය. 

“ කොහේ ජීවත් උනත් ඔයා හොඳටම ජීවත් වෙන්න ඕන හසාරා….මං දන්නේ නෑ ඇයි ඔයා ළඟ ඉඳිද්දි මට ඔයාව මේ තරමටම නොදැනුනේ කියලා…”

වරෙක ඔහු තමාටම පවසා ගත්තේය. ඇය තම මව්පියන් අසලට ගොස් ඇතැයි ඔහු විශ්වාස කළේය. හිස් සුදු බිත්ති හතරක් වූ කාමරයකට මැදිව ධනංජයගේ දවස ඔහේ ගෙවී යන්නට විය. අතීතයේ සමහර දසුන් සුදු කළු චිත්‍රපටියක රූප රාමු පෙළක් පරිද්දෙන් ඔහු ඉදිරිපිට බැවී නොපෙනී යන්නට විණ. ඒ අතීතය කොතරම් සැහැල්ලු එකක්දැයි ඔහුට සිතිණ. තමා හිතා මතාම යළි ගොඩ ඒමක් නොවූ ගැඹුරු වලකට පැන ගත්තායැයි ඔහුට සිතිණ.

ධනංජයගේත් හසාරාගේත්  විවාහ උත්සවය පැවැත්වූයේ අගනුවරට ආසන්න වූ උත්සව ශාලාවකය. ඒ උත්සව ශාලාව තෝරා ගත්තේ දෙපාර්ශවයේම ඥාතීන්ගේ පහසුව පිණිසය. මංගල  උත්සවය චාරිත්‍රානුකූලව එක් දිනයකින්ම අවසන් කලේ දෙදෙනාගේ කැමැත්ත පරිද්දෙන්ය. උඩරට ක්‍රමයට උදෑසන ඔසරියකින්, නිලමේ ඇඳුමකින්  සැරසී කල පෝරුවේ චාරිත්‍රවලින් පසුව හසාරා  සවස් යාමයේ රත් පැහැ ඉන්දියානු විලාසිතාවකින් සැරසුණාය. ධනංජය ඇන්දේ කළුපැහැ කෝට් කලිසම්ය. දෙපාර්ශවයේම ඥාතීන් මංගල උත්සවය සඳහා ආරාධනා ලැබුවේත් එකම දිනයකය. එය ඉතා පිළිවෙල වූ චාම් උත්සවයක් විය.

විවාහයෙන් පසු මහ ගෙදරට ගිය පළමු දවසේම තමාගේ මවත්, පියාත්, නැගණියත්, සොහොයුරාත් හසාරාව පිළිගත්තේ ඉහ වහා ගිය සතුටකින්ය. ඒ ගමනට ඇගේ මවත් පියාත් ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි සොහොයුරියත් ඇගේ සැමියාත් සහභාගී විය. ඒ ගෙවී  ගියේ ජීවිතයේ සතුටමයැයි හඳුනාගෙන උන් දින කිහිපයකි.

හසරා ධනංජයගේ සොයුරියගේ දුරකථන ඇමතුම පිළිබඳව ඉන්දුමා සමග පැවසූයේ පසුවදාය. දෙදෙනා සිටියේ පාසලට යන අතරය. පාර අයිනට වන්නට තිබූ කුඩා තේ කඩයක් අසල වාහනය නතර කළ හසාරා ඉන් බැස ගොස් උළුදු වඩේ දෙකකුත් ප්ලේන් ටී දෙකකුත් රැගෙන ආවාය. මිතුරියන් දෙදෙනාම වූයේ වාහනයේ බඳට හේත්තු වීගෙනය.

“ මං නම් කියන්නේ ඇයි ඔයා මේවට මැදිහත් වෙන්නේ. අඩුම තරමින් ධනංජය මේ ගමන ගියේ ඔයාට ඔයාගේ කසාද අයිතියවත් රැකල දීල නං කමක් නෑ.එයා ඔයාව දික්කසාද කරලා ගියේ. එහෙම මනුස්සයෙක් වෙනුවෙන් ඔයා වෙහෙසෙන්න අවශ්‍යතාවයක් නැහැනේ…දික්කසාද වෙනවා කියන්නේ බැඳීම් වලින් නිදහස් වෙන එක..”

“ අම්මයි තාත්තයි වෙනුවෙන් ඒ නංගි මල්ලි වෙනුවෙන් මං මේ යුතුකම කරන්න ඕනි ඉන්දු..අවුරුදු හතරකටත් වඩා වැඩි කාලයක් ඒ අය මමත් එක්ක හිටියේ මගේ වෙලා. ධනංජයගේ මේ ප්‍රශ්නය ඇතිවෙනකල්  ඔය අම්මවත් තාත්තවත් නංගිවත් මල්ලිවත් මට ඇල්පෙනෙති තුඩක වෙනස්කමක් කළේ නෑ.”

“ එහෙම වෙනස්කමක් වෙන්න තරම් ඔයාගෙන් එයාලට වරදක් උනෙත් නැහැ නේ. ඒ උනාට එයාලට යුතුකමක් තිබුණා. ඔයා තනිවෙච්ච වෙලාවේ ඔයාට මොකද උනේ කියලා හොයලා බලන්න..”

“ ධනජය එයාලට කියලා තිබුණා මට කතා කරන්න ඕනේ නෑ කියලා. එයාලගේ හිතේ මං ගැන තිබුණේ මොන වගේ චිත්‍රයක්ද දන්නේ නෑනේ ඉන්දු..”

හසාරා එවර පැවසූයේ අඩකටත් වඩා අඩු ප්‍රමාණයක් කා තිබූ උළුඳු වඩය පසෙක වූ කුණු කූඩයට දමමින්ය.

“ ඊයේ රෑට කන්නෙත් නැතුව ඇති ෂුවර් එකට. හසාරා ඔයා  ඇඟෙන් පතෙන් මහන්සි නොවුනට ඔයා ගොඩක් මොළය වෙහෙස වනවා. එයාල ඔය සෙල්ලම් කරන්නේ ඔයාගේ ජීවිතෙත් එක්ක. ඕන වෙනකොට ළං කර ගන්නයි එපා වෙනකොට විසි කරන්නයි..මට නම් තේරෙන්නේ නෑ ඒ ළමයා කොහොමද රෙද්දක් ඇඳගෙන ඔයාට කතා කළේ කියලා.  ගෑනියෙක් තමන්ගේ මනුස්සයාගෙන් ප්‍රතික්ෂේප වෙද්දි දැනෙන දුක වේදනාව එයාටත් දැනෙන්න ඕනේ..මොකද එයත් කසාද බැඳපු ගෑනියෙක්නෙ….”

“ මාස නවයක් තිස්සෙම ධනංජය ගැන ආරංචියක් නෑ කියලා කිව්වහම මගේ පපුව පිච්චුනා ඉන්දු. මට ඔයාට බොරු කියන්න උවමනාවක් නෑ. මං මගේ හිතෙන්ම  අහලා බැලුවා මං තවමත් ධනංජයට ආදරේද  කියලා. මගේ හිත මට දීපු උත්තරය ඔව්..ඒක කවදාවත් අමතක කරන්න බැරි බැඳීමක්. එයාගේ හිත එයා තව කෙනෙක්ට දුන්නට එයාට දීපු මගේ හිත තවමත් පරිස්සම්. මට ඒක ආපහු ඉල්ල ගන්න අමතක උනා.මට ආයෙත් ධනංජයගේ ළඟට යන්නවත් එයාව ළං කරගන්නවත් ඕනේ නෑ. මං එහෙම කරන්නෙත් නෑ. හැබැයි එයා ඉන්න තැනක සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න ඕන.”

“ කවුද දන්නේ..එයා අර ගෑනිත් එක්ක සතුටින් ඉන්නවද කියලා..සමහරවිට කියන්න බෑ එයාලා මේ හැමදේ අමතක කරලම දැම්මද දන්නේ  නෑනේ..එයාලා පටන් ගන්න ඇත්තේ අලුත්ම ජීවිතයක්නේ…”

“ ධනංජයට එයාගේ පවුලේ අය අතාරින්න  බෑ. ඒක මං හොඳටම දන්නවා..”

