මිත්තණිය නින්දට යන තුරුම ස්ටීව් පැයකට ආසන්න කාලයක් ඇය අසළට වී උන්නේය. හිස අතගාමින් ඇයගේ අත්දෙකම දෝතින් පිරිමදිමින් උන්නද ස්ටීව් උන්නේ තදබල ආවේගයකිනි. බ්‍රයන් සහ මාලිකාහට මේ සම්බන්ධව අදම මේ සම්බන්ධව තදින්ම කියයුතු බව ඔහු සිතාගත්තේය.මේතරම් නොසැලකිලිමත් බවක් මින් පෙර වූ කිසිම තැනැත්තියකගෙන් ආච්චීට සිදුවී නැත බිමට වැටුණු මොහොතේ යළිත් අස්ථි බිඳීමක් හෝ හිසට අනතුරක් හෝ වූවානම් මේ තාක් පරෙස්සමින් ඇය රැකබලා ගත් කාලයම අපතේය.
තමා හට බ්‍රයන්ලා ඇය ගැන දුන් තක්සේරුව පුස්සක්ව හමාරය.
ස්ටීව් ක්ලිෆර්ඩ් මිත්තනියගේ කාමරයෙන් පිටතට ආවේ සිය ටයිපටිය අතකින් ඇද ගලවා දමමිනි. කාර්යාලයේ සිටම පැමිණි හෙයින් වැලමිටට අත නැවූ සුදු කමිසය ඇයව ඔසවා ගැනීමේදී පොඩිව ගොසිනි.ඔහු කෙලින්ම මුලු තැන් ගෙය දෙසට පැමිණියේ පෝලා හමුවන්නටය .
“වට් හැපන්ඩ් පෝලා. පුදුම කෙයාල්ස් කෙයාරර් කෙනෙක්නෙ මේ හම්බ වෙලා තියෙන්නෙ.අම්මට පිස්සුද..? ඉන්ටර්වීව්ත් කලා නේද…වෙලාවට ආච්චිට සිරීමක්වත් වෙලා නෑ .අම්මට කියන්න ඒ කෙනාව අදම අස් කරන්න කියලා….එහෙම අය ඕනම නෑ….”
ස්ටීව් ක්ලිෆර්ඩ් කෝපයෙන් කියවාගෙන ගියේය.
“මිස්ටර් ස්ටීව් …ඔයා වැරදියි…ඔයා දැක්ක දේ නෙවෙයි එතන වුනේ….”
පෝලා ස්ටීව් ඉදිරියට පැමිණියාය.කාලයක් තිස්සේ නිවසේ සේවය කරන්නියක වූ පෝලා සම්බන්ධව ස්ටීව් දැක්වූයේ යම් ලිහිල් භාවයකි.
“එහෙනම්…?”
නොසැලකිල්ලෙන් මෙන් අසල වූ පුටුවට ඇද වැටෙමින් ස්ටීව් විමසුවේය.
“මම කෝල් කල වෙලෙත් කිව්වනෙ…. මේරි මැඩම් මේ ටිකේම කන්නෙ අඩුවෙන්.අද වෙනදටත් අඩුවෙන්.මම ඩිනර් එක කලින් අද අරන්ගියෙත් ඒකයි…එයා සුප් එකයි ටොස්ට් ටිකයි ඔක්කොම විසිකලා.මට ටේබල් එක උඩ තිබ්බ ඔක්කොම ඒවයින් විසිකරල.ගැහුවා.මැඩම් සිල්වියා ඇවිත් නවත්වන්න බැලුවාම සයිඩ් ටේබල් එක උස තිබුණ වතුර එකත් ඔක්කොම හැලුවා.ඒ වෙලාවේ එයා බිමට ලිස්සලා වගේ ආවෙ.වැටුණෙ නෑ.. මිසිස් සිල්වියා ට්‍රයි කලේ ඔලුව ට අත තියලානොවදින්න බේරගන්න.මේරි මැඩම් එයාගේ කකුලේ එල්ලුණා ඒ පාර…එයත් බිම වැටුණා අන්තිමට…”
පෝලා හුස්මක් හෙලා ස්ටීව් දෙස බැලීය ඔහු අතක් නවා මිට මොළවා මුවට තබා ගෙන බිම බලා සිටී.
“නෙලී දුවලා ආවේ ඒ වෙලාවේ ..එයා අපිව එලියට යවලා වතුර ඔක්කොම ටවල්ස් දාලා ඇබ්සෝබ් වෙන්න ඇරලා මේරි මැඩම්ව ශීට් එකකින් වෝම් කලා.පුදුමයකට වගේ මේරි මැඩමුත් නෙලීට ශේප් වුණා…ඉන් පස්සෙ හරිම පරෙස්සමින් එයාව නැගිට්ටවාගන්නකොටම තමා මිස්ටර් ස්ටීව් ආවෙ…ඔයා දැක්කේ අන්තිම ටික විතරයි මිස්ටර් ස්ටීව්….ඒක සම්පූර්ණ සිදුවීමම නෙවේ…”
පෝලා සුසුමක් හෙළා යළිත් හැරී ගියාය.
