දක්ෂිණ විතානගේ, පපුව තදින් පිරිමැදගත්තේ ය. ඇතුළතින් පැමිණි ඒ රිදුම හෝ දැවිල්ල කුමක්ද කියා හඳුනාගන්නට ඔහු සමත් වූයේ නැත. ඕනෑ වූයේත් නැත. හෘත් ප්‍රහාරයකින් මේ රැයේ මේ යහනේ ම මිය ගියත් කම් නැතැයි ඔහු දෑස් පියවෙන්නට හරිමින් සිතුවේ ය. ඔහු සිදු කොට ඇති පාප කර්ම වල හැටියට, අහසේ හෝ මුහුදේ හැංගුණත් විපාක වලින් සැඟවී ගත නො හැකි වනු ඇත. පව් කරත්දී විපාක ගැන සිහි නො කොට ඒ මොහොතෙහි ආශ්වාදය ගැන පමණක් ලොල් වන මිනිසුන්, පමා වී විපාක වලට බිය වූවාට පලක් නැත.
ටික ටික රිදුම තුනී වී ගියේ කොයි වෙලාවක ද කියා දක්ෂිණ දන්නේ නැත. ඒ අතරේ ඔහු සිටියේ අන්තරා හා ඔහු අතර වූ බන්ධනය තුළ ය. කිසි දාක ජීවිතයෙන් මුලිනුපුටා දැමිය නො හැකි මතකයන් තුළ ය. ජීවිතයේ බොහෝ අත්විඳීම් ඔහු කුළුඳුළේ අත්වින්දේ ඈ සමගිනි. වෙනතක බැඳී, ඇයට ඔහු දැවැන්ත වරදක් කළේ ය. ඈ වූ කලී ඔහු විශ්වාස කොට, රටක ගරු බුහුමනට ලක් වන්නා වූ මව් දෙමව්පියන් අතැර ඔහු සමග පැමිණි ගැහැනියකි. ඈ අත්හළේ දෙමාපියන් පමණකුදු නොවේ. ඒ සමග කීර්තිය යසස හා මහා පරපුරක් ද ධන සම්භාරයක් ද අළුයම ලූ ඛේට පිඬක් සේ අත්හැරියා ය. එද දෙවරක් නො සිතා ය. එහෙව් ගැහැනියට දුන් ගින්දරෙහි ගින්දැල් විසින් දිනෙක ඔහු හළු කොට දමනු ඇතැයි බියක් දැන් දැන් දක්ෂිණ වටකොට නැගේ.
“ඔයා ඩිවෝස් එක ලෑස්ති කරන්න දක්ෂිණ. මං සයින් කරන්නං”
හෝරා කිහිපයකට පෙර ශාන්ත දාන්ත ඉරියව් වලින් ඇය අවසාන තීන්දුව දුන් හැටි සිහි වෙත්දී දක්ෂිණ ඉරිතලා යයි. ගෙවල් දෙකක පවුල් දෙකක් නඩත්තු කරනා ප්‍රකට නැට්ටුවා ඔහු ය. වර්තමාන සමාජයේ, දක්ෂිණ විතානගේ නර්තනාචාර්යවරයා වෙත සිය දරුවන් යොමු කොට නැටුම් උගන්වන එක දෙමාපියන් අතරේ විලාසිතාවකි. දක්ෂිණ ගේ ගෝලයෙකු යයි කියාගන්නා එක ආඩම්බරයකි. අමතර බැබළීමකි. සිය සිසුවියක සමගින් ඇති කරගත්තා වූ පෙම් හබයක් දුර දිග ගොස් ඇය සමගින් පවුල් කන තත්වයට ඔහු පත් වූ බැව් සැබවි. දක්ෂිණ ඇයට අසාධාරණයක් කළේ නැත. ඇගේ දරුවන්ට පියෙකු අහිමි කළේ ද නැත. නමුත් අන්තරා ස්වරාවී ගන්ධාරා අත්‍හැර යන්නට ඔහු ට කිසි දා අවැසි නොවිණ. ඔවුන් තව දුරටත් එක් කාමරයක් බෙදා ගත යුතු නැති බවට තීන්දුවක් ගත්තේ ද අන්තරා ය. ඇයට එරෙහිව වචනයක් හෝ කියන්නට දිරියක් නොවූ හෙතෙම මතු මහලේ කාමරයක නිදන්නට ගියේ ඉනික්බිති යි.
