මල් පිපුණිද හිම කැළයේ – 10

0
4560

“මගෙ ජීවිතේ ඔක්කොම බලාපොරොත්තු මට එදා ඉවරයි කියල හිතුණා මෙලා.ඇත්තෙන්ම ජීවත් වෙන්නෙ මොකටද කියලා හිතුණ වාර ගණන අනන්තයි.එච්චරකටම මම මානසිකව වැටිලා උන්නේ.ඒත් මම උසස් පෙළ විශයයන් වලට ඇප්ලයි කරලා පන්ති බෙදන දවසේ නොආවාම…ඉස්කෝලෙ ප්‍රින්සිපල් ම ගෙදර ට ආවා.මට හිතෙන්නේ අම්මාලට හොරෙන් මේක ප්‍රින්සිපල්ට අපේ ආච්චි හරි ගමේ වෙන කවුරු හරි දැනුම් දුන්නා…”

“ඉතින්..ඊට පස්සේ..?”
මාලිකා හිත ඇතුළේ කෝපය ආයාසයෙන් දරාගෙන උන්නාය.ඉතා කුඩා වියෙහිදී එක්සත් රාජධානියට පදිංචියට ආ හෙයින් ඇයට මෙවන් කතා අදහා ගන්නට පවා නොහැකි තරම් විය.

“අම්මලා එක්ක හොඳින් කතාකරලා මේවා විසඳන්න බෑ කියලා ප්‍රින්සිපල්ට තේරෙන්න ඇති.ළමයෙක් ගෙ අධ්‍යාපනය කියන දේ මූලික අයිතිවාසිකමක් කියලා ඒක අවහිර කළොත් නීතිමය පැත්තෙන් වෙන්න පුළුවන් දෙවල් ප්‍රින්සිපල් ඇඟට පතට නොදැනීම කිව්වාම අම්මලා බයවුණා…”

“හැබැයි මට ටියුෂන් යන්න සත පහක් වත් එයාලගෙන් ලැබුණෙ නෑ…මට ඉස්කෝලෙ ටීචර්ස්ලා කල පන්තිවල ෆ්‍රී කාඩ්ස් හම්බ උනා.මම පන්ති ගිහින් ඉවර වෙලා ගෙදර එනකොට ගෙදර අයගෙ රෙදි ගොඩවල් සෝදන්න, උයන්න ,ගෙවල් අස්කරන්න ඔක්කොම මට ඉතුරු වෙලා තිබුණා.අම්මයි නංගියි  කළේ ටීවී එකේ යන ටෙලිඩ්‍රාමා බල බල උන්න එක. නංගි ෆෝන් එකටත් තදින්ම ඇබ්බැහි වෙලා උන්නේ…..”

නිලංගා, මාලිකා ඇණවුම් කොට මේසය මතට අවන්හල්  සේවකයෙකු ගෙන ආ කෝපි කෝප්පය තොළගෑවාය.වෙහෙසකර කතාවක් මතක් කිරීමද ඉතා වෙහෙසකරය.

“මම උසස් පෙළ කරන කොට නංගි සාමාන්‍ය පෙළට ඉඳගන්නවා.එයාට විශයයන් හතරක් වත් පාස් වෙන්න බැරිඋනා.ඒකට අම්මා සම්පූර්ණයෙන් වගකියන්න ඕනෙ.නංගිව අම්මා තමයි ස්පොයිල් කලේ…”
නිලංගා තවමත් හිතේ කොණක නංගී ගැන ඇති පසුතැවීම මිමිණුවාය.

“නංගි විභාගේ පාස් නොවුණම අම්මා කීවේ…මෙච්චර මේ තියන ගෙවල් දොරවල් දේපල ඔක්කොම තියන එකේ මගෙ කෙල්ලට රස්සාවක් කරන්න ඕන්නෑ…ඒ නිසා විභාග පාස් වෙන්න මහන්සි වෙන්න ඕනනෑ…කියලා….මට එවෙලේ අහන්න හිතුණා ඇයි මම අම්මාලාගේ දරුවෙක් නෙවෙයිද කියලා…ඇත්තෙන්ම අම්මා ත් තාත්තාත් හැසිරුණේම ඒ වගේ….”

නිලංගා ගේ දෑස් කඳුලකින් පිරුණේ ඒ වේදනාබර මතකයටය.

“මහ පුදුම මිනිස්සුනෙ නෙලී….මට හිතාගන්නවත් බෑ…”

මාලිකා ඇයගේ දෑත අල්ලාගනිමින් මිමිණුවාය.