ස්ටීව් ක්ලිෆර්ඩ් දවසේ මුල්ම වතාවට තමා ගැන පසුතැවුණේය. දුරදිග නොබලා ඇයව තල්ලු කොට දමා බැන වැදීම තමන් කල නොකලයුතුම දෙයකි.පෝලා තේ බන්දේසියක්ද රැගෙන ඔහු පසුකොට ගියාය.
“මිස්ටර් ස්ටීව් කොෆි එකක් වත් බොනවද….? මම නෙලීට කෑම ටිකක් දීලා එන්නම්. එයා කාලාවත් නෑ තවම..පව්…”
ස්ටීව් පෝලා සමගින්ම යලි විසිත්ත කාමරයට පැමිණියේය.
“පෝලා ඒ ගර්ල්ට එන්න කියන්න පොඩ්ඩකට…”.
සිය ගර්වය තමා සමාවක් ඉල්ලන්නට කිසිදුවිටක පොළඹවන්නේ නැතද මේ මොහොතේ ඔහු සිත මඳකට වෙනස් වී තිබුණි.පෝලා ආපසු පැමිණියේ තනිවමය.
“නින්ද ගිහින් ….පව් එයා අඬලාත් වගේ…එහෙම්මම නින්ද ගිහින්…මිස්ටර් ස්ටීව්.. මම ඒ නිසා එයාව ඇහැරුව්වේ නෑ….”
ස්ටීව් ක්ලිෆර්ඩ් සුසුමක් හෙලා නැගී උන්නේය.පසුතැවිල්ලක් බඳු හැඟීමක් සිත තුළ ඇත. එහෙත් සුපුරුදු ආඩම්බරය ඔහුගේ පසුතැවීම අභිබවා ඉස්මතුව එයි.
“ඕකේ මම එහෙනම් යනවා පෝලා.දැන් කොෆි එපා…”
කිසිදු ගණනක් නැතිව නික්ම යන තරුණයා දෙස පෝලා නොපහන් හැඟීමෙන් බලා උන්නාය. ස්ටීව් ක්ලිෆර්ඩ් මේ අන්දමේ සිත්පිත් නැත්තෙක් හැඟීම් විරහිත අන්දමින් කටයුතු කරන්නෙක් බවට පත්වූයේ ඔහු හැදුණු වැඩුණු අන්දම හේතුවෙනි. ව්‍යාපාරික කටයුතු සහ මුදල් මතම ජීවිත දියකළ සිල්වියා සහ ඩැරන් වෙතින් ස්ටීව් නොසලකා හැරීමම ඔහු දරදඬු චරිතයක් බවට පත්වීමට හේතුවන්නට ඇත.දැන් සිල්වියා ක්ලිෆර්ඩ් කෙතරම් ස්ටීව් වෙත ළංවන්නට උත්සාහ කළද ඔහු ඇයව ගණනකට නොගනී.
දෙමවුපියන්ගෙන් අතහැරී ගිය ස්ටීව් නැමති කුඩා පිරිමි ළමයා සෙනෙහසින් හදාවඩා ගත්තේ මේරි මර්ෆි වූ මිත්තණිය වීම ඔහු ඇය වෙත ඉමහත් ආදරයක් ගෞරවයක් සහ බැඳීමක් පෙන්වන කාරණය විය.මේරි මර්ෆි යහපත් සෞඛ්‍යයකින් උන් කාලයේ ඇය ස්ටීව්ගේ ළමා විය සහ යොවුන් විය ගැන පවසන්නාවූ සිදුවීම් සහ කතා පෝලා ට සිහිවිය.නිසි දෙමාපිය ආදරයක් රහිතව ගොඩනැගෙන දරුවකු ගේ මනස මානුෂික ගුණයන්ගෙන් විරහිත වන්නට ඉඩ ඇතැයි පෝලාද විශ්වාස කළාය.
ටෝස්ට් දෙකක් සහ තේ බන්දේසියක් රැගෙන නෙලී වෙනුවෙන් කාමරයට ගිය මොහොතේ පෝලාගේ සිත මේ ගැහැණු ළමයා සම්බන්ධව ශෝකයකින් පෙළුණි. ඇය හඬමින්ම නින්දක වැටි ඇත.අභූත චෝදනාවක ,බැනුමක ඇය සිත රිදෙන්නට ඇත. පෝලා සුසුමක් හෙළා මේසය මතින් බන්දේසිය තබා ආවාය.කුඩා ෆ්ලාස්කුවක් නැවත ගෙන ගොස් තේ නොනිවෙන්නට දමා හඬ නෑසෙන සේ දොරවසා ආවාය.
