සුසුවඳ සූත්‍ර – 20

0
3409

අන්තරා රාත්‍රිය වී සිටියා ය. ඇය තුළ වූයේ එපමණට නිශ්චල බවකි. ගුප්ත නිහැඬියාවකි. යහන මත එරමිණියා ගොතාගෙන සීසීටීවී දර්ශන දෙස බලා උන් ඕ එක්තරා ආකාරයක භාවනාවකට අවතීරණ වී සිටියා සේ ය. ඇගේ දෙතොල් කොනෙහි ගැඹුරු සිනහ රේඛාවක සෙවණැලි වැටී තිබිණ. ඒ සිනහ රේඛාව නො කියා කීවේ ඈ ඇතුළාන්තයෙන් ගැඹුරු චිත්ත ප්‍රීතියක් අත්විඳිනා බවයි. ඒ කුරිරු සතුටක් නිමිති කොටගෙන හටගත් ප්‍රීතියක් වන්නට පිළිවන.

ඒ වෙලාවේ දක්ෂිණ ගෙදර පැමිණි එක ගැන අන්තරා ගේ හද තුළ ක්ෂණික ව දැල්වුණේ අනපේක්ෂිත සතුටක දීප්තියකි. දැන් දක්ෂිණ ට ගේට්ටුව අරින්නට ඈ බැඳී නො සිටිය ද අන්තරා ඉක්මන් ගමනින් පහළ මහළට ගියේ සිය දෙමිතුරන් ද සමගයි. රියෙන් බට දක්ෂිණ යුගාත්ම හා පාරින්දි වෙතට හෙළුවේ දැඩි බැල්මකි.

“කව්ද මේ…” වැනි ප්‍රශ්නාර්ථයක් ඒ බැල්මෙහි විය.

“මේ මගෙ යාළුවො දෙන්නෙක්”

අන්තරා උනන්දුවෙන් දක්ෂිණගේ ප්‍රශ්නය විසඳුවා ය. ඇයට ඇසුරු කරන්නට කිසිවෙකු නොවීම ගැන දක්ෂිණ නිතර ම අන්තරා ට සෝපාහාස කළේ ය.

“ළිඳේ ඉන්න මැඩිය වගේ. රටේ ලෝකෙ මොනා වෙනවද කියල දන්නෑ. කවුරුහරි බොරු ඕපදූපයක් කිව්වොත් ඒක හිස් මුදුනෙන් විශ්වාස කරනව. පිරිමි ඕනතරං ගෑනුංව ආශ්‍රය කරනව. හැබැයි ඒ බුදියගන්න විතරයි කියල හිතන්නෙ තමුසෙල වගේ මැටි ගොඩවල් තමයි. පොඩ්ඩක් මිනිස්සු ආශ්‍රය කරල බලනවකො. තමුසෙට යාළුවෙක්වත් ඉන්නවද… ඒක නිසා තමයි ඔය පිස්සු මනස්ගාත හිත හිත ඉන්නෙ. සමාජශීලී ගෑනු එක්ක බැලුවහම ඇත්තට අපි මොන කුණු ගොඩවල් වලටද කරගහල තියෙන්නෙ…”

සම්පතී හා ඔහු අතරේ වන අනවශ්‍ය ඇසුර ගැන කනින් කොනින් ආරංචි වෙත්දී අන්තරා ඒ ගැන වද වූවා ය. ඒ වදයෙන් ගැලවෙන්නට ද සිය වැරදි වහගන්නට ද දක්ෂිණ කළේ සිය බිරියට ම අපහාස කරන එකයි. ඇය ඔහු සමගින් පැමිණියේ ලොකු පවුල් පසුබිමක් ද මිතුරු සමාජයක් ද අතැර බව දක්ෂිණ ට සිහි වූයේවත් නැත. ඇය කාත් කවුරුත් නැති අසරණියක ලෙස ඔහු සලකා සිටියේ ය. අනිත් අතට එසේ වීම ගැන සතුටු ද වූයේ ය. ජීවිත කාලය පුරාවට අන්තරා ඔහුට බැඳී සිටින්නට වන ලොකු ම හේතුව එයයි. ඇයට ඔහු පමණක් සිටීමයි. ඇය කිසි දාක ගෙදරට මිතුරෙකු කියා කෙනෙකු ගෙන්වාගන්නවා මීට පෙර දක්ෂිණ දැක නැත. ඔහු ගේ වත, පහන් නිවී ගිය රාත්‍රියක් සේ අඳුරු වන හැටි අන්තරා බලා සිටියේ හදවත තුළ ප්‍රීතියේ ජලබුං ගසමිනි.

“යාළුවො…”

දක්ෂිණ නළලෙහි රැලි නංවාගෙන නැවත ද යුගාත්ම දෙස බැලුවේ නො සතුටු බැල්මකිනි.

“ඔව්. මේ පාරින්දි. මේ යුගාත්ම…”

“හෙලෝ”

යුගාත්ම සුරත දිගු කළේ ආචාරශීලී වීම ගැන සිතා ය. නමුත් දක්ෂිණ ඔහු කෙරේ බිඳුවක අවධානයක් යොමු නො කරන බව පෙන්වන්නට උත්සාහ කළේ ය.

“කොහොමද මේගොල්ලොංව අඳුරන්නෙ…”

ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නට දැන් ඈ බැඳී නැත ද, දක්ෂිණ ගේ ඊර්ෂ්‍යාව මේ ලෙසට පිටතට පැමිණෙන එක ගැන අන්තරා රිසි වූවා ය.

“පාරින්දිව හම්බුණේ අහම්බෙන්… මං ලයිබ්‍රරි හෝල් එකේ ආට් එක්සිබිශන් එකක් බලන්න ගිය වෙලාවෙ”

“එතකොට මෙයා…”

දක්ෂිණ ට දැනගන්නට ඕන වී තිබූ වැදගත් ම දේ එය බව අන්තරා දනී. පිළිතුර වෙනුවෙන් පාරින්දි අන්තරා ට වැඩිය එක තත්පරයකට ඉක්මන් වූවා ය.

“එයා මගෙ බෝයි ෆ්‍රෙන්ඩ්”

එක මොහොතකට ලෝකය නතර වූයේ ය. දක්ෂිණ හැරෙන්නට කිසිවෙකු හුස්ම නො ගත්තා විය යුතු ය. කිසිදු හඬක් නෑසී ගියේ ය. ඇහුණා නම් තම තමන්ට සිය හදවත් ගැහෙනා හඬ පමණකි.

“මගෙ ඩොකියුමන්ට්ස් වගයක් ගන්න තියෙනව”

කියා දක්ෂිණ පියගැට පෙළ දෙසට ගියේ ය.

පාරින්දි ගේ ක්ෂණික ප්‍රකාශය ගැන යුගාත්ම ට දැනුණේ කෝපයකි. නමුත් ඔහු ඒ ඉවසා ගත්තේ පිට තැනක කලබල විය නො හැකි බැවිනි. අනිත් අතට දක්ෂිණ සිටින නිසා ඒ ගැන කතා කරන්නටවත් තර්ක කරන්නටවත් අවස්ථාවක් ලැබුණේ නැත. කෙතරම් නො සන්සුන් වූයේ ද යත් දක්ෂිණ පිටත්ව ගිය ගමන් ම යුගාත්ම තරුණියන් වෙතින් සමුගත්තේ ය.

“ඉතින් ඔයාට පාරින්දිවත් ඩ්‍රොප් කරංම යන්න පුළුවන්නෙ යුගාත්ම”

කියා අන්තරා කියනා විටත් ඔහු රිය පණගන්වා අවසන් ය.

“මට වැඩ වගේකට යන්න තියනව අන්තරා”

යුගාත්ම පාරින්දි ගැන හිතා මතා ම අවධානයක් යොමු නොකළේ ය.

කෙතරම් නිදන්නට උත්සාහ කළ ද පාරින්දි ගේ ඒ ප්‍රකාශය හිත නො සන්සුන් කරමින් තිබුණෙන් යුගාත්ම ට නින්ද ගියේ නැත. බැරි ම තැන ඔහු පාරින්දි ට දුරකතන ඇමතුමක් ගත්තේ ය. පාරින්දි දුරකතනය සවනට ගත්තේ දෙගිඩියාවකිනි.