“ ඔයාට එහෙම හිතෙනවනං ඔයා ඔයාගේ හිත හදාගන්න හරි ධනංජය ගැන  හොයන්න. හැබැයි මතක තියාගන්න හසාරා මට නම් ඔය තරම් පරාර්ථකාමී වෙන්න බෑ. ඔයාගේ ජීවිතයට ආයේ ධනංජය කෙනෙක් ඕනේ නෑ. ඒ වගේම මෙන්න මේ දේත් හොඳට මතක තියාගන්න. ඔයා ඔයාගේ දෛවය මේකයි කියලා හිතාගෙන බලාගෙන හිටියට ඔයාගේ දෛවයේ වෙනස් කරන්න පුළුවන්  ඕන තරම් තැන් තියෙනවා. ලෝකෙ ජීවත්වෙන හැම පිරිමියම  එක වගේ නෑ. වැරැද්දකට  තියෙන්නේ අපිට නරකම පිරිමියා  මුලින්ම  හම්බ වුණාට පස්සේ අපි හැම කෙනෙක්ම ඒ මිම්මෙන් මනින්න පටන් ගන්න එක.”

“ මට තේරෙන්නෙ නෑ මොකක්ද මේ කියන්නේ කියලා.”

“ ඔයාගේ ජීවිතේට ආපහු ආදරයක්, රැකවරණයක්, විශ්වාසයක් ඕනේ. මට ඒක දැනෙනවා..”

“ ඔව් මටත් තනිකම දැනෙනවා. මටත් ආදරේ අඩුව දැනෙනවා. ඒ උනාට ඒ හිස් තැන හැමදාමත් මගේ ජීවිතයේ හිස් තැනක් වෙලා තිබුණාවේ. මං දැන් ඒ අඩුපාඩුත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා. ඔයා දන්නවද ධනංජයත් එක්ක අපේ ගෙදර ජීවත් වෙච්ච අන්තිම අවුරුද්දේ මං සෑහෙන්න දුක් වින්දා. සමහර දවස්වලට ධනංජය ගේට්ටුවෙන් ඇතුල් වෙද්දි මගේ පපුව ගැහෙන්න ගන්නවා. එයා මාත් එක්ක රණ්ඩු වෙයි කියලා මට හිතෙනවා..එයා එක වචනයක් මමත් එක්ක ආදරෙන් කතා කරයි කියලා මම බලාගෙන ඉන්නවා..මං අද සැනසීමෙන් හුස්ම ගන්නවා ඉන්දු..මං හිටියේ මාවම අතෑරලා දාලා. ඔයා බුවනෙක සර්  මාව ආපහු ගොඩනැගුවා. මට දැන් අරමුණක් තියෙනවා. මං ඒ අරමුණත් එක්ක ජීවත් වෙනවා….” 

හසාරා එසේ පැවසූයේ හිස් තේ කෝප්ප දෙක යළි ගෙන ගොස් කුඩා  කඩය තුළ වූ බංකුවෙන් තැබුවාට පසුවය.

අවසන  කිසිවක් කතා නොකරම ඕ වාහනයට නැඟුනාය. පාසලේ දරුවන් වෙනුවෙන් ලබාගත් ත්‍යාග කිහිපයක් පිටුපස අසුනෙහි විය. දිගු සුසුමක් මුදා හල ඉන්දුමා ඇගේ අනිත් පසින් වාහනයට නැගුනාය.

එදා දවසම  හසාරාට අධික කාර්යබහුල දිනයක් විය. පසුවදාට අවශ්‍ය පාඩම් පටිගත කෙරුණේ සන්ධ්‍යා වරුවේය. හසාරා කොළඹ ගමනට  පිටත් වූයේ පාන්දර හතරට පමණය. එදත් අදත් ඇය කිසිවෙකුට බියක් දැක්වූ ගැහැණියක නොවේ. පැය ගණනක,  කිලෝමීටර් ගණනක දුර තනිවම වාහනය පදවාගෙන යාමට ඇය බිය නොවූවාය.

ඕ කසුන්ව ඇමතූයේ අතර මගදීය. ප්‍රංශ තානාපති කාර්යාලයේ උන් මිතුරෙකුට වේලාසනින්ම කතා කළ ඔහු ධනංජයගේ විස්තර ලබාදී තිබිණ.

