කාලතරණය

එක දිගටම මලයාලම් සහ හින්දි චිත්‍රපට ගැන ඉඟි ගෙනාව නිසා අද අපි ඔබට කියන්න යන්නේ ටිකක් වෙනස් චිත්‍රපටයක් ගැන. 2018 අවුරුද්දේදි තිරගත වුණ ස්පාඥ්ඥ අභිරහස්, අද්භූත කතන්දර පිරුණු ඒ වගේම කාල තරණය ගැනත් කියවෙන මේ චිත්‍රපටයේ නම මිරාජ්. අවුරුදු ගානකට කලින් නිර්මාණය වුන චිත්‍රපටයක් වුනත්, මේ චිත්‍රපටයේ පරණ බවක් නම් නැහැ. ආරම්භයේ ඉඳගෙන අවසාන වෙනකම්ම එකම අවධානයෙන් බලන්න ඕනි චිත්‍රපයටක් කියලාත් මේ චිත්‍රපටය ගැන අපිට කියන්න පුලුවන්. එහෙම නැත්නම් එක තැනකින් කතාව මඟ හැරුනොත් ආයේ කතාව යන දිහාවක් හිතාගන්නත් බැරි වෙනවා.

1989 දී බර්ලින් තාප්පය බිඳ වැටෙන කාලයේ බටහිර යුරෝපය හරහා ඉතාම දරුණු සුළි කුණාටුවක් හමාගෙන යනවා. මේ සුළි කුණාටුව නිසා මේ අවට ප්‍රාදේශවල විශාල විද්‍යුත් චුම්බක කැලඹිලි තත්වයක් පවා හටගෙන පරිසරයේ තත්වය අස්තාවර වෙනවා. මේ විදියට එලියේ ඉතාම දරුණු සහ බරපතල තත්වයක් තියෙද්දී නිකෝ කියන පිරිමි ළමයා එයාගේ ගේ ඇතුලට වෙලා එයාගේ ගිටාර් එකෙන් එක එක තාල වාදනය කරමින් සැහැල්ලුවෙන් ඉන්නවා. ඒ අතරේදී නිකෝගේ අම්මා රාත්‍රී වැඩමුරයට පිටත් වෙලා යනවා. ඒ ගියාට පස්සේ බීමතින් ඉන්න කාන්තාවක් නිකොගේ අල්ලපු ගෙදරට ඇතුල් වෙනවා. අම්මා ගියාට පස්සේ ගේ ඇතුලට වෙලා ඉන්න නිකෝට එක පාරටම මහ සද්දෙන් කෑ ගහන හඬක් ඇහෙනවා. හෙමින් සීරුවේ ජනේලෙන් එබිලා බලන නිකෝ දකිනවා ඔවුන්ගේ අසල්වැසියන් දෙදෙනා වෙන ඒන්ජල් සහ හිල්ඩා මහ සද්දෙන්  කෑ ගහගෙන රණ්ඩු වෙනවා. ටික වෙලාවකට කලින් බීමතින් නිවසට ඇතුලු වෙලා ඉන්න හිල්ඩා ඒන්ජල් එක්ක උස් හඬින් කෑ ගහනවා.

මෙතනදී දෙන්නා රණ්ඩු වෙලා කරදරයක් කරගනීවි හිතන නිකෝ අල්ලපුගෙදර පිටිපස්සේ දොරෙන් ඇතුලට යනවා. ඒත් එක්කම නිකෝ දකින්නේ  හිල්ඩා මිය ගිහින් ඉන්න විදිය. සිද්දිය දැක්කට පස්සේ කලබල වෙන  නිකෝ මහ හඬින් හිල්ඩාට කතා කරනවා. ඒත් එක්කම නිකෝ දකිනවා පිහියකුත් අතින් අරගෙන එන ඒන්ජල් ව. ඊට පස්සේ ඒන්ජ්ල්ට බය වෙන නිකෝ එකපාරටම ගෙදර ගේට්ටුවෙන් එලියට පැනලා දුවනවා. ඒත් නිකෝට වැඩි දුරක් දුවන්න ඉඩ ලැබෙන්නේ නැහැ. නිකෝව පාරේ වේගෙන් ආව මෝටර් රියකට හැප්පෙනවා. නිකෝ එතනම මිය යනවා. ඒ අතරවාරයේ පොලිසියෙන් ඇවිල්ලා ඒන්ජල්ව අත් අඩංගුවට ගන්නවා.