දැන් අන්තරා දික්කසාදයක් ගැන කියත්දී, ඔහු තවදුරටත් මේ ගෙදරට පැමිණීම අවැසි නැති බව කියත්දී දක්ෂිණ ගේ පපුව රිදෙනා එක අරුමයක් ද? ඔහු තවමත් එවැන්නකට සූදානම් නැති බව ඇයට කියන්නට තරම් දිරියක් ඔහු ට කොයින් ද?
අන්තරා කොට්ටය තෙත් වන තුරු ම හැඬුවා ය. සැබවින් ඇයට හඬන්නට ඕන වුණා නොවේ. නමුත් කඳුළු ඔහේ ගලා ගියේ ය. අද තව වෙන තුරා දක්ෂිණ වූ කලී ඇගේ ප්‍රථම හා එක ම ප්‍රේමයයි. නමුත් ඒ ප්‍රේමය ඔහු විසින් ගෙල සිරකොට මරා දමා කාලයක් ගත වී තිබේ. ඇයට දුක ය. නමුත් ඒ ඇබ්බැහියක් නිසා හටගත් දුකක් බව ද ඈ දනී. තවමත් ඈ ඇබ්බැහි වී සිටිනුයේ ඔහුටයි. ඒ ඇබ්බැහිය බිඳ දැමිය යුතු ය. කඳුළක් ලෙසින් හෝ ඔහු පිට කොට හැරිය යුතුව තිබේ!
දක්ෂිණ ව මුලින් ම දකිනා විට අන්තරා ට වයස පහළවක් දහසයක් වන්නට ඇත. එවකට දිවයිනේ ප්‍රකට ම කලායතනය වූයේ තරුමුතු කලායතනයයි. එහි සමාරම්භකයෝ, භානුක ජිතේන්ද්‍ර මුතුමුදලි හා තරුපති අමුණුගම යන අතිදක්ෂ ගාන්ධර්වයා හා නැටුම් ශිල්පියා වෙත්. භානුක හා තරුපති මුලින් ම හමු වී තිබෙන්නේ මහනුවර ත්‍රිත්වයේ දී ය. අමුණුගමලා පාරම්පරික නැට්ටුවෝ වෙති. උඩරට නැටුම් ශිල්ප ක්‍රම වල මහා උරුමකරුවෝ වෙති. ශ්‍රී දළදා වහන්සේ මහනුවර ස්ථාපනය කළ ඉක්බිති, දළදා වහන්සේ වෙනුවෙන් උදේ හවා හේවිසි තේවා මුර වැයීමේ මූලිකත්වය ගත්තේ අමුණුගම පරපුර ප්‍රමුඛ උඩරට නැටුම් පරම්පරා ය. දළදා පෙරහැරෙහි දළදා වහන්සේ වැඩමවන හස්ති රාජයා ඉදිරියෙහි නර්තනයෙහි යෙදෙනුයේ අමුණුගම නර්තන පරපුරෙහි වෙස් නැට්ටුවන් ය. තරුපති අමුණුගම ට සිය පරපුරෙන් ඒ සියල්ල උරුම වී තිබිණ. හිතමිතුරු භානුක ඉන්දියාවේ ලක්නව් හි භාත්ඛණ්ඩේ සංස්කෘතික විශ්ව විද්‍යාලයෙන් රාගධාරී සංගීතය පිළිබඳ ගාන්ධර්වයෙකු වී මව්රට පැමිණි ඉක්බිති, දෙදෙනා එක්ව තරුමුතු කලායතනය පිහිටුවාගත්හ. තරුපති ගේ නමින් කොටසක් හා භාණුක ගේ වාසගම වන මුතුමුදලි යන්නෙන් කොටසක් ගෙන කලායතනයට තරුමුතු යන නම තැබූයේ දෙදෙනාට එහි වන සම අයිතිය ප්‍රකටකරනු වස් ය. තරුපති දේශීය නැටුම් පිළිබඳ නර්තනාචාර්යවරයා වූයේ ය. භානුක පෙරදිග රාගධාරී සංගීතාචාර්යවරයා වූයේ ය.