“ඔව් යුගාත්ම…”

“මොකද්ද පාරින්දි ඔයා අර කියපු කතාව…”

ඔහු කෙළින් ම මාතෘකාවට ගොඩ වූයේ ඈ තුළ බියක් ජනිත කරමිනි.

“මොන කතාවද…”

කතාව කුමක්දැයි මැනැවින් දැනගෙන වුව එසේ විමසන්නට ඇයට සිදු විය.

“අර අන්තරාගෙ එක්ස් හස්බන්ට කියපු කතාව…”

“එක්ස්… එක්ස් හස්බන් නෙවේ. ඩිවෝස් එක ලැබිල නැති නිසා තාම එයා හස්බන්”

“හරි හරි මට හෑලි වලින් වැඩක් නෑ. මං ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියල ඔයා කිව්වෙ මොන පදනමක් ඇතුවද…”

යුගාත්ම සිටිනුයේ නො රිස්සුමෙන් වග හැඳිනගන්නට, ඔහු ගේ හඬ තානයෙහි වූ වෙව්ලුම නිසා ඇයට පහසු වූයේ ය.

“අයියෝ… එහෙම එකකට කිව්ව නෙවෙයි. මං එහෙම නොකිව්වනං අර මනුස්සය නිකං අපරාදෙ අන්තරාව සැක කරන්න තිබුණ. එයා දන්නැති පිරිමි කෙනෙක් ගෙදර ඇවිත් ඉන්නකොට. අන්තරාට නඩුවට වුණත් ඒක අවාසියක් වෙන්න පුළුවන්. ඒ මනුස්සය සැක කළානං ඔය දෙන්න අතරෙ මොකක් හරි තියනව කියල… අන්තරාව ඒ කරදරෙං ගලෝගන්නයි මං ටක්ගාල එහෙම කිව්වෙ. ඊට පස්සෙනෙ ඒ මනුස්සයත් හරස් ප්‍රශ්න අහන එක නතර කළේ”

මුලදී ආත්ම විශ්වාසයක් නැති වී ද කතා කරගෙන යන විට පාරින්දි ගේ හඬ වඩා විශ්වාසවන්ත ද ස්ථාවර ද වෙමින් තිබිණ. යුගාන්ත දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ වී ද ඔහු ගේ නොරිස්සුම පහව ගොස් තිබුණේ නැත.

“මං දන්නව මෙයා අන්තරා ගැන ඇහැ ගහගෙන ඉන්නෙ කියල”

පාරින්දි කොට්ටයකට මිට මොලවා පහරක් එල්ල කළේ රවාගෙන ය.

“ඔච්චර දඟලන්න ඕනයැ ඔය පොඩි වචනෙකට”

ඇය කොට්ටය තුරුලට ගෙන යහන කොනක ගුළි වූවා ය.

දක්ෂිණ සිටියේ දණ්ඩෙන් පහර කෑ සර්පයෙකු වාගේ ය. හැන්දෑවේ අන්තරාගෙන් දුටු ආඩම්බර බැල්ම යළි යළිත් ඔහු ට සිහිපත් වේ. යාළුවෙකු කියා කිසිවෙකු ඇසුරු නොකළ ගැහැනිය මේ හදිසියේ මිතුරන් ඇසුරු කරන්නට ගැනීමත්, දික්කසාදයක අවශ්‍යතාවයක් මතුවීමත් අතර සම්බන්ධයක් ගලපාගන්නට ඔහු උත්සාහ කළේ ය.

“මොකෙක්ගෙ හරි උවමනාවට තමයි එහෙනං මෙයා ඩිවෝස් එක ඉල්ලුවෙ”

කාමරයෙන් නික්ම මිදුලට බට දක්ෂිණ වහ වහා අන්තරා ට ඇමතුමක් ගත්තේ ය. ඔහු වෙව්ලමින් සිටි අතර කතා කරන අතරේ දත්මිටි කෑවේ ය.

