ඉසිනි සෝමා සමඟ පන්සල් ගියෙ ඉරිදා සවසය. නුරාන් ද පන්සල් පැමිනෙන බව පවසා තිබූ නිසා ඕ කණ්ණාඩියෙන් කිහිප වතාවක්ම තම දෙස බැලුවාය.
පන්සල තුලදී ඉසිනිව දුටු පැහැසරා ධනුක එතරම් කලබලයෙන් කැබ් රිය ගෙන ආවේ මන්දැයි වටහා ගත්තාය. ඉසිනිව දුටු නුරාධ්‍යා ඕ වෙත දිව ආයේ පැහැසරාටවත් අවනත නොවීගෙනය. ධනුක නුරාධ්‍යා හඬද්දීම ඕ ඔසවා ගත්තේය.
“ කෙල්ල අඬවන්නේ නැතුව ඉන්නවා ඕයි .. එයා කෙල්ලව ගිලින්නේ නෑනේ … එතන ඉන්න දෙනවා දරුවාට..”
බලෙන්ම ධනුකගේ අතේ උන් දැරිය වඩා ගත් නුරාන් ඉසිනි වෙත ඇවිද ගියේය. සෝමා උන්නේ පෙනෙන මානයේ නොවේය. තවත් කිහිප දෙනෙක් පන්සල් භූමියේ උන්නද සියල්ලෝම උන්නේ තම තම කාර්‍යන් සම්ඟ කාර්‍යබහුල වෙමිනි.
“ කෝ චොකෝ ?..”
දැරිය ඉසිනිගෙන් විමසුවාය. නුරාන්ද එලෙසින්ම විමසමින් ඉසිනිව අපහසුතාවයට හෙලුවේ දැරිය සිටින බවද අමතක කරමිනි. ඉසිනිගේ කෝප බැල්මට නුරාන් බිඳකුඳු සැලුනේ නැත.
“ ඇන්ටි බබාට චොකෝ ගෙනාවේ නෑ ?..”
නුරාධ්‍යා යලි විමසුවේ නුරාන්ගේ ඇස් වල අතරමංව ඉන්නවා විනා, තමාට පිළිතුරක් දෙන්නට ඉසිනි උනන්දු නොවන බව පෙනෙද්දීය. වෙනදා තමා දුටු විට උනන්දුවෙන් කතා බහ කරන ඇය අද තමා ගණනකට හෝ නොගන්නා බව දැරියට ද දැනුණි.
“ ඇන්ටි නෙවෙයි දෝණි … ඒ දෝණිගේ පුංචා .. හරිද .. “
“ පුං…….චා ?…”
දැරිය පලමු වතාවට වචනය උච්චාරණය කරද්දි ඉසිනිගේ හදවත තුළ මල් යායක දසුන් මැවුනේය. දැරියගේ ආමන්ත්‍රණය තුල ඇත්තේ නුරාන්ගේ අයිතිය බව දැනීම වෙනමම හැඟීමකි.
“ අන්න හරි .. මේ පුංචා .. අපි පුංචාව ගෙදර එක්කගෙන යමුද දෝණි ?..”
“ හා ..”
දැරිය නුරාන්ගේ ගෙල වටා දෑත් පටලවාගෙන , ඉන් පසුව දෑත් ලෙහාගෙන අත්පොලොසන් දෙමින් කීවාය.
“ එප නුරාන් .. දරුවා මේවා ධනුක මහත්තයලා ඉන්න තැනක කියන එක හොඳ නැ..අපේ ප්‍රශ්න වලට පොඩි උන් තුරුම්පු කරගන්නෙපා.. ආයේ කියන්නෙපා ඕවා…”
ඉසිනි එක්වරම කොහෙදො තිබූ ස්වරූපයක් ආරූඩ කරගත්තාය. නුරන් එයට එකඟ වන බව පෙන්වමින් හිස සැලුවේය.
දෙදෙනා එක්ව මල් වට්ටි දෙකක් පූජා කලහ. පහන් වැටියක්ම දැල්වූහ. පැන් කල දෙකකින් බෝධීන් වහන්සේ ධෝවනය කලහ. දෙදෙනාම දැල්වූ සුවඳ කූරු වැටෙහි රැඳවූයේ නුරාන් ය. නිහඬ වීමේ දොඬමලු බව දෙදෙනා අතරේ මොනවට විය.
පන්සලේ දී නුරාන් සහ ඉසිනි එකිනෙකා හා සම්ඟ ඉතා ලෙංගතුව කතා බහ කරමින් සිටින අයුරුද, ඉන් පසුව මල් පහන් පූජා කරන අයුරුද දුටු වත්සලා එක්වරම ගල් ගැසුණාය. ඒ අම්මා වැඩට යන නිවසේ සිටින්නිය බව හඳුනාගත්තාට පසු ඇයට කෙලින්න් සිටගෙන සිටීමවත් පහසු වූයේ නැත. වසර ගණනාවක් තිස්සේ හදවත තුළ ඉතා සුරැකිව තබා උන් ප්‍රේමය දියවී තමාට පාලනය කරගත නොහැකි තරමේ වේගයකින් වැක්ක්කෙරෙන බව ඇයට දැනුණි. කල යුත්තේ කුමක්දැයි එක්වරම ඇයට වැටහුනේ නැත. නුරාන් දුටු පලමු දිනයේ පටන්ම ඔහු පිළිබඳව තම හදවත තුල අතිශය විශේෂ හැඟුමක් වූ බව වත්සලාට අමතක නැත. දිනෙන් දින ඔහු සමීපයටවිත් කල් ගෙවන්නට ඉඩ ලැබෙද්දි, ඔහුගේ දකුණු අත ලෙසින් කාර්‍යාලයේ සහ කර්මාන්තශාලාවේ අයවලුන් තමා හඳුන්වා දෙද්දී හිතට දැණුන සතුටට ඉමක් කොනක් වෙන් කර දිය නොහැකි බව වත්සලා දනී. ඔහු කිනම් හෝ කලෙක බිඳ වැටී ගිය ප්‍රේමයක් නිසාවෙන් ඔහු ජීවිතයේ නොසෑහෙන්න දුක් විඳි සමයක් පසු කල බව ඕ දන්නේ එහෙන් මෙහෙන් අහුලා ගත් කතා නිසාය. එහෙත් තම ප්‍රේමයෙන් ඔහු සුවපත් කරන්නට හැකි බව වත්සලා හිස් මුදුනෙන්ම විශ්වාස කලාය.
ඔහුගේ දියුණුව වත්සලාට දැනුනේ තම දියුණුව සේය. ඔහු විසින් කරන කියන සියලු කාර්‍යයන් වෙනුවෙන් ඕ ඇගේ උපරිම දායකත්වය ලබා දුන්නාය.
“ මේ ගෑණි කොහෙන්ද ආවේ ?…”
වත්සලා නිවසට ආවේ අම්මා සමඟ ඉසිනිගේ මෝටර් රියේය. ඒ අන අතරමඟ ඕ කලේ ඉසිනි හා සමඟින් තමා සැසඳීමය. නිවසට ආ වහාම අම්මාගෙන් ඉසිනි පිළිබඳව වන තොරතුරු සියල්ල එදිනම අසා ගන්නට වත්සලා උත්සාහ කලාය. වෙනදාට අම්මා ඉසිනි පිළිබඳව යම් යම් කාරණා පවසද්දි තමා කිසිඳු උනන්දුවකින් ඒ වෙත සවන් නොදුන්නාට වත්සලා තමා සමඟින්ම උරණ වූවාය
“ එතකොට ඒ ගෑණි ඩිවොස්ද ?..”
අම්මා තමා දෙස කෝපයෙන් බලන්නේ මන්දැයි නොවැටහුනු නිසා වත්සලා කිසිත් නොවිමසාම අම්මා දෙස බලා උන්නාය.
“ කතා කරන්නේ ඔහොමද උඹ නෝනාට ?… චික් උඹේ කට …”
අම්මා එලෙසින් පැවසූ පසු වචනයක් වරදින්නට ඇති බව වත්සලා වටහා ගත්තේය.
“ කියන්නකෝ අම්මේ .. ඔය ඉසිනි ඩිවෝස්ද ?..”