භානුක භාරතයේ සිට මව්රට පැමිණියේ ගාන්ධර්ව උපාධිය පමණක් රැගෙන නොවේ. සංස්කෘතික විශ්ව විද්‍යාලයෙහි භරත, මණිපුරි, කථක්, කථකලි සම්ප්‍රදායික නර්තනයන් හැදෑරූ පෙම්වතිය කිෂෝරි රායි ව ඉන්දියානු සංස්කෘතික මංගල්ලයකදී විවාපත් කරගෙන ය. ලංකාවේ දී ඔවුන් උඩරට චාරිත්‍රානුකූල විවාහ උත්සවයක් ද පැවැත්වූ බවට සාක්ෂි දරනා ඡායාරූප එකතුවක්, අන්තරා ගේ මහගෙදර අදටත් සුරක්ෂිත ව තිබේ.
තරුමුතු කලායතනයේ උඩරට නර්තනාචාර්යවරයා ගේ දක්ෂතම සිසුවා වූයේ දක්ෂිණ විතානගේ යි. එවකට අන්තරා ස්වරාවී ගාන්ධාරා කලායතනයෙහි සකලවිධ කලාවන් ප්‍රගුණ කරමින් උන් නව යෞවනියක වූවා ය. පියාණන් යටතේ ගායනය හා වාද්‍ය භාණ්ඩ වාදනය උගත් ඕ, මව් වෙතින් සම්ප්‍රදායානුකූල ඉන්දීය නැටුම් හැදෑරුවා ය. ඈ උඩරට නැටුම් නැටුවේ තරුපති අමුණුගම ගුරු කොටගෙනයි. තරුපති ගේ අභිමානවත් තාණ්ඩව නර්තන ලක්ෂණයන් අංශුවක අඩුවක් නැතිව උකහාගෙන නටන දක්ෂිණ ගේ පුරුෂ ලක්ෂණ කෙරේ, නව යොවුන් අන්තරා ගේ හදවත වේගයෙන් බැඳෙමින් තිබිණ. ප්‍රේමය යනු ජීව රසායනීය ක්‍රියාවලියකි. කෙනෙකු තුළ උත්පාද වන්නා වූ පෙම් හැඟුම්, ඊට විෂය වන්නා වූ අනිත් පාර්ශවයට ද එලෙසින් ම සංවේදනය වීම ඒ ජීව රසායන ක්‍රියාවලියේ ප්‍රතිඵලයකි. කිසිදු පවුල් පසුබිමකින් තොරව නර්තනය හදාරමින් සිටි තුරුණු නැට්ටුවාට අන්තරා පෙනුණේ වාසනා නිධානයක් ලෙසිනි. ජාතියක් ගරු කරන ගුරුදේවයන් දෙපළකගේ එක ම දුහිතෘව ඔහු ගේ කරගැනීම තුළ, දක්ෂිණ ස්වර්ණමය අනාගතයක් මනසින් සිත්තම් කළේ ය.
ටික කාලයක් හැංගි හොරා මේ ප්‍රේමය ගලා ගියේ ය. නමුත් කැස්ස හා ආලය සඟවා තැබිය නො හැකි යයි කතාවක් තිබේ. භානුක ගේ අතට ඔවුන් ගේ පෙම් හබය හසු වූ දවසේ හෙතෙම දියණිය කෙරේ ඉතා තදින් ක්‍රියා කළේ ය. දක්ෂිණ සමග වන සබඳතාව ඒ මොහොතේ ම නතර කළ යුතු බවට අනතුරු ඇඟෙව්වේ ය. නමුත් දක්ෂිණ ගේ ප්‍රේමයේ දැලෙහි පැටලීගෙන සිටි අන්තරා ට ඔහු නැති හෙටක් ගැන සිතීම පවා භයානක අත්විඳීමක් විය. ලෝකයට ම රහසින් පලා ගොස් උනුන්ගේ වන්නට දක්ෂිණ කළ යෝජනාවට එකඟ වන විට අන්තරා ට වයස යන්තම් විස්සක් වූවා පමණකි.
තරුපති ගේ හා භානුක ගේ හදවත් ගැඹුරෙහි වූ ප්‍රාර්ථනා සිඳී ගියේ ඉනික්බිතියි. සිය දූ පුතුන් දෙදෙනා අතරේ විවාහයක් සිදු වී ඔවුන් ගේ පවුල් අතරෙහි වූ මිත්‍ර බන්ධනය නෑකමකට පෙරළා ගන්නා රහස් පොරොන්දුවක් ඔවුනතර විය. ඒ බලාපොරොත්තු සුන් වී ගිය ඉක්බිති, විදේශ අධ්‍යාපනය ලබමින් සිටි පුත්‍ර රත්නය පෙරළා මව්බිම පැමිණි කල, තරුපති සිය දක්ෂතම සිසුවිය ලේලි කරගත්තේ ය.
අතීතය සැකෙවින් එසේ ය. මේ අවසානය සාක්ෂාත් වන තුරාවට කී දෙනෙකුගේ නම් බලාපොරොත්තු බිඳී ගියේ ද? ඉරණම විටෙක සරදම් කරන්නේ ද? අන්තරා තව තවත් හදවත පාෂාණිභූත කරගත්තා ය. වෙන්නට තිබුණේ මෙය නම්, කවර මාර්ගයක කරක්ගසා හෝ අවසන එය ම සිදු වන එක නියතයකි. වැළකිය නො හැකි නියතයකි.
අළුයම, අන්තරා විසින් තනා දෙන ලද කිරි කහට කෝප්පය බී දක්ෂිණ නික්ම ගියේ ය.
“තව ටිකක් හිතන්න”
ඔහු අමාරුවෙන් එසේ කොඳුරාගන්නට සමත් වූයේ ය. අන්තරා රන් රුවක් සේ නො සෙල්වී ඔහු යන දෙස බලා සිටියා ය. දක්ෂිණ නො දන්නවා වුණාට ඒ වෙත්දීත් ඇය හිතෙන් හිස් වී කාලයක් ගෙවී ගොසිනි.
පාරින්දි ගජනායක විදුලි සෝපානයට ගොඩ වූයේ සුසුමක් හෙළමිනි. අද මේ සහභාගී වූයේ කීවෙනි සම්මුඛ පරීක්ෂණයට ද කියා මතක නැති තරමි. දැනුම් දෙන බව කීවාට කිසිදු තැනකින් තවමත් ඈ සේවයට කැඳවූයේ නැත. රැකියාවක් සොයා ගැනීම මේ තරම් දුෂ්කර වෑයමක් බව, ඊට ප්‍රවේශ වීමට පෙර සුරංගනා ලෝක මවාගෙන සිටියදී ඈ දැන සිටියේ නැත.
“ජොබ් එකක් හරියන්න වෙලාව එන්නත් ඕනෙ. ඒ වෙලාව එනකල් අම්මේ මුත්තේ කිව්වත් හරියන්නෑ තමයි”
ආච්චා නිතර කියන කතාව මේ මොහොතේදීත් පාරින්දි ගේ ඇතුලාන්තයෙහි එහෙ මෙහෙ වෙමින් තිබිණ.
විදුලි සෝපානය නතර වූයේ කීවෙනි තට්ටුවේ ද කියා හෝ ඊට ගොඩ වූයේ කවුද කියා හෝ උනන්දුවක් පාරින්දි ට නොවිණ. නමුත් ඊට ගොඩ වූ පිරිමි රුව ඈ දෙස විමසිලිමත් බව දැනුණෙන් ඈ නෙතු අයා බැලුවා ය. සුදු අත් දිග කමිසයකින් ද කළු කලිසමකින් ද සැරසුණ උස් දේහයක්, පුළුල් උරයක් හා සැහැල්ලු සිරුරක් සහිත ඒ රුවෙහි කුමක් හෝ හුරුපුරුදු බවක් ඇයට දැනිණ. ඔහු ද බලා සිටියේ ඇය හඳුනාගැනීමේ මෙහෙයුමක අවසාන අදියරෙහි ය. බ්ලේසරය අනිත් අතට මාරු කරත්දී සියල් බාධක බිඳ දමාගෙන අමතක අතරින් ඔහු ට ඇය සිහි විය. පාරින්දි ට ඔහු සිහි වූයේත් ඒ වෙලාවේ ම ය. දෙදෙනා ගේ ම මුහුණු මත එක ම සිනහවක් සරැලි නැගුවේ ය.
“එදා කොෆී ශොප් එකේ…”
දෙදෙනා ම එසේ කියන්නට පටන් ගත්තේ එකට ම ය. සිහහවකින් දෙදෙනා ම ඒ වාක්‍ය අසම්පූර්ණ ලෙස අවසන් කළහ.
යුගාත්ම ට දැනෙමින් තිබුණේ අසමසම වූ ප්‍රහර්ශයකි. මුලින් පුස්තකාල ශ්‍රවණාගාරයේදීත්, දෙවනුව කෝපි හලෙහිදීත් දැනුණ ඒ සුවඳ ගැන ඉවක් යළි කෙසේ සොයා ගම්දැයි ඔහු නො දැන සිටියේ ය. එය සිදු විය නො හැකි දෙයක් ලෙස ද ඔහු අකමැත්තෙන් වුව තීරණය කොට තිබිණි. නමුත් දැන් දෙනෙත් අබියස ඒ එක් යුවතියක් පහළ වී හිඳී. ජීවිතය තුළ ප්‍රාතිහාර්ය සිදු විය හැකි ද කියා යුගාත්ම දන්නේ නැත. නමුත් ඉතා තදින් අවශ්‍ය වූ යමකට සමීප වීමේ කවර හෝ මාර්ගයක් ඔහු ට විවෘත වී ඇති බව පිළිගත යුතුව තිබේ.
“කොහෙද ඉතිං මේ…”
යුගාත්ම කොතැනකින් හෝ ආරම්භයක් ගන්නට බැලුවේ ය. පාරින්දි උනන්දු සිනහවකින් සම්මුඛ පරීක්ෂණය ගැන කීවා ය.
“කෝ අද යාළුව…”
යටපත් කරගන්නට බැරි ලෙස ඒ පැනය ඉස්මතු වූයේ ය. පාරින්දි ගේ සිනහව පුළුල් විය.
“අන්තරා ද… අද එයා නෑ”
ඈ එසේ කීවේ “එයා දිහාට තමයි මෙයා ඇහැ දදා ඉඳල තියෙන්නෙ” යි සිතින් සිතමිනි. ජංගම දුරකතනය දෙසට දෑස් යොමු කරගනිමින් අන්තරා ගේ දුරකතන අංකය සොයත්දීත් පාරින්දි ගේ මඳහස මුව මත පොපියමින් තිබිණ. අන්තරා මියුරු හඬින් “ගුඩ් මෝනිං පාරින්දි” යයි කීවේ විදුලි සෝපානය බිම් මහලෙහි නතර වී දොර විවර වත්දී ය. යුගාත්ම මුලින් පාරින්දි ට පිටතට යාමේ අවස්ථාව දුන්නේ ය.
“ගුඩ් මෝනිං අන්තරා. මේ… යාළුවෙක් ඉන්නව. පොඩ්ඩක් ඉන්නකො…”
ඇය යුගාත්ම වෙතට දුරකතනය පෑවේ අන්තරා කුහුලින් යුතුව “කවුද” කියා අසත්දීම ය. ඒ පැනයට පිළිතුරු දෙන්නට පාරින්දි ට උවමනා වූයේ නැත. අහම්බෙන් දිනකට දෙකකට පෙර හමු වූ ඇයත් තමාත් දන්නා පොදු යහළුවා කව්දැයි අන්තරා ට සිතාගත නො හැකි විණි.