පෝළිම් වල රැඳී නොසිටිමින් ඇයට තානාපති කාර්යාල තුළට යාමට හැකි වූයේත් ඒ මිතුරා නිසාය. හසාරා හඳුනාගත් බොහෝ දෙනකු ඇය හා කතා කළේත් අවශ්‍ය උපදෙස් ඇය වෙත ලබා දුන්නේත් කැමැත්තෙන්මය. ඒ අනුව නිර්මිතාත් ධනංජයත් රටින් පිටවී තිබෙන්නේ සියයට සියයක්ම විනිවිදභාවයෙන් සකස් කළ ලියකියවිලිවලට අනුගතව නොවේ. මේ වන  විට ඔවුන් දෙදෙනාම එරටෙහි අත්අඩංගුවේ පසු වන බව හසාරාට අවසන දැනගන්නට ලැබිණ. එහෙත් ඒවා සියයට සියයක්ම තහවුරු කරගත් තොරතුරු නොවේ. එම සියලු තොරතුරු ඉතා ඉක්මනින් නිවැරදිව ලබා දීමට  ඔවුන් කටයුතු කරනවායැයි  හසාරාට පොරොන්දු විය. ඒ අනුව ඇය තානාපති කාර්යාලයෙන් පිටතට පැමිණියේ සිතෙහි බලාපොරොත්තුවක් තබාගෙනය.

මුලින්ම ඕ ධනංජයගේ නැගණියට දුරකථන ඇමතුමක් ලබා ගත්තාය.

“ අක්ක කොයි වෙලාවක හරි ගනී කියලා මං ෆෝන් එක ළඟම තියාගෙන  හිටියා..” 

“ නංගි..ඒ දෙන්නම මෙහෙන් පිටවෙලා තියෙන්නේේ හරි ක්‍රමයකට නෙමෙයි. ඒ නිසා එහේදි  එයාලව ඇරෙස්ට් කරලා තියෙනවා. අපිට ඉක්මනින්ම විස්තර හොයා ගන්න පුළුවන් වෙයි..”

“ අනේ අක්කේ මගේ අයියා…”

“ බයවෙන්න එපා. එයාට මොකුත් කරදරයක් නැතුව ඇති. අපිට ඉක්මනින්ම නිවරැදි තොරතුරක් ලැබෙයි..”

හසාරා දුරකථනය විසන්ධි කර  දැමුවේ තානාපති කාර්යාලයෙන් දැනගත් සියලු තොරතුරු ඇයට පැහැදිලිව පැවසුවාට පසුවය. ඉන්පසු ඇය නිර්මිතාගේ නැගණියටත් කතාකොට මේ සියල්ල ඒ ආකාරයෙන්ම පැවසීය.

“ අක්කා….මනුස්සයෙකුට කරන්න පුළුවන් දේවල් නෙමෙයි ඔයා මේ කරන්නේ. ඔයා දෙවියෙක් අක්කේ.ඒ මගෙ අක්කා නෙමෙයි ඔයා තමයි මගේ අක්කා..මං ඔයාට හැමදාම ණය ගැතියි මගේ අක්කේ..”

තත්පර කිහිපයකට පසුව එහා පසින් ඇසුණේ හැඬුම් හඬකි. කිසිවක් නොකී  හසාරා දුරකථනය විසන්ධිකර දැමුවාය.

ධනංජය තමන්ගේ ජීවිතය ගැනවත්  නොතකා මෙවන් අවධානම් ගමනක් යන්නට සිත හදාගත්තේ කෙලෙසකදැයි ඇයට නොතේරේ. එවන් නීති විරෝධී ගමන්වලදී මිනිසුන්ට සිර කඳවුරුවල විඳින්නට සිදුවන දුක් ගැහැට ගැන ඕ ඕනෑ තරම් අසා ති⁣බේ. 

“ මට රිදවන්නද ධනා ඔයා ඔයාගෙම ජීවිතේ මේ තරම් අනතුරකට දාගත්තේ…”

හසාරා තමන්ගෙන්ම එසේ ප්‍රශ්න කළේ වාහනයට නැඟුනාට පසුවය. ඒ කොපුල් තෙත් කරමින් ගලා ගිය කඳුළු පිස දාගන්නටවත්  උවමනාවක් නොවූ තරුණ  ගැහැණිය කුඩා කාරය පණ ගන්වා ගෙන මහා මාර්ගයට අවතීර්ණ වූයේ  නිහඩවය.

( යළිත් හමු වෙමු ආදරයෙන්……)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here