මේධා එදා ගෙදර විත් අම්මාටත් තාත්තාටත් සියලුම විස්තර කිව්වේ චිරත් කිව්ව ආකාරයෙන්ම තවදුරටත් මේ දේවල් හංගගෙන ඉන්න එකෙන් කිසිම ප්‍රයෝජනයක් වාසියක් වලාකුලුට හැර වෙන කාටවත් ලැබෙන්නෙ නැති බව දන්න හන්දාමය.
“අනේ මන්දා ළමයො අපි කාට මොන වරද කරාටද මෙහෙම කරදර වලට මූණ දෙන්න වෙන්නෙ කියලා. කීයක් කියල පහුගිය කාලෙ අපිට ඔලුවට කරදර දාගන්න උනාද? ඔයාමනෙ මේ ඔක්කොම කරදර මේ ගෙදරට අරන් ආවේ. මේ වයසට ගිහිල්ලවත් අපිට නිදහසේ ඉන්න විදියක් නෑනෙ, දැන් පොලිසියටවත් කියල ඔය මනුස්සයව අල්ලගන්න විදියක් නැද්ද?” කියා කමලිනී ඇහුවාට මනුර සුමතිපාල උන්නේ ඒ හා සමාන අදහස් දාමයක පැටලී නොවේ.
“පොලිසියට ගිහින් මොනව කියන්නද? අපේ දුවව කසාද බඳින්න බලාපොරොත්තුවෙන් ආව මනුස්සයට අපි කැමැත්තෙන් සල්ලි දීලා අන්තිමේ ඌ අපිව රවට්ටල රට ගියා කියලද? ඉන්පස්සෙ මිනිස්සු ඕක දැනගත්තම අපිට පස්ස පැත්තෙන් හිනා වෙන එකක් නෑ කියලද හිතන් ඉන්නෙ? ඊට වඩා හොඳයි අපි සද්ද නැතුව ඉන්න එක. අඩුම ගානෙ නැතිඋනේ සල්ලිනෙ. සල්ලි හම්බ කරන්න අපිට තව කල් තියෙනවනෙ කියල හිතලා සද්ද නැතුව ඉන්න එක විතරයි අපිට ඒ වෙලාවෙ කරන්න ඉතුරුවෙලා තියෙන්නෙ” කියා මනුර සුමතිපාල ඒ කතාව එසේ අවසන් කරද්දි ඉන් එහා කියන්න දෙයක් තමන්ටවත් අම්මාටවත් ඉතුරු වී නැති බව දන්න හන්දාම මේධා කිසිත් නොකියා උන්න බව ඇත්තකි.
එහෙත් ඉන් දින ගණනක් ගෙවෙන තුරුම “ඇයි මටම මෙහෙම කරේ?” කියා අසනු පිණිස, වැරදීමකින් හෝ වලාකුලුගේ දුරකතනය වැඩ කරාවි යැයි බලාපොරොත්තුවෙන් වලාකුලු ඇමතූද, කෙටි පණිවිඩ දහසක් පමණ යැවුවාද අසරණ මේධාවිණියක මනුර සුමතිපාල තැනූ ඒ මහා මන්දිරය අස්සේ තනිව කඳුලු සලමින් උන් බව දැන උන්නේද මේධා පමණකි. එදා ඒ සිදුවීමෙන් පසු විටෙන් විට පෙත්මලී විමසන මුවාවෙන් මේධා අමතා ඇගේ සැපදුක් විමසන්නට චිරත් කටයුතු කලේය. ආලෝකාද උන්නේ හැකි හැම විටකම මේධා අමතමින් සැප දුක් විමසමින්, රැකියාවට නිසි පරිදි යන මෙන් ඇයට පවසමින් ඇයව අස්වසන්නට කටයුතු කරන එකය.
“රස්සාවට නොගිහින් ගෙදර ඉඳියා කියලා මොනවද කියන්නකො ඔයාට ලැබෙන්නෙ? වෙච්ච දේවල් කිසිම එකක් ඔයාට ආයෙ වෙනස් කරන්න බෑනෙ මේධා එහෙම එකේ ගෙදරටම වෙලා කල්පනා කර කර ඉන්න එකෙන් වෙන්නෙ ඔයාගෙ ඔලුව නිකන් පිස්සු වැටෙන එක විතරයි. එහෙම එකේ ආයෙ ඔෆිස් යන්න. බබා එක්ක එලියට යන්න . පොඩ්ඩක් ඔලුව රිලැක්ස් වෙන්නත් එක්ක අම්මල තාත්තල එක්කම කොහෙ හරි යන්න” කියා ආලෝකා කිව්වට මේධා උන්නෙ එහෙම දේකට පහසුවෙන් හිත හදාගන්න පුලුවන් තැනක නොවේ.
