ප්‍රෝටීන්, යකඩ, සින්ක්, විටමින් B වගේ පෝෂක රාශියක් අඩංගු නිසා ශරීරයේ අනවශ්‍ය බර නීරෝගීමත්ව පාලනය කරන ආහාර වේලකට වගේම ෆයිබර් වැඩි වශයෙන් අඩංගු නිසා ආහාර ජීර්ණය ක්‍රමවත් කරන්නත්, අඩු ග්ලයිසමික් ප්‍රතිශතයක් අඩංගු නිසා රුධිරයේ සීනි මට්ටම පාලනය කරන්නත් හොඳ සහයක් ලබාදෙන ආටා පිටි කියන්නෙ දකුණු ඉන්දීය මුළුතැන්ගෙවල් වල හරිම සුලභව දකින්න ලැබෙන පිටි වර්ගයක්.
අද smart lady අපි ඔබට කියල දෙන්න සූදානම් වෙන්නේ මේ පෝෂ්‍යදායී පිටි වර්ගය භාවිතා කරල අල පුරවපු පරාටා හදාගන්නෙ කොහොමද කියලයි.
එහෙනම්, මුලින්ම පුරුදු විදිහටම අවශ්‍ය කළමනා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
ආටා පිටි කෝප්ප 02 ක්
තම්බා පොතු ඉවත් කරගත් සාමාන්‍ය ප්‍රමාණයේ අල ගෙඩි 04 ක් 05 ක් පමණ
කුඩා කොටු හැඩයට කපාගත් ලොකු ලූණු ගෙඩියක්
සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 03 ක්
සිහින්ව ලියාගත් කරපිංචා ඉත්තක කොළ
ලුණු කුඩු
මිරිස් කුඩු / කෑලි මිරිස්
ගම්මිරිස් කුඩු
වතුර කෝප්ප ½ ක්
තෙල් හෝ ගිතෙල්
සාදාගන්නා ආකාරය
මුලින්ම, තරමක් විශාල භාජනයක් ගෙන එයට ආටා පිටි සහ ලුණු කුඩු මේස හැඳි ½ ක් (හෝ ඔබේ රස අනුව) එකතු කර හොඳින් කලවම් කරගන්න.
දැන් මේ පිටි මිශ්‍රණයට වතුර ටිකෙන් ටික එකතු කර කලවම් කරමින් අතේ සහ භාජනයේ නොඇලෙන පිටි මිශ්‍රණයක් සාදාගන්න.
පිටි මිශ්‍රණය අඩංගු භාජනය වසා විනාඩි 15 ක් පමණ තබාගන්න.
ඒ අතරතුර තම්බාගත් අල ටික ගෑරුප්පුවක් ආධාරයෙන් කුඩා කැබලි වලට කඩාගන්න.
එයටම කුඩාවට කපාගත් ලොකු ලූණු, අමු මිරිස් සහ කරපිංචාත් ඔබේ රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු සහ ගම්මිරිස් කුඩුත් එකතු කර නැවත හොඳින් කලවම් කරගෙන පසෙකින් තබාගන්න.
දැන් අපි කලින් සාදාගත් පිටි මිශ්‍රණය කොටස් 08 කට වෙන් කරගන්න.
එක් කොටසක් ගෙන එය පිටි තැවරූ මතුපිටක් මත තබා උඩටද පිටි ඉසිමින් රෝලින් පින් එකක් හෝ වීදුරු බෝතලයක් ආධාරයෙන් තරමක් තුනී කරගන්න.
තුනී කරගත් රොටියේ මැදට අල මිශ්‍රණයෙන් කොටසක් තබා රොටිය වටෙන් මැදට එකතු කරගෙන අල පුරවා ගත් පිටි බෝලයක් සාදාගන්න.
මේ පිටි බෝලය නැවත පිටි ඇතිරූ මතුපිටක තබා ප්‍රවේශමෙන් තුනීකර ගන්න.
දැන් සාස්පානක් හෝ රොටී තැටියක් ලිපතබා තැටිය රත්වූ පසු අපි සාදාගත් අල රොටිය තැටියට දම උඩ පැත්තේ තෙල් ආලේප කරගන්න.
විනාඩියක් පමණ තබා අනෙක් පැත්ත හරවා ඒ පැත්තේත් තෙල් ආලේප කරගෙන නැවත ටික වේලාවකින් අනෙක් පැත්ත හරවා ගන්න.
මෙලෙස රොටියේ තැනින් තැන තද දුඹුරු පැහැ පැල්ලම් ඇතිවෙන තුරු රොටිය දෙපැත්ත හරවමින් පුළුස්සා ගන්න.
මේ විදිහටම ඉතුරු රොටී ටිකත් හදාගන්න ඔබට පුළුවන්.
ඔන්න අපි අල මැදිවුණ ආටා පිටි පරාටා එහෙමත් නැත්තන් රොටී හදන් ඉවරයි.
මේ වගේම තවත් රසවත් කෑමක් එක්ක ආයෙමත් එකතු වෙන බලාපොරොත්තුවෙන් අපි අදට ඔබෙන් සමුගන්නව.
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |