මල් පිපුණිද හිම කැළයේ – 37

0
3209

“අම්මා , නෙලීව දැක්කද ? එයා නෑනෙ…”
උදෑසන කාමරයට වී සිය ගෙතුමක නිරත වෙමින් උන් මේරි මර්ෆි හිස ඔසවා කාමරයට කලබලයෙන් මෙන් ආ දියණිය දෙස බැලුවාය.ඇය බොහෝ ලෙසින් කලබල වී ඇතිවා සේය.

“ඇයි ඇයි මොකද සිල්වියා කෑගහන්නෙ.එයා උදේ මට වොෂ් දාන්න උදව් කළා. ඉන් පස්සෙ කෑම මේසෙටත් එක්කන් ගියා.එයා මගෙ ගාවටම වෙලා දැන් ඉන්න ඕන නෑ කියලනෙ ඔයත් කීවෙ.එයා එයාගෙ වැඩක ඇති”
මේරි මර්ෆි සිය දියණියගේ කලබලය ගණනකට නොගත්තාය.සිල්වියා කවදත් පොඩි දෙයක් පවා මහා ලොකු දෙයක් කරගෙන කෑගසනා බව මේරි අත්දැකීමෙන්ම දනී.

“එයා නෑ අම්මා…මම හැම තැනම හෙව්වා..එයාගේ කාමරේ එයාගේ බඩුත් නෑ….එයා ගිහින්…”
සිල්වියා මවාගත් ශෝකයකින් මෙන් පැවසුවාය. මේරි මර්ෆි අතවූ ගෙතුම පසෙකට දැම්මාය.අම්මා කලබල කරන්නට ගතහොත් ඇය සන්සුන් කිරීම පහසු නොවනා බව සිල්වියාහට සිහිපත්වූයේ එවිටය.

“මොකක්ද කීවෙ සිල්වියා…මට හරියට ඇහුණෙ නෑ….”
මේරි ඇඳෙන් බසිමින් පැවසුවාය.සිල්වියා කලබල වූයේ අම්මා ඊලඟට කරන්නට යන දේ සිතාගත නොහැකිවය.

“න්..නෑ..නෑ..අම්මා…මොකුත් නෑ..මම හිතන්නෙ එයා ටවුන් යන්න ඇති…මම පෝලාගෙන් අහන්නම්…අම්මා ඇඳට වෙලා ඉන්න…”
සිල්වියා අම්මාව ඇඳටම කර ඉක්මනින් පිටව ගියාය.ඇය යන දෙස නළලද රැළි කොට ගෙන බලා උන් මේරි මර්ෆි සිය ගෙතුම යළි අතට ගත්තාය.

“පිස්සු….”
ඇය මිමිණුවාය.

සිල්වියා මුලුතැන්ගෙයට ආවේ දුවගෙන එන්නාක් මෙන් කඩිනම් ගමනකිනි.පෙරදා තමා කියූ දේවල් ඒ අයුරින්ම ක්‍රියාත්මකව ඇති බව වැටහීම සතුටට කාරණයක් වුවද නෙලී නික්ම යෑම සම්බන්ධයෙන් තමාහට වරද පැටවීම වළකා ගතයුතු හෙයින් ඇය රඟපෑමකට සැරසුණාය.වෙනත් රැකියාවක් සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ප්‍රතිකේෂ්ප කළ නෙලී ඉදිරි මාස තුනක වැටුපද ප්‍රතිකේෂ්ප කිරීම සිල්වියාගේ අභිමානය බිමටම සමතලා කලේය.

“මහ ආඩම්බරකාර කෙල්ලක්…සල්ලිවල අගයක් දන්නවා කියලද?”ඇය අතට ගත් මුදල් ආපසු කබඩයට දැම්මාය.අඩුමගණනේ මුදල් ගත්තා නම් තමන්ගේ මුදල් අඩුයැයි කියා එවන් වංචාවකට හෝ ඇය හසුකරගන්නට තිබුණි.පෝලා වෙත පැමිණි සිල්වියා නෙලී කාමරයේ හෝ නිවසේ නැති බව පැවසුවේ හතිලමින් මෙනි.පෝලා සිතූසේම කලබල වූවාය.
” මොනව මැඩම්…නෙලී නෑ…මේ උදෙත් එයා උන්නානෙ.කිචන් එකට ඇවිත් ඔක්කොම මේරි මැඩම්ගෙ කෑමත් හදලා අරන් ගියෙ….ඒක වෙන්න බෑ…”
පෝලා පැවසුවාය.