ඊට පස්සේ චිත්‍රපටය 2014 අවුරුද්ද දිහාවට එනවා. විරා සහ ඩේවිඩ් කියන යුවල සහ ඔවුන්ගේ දියණිය වුන අවුරුදු තුනක විතර වයස දියණියත් එක්ක නිකෝ ජීවත් වුන ගෙදර පදිංචියට එනවා පෙන්නවා. වීරා හෙද නිළධාරිනියක් විදියට සේවය කරන අතරේ ඩේවිඩ් රැකියාව කරන්නේ බැංකු නිළධාරියෙක් විදියට. ස්නායු ශල්‍ය වෛද්‍යවරියක් වෙන්න ඉගෙන ගෙන තියෙන වීරා තමන්ගේ ඒ හීනය කැප කරලා තියෙන්නේ ග්ලෝරියා ලැබුනට පස්සේ.

දවසක් වීරා ඩේවිඩ් එක්ක ගෙදර කාමරයක් අස් කරමින් ඉන්නකොට නිකෝගේ පරණ කැමරාවකුයි රූපවාහිනී යන්ත්‍රයකුයි හම්බවෙනවා. ඒ වගේම ඒ ළඟින්ම ටේප් රෙකෝඩර් වගේකුත් තියෙනවා. මේ ඔක්කොම හමු වුනාට පස්සේ, ඩේවිඩ් මේ තුනම එකිනෙකට සම්බන්ධ කරලා බලනවා. ඒ හැම රෙකෝඩ් එකකම තියෙන නිකෝ තමන්ගේ ගිටාරය වාදනය කරන දර්ශන දකින මේ දෙන්නා ඒ දිහා පුදුමයෙන් බලාගෙන ඉන්නවා.

ඊට පස්සේ මේගොල්ලෝ සාලේ කෑම කන ගමන් රූපවාහිනිය නරඹනවා. එවෙලේ පුදුම සහගත දෙයක් සිද්ද වෙනවා. මීට අවුරුදු ගානකට කලින් බර්ලින් තාප්පය බිඳ වැටීමේ සිදුවීම රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයේ විකාශය වෙනවා. වීරා වගේම ඩේවිඩ් දෙන්නා ඒ දිහා බලාගෙන ඉන්නේ පුදුමෙන්.ඒත් එක්කම අපට මතක් වෙනවා, මීට අවුරුදු ගානකට කලින් නිකෝ එයාගේ අම්මා එක්ක නැරඹුවෙත් මේ පුවත් විකාශයම නේද කියලා.

පහුවෙනිදා උදේම වීරා සහ ඩේවිඩ් යුවල ඔවුන්ගේ අසල්වැසියන් වුන ක්ලේරා සහ ඒඩෝර්ට  රාත්‍රී ආහාර වේලකට ආරාධනා කරනවා.  කෑම කන අතරෙදී ඩේවිඩ් කියනවා පහුගිය දවසේ රෑ සිදු වුන සිදුවීම.

” දන්නවාද ?  බර්ලින් තාප්පේ බිඳ වැටුන දවස් වල නිව්ස් එකක් අපේ ටීවී එකේ ලයිව් පෙන්නුවා.. ඇත්තටම පෙන්නුවා…”

ඒත් කිසිම කෙනෙක් ඒක විශ්වාස නම් කරන්නේ නෑ. ඒ අතරේ අපට හෙලිදරව් වෙනවා ඩේවිඩ් එක්ක විවාහ වෙන්න කලින් වීරාට මේ අසල්වැසි නිවසේ සිටින එඩෝර් එක්ක සම්බන්ධතාවක් තිබිලා තියෙන බව. ඒත් ඩේවිඩ් සහ එඩෝර් අතරේ කිසිම ප්‍රශ්නයක් තියෙන බවක් පේන්න නැහැ. ඔවුන් සමීප හිතවතුන් වගේ ඉන්නවා.

ඊට පස්සේ ඩේවිඩ් තමන් බලපු වීඩියෝ ටේප් වල උන්න ළමයා ගැන කියනවා. ඒ කියනකොට එඩෝර්ට වැටහෙනවා ඒ කියන්නේ කවුරුන් ගැනද කියලා.

” නිකෝ කියන්නේ මගේ හොඳම යාලුවා… එයා 1989 දී නැති වුනා. මේ ගෙදර උන්න ඒන්ජල් කියන කෙනා ඔහුගේ බිරිඳ මරපු සිදුවීම නිකෝ දැකලා තියෙනවා… ඒ දැකපු බව ඒන්ජල් දැක්ක නිසා ඒන්ජ්ලගෙන් බේරෙන්න දුවනකොට තමයි පාරේ ආව කාර් එකක නිකෝ හැපිලා තියෙන්නේ .. දක්ෂ කොල්ලා … අහිංසකයා … පාරෙදීම නැති වුනා….”

ඒඩෝර් බොහොම සංවේදීව මෙහෙම කියනකොට ක්ලාරා කලබල වෙනවා. යම් නොරිස්සුමක් සහ නොසන්සුන් බවක් පෙන්නවා.

” ඔය කතා කියලා ග්ලෝරියාව බය කරන්න එපා එඩෝර් …”

ඊට පස්සේ එදා රෑ ඩේවිඩ් නිකෝ සහ ඒන්ජල් ගැන තව විස්තර හොයනවා. ඔහුට ලැබෙන එක ලිපියක තියෙනවා, ඒන්ජල් සිරගත කරලා මාස කිහිපයකින් සියදිවි නසාගත්තා කියලා. ඒ අතරේ එදා රෑ තදට අකුණු ගහලා වහින්න ගන්නවා

 නිදාගෙන උන්න වීරා සාලෙන් ඇහුන හඬක් නිසා තිගැස්සිලා ඇහැරෙනවා. චකිතයෙන් සාලේට යන වීරා දකින්නේ ඔවුන් එදා දැක්ක පුවත ආයෙම වාදනය වෙමින් තියෙන බව. වීරා රූපවාහිනිය ක්‍රියා විරහිත  කරන්න සූදානම් වෙනකොටම නිකෝ ඔහුගේ ගිටාරය එක්කම  රූපවාහිනියෙන් මතුවෙනවා.

වීරා හොඳටම බය වෙලා රූපවාහිනිය ක්‍රියා විරහිත කරන්න උත්සාහ කරනවා

එතකොට රූපවාහිනියේ එහා පැත්තේ ඉන්න නිකෝ දකිනවා කැමරාව ඇතුලේ කවුරු හරි ඉන්නවා. ඒ ඉන්න කෙනා වීරා බව අපිට පෙන්නවා.

ඒත් එක්කම නිකෝගේ අම්මා වැඩට යන්න නිකෝට සමුදෙනවා.

ඊට පස්සේ නිකෝ වීරා දිහා බලලා ඇයට කතා කරනවා.

” ඔයාට මාව ඇහෙනවාද ?..”

හොඳටම බය වෙන වීරා ඔව් කියලා උත්තර දෙනවා. අන්තිමේදී ඒ දෙන්නා කතා කරන්න පටන් ගන්නවා.

එතනින් පස්සේ චිත්‍රපටය ඉතාම අවධානයෙන් බලන් උන්නේ නැත්නම්, ඔබට වටහා ගන්න අපහසු වෙනව. කාලතරණ ඒකක තුනක් වටේ ගෙතෙන මේ විදෙස් චිත්‍රපටය කම්මැලි නැතිව බලලා අවසන් කරන්න පුලුවන් බව නම් විශ්වාසයෙන් කියන්න පුලුවන්. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles