ඕරා ඔෆ් ඇරෝමා
ඒ නම ම අන්තරා ගේ ආත්මයෙහි දෙදරීමක් ඇති කරන්නට සමත් විය. සුවඳ යනු යමෙකු ගේ ඕරාව කෙරේ බලපාන ශක්තියක් ය යන්න ඇය තරයේ විශ්වාස කරන්නී ය. ඒ සිතිවිල්ලෙන් මේ විලවුන් සාප්පුවට මේ නම තැබූ පුද්ගලයාත් කෙතරම් අපූරු තැනැත්තෙකු විය යුතු ද?
ඕරා ඔෆ් ඇරෝමා තුළ වූයේ හෘද ස්ඵන්දනයෙහි වෙනසක් ඇති කළ හැකි තරම් ශාන්තිදායක ස්වභාවයකි. ඒ හැඟීමෙන් මුලින් ම අන්තරා ග්ලැසියරයක් තරමට සීතලෙන් සීත වූවා ය. ඉනික්බිති ඇය හුස්ම ගත්තේ සීතලකි. වේගයෙන් ඇස් පිය සැලී ගියේ ඒ අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පය ඒ තරමට ම ආත්මය සමගින් සමපාත වූ බැවිනි. අන්තරා ඇතුළට පිය තැබුවේ භාවනානුයෝගී තවුස් අසපුවකට පිය නගන්නා බඳු ශාන්තියක් දරාගෙනයි. මේ කොළොම් පුරයෙහි මෙහෙව් තැනක් ඈ නො දැන සිටියේ කෙසේ ද?
“මං ආසයි මේ වයිබ් එකට”
ඇගේ ඇතළාන්තය එසේ මුමුණමින් තිබිණ.
සුවඳ විලවුන් බෝතල ඒ තරම් පරිස්සමට හා සිත් ඇදගන්නා හැඩතල වලින් යුතුව නිමවන්නේ මන්දැයි අන්තරා ඕනෑ තරම් වාර ගණනක් සිතා තිබේ. නමුත් කිසි දාක පිළිතුරු නොලැබුණු ඒ ප්‍රශ්නයට ඕරා ඔෆ් ඇරෝමා නිර්මාපකයා නිහඬව පිළිතුරු දෙමින් හිඳී. සුවඳටත් කලින් ඒ බෝතල වල හැඩය අප ආකර්ෂණය කරගන්නා බව දැනෙන්නේ එහෙම සුවඳ අසපුවක වන ආත්මීය හද ගැස්ම වටහාගත හැකි කෙනෙකුට පමණි. ඒ වූ කලී සුවඳ කලාගාරයකි. සුවඳ කෞතුකාගාරයකි. සුවඳ පිළිබඳ විශ්ව විද්‍යාලයකි. විලවුන් බෝතල ස්ථානගත කොට තිබුණේ ඒවායේ හැඩය වඩාත් තීව්‍ර වී පෙනෙන පරිදි විදුලි එළි එල්ලකොටයි. ඒ හැඩතල හා වර්ණ කතා කරන්නේ ආඝ්‍රාණ සංවේදී ඉන්ද්‍රියන්ට නොවේ. හෘදයටයි. ආත්මයටයි. සුවඳ විමසන්නට ඕනෑ වන්නේ ඉනික්බිතියි.
“ලස්සනයි නේද…”
අන්තරා ඒ සුවඳ හීනයෙන් අවදි වූයේ පාරින්දි ගේ හඬට යි.
“මේ වගේ සුවඳ ලෝකෙක ජොබ් එකක් කරනව කියන එකත් අමුතුයි නේ…”
“අමුතු වුණත් ඒක හරිම ලස්සන සුවඳක් වෙයි”
“අනේ මන්දා ඔයා මොනා කියනවද කියල”
ඇය කිකිණි හඬින් සිනහ වූවා ය. ඇතැම් විලවුන් වර්ග වල සුවඳ බැලුවා ය.
“පර්ෆියුම් එකක සුවඳ ගොඩක් වෙලා රැඳිල තියෙන්නනං අපේ පල්ස් වැඩිපුර සක්‍රිය තැන් වලට තමයි ඒවා ඇප්ලයි කරන්න ඕනෙ. එතකොට ඒ සුවඳ බ්ලඩ් සර්කියුලේශන් එකත් එක්කම පැතිරිලා වැඩි වෙලාවක් සුවඳ දෙනව. බෙල්ල පිටිපස්ස… මැණික් කටුව ඇතුල් පැත්ත… වැලමිට ඇතුල් පැත්ත එහෙම තැන්”
පාරින්දි අත්ලට විලවුන් ස්ප්‍රේ කරත්දී අන්තරා පැහැදිලි කළා ය.
“ඔයා පර්ෆියුම් ගැන ගොඩක් දේවල් දන්නව වගේ…”
“ටිකක්”
අන්තරා මඳහසක් පාත්දී ය ඒ රත්තරං පාට හිරු මඬල එහි පහළ වූයේ. යුගාත්ම කාශ්මීර අමුණුගම, දෑත් පපුව මත බැඳ ගනිමින් සිනහ වෙවී ඔවුන් ඉදිරියෙහි සිටියේ ය.
“හායි ගර්ල්ස්”
“හානේ… ඔයා ඉන්නවද… මේ පැත්තට ආපු ගමං අපි ශොප් එක බලං යන්න ආව”
හිතට එකඟ නැත ද ඒ අහිංසක බොරුව නො කියා ඉන්නට පාරින්දි ට හැකි වූයේ නැත. යුගාත්ම ගේ නෙත විමසමින් තිබුණේ අන්තරාව ය. නමුත් ඕ ඔහු ගැන ඒ තරම් සැලකීමක් දැක්වූයේ නැත. එබැවින් පාරින්දි ඇය වෙතට යොමු වූවා ය.
“අන්තරා මේ තමයි යුගාත්ම. එදා කොෆී ශොප් එකේ හිටියෙ… මේ තමයි අන්තරා”
“හෙලෝ… නයිස් ටු මීට් යූ”
යුගාත්ම සිය සුරත ඇය වෙතට පෑවා ය. දීප්තිමත් දෑසින් ඔහු දෙස බැලූ ඇය ඒ සුරත යන්තමින් අල්වාගත්තා ය. ඇගේ අතට සීතල දැනිණ. ඒ අතැඟිලි දිගු බව, පිරිසිඳු පාට බව එකෙණෙහි හිතට දැනිණ. යන්තමින් හකු ඇට පෙනෙනා කම්මුල් මත කප්පාදු කරනා ලද රැවුල් කොට තද කොළ පාටකින් වැවෙමින් තියේ. ඝණ දෙබැමක් යට දිළිසෙන සිහින් දෑස් තියුණු ය. තෙත පැහැති කොණ්ඩය කදිමට සකසා තිබිණ. අපූරු පිරිමි ෆෙරමෝන සුවඳක් ඔහු ළඟින් විහිදෙනු, අන්තරා ගේ අතිශය සංවේදී ආඝාණ ඉන්ද්‍රියන්ට දැනිණ. ඒ සුවඳ ඔහු ගේ සිරුරෙන් ස්වභාවිකව වහනය වන්නක් හෝ ගැල්වූ අගනා විලවුනකින් හමන්නක් හෝ ඒ දෙකෙහිම බලපෑමෙන් තීව්‍ර වූ පිරිමි සුවඳක් විය හැකි යයි ඇය වහ වහා නිගමනය කළා ය. ඔහු අල්වාගත් සිය සුරත තවමත් නිදහස් කොට නොමැති වග අන්තරා ට දැනුණේ කල්පනා ලෝකයෙන් මිදෙත්දී ය. ඔහු හමුවීම ද සතුටකැයි හඟවනු වස් යන්තමින් හිස සැලූ අන්තරා වෙතින් නික්මුණ විලවුන් සුවඳ, යුගාත්ම ඉව කරමින් සිටියේ ය. ඈ මෙදින ද ගල්වාගෙන සිටියේ එදා පුස්තකාලයට යත්දී ගැල්වූ සුවඳයි. ඒ බව අන්තරා ට මතක නැති වී ද යුගාත්ම ට හොඳට ම මතක ය. එසුවඳින් ඔහු වඩාත් ප්‍රමුදිත ව සිටියේ ය.
“මෙතන හරි ලස්සනයිනෙ. දැන්නං මට ඉක්මනටම ජොබ් එක ලැබෙනවනං හොඳයි කියල හිතෙනව”
පාරින්දි හුරතලයෙන් කීවා ය. යුගාත්ම තරමක් හඬ නැගෙන සේ සිනහ වූයේ ය.
“ඒක කරන්න බැරිනං මං කරනව කියල කියන්නෑ. අපේ බ්‍රාන්ච් මැනේජර් ඉක්මනටම අයින් වෙයි. ඉට්ස් ඕකේ. ඊට කලින් එයාගෙන් පොඩ්ඩක් ට්‍රේන් වෙන්නත් එක්ක ඔයා එන්නකො එහෙනං”
“වා…ව්… අනේ ඔය ඇත්තමද…”
පාරින්දි ට සතුට ඉවසා ගන්නට බැරි තරම් විණි. ඇගේ ඇස් වලට තෙතමනයක් ඉනූ බව අන්තරා පැහැදිලිව ම දුටුවා ය. යුවතිය කෙරේ උපන් දයාවෙන් ඕ ඇගේ අත් බාහුව පිරිමැද්දා ය.
“ඉතිං… අපි තේ එකක් බොන ගමන් කතා කරමු”
ඒ කලබල ආරාධනය යුගාත්ම ගෙනි.
“පර්ෆියුම් ගන්න එන අයට තේත් දෙනවද…”
“ඕගොල්ලොන්ට ඉතිං දෙන්නෙපැයි… කොහොමටත් ඔයා ඉතිං ඉස්සරහට මෙහෙ බ්‍රාන්ච් මැනේජර්නෙ. අපි යමු මගෙ කැබින් එකට”
ඒ ආරාධනය ආචාරශීලී ය. පාරින්දි වෙනුවෙන් යුගාත්ම ව මඳක් විමසන්නට අවස්ථාව ලැබෙන එක හොඳ යයි අන්තරා ට සිතිණ. කොහොමටත් මේ වන තෙක් ඔහු ගේ හැසිරීමෙහි අපැහැදීමක් ඇයට දැනුණේ නැත. නමුත් ඒ පිරිමි පෞරුෂය, ගැහැනු හිතක් කලබල කරවනා තරම් කඩවසම් ය. පාරින්දි වන් තරුණියක ගේ හිත එහෙව් පිරිමියෙකු ළඟ කැළඹෙන්නට හැකි බව නො රහසකි. නිවී සැනසිල්ලේ යුවතිය සමගින් ඒ ගැන කතා කරන්නට අන්තරා සිතාගත්තා ය.
“ශිවා අපිට හොඳ මසාලා චායි තුනක් ගේන්න”
මතු මහලේ වීදුරු කුටියට ඇතුල් වීමට පෙර යුගාත්ම පිරිමි සේවකයෙකු හට දැනුම් දුන්නේ ය. ඔහු ගේ ස්වරයෙහි වන කාරුණික බව මවාපෑමක් හෝ ව්‍යාජයක් නොව සැබෑවට පවතින්නක් යයි අන්තරා සිතුවා ය. නමුත් එසේ දැනුණේ ඇයිදැයි ඇයට වැටහුණේ නැත.
“සාමාන්‍යයෙන් මට දැනෙන දේවල් හරි. ඒත් පිරිමි ගැනනං එහෙම නිගමන වලට එන්න හොඳ නෑ. මෙයා මේ ගෑනු ළමයව රයට්ටගන්න මේ හැමදේම කරනව වෙන්න පුළුවන්. සමහර විට ඇත්ත ආදරයක් දැනිල එහෙම කරනව වෙන්නත් පුළුවන්. එහෙමනං මේ ගෑනු ළමය වාසනාවන්තයි”
යුගාත්ම ගේ සීතල වීදුරු කුටියට ඇතුල් වෙත්දී අන්තරා ගේ හිත කියමින් තිබුණේ ඒ වාගේ කතා ය.