“ඔෆිස් යන එක නෙවෙයි මට තියෙන ප්‍රශ්නෙ. අපෙ ඔෆිස් එකේ ගොඩක් අය මමයි වලාකුලුයි යාලුයි කියන එක දැනගෙන හිටිය. මං කොහොමද ආයෙ ඔලුව කෙලින් තියන් ඒ ඔෆිස් එකට යන්නෙ. ඒ මිනිස්සු වලාකුලු ගැන ඇහුවොත් මං මොක්ද කියන්නෙ?”
“මෝඩයෙක් වගේ කතාකරන්න එපා මේධා උඹ හිතනවද තමන් වැඩ කරන කම්පනි එක අයිතිකාරයගෙ එකම දුවගෙන් එයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් ගැන අහන්න තරම් ඕකෙ වැඩකරන කෙල්ලන්ට කොල්ලන්ට පිස්සුවක් ඇති කියලා. අනික උන් නිකන් වලාකුලු ඇයි එන්නෙ නැත්තෙ වගේ එකක් ඇහුවොත් උඹ කරන්න ඕන එකම දේ ඌ රට ගියා හරි මොකක් හරි කියන එක. ඊට එහා උන් අහන අහන ඒවට උත්තර දෙන්න උඹ බැඳිලා නෑනෙ” කියා ආලෝකා කිව්වට මේධාට ආපහු රැකියාවට යන්නට හිත හදාගන්න පුලුවන් උනේ බොහෝ දිනකට පස්සේය. ඒද තමන් ගෙදර ඉන්න එක අම්මාගේ නොරිස්සුමට හේතුවක් වන බව තේරුම් ගිය නිසාවෙන් ය. ආලෝකා කිව් අයුරින් වලාකුලු ගැන මේධාගෙන් අහන්න කිසිවෙකුත් ආවේ නැති උනත් තමන් දිහා බලන හැම දෑසකම “වලාකුලු කොහෙද?” කියන ප්‍රශ්නෙ ඇඳී ඇතැයි සිතා මේධා උන්නේ එක්තරා ආත්මානුකම්පාවකින් සහ ලැජ්ජාවකින් පීඩා විඳිමින් ය. ඒ ලැජ්ජාව සහ ආත්මානුකම්පාව මේධාව වඩ වඩාත් නිශ්ශබ්ධ, මුලු ගැන්වුණු කෙනෙකු කරන්නට හේතු වි තිබුණාය.
පාසල් නිවාඩු කාලය ආවේ ඒ අතරවාරයේය.
“අනේ තාත්ති අපි අර වලාකුලු අංකල් එක්ක ගිය බීච් එකට යන්කො” කියා පෙත්මලී වද දෙද්දී වලාකුලුගේ නම ඇහෙන එක පවා ඇඟේ රෝම කූප කෙලින් වෙන්නට හේතුවක් උනත් චිරත් ඒ සියල්ල ඉවසමින් “මං බබීව එක්කරගෙන යන්නම්කො” කියා පෙත්මලීට පොරොන්දු වෙන්නට වගේම ඒ පොරොන්දුව ඉටු කරන්නට අමතක කරේ නැත. පෙත්මලීව තමන්ට තනිවම මුහුද බලන්නට අරගෙන යන එක නොකල යුතු දෙයක් නිසාවෙන් මේධා අමතා ඇයටත් සෝමා අම්මාටත් තමන් එක්ක මූද බලන්න යන්න එන මෙන් ආරාධනා කරන්නට චිරත් අමතක කලේ නැත. සෝමා අම්මා වෙනුවට ආලෝකා සහ ඇගේ සැමියාව එක්කරගෙන එන්නද කියා මේධා අහද්දි එයට විරුද්ධ වෙන්නට හේතුවක් චිරත්ට තිබුනේ නැත.
චිරත් විසින් දිනකට කුලියට ගත් රියක ඉදිරිපස අසුනේ පෙත්මලීව උකුලේ තබාගත් ආලෝකාගේ සැමියා වාඩිවෙද්දි පිටුපස අසුනේ මේධාට එහා පැත්තෙන් වාඩි වුණ ආලෝකාගේ තොර තෝංචියක් නැති විහිලු කතා මෙතෙක් දවසක් නිහඬව සිනාවක් නොහඳුනන ලෙසින් උන් මේධාගේ දෙතොල් මත පවා හිනාවක් අඳින්නට හේතු වුන බව චිරත් වාහනයේ ඉදිරිපස කණ්ණාඩියෙන් දැක්කේය.
සකසා ගෙන ආ කෑම බීම එලියට එද්දි ආලෝකා ආන්ටිත්,ඒ අංකලුත්, තාත්තිත් එක්ක බීච් වෙයා ඇඳගෙන මූදට පනින්න මුල් තැන අරගත්තේ පෙත්මලීය. සුපුරුදු විදියට හෙවණ සහිත ගසක් යට ඉඳගෙන මේධා ඈත බලා කල්පනා කරමින් ඉද්දී , පෙත්මලීට මූදු වැල්ලේ සෑන්ඩ් කාස්ට්ල් හදන්න උදව් කරන්නට ආලෝකා සහ ඇයගේ සැමියා උදව් වෙද්දි චිරත් හිමින් සීරුවේ මේධා අසුන්ගෙන උන් තැන වෙත පියවර තැබුවේ මෙතෙක් දිනක් හිත අස්සෙ සඟවාගෙන උන් දෙයක් කියනු පිණිසය.
“මූදෙ නාන්නෙ නැද්ද අදත්?” කියා චිරත් තමන්ගෙන් අහන අතරම තමන්ට එහා පැත්තෙන් වාඩි වෙද්දි ඒ මුහුණේ ඇදී තිබුනෙ මීට අවුරුදු කිහිපයකට පෙර මෙවන් මූදු වෙරලකදීම “අනේ මට බෑ අනේ අව්වෙ පිච්චෙන්න” කියා හෙවණකට වෙලා උන් තමන් දිහා බලා නැගූ හිනාවම බව මේධාට තප්පර ගාණකට මතක් උනාය.
“තාම බයද අව්වෙ පිච්චෙයි?” කියා චිරත් අහද්දි වෙනදා මෙන් නොඋනත් මදක් හිනා වී “අව්වෙ පිච්චෙනවට වඩා මට මේ කිසිම දෙයක් කරන්න ඕනකමක් මූඩ් එකක් නෑ චිරත්” කියූ මේධාගේ හිත වෙච්ච හැම දෙයක්ම හන්දා මේ අව්වට වඩා පිච්චෙන බව චිරත්ට නොතේරුනා නොවේ.
“මං දන්නෙ නෑ මං මේ දැන් මෙහෙම දෙයක් කියන එක හොඳද කියලා. ඒත් මට හිතෙනව පහුගිය කාලෙ වෙච්ච හැමදේම අපි දෙන්නගෙම වැරැද්දෙන් උනේ කියල. ඉවසන්න තිබුන තැන් ඕනතරම් තිබුනා නේද කියල පහුගිය කාලෙ වෙච්ච හැමදේම ආයෙ කල්පනා කරද්දි මට හිතුනා. අපි කලබල වෙලා ගන්න තීරණ වලින් අපිට වගේම අපි වටේ ඉන්න අයටත් මොන තරම් නම් කරදර කරනවද කියල මටත් තේරුනේ මේ හැමදේම උනාම”
“අපි දැන් වෙච්ච දේවල් කල්පනා කරා කියලා ඒ දේවල් වෙනස් වෙන්නෙ නෑ කියලා ඔයාම නේද චිරත් මට කිව්වෙ?”
“ඔව් මං එහෙම කිව්වා, ඒ වගේම ඒක බොරු නෙවෙයි”
“එහෙනම් අපි දැන් ආයෙ ඕව මතක් කරන එක තේරුමක් තියෙනවද?”
“ඔව් තියෙනවා. වෙච්ච දේවල් අපිට ආයෙ වෙනස් කරන්න බැරි එක ඇත්ත. හැබැයි ඉස්සරහට වෙන්න තියෙන දේවල්වලට ආයෙ කිසිම ප්‍රශ්නයක් නොවෙන විදියෙ හරි තීරණ ගන්න ඒ වෙච්ච දේවල් වලින් අපි ඉගෙන ගත්ත ඒව පාඩමක් වෙනවා නේද? ඉස්කෝලෙදි අපි විභාග වලට කලින් පාඩම් කරපුව ආයෙ ආයෙ මතක් කරා වගේ සමහර වැරදි ඉඳහිටක හරි මතක් කරන එක අපිට ආයෙ ඒවගේ වරදක් නොවෙන්න ලොකු උදව්වක් වෙනවා. ජීවිතේ කියන විභාගෙ පාස් වෙන්නත් අපි අතීතෙ ඉඳහිටක හරි මතක් කරගන්න ඕන.
පෙත්මලී කවුන්සලින් එක්කරගෙන යද්දි, එයා ඒවයින් රිකවර් වෙද්දි මට හිතිච්ච දේ තමයි අපි දෙන්නම ඩිවෝස් එකකට යන්න කලබල වෙච්ච වෙලේ කවුන්සලින් ගියා නම් සමහරවිට පෙත්මලීට කවදාවත් කවුන්සලින් නොයන්න හේතුවක් වෙන්න තිබුනා කියලා.
අපි දෙන්න තාම පරක්කු නෑ…” කියා චිරත් මදකට කතාව නතර කලේ “අම්මී තාත්තී” කියමින් තමන් දිහාවට දුවගෙන එන පෙත්මලීව තුරුලු කරගන්න දෑත යොමුකරන්නටය.
“ඔයා කැමති නම් අපි දෙන්නා ආයෙ කවුන්සලින් යන්… අපේ දරුවා විතරක් නෙවෙයි අපි දෙන්නත් රිකවර් වෙන්න ඕන විදියෙ සෑහෙන ප්‍රශ්න වලට පහුගිය කාලෙ මූණ දුන්නා. ඒවයින් රිකවර් වෙන්නෙ නැතුව අපි දෙන්න කොහොමද අපේ ජීවිතවල ඉස්සරහ දවස්වලට, අපේ දරුවා වෙනුවෙන් උනත් ක්ලියර් මයින්ඩ් එකකින් ෆේස් කරන්නෙ. ඒ නිසා අපි දෙන්නත් යන්.
ම්ම්ම්…ඔයා කැමති නේද?”
————————————————————————————————————————————————–
චිරත් සහ මේධා පෙත්මලී වෙනුවෙන් ආයෙම එක තැනකට ආවා යැයි කියා ඉතාම සුන්දර ලෙස මේ කතාව අවසන් කරන්නට තිබුණ නමුත් මා එසේ කරන්නේ නැත. මක්නිසාද යත් ජීවිතය එච්චරම සුන්දර හෝ පහසු, සුරංගනාමය කතන්දරයක් නොවන නිසාවෙන් ය.
කලබලකාරී ළමා කාලයන් දරුවන්ව බිඳුණු බිළින්දන් කරන බව අපි නිතරම කියනෙමු. දරුවන්ව බිඳුණු බිළින්දන් කරන්නේ කලබලකාරී ළමා කාලයන්ම පමණක්ම නොවේ. බිඳුණු දෙමව්පියන් ය, බිඳුණු වැඩිහිටියන් ය.
“ලොකු මිනිස්සුන්ට වගෙ පොඩි දරුවන්ට ප්‍රශ්න දරාගන්න බෑ” කියා අපි හිතුවද ලොකු මිනිසුන්ට පවා ප්‍රශ්න දරාගන්න බැරි තැන් ජීවිතයේ අපමණ හමු වේ. අප බිඳුණු මිනිසුන් නොවිය යුත්තේ, අපි වගකීම් සහගත වැඩිහිටියන්, දෙමව්පියන් විය යුත්තේ දරුවෙන් උදෙසාම නොවේ. අපි වෙනුවෙනි. අපි වටේ අපේ ජීවිතයේ ඉන්න සියලුම දෙනා වෙනුවෙන් ය. දික්කසාද වීම වරදක් නොවේ. විවාහයකින් දරුවන් හිඳීම දික්කසාද නොවන්න හේතුවක් ද නොවේ. එක්ව ජීවත් වීම අපහසු නම් වෙන්වීම වඩා සුදුසු බව කිව යුතුය. දරුවන් වෙනුවෙන් හෝ බිඳුණු හිතක් ඇතුව බිඳුණු යුවතිපතින් වී හිඳිමින් තමන් දුක් විඳිය යුතු නැත.
වෙන්වීම තමන්ට කොපමණ හොඳ තීරණයක් ද එය අනෙක් කිසිවෙකුට, විශේෂයෙන්ම දරුවන්ට හානිදායක නොවන අයුරින් වගකීම් සහගතව හසුරුවාගැනීමේ වගකීම වැඩිහිටියන් වන අප සතු බව ඉතින් මතකයේ තබාගන්න!
අප නොබිඳුණ මිනිසුන් වන තැන අපේ ඉදිරි පරපුර නොබිඳුණු බිළින්දන් බවට පත්වන අමතක නොකරන්න!
අලුත් කතාවකින් හමුවන තුරු, මෙතෙක් දිනක් “වියෝ ගී ගැයෙනා හදේ” හා එක්ව උන් ඔබ සැමට ස්තුතියි!
-උදතාරී-