රයන් තමන්හට ඉදිරිපස අසුනේ හිඳගෙන සිටිනා සිය ඥාති සොහොයුරා ස්ටීව්ගේ ඉරියව් ඉවසීමෙන් නිරීක්ෂණය කළේය.ස්ටීව් තමාහට සිය නිවහනට එන ලෙස සෙනසුරාදා දහවලේ අමතා පැවසුවේ රාජකාරි කටයුතු සම්බන්ධව කතාබහකට නොවන බව බ්‍රයන් වටහා ගත්තේය.ස්ටීව් ක්ලිෆර්ඩ් සිය ඥාති සමූහයෙන් යම්තාක් දුරට හෝ සබඳතා පවත්වා ගත්තේ බ්‍රයන් සහ ඔහුගේ පවුලේ අය සමග පමණි. සිල්වියා ක්ලිෆර්ඩ් විවාහයට පෙර සිල්වියා මර්ෆි වූවාය. ඇය සහ බාල සොහොයුරු හෙන්රි මර්ෆි, මේරි මර්ෆිගේත් ඩෙන්සන් මර්ෆිගේත් දරුවන් වූහ. සිල්වියා ක්ලිෆර්ඩ් සිය සොහොයුරා සමගින් ක්ලිෆර්ඩ් සමූහයේ ව්‍යාපාර මෙහෙයවද්දී බ්‍රයන් මර්ෆි ද ඒ ව්‍යාපාර ජාලයේ කළමනාකරුවකු සේ කටයුතු කළේය.
බ්‍රයන්ගේ හිතුවක්කාර වැඩිමහල් ඥාති සොයුරා වූ ස්ටීව්, ක්ලිෆර්ඩ් සමූහයට එක්නොවී තමන්ගේම ව්‍යාපාරයක් අරඹා එහි සාර්ථකත්වයේ හිනිපෙත්තට ගමන් කළේය.ක්ලිෆර්ඩ් පවුලේ හෝ මර්ෆි පවුලේ කිසිවෙක් ඔහුගේ ව්‍යාපාරයේ කොටස්කරුවන් වූයේ නැත.
ස්ටීව් ක්ලිෆර්ඩ් තරුණ වියේදීම නිවසින් බැහැර වූයේ අම්මාත් තාත්තාත් නුරුස්සමිනි.කුඩාවියෙහිදී ඔවුන් වෙතින් අතහැරුණ තමන් තරුණ වියෙහිදී ව්‍යාපාරික කටයුතු වල පැවැත්මක් වෙනුවෙන් ළංකරගන්නට තැත් දැරීම ඔහු නොරිස්සුවේය.කුඩාවියෙහිදී සිය මිත්තණිය වූ මේරි මර්ෆි සිය දියණියත් බෑනාත් වෙතින් අතහැරී හුදෙකලාවූ සිය මුණුපුරා වෙනුවෙන් ජීවිතය වෙන් කොට ගත්තාය. ස්ටීව් මෙන්ම බ්‍රයන්ද ඇයගේ සිත දිනාගත් මුණුපුරන් වූහ.
“මොකද ස්ටීව් ප්‍රශ්නෙ ..?”
බ්‍රයන් විනාඩි ගණනාවක නිහඬතාවයකින් පසු ස්ටීව් විමසීය. අත රැඳි වීදුරුව පසෙක තබා ස්ටීව් දෑසින් බ්‍රයන්ට සන්කලේ යම් පානයක් ගන්නා ලෙසය.
“නෑ ඒක පස්සෙ පුළුවන්…මොකක්ද අවුල..”
බ්‍රයන් නැවත විමසීය.ස්ටීව් නිහඬවම අසුනෙන් නැගී උන්නේය.පුටුවේ දකුණු පසින් ඇති උස් ජනේලය වෙත ඇවිදගොස් එහි තිරය පසෙකට කොට සිය අතක් එහි දාරයට තබා හිස ඒ මත තැබීය.මේ ඉරියව් සියල්ල පවසන්නේ ඔහු දැඩි නොසන්සුන් බවකින් පෙළෙන බව යන්න බ්‍රයන් අත්දැකීමෙන් දනී.
“අයෑම් අවුට් ඔෆ් කන්ට්‍රෝල් බ්‍රයන්….මට මගේ ටෙම්පර් එක පාලනය කරගන්න මෙච්චර කලක් පුළුවන් උනා.ඒත් දැන් එන්න එන්නම මම ඉක්මනින් ම ලිමිට් එකෙන් එහාට පනිනවා.
ඔෆිස් එකේ ස්ට්‍රෙස් එක මට මැනේජ් කරගන්න පුළුවන් …ඒත් ගිය සතිවල මම එතනත් ටිකක් වෙනස් රිඇක්ශන්ස් පෙන්නුවා කියලා මට හිතෙනවා…මේක හොඳ දෙයක් නෙවේ…”
බ්‍රයන් නිහඬවම බලා උන්නේ ස්ටීව්හට කිය්න්නට ඇති කාරණාවලට ඉඩ දෙමිනි.හිතේ තද කොට ගෙන ඇති පීඩනය ඔහුට පිටකරගන්නට ඉඩ දිය යුතුය.
“ඔයා දන්නවනෙ මගෙ වීක් පොයින්ට් එක ආච්චි කියලා.මෙච්චර කලකුත් ආච්චිගේ කෙයා එක ගැන ආව ඉෂූස් මම විසඳුවා.මේක ආච්චි එක්ක ලේසි නෑ .ඩිමෙන්ෂියා ගතියකුත් එක්ක හැසිරීමේ වෙනස්කම් එන වයසක මනුස්සයෙක්නෙ…ඒ නිසානෙ මේ සැරින් සැරේ කෙයාරර්ස්ලා මාරු කරන්න වෙන්නෙ…
ඒත් මගෙ අතින් අර අලුතින් ආව කෙයාරර්ට වුණේ හොඳ දෙයක් නෙවේ …අයි මීන්… මම බැන්නා .ත්‍රෙට් කළා…ඒ මදිවට කිසිම දාක නැතුව මගෙන් කෙනෙක්ට ෆිසිකලිත් ඉන්ජර්ඩ් උනා….ඒක මට අවුල්…බ්‍රයන්…අයි නීඩ් ටු සීක් සම් මෙඩිකල් ඇසිස්ටන්ස් …කවුන්සලින් හරි ඕනවෙනවා….”
ස්ටීව් පසුතැවීමෙන් යුතුව පැවසුවේය.බ්‍රයන් යටිසිතෙන් සතුටු වූයේ අඩුමතරමේ කලාතුරකින් සිය වරද පිළිගන්නා ස්ටීව්ගේ මේ පසුතැවීම අත්‍යාවශ්‍ය එකක් වූ හෙයිනි.
මාලිකා එම සිදුවීම සිල්වියා ක්ලිෆර්ඩ් වෙතින් දැනගත් මොහොතේ බැනුම් අසන්නට සිදුවුණේ තමන්ටය. ස්ටීව්ට බනින්නට ඇයගේ ශබ්දකෝෂයට ඉංග්‍රිසි වදන් හා හරි හරියට සිංහල වදන් ද එක්විය.ඒ සමහරක් වදන් ශ්‍රී ලංකාවේදී සතුන්ට භාවිත කරන නම් බව බ්‍රයන් දැන උන්නේය. කීර්තිමත් ව්‍යාපාරික ස්ටීව් ක්ලිෆර්ඩ් අවුරුදු විසිපහක ගැහැණු ළමයෙකුගෙන් බැනුම් ඇසිය යුතු වරදට අවසානයේ ගොදුර වූයේ පැත්තක උන් තමාය.
“කවුන්සලින් යන්න තරම් ඔයාට ප්‍රශ්නයක් ඇති කියලා මට හිතෙන්නෙ නෑ ස්ටීව්.අපි චුට්ටක් ඔය ඔයාගේ ලයිෆ් පැටර්න් එකයි රිඇක්ශන්ස් එහෙම ඔහොම වෙන්න තරහ පිපිරෙන එකයි කන්ට්‍රෝල් කරගන්න ටිකක් ට්‍රයි කරමුනෙ…ඔයාට ඔප්ෂන්ස් නැත්නම් නෙ මෙඩිකල් හෙල්ප් ගන්න ඕනෙ…”
බ්‍රයන් තරමක් හිතාමතා කීවේය.
“මං කොච්චර හිතනවද බ්‍රයන්….වැඩක් නෑනෙ…මොකක් හරි උනාම අනික් ඔක්කොම අමතක වෙලා යනවනෙ..හොඳයි ටිකක් තව බලමුකො.මට වෙලා තියෙන්නෙ හෙට ඉඳන් ආච්චිව බලන්න යන කොට අර කෙයාරර්ට මුහුණ දෙන්න බැරිකම…”
බ්‍රයන් හිතයටින් සිනාසුණේ “මේපාර නම් ඇනිලම තමා බොස්…” කියා සිතමිනි.
ඉරිදාවේ උදෑසන පොතක් කියවීමට වෙන් කළද කාමරය ඇතුළට වී ඉඳීම නිලංගා පීඩනයකට ලක්කොට තිබුණි.ගූගල් යෙදවුම නිරීක්ෂණය කළ විට ඇවිද යන ආසන්නයේ උද්‍යානයක් ඇති බව දිස්වේ.අහම්බෙන් විනාඩි දහයකට එළියට බැස්සද ඇඳුම් තට්ටු දෙක තුනක් තවමත් අඳින්නට වීමේ කරදරය විනා ඇවිදීමේ ආසාවට වැට කඩොලු බඳින්නට කිසිවක් නැත.
නිලංගා නිවසින් පිටතට ආවේ කුඩා tote බෑගයද කරේ දමාගෙනය.කුඩා වතුර බෝතලය, වොල්නට් සහ කජු එකට මිශ්‍රව ඇති පැකට්ටුවක් බෑගයේ ඇත.ඊට අමතරව කටු සටහන් අඳිනා පොතක් සහ පැන්සලය ඇත.එක්වනම හමා ආ සීතල සුලඟෙන් ගෙල මුවාකරගන්නට රෝස සහ කහ පැහැති වූ සලුව ගෙලවට ඔතාගත්තී මාවත අයින දිගේ උද්‍යානය වෙත පිය මැන ආවාය.
දිවා කළ හෙයින් අද නම් හිරු පොළවට සිනාවෙමින් ඇත. තවමත් කොළ රහිත තුරු අතු අතරින් කලාත්මක ව හිරු කිරණ බිමට පෙරී එයි.නිලංගා මඳ උණුසුමැති හිරු එළියේ නැහැවෙමින් ලී බංකුවක ඉඳගත්තාය.උද්‍යානය වටා මාවත් වල ඇවිදයන්නෝ එමටය.අනෙක් අයගේ ඉරියව් ගැන වද නොවෙමින් ඔවුන් ජීවිතය විඳ ගන්නා අයුරු අපූරුය.
මාර්තුව උදාවන ආසන්නයේ හෙයින් තෘණ බිම පුරා නන් පැහැයෙන් ක්‍රොකස් මල් පොහොට්ටු මතුවෙමින් පවතී.සරත් සෘතුව අවසන්ව වසන්තය උදාවන විට පොළවේ කොහේ තිබුණාදැයි කියාවත් ඉඟියක් නොදී උන් නෙක පැහැ මල් වර්ග මතුවන්නේ හරියටම ජීවිතේ දුකම විඳි සමයක් හදිසියේම නිමාව සතුටු ජීවිතයක් උදාවෙනවා සේයැයි නිලංගාට සිතුණි.
අත රැඳි බෑගයේ රූ සටහන් පොත මතක ඇති කාලයක පටන් හිස් ය. විවිධාකාර පත්‍ර රටා, සොඳුරු මල් රටා පැන්සල් තුඩගෙන් ඇඳුණ කාලය ඇත්තේ බෝ දුරක නොවේ.ඉතින් ජීවිතය යළි අරඹන්නට ඕනෑව ඇත.දෙපා අද්දර පිපී ගත් තනි ඩේසි මලක් පැන්සල් තුඩගෙන් රූ සටහන් පොතේ ඇඳෙන්නට පටන්ගත්තේ නිලංගාගේ දෙතොළඟට අපූරු සිනහවක් ද කැඳවමිනි.ඇය සිතුවම් කරන දෙස බලා මුදු සිනා පාමින් ඇවිදයන කාරුණික පෙනුමැත්තෝ කිහිප දෙනෙක්ම වූහ.තවකෙකුගේ ජීවිතයන්ට ඇඟිලි නොගසා සිටින්නට මේ අය හුරුව ඇති අන්දම අපූරුය.
අභියෝග විඳි කාලය…අනන්ත දුක් විඳි යුගය ජීවිතය මේ තැනට ඒමේ පෙර මං සිහිකර දෙයි…මාස ..අවුරුදු ගණනක් අම්මා තාත්තා නංගී ගැන නොසොයාම නොබලාම ඉන්නට තමාහට පාර කපා දුන්නේද ඔවුන්මය.ගමේ අත්තම්මා ජීවතුන් අතර උන්නා නම් ඇය ගැන හිතට බරක් තියෙන්නට තිබුණි.එහෙත් නිලංගා විදෙස් ගත වන්නට මාස කිහිපයක් තබා අත්තම්මා හෘදයාබාධයකින් මෙලොවින් සමුගත්තාය.නිලංගා වෙනුවෙන් ළතෙත් හදැත්තියකව උන්නේ ඇයම පමණකි.
හෙට දවස තවත් අභියෝගයන් රැසක ආරම්භය වනු ඇත. නිලංගා සුසුමකින් සියලු තවුල් ඉවතට පා කොට හැරියාය.හවස් වන්න ට පෙරාතුව නිවසට යාමට ඇය සිතුවේ පෝලා සමගින් මේරි මර්ෆි ගේ කාලසටහන යළිත් කතාබහ කරනු පිණිසය.ආත්තම්මා කෙසේ වෙතත් ඇයගේ මරුමුස් මුණුපුරාගෙන් ජීවිතය ගලවා ගත යුතුය.රැකියාව අරඹන්නට පෙර වැලමිට තලා දමූ ඔහු මී ලඟ අවස්ථාවේදී බෙල්ල අඹරා දමනු නොඅනුමානය.
ස්ටීව් ක්ලිෆර්ඩ් මිත්තණිය හමුවන්නට ආවේ අවේලාවේය. ඇය රැකබලාගන්නට ආ යුවතිය නිවසේ පෙනෙන්නට වත් නොඋන්නාය.සිතේ මොකක්දෝ කියාගන්නට නොහකි නොඉවසුමක් ද නුරුස්සන භාවයක්ද මතුවෙයි….
“ඔය ආව කෙනාට කියන්න පෝලා…හෙටින් පස්සෙ නම් රස්තියාදුවේ යන්න සූදානම් වෙන්න එපා කියල…ඒ මනුස්සයා කොයිවෙලෙත් ගෙදර නෑනෙ..”
නොරිස්සුම් වදන් පවසන ස්ටීව් ක්ලිෆර්ඩ් දෙස පෝලා බලාඋන්නේ යටිසිතේ නගෙන සිනහවද වලකාගෙනය.සිය ආඩම්බරකාර පුංචි මහතා ගේ හිතට මොකක්දෝ වෙනසක් ඇතිවී ඇති බව පෝලාද වටහා ගත්තාය.
“එයා හෙට ඉඳන්නෙ මිස්ටර් ස්ටීව් වැඩ පටන් ග්න්නෙ ඉතින් අපිට ඊයේ, අද එහෙම එයා යන එන ගමන් බිමන් ගැන මොකුත් අහන්න බෑනෙ…අනෙක ඊයෙ ගියේ මෙලා එක්ක …”
පෝලා සමග කතාකරන්නට යෑමෙන් තමාගේ නොසන්සුන් ගති මතුව ඒයැයි ස්ටීව් බිය විය.ඇයගෙන් සමුගත් ස්ටීව් ආපසු නිවසට යන්නට රිය ගේට්ටුවෙන් පිටතට හරවද්දීම නිලංගා ගේට්ටුවෙන් ඇතුළට පැමිණියාය. ඇය නිකමට හෝ හිස ඔසවා නොබැලුවාය.වහ වහා ඉක්මන් ගමනින් ගොස් නිවෙසට ඇතුළු වූවාය.ගේට්ටුවෙන් පිටතට යන වාහනයෙ පසුපස කණ්නාඩියෙන් පෙනෙන මේ සිතට අමුත්තක් ගෙන ආ ගැහැණුලමයා දෙස ස්ටීව් බලා උන්නේය.