සිල්වියා ක්ලිෆර්ඩ් සයනයට වී ඇදුම් දෙන පාදය පිරිමදිමින් උන්නාය.පෝලා සිදුවූ සියලු සිදුවීම ඇය වෙත ගෙන හැර පෑවාය.
“අනේ පව් පෝලා.ඒ ළමයාට රස්සාව පටන් ගන්නත් කලින් එපා වෙන්න ඇති.ස්ටීව් ගැන අපි දැනගෙන උන්නට ඒ ළමයා දන්නෙ නෑනෙ.කෑම ටිකක් දුන්නද පෝලා? මට හිතට හරි නෑ …”
සිල්වියා ක්ලිෆර්ඩ් පසුතැවිල්ලෙන් කීවාය.
“මම ටෝස්ට් එක්ක ටී තියලා ආවා මැඩම්.එයාට හෙට අපි කතාකරමු.දැන් ඔහොම රෙස්ට් එකක් ගන්න අරිමු….”
පෝලා අවස්ථාවට සුදුසු තීරණය යෝජනා කළාය.
“මම මෙලාට මේක කියන්න ඕනෙ නැත්නම් මායි මෙතන වැරදිකාරයා වෙන්නෙ…”
සිල්වියා ක්ලිෆර්ඩ් සිය දුරකතනය අතට ගනිමින් පැවසුවාය.මාලිකා මෙම යුවතිය ගැන ඇය දත් කාරණා පවසු මොහොතේ ඇය ගැන ඇතිවී තිබූ අහිංසක සහ කාරුණික ප්‍රතිරූපය මේ මොහොතේ ඔප්පු වී තිබුණි.පෝලා කාමරයෙන් පිටතට ඇවිද යද්දී මාලිකා වෙත දුරකතන ඇමතුම ලැබෙමින් තිබිණ.
නිලංගා සයනයෙන් නැගී උන්නේ කුස දැවී යන සංවේදනයකිනි. කාමරය අඳුරක ගිලී ඇත. වේලාව රාත්‍රී හත පමණ වී ඇත.ඇය සයනයෙන් නොනැගිටම සිතුවිලි අතර ගැටුණාය.එක මොහොතක් සිත සතුටින් නිවී යන මොහොතේ සිත් රිදීම් මේ සා තමා හඹා එන්නේ මන්දැයි ඇය සිතමින් උන්නාය.
සද්භාවයෙන් යුතුව උදව්වක් කරන්නට ගිය මොහොතේ කුණාටුවක් මෙන් කඩා වැදුණ පුද්ගලයා ගේ අභූත චෝදනාවන් ද පසෙකට තල්ලු කිරීමෙන් අත බිත්තියේ වැදී ඇතිවු කායික වේදනාවද ඇය යළිත් දවාලීය.මේ රැකියාවද තමාහට කරදර ගොඩක්ම වනු ඇත්තේ වියපත් කාන්තාවට වඩා ඇයගේ නාහෙට නාහන මුණුපුරා නිසා වන්නට ඇති ඉඩකඩ බොහෝය.
ජීවිත කාලයේම තමා සතුටින් උන් කාල මේ යැයි කියන්නට තරම් දීර්ඝ වකවානු ජීවිතයේ තිබී නැත. පශ්චාත් උපාධිය වෙනුවෙන් ගතකල වසර දෙක යම්තාක් දුරකට ස්වාධිනත්වය සහ හුදෙකලා වුවද කරදර ඇනුම් බැනුම් අපවාද රහිත කාලයක් වීමම සැනසුමක් වූ අයුරු ඇයට මතකය.
ඇඳේ පසෙක වූ දුරකතනය සෙමින් කම්පනය වද්දී නිලංගා එය ක්‍රියාත්මක කළාය.
“නෙලී, මගෙ ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් වුණා…හෙට අපි අර ගමන යමු.මම එනවා උදේම ඔයාව ගන්න.එනගමන් ඔයාට බඩු මොනවා හරි ගන්න ඕනෙ නම් ලිස්ට් එක හදන් එන්න හොඳේ ..”
මාලිකා සිදුවූ කිසිවක් නාසා උන්නාය.නිලංගා ඇය එවන් සිදුවීම දන්නා බව නොදැන මුණිවත රැක්කාය රැකියාවක් සොයා දුන් ඇයට මේ සියලු ප්‍රශ්න දිග හැරිය යුතු නොවේ යැයි නිලංගා තීරණය කළාය.