“ප්ලීස් සිට්. අනේ මෙතන ඉතිං මට ඕගොල්ලොන්ට හොඳට ආගන්තුක සත්කාර කරන්නනං විදිහක් නෑ”
“අපෝ මේ ඕනවටත් වැඩියි. ඇත්තටම අපි මෙහෙම ආගන්තුක සත්කාරයක් බලාපොරොත්තුවෙං ආවෙත් නෑ. නේද අන්තරා…”
අන්තරා මඳහස පෑවා විතර ය. ග්‍රීක දෙවඟනන් යනු මිනිස් සන්තාන වල හටගත් සිතිවිලි මත උත්පාද වූ රූප යයි යුගාත්ම සිතා සිටියේ ය. නමුත් අන්තරා වාගේ කලාතුරකින් දැකිය හැකි ස්ත්‍රී රූප නො කියා කියන්නේ ඔවුන් දෙස බලාගෙන දේවතා රූප නිර්මාණය කරන්නට ඇත කියා නොවේ ද?
“ඔය දෙන්ගෙන් කවුරුහරි හරීම සූතින් ස්මෙල් එකක් තියන පර්ෆියුම් එකක් යූස් කරනව නේ… ඒ බ්‍රෑන්ඩ් එකනං අපි ළඟවත් ඇති කියල මං හිතන්නෑ”
අන්තිමට යුගාත්ම ඉතාම සාමාන්‍ය ලෙස ඒ ප්‍රශ්නයෙන් නිදහස් වූයේ ය.
“මන්නං කිසිම පර්ෆියුම් එකක් දාල නෑ”
පාරින්දි ගත් කටට ම එසේ කීවෙන් යුගාත්ම ගේ ඇස් අන්තරා වෙත යොමු වෙන එක නතර කළ නො හැකි විය.
“ඒක එහෙම බ්‍රෑන්ඩඩ් පර්ෆියුම් එකක් නෙවෙයි”
අන්තරා මිමිණුවේ නෙළුම් පෙති ඇස් පියන් පහළට හරවාගෙන ය.
“පර්ෆියුම් වල සුවඳ හැම කෙනෙකුටම එක වගේ නෑ. ඒ කියන්නෙ සමහර වෙලාවට ගාන කෙනා අනුව වෙනස් වෙනව. එකම පර්ෆියුම් එක ඔය දෙන්නම යූස් කළොත්… ඔය දෙන්න ළඟ දැනෙන සුවඳ වල පොඩි පොඩි වෙනස්කං තියෙන්න පුළුවන්. සමහර විට ලොකුවට වෙනස් වෙලා දැනෙන්නත් පුළුවන්”
යුගාත්ම විලවුන් ක්ෂේත්‍රයෙහි ඔහු ගේ අත්දැකීම් ඇසුරෙන් පැහැදිළි කළේ කාන්තාවන් දෙදෙනා ඒ පිළිබඳ අංශු මාත්‍රයක් හෝ නො දන්නවා ඇතැයි සිතා ය. පාටින්දි විශ්මයෙන් හරස් ප්‍රශ්න ඇසුවා ය. අන්තරා මුණිවතින් ඔවුන් ගේ කතා අසා සිටියා ය.
මසාලා චායි බොන අතරේ ඔවුන් ගේ කතාබහ විලවුන් වලින් ඔබ්බට, පෞද්ගලික කාරණා ඔස්සේ ඇදී ගියේ ය. සැබවින් ඔවුන් උනුන් හඳුනාගනිමින් සිටියේ ඒ වෙලාවේ යි.
“පාරින්දි කිව්ව අන්තරාට ලොකු පුතාලත් ඉන්නව කියල”
“පුතාල කිව්වට එක්කෙනයි ඉතිං. එයා මේ දවස් වල ඔසී වල යුනි එකක ඩිග්‍රි එක කරනව”
“එහෙමද… මගෙ ලොකු දුවට දාසයයි. පොඩි එක්කෙනාට දාහතරයි. ඒ වුණත් මටත් එයාල එක්ක ඉන්න විදිහක් නෑ”
“ඒ ඇයි…”
මැදින් පැන්නේ පාරින්දි ය.
“දුවල දෙන්න වයිෆ් එක්ක ඉන්නෙ. අපි ඩිවෝස්ඩ්”
“ඩිවෝස්ඩ්…”
අන්තරා ගේ තනි වචනය තුළ උද්‍යෝගය රැඳී තිබිණ. යුගාත්ම ඇදෙස බලා හිස සැළුවේ ය.
“ළඟදිද ඩිවෝස් වුණේ…”
“අවුරුදු තුන හතරක් වෙනව ඩිවෝස් වෙලා. ඩිවෝස් එකක තියන ඛේදවාචකේ තමයි දරුවො. ලංකාව වගේ රට වල ළමයි ඔපන් මයින්ඩඩ් නොවීමත් එක්ක අම්මට හරි තාත්තට හරි එයාල වෙනුවෙන් විඳවන්න වෙනව”
“ඩිවෝස් එකක් ගන්න ගියාම ගොඩක් කරදර වෙන්න වෙනවද…”
“නෑ එහෙමම නෑ ඉතිං. ඉස්සර වගේ නෙවෙයිනෙ දැං”
“ඒක කොහොමද ඔයාට දැනෙන්නෙ…”
“ම්… ඒකට උත්තර දෙන්නෙ කොහොමද… ඇත්තටම ඒක ටිකක් සංකීර්ණ හැඟීමක් අන්තරා. අපිට එකට ඉන්න බෑම කියල හිතුනත්… ඩිවෝස් වෙන්න ඕන කියන එක වෙන්නම ඕන දේ වුණත්… ඒක සිද්ධ වෙන මොහොත ටිකක් දරාගන්න අමාරුයි. එකට එක ගෙදරක ඉඳල වෙන් වෙනව කියන එක… දරුවො ඈත් වෙනව කියන එක… මොකද වෙන් වෙන්න සිද්ධ වුණ මැරේජ් එකක් ඇතුළෙ වුණත් මතක කන්දක් තියෙන්න පුළුවන්. ඒ හැමදේකින් ම ටික ටික ඈත් වෙනව කියන එක ලේසි නෑ. ඒත් හිතට ලොකූ පීඩනයක් වෙලා තිබුණ කරදරේකින් නිදහස් වීමේ සැනසිල්ලත් ඒ අතරෙ නොදැනෙනව නෙවෙයි. ඩිවෝස් එක කියන්නෙත් ජීවිතේ අනිත් හැම දේම වගේ… හොඳ නරක දෙපැත්තම තියන තීරණයක් තමයි ඉතිං. හැබැයි ඒක කරන්නම ඕන දේනං… අමාරුවෙන්හරි කරන එක තමයි හොඳ. මොකද දෙපැත්තටම ඒකෙන් හොඳක් වෙන නිසා. ළමයි තමයි ඉතිං පව්. දරුවො වෙනුවෙන් ඉන්නව කියල හුඟක් අය ඩිවෝස් එකකට නොයා ඉන්නෙ ඒක නිසා වෙන්නැති. හැබැයි ඉතිං ඒකෙත් හොඳ වගේම වැඩිපුර නරකත් විඳගන්න වෙනව”
යුගාත්ම කතා කළේ නැවතිල්ලේ, අත්දැකීම් මතින් කල්පනා කරමින් වාගේ ය. ඔහු ගේ දිගු අදහස් දැක්වීම නිමා වෙත්දී අන්තරා නො දැනීම ඇගෙන් ලොකු සුසුමක් ගිළිහී තිබිණ.