“ හ්ම්ම් .. ඒ නෝනාගේ මහත්තයාට දරුවෙක් ඕනිමයි කියලා නෝනාව දික්කසාද කරලා . දැන් නෝනාගේ මුලු පවුලම ඉන්නේ රට .. නෝනා මේ ඉල්ලලා මාරුවීමක් හදාගෙන මෙහෙ ඇවිල්ලා තියෙන්නේ හිත හදාගන්න එක්ක ..”
වත්සලා කෝපය තමා තුලම සඟවා ගත්තාය. එලෙස නම් දික්කසාද, වඳ ගැහැණියක් නුරාන් තමාගෙන් උදුරා ගන්නට සූදානම් වන්නීය. වත්සලා කාමරය තුලට වූවාය. නුරාන්ගේ ජීවිතය ගිල ගන්නට ආ යක්ෂණියගෙන් නුරාන් ගලවාගන්නට තමා කුමක් කරන්නේදැයි සිතුවාය.
“ සර් සමහරව්ට දන්නේත් නැතුව ඇති ඔය කතා . සර්ගේ හිත හොඳ කමින් මේ ගෑණි ප්‍රයෝජන ගන්නවා ඇති … සර්ගෙ කරේ එල්ලුණාම , මෙහෙ ඔක්කොඅ දේවල් ඒ ගෑණිට බවත් තේරෙනවානේ …. මොකද්ද දෙයියනේ මම මේකට කරන්නේ දැන් ?..”
වත්සලා මේසය මත වූ කොළ කැබලි එකින් එක ගුලි කරමින් කුණු බඳුනට විසි කරන අතරේ එලෙස සිතුවාය. මේ පිළිබඳව කිසිවෙකුට හෝ පවසා උදව් ඉල්ලීමද කල හැකි නොහේය. කුමක් කරත් තමා විසින්ම මනාව සැලසුම් කර සිදු කරන්නට වන්නේය.
වත්සලා එදින නින්දට ගියේ ගිණි ගත් හදිනි.
ඉසිනි අම්මලා හා ඇමතුම අවසන් කර යහනට ගොඩ වූවාය. නුරාන්ගේ ඇමතුම සැනින් තිරය මත විය.
“ නින්දේද තාරා ?..”
“ ම්හ්හ්… අම්මලාට කතා කරලා ඉවර වුනා විතරයි …”
“ මං එන්නද තාරා… “
“ කලබල නොවී ඔහොම ටිකක් ඉන්නකෝ නුරාන් … මිනිස්සු මොකක් හරි කතාවක් හැදුවොත් ඒක ඔයාටම නරකට හිටින්නේ නුරාන් …”
“ හ්ම්ම්…”
“ ඔයා විලා එකෙ ඩොකියුමන්ට් සයින් කරන්නේ හෙටද ?..”
ඉසිනි එක්වරම කතාව අන් අතකට හැරෙව්වාය.
“ නෑ.. ලබන සිකුරාදා ඔක්කොම ඉවර කරගන්නවා.. හෙටින් දවස් දෙකක් මට ඔලුව උස්සගන්න බැරි වෙනවා තාරා…. එක්ස්පෝර්ට් ඕර්ඩර් එකක් තියෙනව…”
“ ඒකනේ .. දැන් නිදාගන්න ..උදෙන්ම නැගිටින්න ඕනිනේ…”
“ උදෙන් නැගිටින එක නම් ඔයත් කරන්න එපැයි ඉතින් .. ටිකක් මෙහෙම ඉමූ .”
“ ම්ම් .. හා එහෙන්ම්.. ඒත් එකොලහට කලින් නිදාගන්නම ඕනි ..”
ඉසිනි වඩා වගකීම් සහගත වූවාය. එක්වරම අරුණෝදගේ හඬ හිස තුලට ආවේය.
“ මොන මඟුලක් කරනවාද ඉසිනි .. ඉක්මනට ලෑස්ති වෙලා ඇඳට එනවකෝ …. තමුසේට උදේ නැගිලා කරන්න වැඩ නැතුවට මට උදේ ක්ලිනික් එක……”
ඔහුට අවැසි සුවය වෙනුවෙන් තමා භාවිතා වුනේ එලෙසය.
ඉසිනි ඉතා ගැඹූර් සුසුමක් හෙලුවාය.