රෑට කන්න ගොඩක් දේවල් හදන්න වෙලාවක් නැති එහෙම නැත්තන් කැමැත්තක් නැති වෙලාවකට, හවස තේ වෙලාවට වගේම අමුත්තන් ආව වෙලාවක පිළිඟන්වන්න විශේෂ දෙයක් ගැන හිතන වෙලාවක ලේසියෙන්ම හදාගන්න පුළුවන් තවත් රසම රස කෙටි ආහාරයක් ගැන ඔබට කියන්නයි smart lady අපි අද ඔබ එක්ක එකතු වෙලා ඉන්නෙ.
අද අපි හදමු ක්‍රිස්පි ගතියට හැපෙන චිකන් රෝල්.
මුලින්ම, අවශ්‍ය කළමණා සූදානම් කරගමු.
අවශ්‍ය ද්‍රව්‍ය
පිටි මෝලිය සඳහා
පාන් පිටි කෝප්ප 03 ක්
ලුණු කුඩු තේ හැඳි 01 ක්
දියකරගත් බටර් මේස හැඳි 03 ක්
තෙල් මේස හැඳි 02 ක්
වතුර
පිරවුම සඳහා
තම්බා කටු ඉවත් කරගෙන කුඩා තීරු වලට ඉරාගත් කුකුළු මස් කෝප්ප 02 ක්
තම්බා පොතු ඉවත් කරගෙන හොඳින් පොඩිකරගත් අර්තාපල් අල කෝප්ප 01 ක්
තෙල් මේස හැඳි 02 ක් හෝ 03 ක්
කුඩාවට ලියාගත් කරපිංචා ඉත්තක කොළ
අඟලක පමණ කුරුඳුපොතු කැබැල්ලක්
සිහින්ව ලියාගත් ලොකු ලූණු ගෙඩියක්
සිහින්ව ලියාගත් අමු මිරිස් කරලක් (ඔබ කැමති නම් නයි මිරිස් හෝ කොච්චි කරලක් දෙකක් එකතු කරගන්නත් පුළුවන්)
කෑලි මිරිස්
ලුණු කුඩු
ගම්මිරිස් කුඩු
කහ කුඩු
එහෙනම් දැන් අපි බලමු කොහොමද මේ චිකන් රෝල් හදාගන්නෙ කියල.
සාදාගන්නා ආකාරය
මුලින්ම, අපි පිටි මිශ්‍රණය හදාගමු.
තරමක් විශාල භාජනයක් ගෙන එයට පාන් පිටි, ලුණු කුඩු, දියකරගත් බටර් සහ තෙල් එකතු කර හොඳින් කලවම් කරගන්න.
ඊළඟට, වතුර ස්වල්පය බැගින් එකතු කරමින් අතේ නොඇලෙන මෘදු පිටි ගුලියක් සාදාගන්න.
දැන් මේ පිටි ගුලිය වතුර හොඳින් මිරිකාගත් තෙත රෙදි කැබැල්ලකින් වසා විනාඩි 30 ක් 40 ක් පමණ තබාගන්න.
පිටි ගුලිය තබාගන්න අතරතුරේ අපි පිරවුම හදාගමු.
භාජනයක් මඳගින්නේ ලිපේ තියල ඒ භාජනයට තෙල් ටික එකතු කරල තෙල් රත්වීගෙන එද්දි ලූණු, කරපිංචා, කුරුඳුපොතු සහ අමු මිරිස් එකතු කරල හොඳින් කලවම් කරගන්න.
ලූණු මැලවීගෙන එද්දි ඔබේ රස අනුව කෑලි මිරිස්, ගම්මිරිස් සහ ලුණු කුඩු එකතු කරල කහ කුඩුත් තේ හැඳි ¼ ක් විතර එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න.
දැන් මේ මිශ්‍රණයට තම්බාගත්තු කුකුළු මස් ටික එකතු කරල හොඳින් කලවම් කරගෙන ඔබ කැමති ප්‍රමාණයට කුකුළු මස් ටික බැදෙනකන් තියාගන්න.
කුකුළුමස් බැඳිලා ඉවර වුනාට පස්සෙ තම්බගෙන පොඩි කරගත්තු අල ටිකත් එකතු කරල හොඳට කලවම් කරගෙන රස බලල ලුණු මිරිස් අඩුවැඩිය එකතු කරල ලිපෙන් ඉවත් කරගන්න.
ලිපෙන් ඉවත් කරගත්තු මිශ්‍රණය නිමෙන්න තියාගන්න.
දැන් අපි කලින් හදාගත්තු පිටි මිශ්‍රණය පිටි ටිකක් ඉහගත්ත පැතලි මතුපිටක තියල රෝලක් හැඩේට රෝල් කරගන්න.
ඒ රෝලෙන් අඟලක අඟල් එක හමරක විතර පොඩි පොඩි පෙති කපාගන්න.
දැන් මේ කපාගත්තු කොටස් ටික වෙන වෙනම බෝල කරල පැත්තකින් තියාගන්න.
ඊළඟට, පැතලි මතුපිටට ආයෙම පිටි ටිකක් ඉහල අර බෝලයක් අරන් රෝලින් පින් එකක් හරි රවුම් වීදුරු බෝතලයක් හරි අරන් රොටියක් හැඩේට තුනී කරගන්න ඕන.
තුනී කරගත්තු පිටි රවුමෙ කෙලවරකට වෙන්න අපි හදාගත්‍ත කුකුළු මස් මිශ්‍රණයෙන් මේස හැන්ඳක් විතර තියල දෙපැත්තෙන් නමාගෙන රෝල් කරගෙන රෝල්ස් එකක් විදිහට හදාගන්න ඕන.
දැන් මේ විදිහට හදාගත්තු චිකන් රෝල් රන්වන් පාට වෙනකන් ගැඹුරු තෙලේ බැදගන්නයි තියන්නෙ.
එහෙනම් රසම රස තේ එකක් එක්ක චිකන් රෝල් එකක් මේ විදිහට හදාගෙන කමු නේද?
සටහන – දුලානි නවෝද්‍යා
ReplyForwardAdd reaction |