ධීර නිවස දෙසට රථය ධාවනය කළේ කම්පාව මුසු කල්පනාවකිනි.
” මං කවදාවත් මගේ අම්මවයි තාත්තවයි දැකලා නෑ. මට තේරෙන කාලෙ ඉඳලම මං හැමදාම රෑට ඒ දෙන්නව මට මුණගැහෙන්න කියලා ප්‍රාර්ථනා කරා. ඒත් ඒක කවදාවත් ඉෂ්ට වුණේ නැහැ.ඒ ඇරෙන්න මං ප්‍රාර්ථනා කරපු අනිත් හැමදේම මට ලැබුණා. ඒ නිසා මට ඕන උනේ මං වගේම අසරණ වෙච්ච ළමයින්ට කවද හරි හෙවනක් වෙන්න. අදටත් මගේ ජීවිතේ මට හරිම පාළුයි. ඒත් මං කොහොම හරි ජීවත් වෙනවා ධීර ”
තාදී ඒ වචන කියාගෙන ගියේ මුහුණේ හිනාවක් හෝ දුකක් හෝ නැතුවමය. හිත රිදී අවසානයේ ඇතිවන හිස් හැඟීමක් ඒ මුහුණේ දිස් වෙන්නට විය.
රිය ධාවනය කරන අතරතුර තාදීගේ ඒ මුහුණේ තිබූ හැඟීම ධීර ගේ සිතින් මැකී ගියේම නැත.
ජයමිණි සාලයේ වාඩි වී සිටියේ ධීර එනතුරු ය. ඒත් කල්පනාවේ නිමග්න වී නිවසේ තරප්පු පේළිය නගින ධීර සාලයේ වාඩිවී හුන් ජයමිණිව දුටුවේ නැත.
” පුතා ”
ජයමිණි ධීර ට කතා කළේ පුදුමයෙනි. ධීර ගැස්සී බැලුවේ ජයමිණිගේ හඬට ය.
” සොරි අම්මා. මම ඔයා ඉන්නවා දැක්කේ නෑ ”
ධීර එසේ කියමින් නැවත තරප්පුව බැස්සේය.
” ඔයා හිටියේ වෙන කල්පනාවක ”
ධීර ජයමිණි ලඟින් වාඩි වී උකුලෙන් හිස තියා ගත්තේ ය. ඔහු ඔවැනි අකාරයට හැසිරෙන්නේ හිතේ කරදරෙන් සිටිනා විට බව ජයමිණී අත්දැකීමෙන්ම දනී.
” පුතා.. ඇයි ? ”
” හිතට ටිකක් හරි නෑ වගේ අම්මා ”
” මං දන්නවා. මං අහන්නේ ඇයි කියලා ”
ධීර ට සුසුමක් හෙලුනේ ඉබේටමය.
” තාත්තා කිව්වද මං අද හොටෙල් එකට යන්න පරක්කු උනේ ඇයි කියලා ?”
” ඔව් මට විස්තර කිව්වා. ඇක්සිඩන්ට් එකක් ගැන ”
” ඒ ගර්ල් පව් අම්මා ”
” ඇයි ? ”
ධීර තාදී ගැන විස්තර කියද්දී ජයමිණි එය අසා උන්නේ සාවධානව ය.
” ඒ ළමයට පව් කියන්න ඕන නෑ හරි නම් ”
ජයමිණි අන්තිමට කීවාය.
” ඇයි අම්මා ඒ ? ”
ධීර වාඩි වූයේ ය. ඔහුගෙ මුහුණේ වූයේ පුදුමය මුසු වූ බැල්මකි.
” අනාත නිවාසෙක හැදිලා වුණත් තමන්ගේම බිස්නස් එකකුත් කරගෙන වාහනයකුත් ගන්න තරම් ඒ ළමයා කොච්චර මහන්සි වෙලා වැඩ කරන්න ඇතිද ? කොච්චර කැපවීමක් කරන්න ඇතිද ? ඒ ළමයා ඇවිල්ල තියෙන දුර බලද්දි මේ ඇක්සිඩන්ට් එක පොඩි දෙයක් වෙන්න පුළුවන් පුතා. මිනිස්සුන්ට ඔයිට වඩා දේවල් ජීවිතේ සිද්ධ වෙනවා. ”
අම්මා කියනා කතාවේ ඇත්තක් ඇති බව සිතමින් ධීර සිනාවක් පා ආයෙමත් තරප්පු පේළිය නැග්ගේය.
තාදී ට තවත් දින කිහිපයක් රෝහලේ ගත කරන්නට සිදු විය. ඒ කාලය ඇතුලත ධීර දෙතුන් වතාවක් පමණ තාදීව බලන්නට පැමිණි අතර ඒ සෑම වතාවකම තාදී අසල කවුරුන් හෝ සිටි නිසා නිදහසේ ඇය සමග කතා කරන්නට අවස්ථාවක් ධීර ට ලැබුනේ නැත.
සාමාන්‍ය ජීවිතයට හුරු වන්නට තාදිට තවත් සතියක් දෙකක් පමණ ගත වූ අතර ඒ කාලය තුළදී ගයාත්‍රී සහ නැනෝ අම්මා ව්‍යාපාර කටයුතු සහ නිවාසයේ කටයුතු මැනවින් කළමනාකරණය කරගෙන තිබුණි.
” ඕගොල්ලෝ මං නැතුව උනත් මේවා හොඳට කරගෙන තියෙනවනේ. ”
තාදී කීවේ අනතුරෙන් පසුව ” Clothez ” වෙත පැමිණි පළවෙනි දිනයේ ය.
” පොඩි පොඩි හැම වැඩක්ම ඉවර කරලා අපි බාර දුන්නා. වෙනදට ඉතිං මිස් තනියම ඔක්කොම මහනවනේ ”
” ඒකට කමක් නෑ. මගේ කෙල්ලෝ ටික එකතු වෙලා ඔය ලස්සනට වැඩ කරලා තියෙන්නේ ”
තාදී කීවේ ඇගේ කාර්යාලයේ පුටුවේ වාඩි වෙමිනි.
” මම පුළු පුළුවන් වෙලාවට නිවාසෙටත් ගියා මිස්. නැනෝ අම්මා රාණි එක්ක ඔක්කොම වැඩ ටික කරගෙන තිබුණා ”
ගයාත්‍රී කියාගෙන ගියාය. තාදී දුරකතනය ගෙන මුහුණු පොතට පිවිසි එහා මෙහා යන අතරතුර ගයාත්‍රී ට සවන් දෙමින් උන්නා ය.
” ධීර ගජනායක ” ගෙන් තාදී ට මිතුරු ඇරයුමක් ආවේ ඔය අතරය. තාදී ඔහුගේ ඡායාරූප එකින් එක බැලු අතර ධීර නිරන්තරයෙන්ම මිතුරන් සමඟ ගැවසෙන විනෝදකාමියෙකු යැයි තේරුම් ගත්තා ය.
තාදී තමන් යැවූ මිතුරු ඇරයුම පිළිගෙන තිබූ බව ධීර දුටුවේ හවස් යාමයේය. හෝටලයේ කළමනාකාරිත්වයේ වැඩ භාරගෙන තිබූ නිසා ධීර මේ දිනවල සිටියේ ඉතා කාර්යබහුල වීය.
තාදී ගේ දුරකථන අංකය ඇය රෝහල් ගතව සිටි දිනවල හුවමාරු කර ගෙන තිබුණත් ධීර ඇයව අමතන්නට ගියේ නැත. අනෙක් අතට ඇයව අමතන්නට තරම් නිදහස් වේලාවක් දින කිහිපයක් පුරාවටම ධීර ට ලැබුණේද නැත.
” මිස් ”
ගයාත්‍රි Clothez හී කාර්යාල කාමරයට පැමිණියේ හදිසියකින් මෙනි. තාදී උන්නේ වැටුප් සකසමිනි. සියල්ලන්ටම වැඩි පුර මුදලක් ලබා දීමට තාදී සැලසුම් කරගෙන තිබුනේ තමා නොසිටි දිනවල සේවිකාවන් සියලු දෙනාම එකා මෙන් වෙහෙස වී වැඩ කර තිබූ නිසාවෙනි.
” ඇයි ගයාත්‍රි “
” අර මිසිස් ගජනායක මිස් ව අහනවා ”
තාදී පුටුවෙන් නැගිට Clothez හී ලොබිය වෙත පැමිණියා ය. ජයමිණි ගජනායක උන්නේ සුපුරුදු සිනහවෙන් මුව සරසා ගෙනය.
” කොහොමද දරුවෝ ? අනේ මම ආවේ හදිසි වැඩකට. හෙට හවසට අඳින්න ජැකට් එකක් මහගන්න කියලා. පුලුවන් ද ? ”
ඇය එය ඇසූ ලීලාව නිසාම නොව , ඇගේ කරුණාවන්ත බව නිසාම තාදී එය පිළිගත්තේ ඉතාම කැමැත්තෙනි.
” අපෝ පුළුවන් මිසිස් ගජනායක ”
ජයමිණි Clothez වෙතින් පිට වූයේ සතුටිනි. මේ කාර්යය රෑ වෙන තුරු හෝ සිට නිම කරන්නට තාදී සිතා ගත්තා ය
” මිස් කොහොමද ඕක කරන්නේ ? තාම මිස්ට අමාරුයි නේ ? ”
ගයාත්‍රී කම්පා වෙද්දි තාදී සිනාවක් පෑවා ය.
” මීට වඩා අමාරු දවස් මං පහු කරලා තියෙනවා ගයාත්‍රී ”
වසර කිහිපයක් තාදී සමග වැඩ කළ නිසා ඇය පැමිණි ගමන් මග අන් සේවිකාවන්ට වඩා ගයාත්‍රී හොඳින්ම දන්නීය.
වැඩ අවසන් වී නිවසට පැමිණි ධීර කාමරයෙ සඳළුතලයේ ඇති ඔන්චිල්ලාවෙ වාඩිවී උන්නේ ගතට දැනෙන වෙහෙස නිසාමය. රැකියාවක් කර පුරුද්දක් නොතිබූ නිසා සහ හෝටලයේ කළමනාකාරිත්වයේ වැඩ කටයුතු සිතූ තරම් පහසු නොවන නිසාත් ධීර උන්නේ වෙහෙසට පත්වී ය.
” පුතා ”
ජයමිණි පැමිණියේ තේ එකක් රැගෙන ය.
” අම්මා ”
” මහන්සිද ? ”
” ඔව් අම්මා. වැඩ ඉතිං හිතුව තරම් ලේසි නැහැ. දන්නවනේ , තාත්තා ඔක්කොම මගේ පිට පටවලා තියෙන්නේ ”
” එයා කොහොමත් ඔයාට ඕවා බාර දෙන්න හිටියේ ”
” බාර දෙනවා කිව්වට මෙහෙම බාරදෙයි කියලා මම හිතුවෙ නෑ අම්මා ”
ජයමිණි ධීර ගෙ හිස අත ගෑවා ය. විවාහ ජීවිතයේ යම් සැනසීමක් ඇත්නම් ඒ ධීර පමණි. ඒ හැරුණු කොට පහුගිය අවුරුදු තිස් දෙකක් පුරාවටම තමන්ට ලැබුණු සැනසීමක් නැති බව ජයමිණි නිහඬවම සිතුවා ය.
” හෙට උදේ තාත්තා ඩ්‍රයිවර් එක්ක නුවර යනවා. හවස පොඩි Function එකක් තියෙනවා. ඒකට යන්න මම ජැකට් එකක් මහන්න දුන්නා.පුතාට පුළුවන්ද හවස එන ගමන් ඒක අරගෙන එන්න ? ”
” ඇඳලා බලන්න ඕනේ නැද්ද අම්මා ? ”
” ඕන නෑ. කලින් පාරත් ඒ ළමයා හොඳටම වැඩේ කරලා තිබුණා ”
” කොහෙටද අම්මා යන්න තියෙන්නේ ?”
ධීර ඇසුවේ තේ කෝප්පය ජයමිණි අත තබමිනි.
” නුගේගොඩ ට ”
” නුගේගොඩට ? මොකද්ද නම ? ”
ධීර ඇසුවේ යමක් සිහි වීය.
ReplyForwardAdd reaction |