“ගේට් එකේ ඉන්න වොචර්ට එන්න කියන්න පෝලා”
සිල්වියා සිය රංගනය මුහුණේ සතුටු ඉරියව් වලින් හැඟවෙන්නට පෙර විසිත්ත කාමරයට ගියේ පෝලාට අණ කරමිනි.ඇයගේ දැන්වීමට අනුව පැමිණි මුරකරු පැවසුවේ පැය කිහිපයකට පෙර නෙලී පිටව ගිය බවය.

“මම යනවා ඩන්කන්.තැන්ක් යූ උදව් කළාට..”
කුලීරියට ඇයගේ බෑගයන් දමාගන්නට උදව් කළ පසු ඇය ස්තුතිත් කළ බව ඔහු පැවසුවේය.

“නෙලී කිව්වා එයා අස්වෙලා යන බවක්…ඉතින් මට ප්‍රශ්න අහන්න ඕනකමක් නෑනෙ …අයිතියකුත් නෑනෙ…”
ඔහු යළිත් පැවසුවේය.මුරකරු පිටත් කර හැරි සිල්වියා ඉන්පසු පෝලාට පැවසූ දෙයින් පෝලා දැඩි ලෙස කලකිරුණාය.

“ගිය කෙනා ගියාවෙ.පෝලා චුට්ටක් බලන්න අම්මාගෙ අල්මාරිය එහෙම ඇරලද කියල.මොනවා අඩුද දන්නෙ නෑ…එයා ගැන ඉතින් අපි දන්නෙ නෑනෙ හරියකට කියන්න..අද කාලේ මිනිස්සු විශ්වාස කරන්න බැහැ..”
සිල්වියා කිසිදු ගණනකට නොගෙන පැවසුවාය.

“අද කාලේ මිනිස්සු විශ්වාස කරන්න බැරි එක ඇත්ත.ඒත් සිල්වියා මැඩම් නෙලී ගැන එහෙම කියපු එක නම් වැරදියි.  නෙළී මෙච්චර කාලෙකට මේ ගෙදර තියෙන කිසිම දෙයක් අහන්නේ නැතුවත් අරගෙන නැහැ.අනික් එක එයා මේ හදිසියේ යන්න මොකක් හරි හේතුවක් තියෙන්න ඕන.වැඩ කරන අය එක්ක නං එයාගේ කිසිම ප්‍රශ්නයක් ඇතිවුණේ නැහැ.”
පෝලා කලකිරීමෙන් පැවසුවාය.සිල්වියා අසුනෙන් නැගී සිට නිහඬවම සිය කාමරය වෙත ගමන් කළාය.අම්මා සහ ස්ටීව් දෙදෙනාම මේ සම්බන්ධයෙන් චෝදනා කරනු ඇත්තේ තමාටය.එහෙත් මේ රඟපෑම දිගටම කරගෙන යා යුතුය.

“මැඩම්, මේරි මැඩම් කලබල කරනවා නෙළී නැහැ කියලා..අනේ මන්දා ඇවිල්ලා චුට්ටක් බලන්න.”
පෝලා හවස් යාමේ  පැමිණ සිල්වියා බලාපොරොත්තු වූ පැමිණිල්ල ඉදිරිපත් කළාය.සිල්වියා අම්මාගේ කාමරය වෙත කඩිනම් ගමනින් පැමිණියාය.

“කෝ නෙලි?”
මේරි මර්ෆි සෘජුවම ප්‍රශ්න කළේ සිල්වියාගෙනි.සිල්වියා අම්මාගේ සෘජු ප්‍රශ්න කිරීම හමුවේ මොහොතකට තැති ගැනුණාය. කලබලයට වචන පවා ගොතගැසුනි.

“ම්..මේ..
මේ.නෙලී කොහෙද කියලා තමයි මමත් හොයන්නේ..අම්මා මගෙන් අහන්නේ මම කොහොමද දන්නේ?”
සිල්වියා වදන් පටලමින්ම පිළිතුරු දුන්නාය.

“ගෙදර හිටිය මනුස්සයෙක් එකපාරටම ගෙදරින් යනවනම් ගෙදර වගකීමක් ගන්න කෙනා ඒ ගැන හොයලා බලන්න ඕන නේද? නෙළී නැත්නම් ඔයා මොනවද කරන්නේ? ඔහේ බලාගෙන ඉන්නවද?අපි පොලිසියට කියන්න ඕන නැද්ද?”
මේරි මර්ෆී ප්‍රශ්න වැලක්ම අසාගෙන ගියාය.

“අම්මා ප්ලීස් කලබල නොකර ඉන්නකෝ.නෙලී ගියේ එයාට ඕන නිසානේ.අපි කිව්වේ නැහැනෙ එයාට කොහෙවත් යන්න කියලා.කොහොමත් එයාට හොඳ ජොබ් එකක් ඕන වෙලානේ හිටියෙත්.ඉතින් එයා යන්න ඇති…වොචර්ට කියලනෙ ගිහින් තියෙන්නේ ..පොලිසියට කියලා මෙතන  ප්‍රශ්න හදාගන්න ඕන නැහැ…”
සිල්වියා දෑත් පිටිපසට බැඳගෙන  කාමරයේ ඒ මේ අත ඇවිද්දේ නොසන්සුන් බව වසා ගන්නටය.තමා සිතූ තරම් අම්මා කලබල නොකිරීම එක් අතකට සහනයක් විය.අනෙක් අතට එයද ප්‍රශ්නයකි.වැඩියෙන් කතා කරන්නට ගියහොත් තමා දෙසට ඇයගේ සැකය එල්ල වන බව වැටහුණු හෙයින් සිල්වියා නිහඬ වූවාය.ඊළඟට ඇත්තේ ස්ටීව් වෙතින් එන ප්‍රශ්න විසඳා ගැනීමය.

ස්ටීව්ට පෙර ක්ලිෆර්ඩ් මැදුරට කඩා වැදුනේ මාලිකා සහ බ්‍රයන්ය.ස්ටීව් පැමිණෙන්නට දින කිහිපයක් තව තිබියදී මාලිකා සහ බ්‍රයන් විදෙස් සංචාරය නිම කොට ආපසු පැමිණියෝය.ගත වූ දින කිහිපයේ තමාගේ ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට නෙලීගෙන් පිළිතුරු නොලැබීම මාලිකා කුතුහලයට පත් කරන්නක් විය.සිල්වියා හට ඇමතුමක් දී නෙලී ගැන විමසූ විට ඇය පැවසුවේ නෙළී නිවසෙන් පිටව ගොස් ඇති බවය. නෙලීගේ ජංගම දුරකථනයද විසන්ධි කොට ඇත.මාලිකා බෙහෙවින් කලබල වූවාය.

“බොරුවට කෑ ගහන්න එපා මෙලා.නෙළී ගිහින් තියෙන්නේ වොචර්ට කියලා.ඉතින් ඔච්චර කලබල වෙන්න දෙයක් නැහැ.එයාට මෙහේ ඉන්න එක ගැන කොහොමත් ඇත්තෙ ගිල්ටි ෆීලින් එකක්.සැලරි එකක් ගත්තට එයාට කරන්න වැඩක් තිබුනෙත් නැහැනේ.අම්මගේ කටේ බලයටනෙ උන්නෙත්.එයාගේ කොලිෆිකේෂන් වල හැටියට එයාට හොඳ ජොබ් එකක් ඕන වෙන්න ඇතිනෙ.”
සිල්වියා මාලිකාගේ කලබල වීම ගණනකටවත් ගත්තේ නැත.

“ඔයා මහ පුදුම කතාවක්නේ කියන්නෙ ආන්ටි.හරි එයා හොඳ ජොබ් එකක් හොය හොය හිටියා කියමුකෝ.ඒ උනාට එයා ගෙදරින් යනකොට කියලා යන්නේ නැද්ද? එහෙම හැංගිලා වගේ යන්න එයාට වෙච්ච දේ මොකක්ද? දැන් එයා අපේ කෝල්ස් මැසේජස් වලටවත් ආන්සර් කරන්නේ නෑ.එහෙන් ස්ටීව් කලබල වෙලා.ස්ටීව්ට ආන්ස්වර් කරන්නෙත් නැහැ කියලා…”
මාලිකා කෝපයෙන් පැවසුවාය.

“ස්ටීව්ට  කලබල වෙන්න එයා ස්ටීව්ගෙ කවුද? මේ මෙලා මම ඔයාට එක දෙයක් කියන්නම්.ඔයා නෙළීව මෙහෙට එක් කරන් ආව එක ඇත්ත.ඒ අම්මගේ කෙයාරර් විදියට නමුත් ඔයයි බ්‍රයනුයි දෙන්නම නෙලීව ස්ටීව්ට close කරන්න හදපු එක හරි කියලද ඔයාල හිතන්නෙ.නෙළී වගේ කෙනෙක්ව ස්ටීව්ට ගැලපෙනවද? ලෝරාට ස්ටීව් අකමැති වුනෙත් මේක නිසා.ඉතින් මෙයා ගියපු එක නම් ලොකු දෙයක්..මටනම් ඒක ගැන කිසිම රිග්‍රෙට් එකක් නැහැ”
සිල්වියා වැනි කාන්තාවකගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බව මාලිකා වටහාගත්තාය.

ඇත්තේ එකම ප්‍රශ්නයකි.නෙලී කොහේ හෝ යන්නට ඇත. ඇය නිරූපද්‍රිතව සිටී නම් එය ප්‍රමාණවත්ය.මාලිකා  ශෝකයෙන් හැඬුවාය.

“මෙතන මොකක් හරි ලොකු දෙයක් වෙලා තියෙනවා.ඔය ගියා කියන දවසට කලින් දවසේ හැන්දෑවෙත් ස්ටීව් එක කතා කරලා තියනවා.ස්ටීව් කියන්නෙ එයා ගෙ වොයිස් එකත් වෙනස්වෙලා තිබ්බා කියලා. ඇහුවාම කියල තියෙන්නේ නාලා එහෙම්ම නින්ද ගියාා කියලා.ස්ටීව් අර important  business discussion එකේ උන්න නිසා මේ දවස් දෙකතුන කතාකරන්න ලැබිලා නෑ..හෙට ආවම තමයි මෙතන බලන්න වෙන්නෙ…”
බ්‍රයන් සිය උරහිසේ හිස හොවා හඬන මාලිකා සනසමින් පැවසුවේය.

ස්ටීව් පැමිණියේ සියලුම ව්‍යාපාර හමුවීම් සාර්ථක කොට ගෙනය.එහෙත් නෙලී නිවසින් නික්ම යෑම ඔහු කළඹා තිබිණ.මේ සියල්ල පිටුපස අදිසි හස්තයක්ව සිටින්නේ අම්මා බව ඔහුට සැකයක් විය.

“මට තේරෙන්නෑ බ්‍රයන්…අඩුගානේ ඇයි එයාට බැරිඋනේ අපිට කෝල් එකක් දෙන්න.මෙහෙම මොකක් හරි ප්‍රශ්නයක් ගෙදර ඇති උනානම් එයාට අපිට කියන්න තිබ්බා. දැන් මේ ෆෝනුත් ඩිස්කනෙක්ට් කරගෙන මොකක්ද එයා  කරන්න හදන්නේ.. මට ඔලුවම අවුල් බ්‍රයන්…”
ස්ටීව් සිය දෑතේ මුහුණ හොවා ගත්තේය.සිය ඥාතී සොහොයුරා ඇත්තෙන්ම සිටින්නේ කම්පනයක බව බ්‍රයන් වටහා ගත්තේය.

“නෙලී එහෙම කරදරයක් කරගන්න කෙනෙක් නෙවෙයි ස්ටීව්.එයාට එක්කෝ පොඩි බ්‍රේක් එකක් ඕනවෙන්න ඇති…සිල්වියා ආන්ටිගේ ප්‍රෙශර් එක එයාට අනිවාරයෙන්ම එන්න ඇති ඔයා ගියාට පස්සෙ.අපි චුට්ටක් බලමු.එයා අනිවාර්‍යයෙන්ම කෝල් කරාවි..”
බ්‍රයන් ඔහුගේ දෙවුරට තට්ටු කරමින් පැවසුවේය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here