“මම කැම්පස් තේරුණා.තාත්තා එතකොට කර කර උන්නේ බිස්නස් එකක්…ඒක කවදාවත් සාර්ථක විදියකට කරන්න එයාට ඕනකමක් තිබ්බෙ නෑ…වත්තෙන්  පිටියෙන් එන ආදායම් එක්ක එයාලට අගහිඟ කම් තිබ්බෙ නෑ…කැම්පස් ආවම මට අම්මලා කීවා ගෙදරට තියන  වියදම් වලින් කොටසක් මට බාරගන්න කියල…හරියට බෝඩිම් කාරයෙක් ගෙන් කුලිය ඉල්ලනවා වගේ…”

“ඒ කාලෙ තමා මම පාර්ට් ටයිම් ප්‍රයිවෙට් හොස්පිට්ල් එකක වැඩ කළේ. ඒ හැරුණම ළමයින්ට ටියුෂන් දුන්නා…සේල්ස් ප්‍රොමෝෂන් වලට ගියා…නොකළ දෙයක් නෑ මෙලා….ඒ හම්බ කරන ඒවයින් අම්මා පුලුවන් තරම් කඩාගත්තා…නංගිට බියුටි කල්චර් කෝස් කරන්න…අලුතින් ම එන ඇඳුම් ගන්න ..ෆෝන් මාරු කරන්න…දාහක් දේ තිබ්බා වියදම් කියලා එයාලට…”

මාලිකාගේ සිතේ නිලංගා සම්බන්ධව ද ඇතිවූයේ තරහක් බඳු හැඟීමකි.මේ සා වෙනස්කම් කරන්නවුන්ට ඇය හිස නවා උන්නේ මන්දැයි ඇය සිතුවාය.

“ඔයාට ඇත්තෙන්ම ඔයා එයාලගෙ අතේ නැටවෙනවා වගෙ තේරුනෙම නැද්ද නෙලී…මට ඔයාගේ ඒ වීක් පර්සනැලිටි එක ගැන නම් ඇත්තෙන්ම පුදුමයි.”

සමහරක් විට නිලංගා ගේ සිත රිදෙන්නට පවා ඉඩ ඇතැයි සිතුනද මාලිකාගේ මුවින් එම අදහස ඉබේම පිටවිය.

“නෑ මෙලා ….මට ඕනනම් දමලා ගහලා අතෑරලා දාන්න තිබ්බා…ඔව් ඔයා හරි අම්මලා මාව ඉමෝෂනලි බ්ලැක්මේල් කරලා තිබුණෙ.එයාලා මාව හැදුවා..මං ඒකට ණය ගෙවන්න ඕනෙ…ඒකයි මම හැම තිස්සෙම එයාලා වෙනුවෙන්ම උන්නෙ…”

“මට චරිත හම්බ උනේ කැම්පස් එකේ ෆස්ට් ඉයර් එකේදි.ඒ සම්බන්ධය අවුරුදු පහක් තිබුණා. ඒක කඩන්න අම්මලා නොගත් උත්සාහයක් නෑ..මම බැන්දම ගෙදර අයට මගෙන් ලැබෙන මුදල් නැතිවෙයි කියලා අම්ම බය වුණා…අපේ සම්බන්ධය හරිම  අවබෝධයෙන් තිබුණ එකක්…චරිත මාව තේරුම් අරන් උන්නා…නමුත් කැම්පස් අවුට් වෙලා අපිට බඳින්න ඕන වෙනකොට අම්මලා ආපහු ඒකට කලින් නංගිව බන්දලා දෙන්න ඕනෙ කියලා කියවන්න ගත්තා…”

නිලංගා සිනාසෙන්නට තැත් කළාය.මේ තමා ඉදිරිපස සිටින්නියගේ ඉවසීමේ කෙළවර කොතන වුනිදැයි මාලිකා හට සිතාගන්නටද හැකි නොවූ තරම් ය.

“චරිතගෙයි මගෙයි කතාව අවුරුදු පහකුත් ගියාම මැරිකරන්න මම අම්මලා නිසා පස්ස ගහන කොට චරිතගේ ඉවසීම ත් ටික ටික කෙළවර උනා . අම්මලගෙන් කිසිම දෙයක් මට නොලැබෙන බව දැනගත්තාම චරිතගේ අම්මලා අක්කලා මුලදි මට තිබ්බ කැමැත්ත ටික ටික අඩුවුණා.අම්මලාට ඕන එකක් කියලා මං චරිත එක්ක ගියා නම් එයාගේ අම්මලා අක්කලා එක්ක මට ආපහු මුල ඉඳන් මේ වෙනස්කම් දුක් විඳින්න වෙනවා.ඉතින් මම බලන් උන්නා…අන්තිමට අපේ සම්බන්ධේ නැවතුණා…නැවතිල මාස තුනෙන් චරිත බැන්දා…”
නිලංගා ගේ මුවෙහි ඇතිවු සිනහව හැඬුමකට ආසන්න බව මාලිකා වටහාගත්තාය.

“නෙලී…ඔයාට හර්ටින් නේද…? මේක ඇති වගේ නම් අපි මේ කතාව අදට නවත්වමු…මම ආයෙම දවසක එන්නම්…අහන් ඉන්න…”
මාලිකා නිලංගාගේ දෙවුර වටා අත්දෙක යවා වැළඳගනිමින් පැවසුවාය.

“නෑ මෙලා…මේක අදම කියලා ඉවර වෙන්නයි මට ඕනෙ…තව ලොකු දෙයක් නෑ….”
නිලංගා දෑස් ඔසවා හිසට ඉහළින් ඇති අහස දෙස බලා උන්නාය.පැහැදිලි අහස් නිලේ සුදු පොකුරු වලාවන් කැටි ගැසෙමින් පාව යයි.දෑසේ කඳුලු සෙමින් වියළී යයි.

“චරිත බැන්දා කියලා දැනගත්ත ගමන් අම්මා මගෙන් සල්ලි ඉල්ලන්න ගත්තා නංගිගේ ඩවුරි එකට කියලා.කැම්ප්ස් එකෙන් අවුට් වුණ ගමන් මට හෙල්ත් ෆිල්ඩ් එකට සම්බන්ධ ජොබ් එකක් හම්බ උනා.ඒකේ අවුට් ස්ටේෂන් ,ෆීල්ඩ් විසිට් යන්න වෙන නිසා මට කම්පැනි එකෙන් වාහනයක් පවා දුන්නා.මට හම්බ උන පැකේජ් එක හොඳ එකක්.ඉතින් මම සල්ලි ඉතුරුවක් කලා…ඒ මගෙ මැරේජ් එකට…ගෙයක් හදාගන්න..මටම කියලා වාහනයක් ගන්න.ඔය වගේ බලාපොරොත්තු මටත් තිබ්බා…මෙලා..”

” අම්මලා එක්ක මෙහෙම ඉඳලා මට කවදාවත් ගොඩ එන්න බෑ කියලා මට නොතේරුනා නෙවේ.ඒත් මම ඉවසන් උන්නා.ඒත් අන්තිමට මටම තේරුනා මෙයාල ජීවිතේ ට මට ඔලුව උස්සන්න දෙන්නෙ නෑ කියල…මම හොරෙන්ම මාස්ටර්ස් එකකට ඇප්ලයි කලා.ඉතුරු කල සල්ලි වලින් ෆුල් කෝස් ෆී එක ගෙවලා මට අතේ යම් මුදලක් තියාගෙනම මෙහෙ එන්න මට ප්ලෑන් කරගන්න වුනේ හොරෙන්…”

“ඇති යන්තම් මොලේත් ටිකක් තිබිලා…”
මාලිකා සිනාසුනාය.

“මම එයාපෝට් එකටත් ඇවිල්ලා තමයි අම්මලාට කෝල් කරලා කිව්වේ රට යනවා කියලා…කිසිම දරුවෙක්ට අම්ම තාත්තා නොකිය යුතු අන්දමෙ කතා මම එදා ඇහුවා මෙලා.මෙච්චර කාලයක් මගෙන් වාසිගන්න ඕන නිසා එයාලා හංගන් උන්න එකම දේ කිසි ගානක් නොගෙන එදා අම්මාලා මට මුනටම කීවා…”

” ඒ මොකක්ද නෙලී…”

“මං එයාලගේ දරුවෙක් නෙවේ මෙලා…ඒ දෙන්නා බැඳලා කාලයක් ළමයි නැතුව උන්නම ආච්චි අම්මා මැදිහත් වෙලා හොයල දීලා මාව අරන් හදාගෙන තියෙන්නෙ…මට එයාලා පොඩි කාලේ හරි ආදරයෙන් උන්නලු…මාව හදාගන්න අරන් අවුරුදු තුනක් යද්දි අම්මා ප්‍රෙග්නන්ට් වෙලා….එතනින් පස්සෙ තමා ඔක්කොම වෙනස ආවේ…”

“මෙලා…මට දුක නෑ මෙලා ..අම්මෙක් තාත්තෙක් නැතුව උන්න මට එයාලා නමට හරි අම්මලා තාත්තලා උනානෙ.ඉතින් එයාලාට කල දේවල් ගැන මට දැන් දුකක් නෑ මෙලා…ඔන්න ඕකයි මගෙ කතාව…”
නිලංගා බරැති සුසුමක් හෙළා දෑතින්ම හිස පිරිමැදගත්තාය.ඉන්පසු ඉහල අහසට සුසුමක් හෙළා…ළය සැහැල්ලු කොට ගත්තාය.ජීවිතේ පුරාවට සිතේ හිරව තිබු සියලු දුක් දෝමනස්සයන් ඒ සුසුමේ එතී ඈත අවකාශයට පියඹා යන්නා සේ ඇයට දැනුනි… 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here