“එක එකාව ගේ අස්සට දාගෙන මගුල් නටන්න ගත්තද ඒපාර… ලැජ්ජ නැද්ද මනුස්සයො… මට හිතාගන්න පුළුවන් ඩිවෝස් එක ඕනමයි කියල හිටියෙ මොකද කියල. කවදාවත් නොහිටිය යාළුවො පහළ වෙලානෙ මේ හදිස්සියෙ”

“ලැජ්ජ නැද්ද කියල අහන්නෙ මගෙන්ද දක්ෂිණ…”

අන්තරා සන්සුන් සිනහවකින් කතාව ඇරඹුවා ය.

“මැරිල ඉපදිලා වගේනෙ ඔයා කතාකරන්නෙ. මං හිතන්නෙ ඔයාට මුකුත් අමතක වෙන්න විදිහක් නෑ. මං අලුතෙන් මතක් කරල දෙන්න ඕනකමක් නෑනෙ. ඔව් මං දන්නව මට දෙමව්පියො නෑදෑයො යාළුවො කවුරුත් නැතිවෙනවට ඔයා කැමතියි. එතකොට අන්ත අසරණියක් වගේ මාව ගෙදරට හිර කරල ඔයාට ඕන හැටියකට නටන්න පුළුවන්නෙ. පහුගිය කාලෙම ඔයා කළේ ඒකනෙ දක්ෂිණ. ඔව් මටත් පුළුවන් යාළුවො ආශ්‍රය කරන්න. ඔයා අපහාස කළේ මං ගෙයි ගෙම්බෙක් වගේ ගෙට රිංගගෙන සමාජ ආශ්‍රයක් නැතුව ඉන්න ගෑනියෙක් කියලනෙ. ඉතිං මං යාළුවෙක් ආශ්‍රය කරන්න ගත්තහම ඔයා ඇයි මේ මෙච්චර කලබල වෙලා…”

දක්ෂිණ දත්මිටි කෑවේ ය. නො සරුප් වචනයක් දෙකක් ඔහුගෙන් බැහැර වූයේ ය. අන්තරා වහා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.

මඳ වෙලාවක් කාමරයෙහි සක්මන් කරමින් සිටි යුගාත්ම අන්තරා ට ඇමතුමක් ගත්තේ සිතින් ඒ අවශ්‍යතාවය යටපත් කරන්නට ම බැරි තැනයි. එතකොට අන්තරා සිටියේ යහන මත හිඳ දෑතින් නැවූ දෙපා වැළඳගෙන, දණමඬල මත නිකට තියාගෙනයි. ඇය මඳ වෙලාවක් දුරකතන තිරය දෙස බලා සිටියා ය. ජීවන දියඹෙහි සුළියක් හටගනිමින් ඇති බව ඇයට යන්තමින් දැනේ.

“ගොඩක් වෙලා රිංග්ස් යනකොට මං හිතුව ඔයා නිදි ඇති කියල. කට් කරන්න හදනකොටමයි ආන්සර් කළේ”

“ගෙදර ගියාද නැද්ද කියල දැනගන්න මාත් ඔයාට කෝල් එකක් ගන්නමයි හිටියෙ යුගාත්ම. පාරින්දිටත් කතා කරල තිබුණෙ නැති නිසා අපි හිතුව තාම වැඩ වල ඇත්තෙ කියල”

යුගාත්ම ඒ පාරින්දි ගැන කතාව හිතා මතා ම මගහැරියේ ය.

“ඔයාට අවුල්ද අන්තරා… අපි හිටපු එක ගැන හස්බන් සැටිස් නෑ නේද…”

පිළිතුරු දෙන්නට පෙර තත්පරයකට බිම බලාගෙන ඕ මඳහස පෑවා ය.

“අනේ ඒ ගැන වොරි වෙන්නෙපා යුගාත්ම. යාළුවො කියල මං කිව්වනෙ”

“අපරාදෙ”

“ඇයි…”

“අද හැන්දෑව ඉවර වෙන්න තිබුණෙ එහෙම නෙවෙයි”

“ඒ කිව්වෙ…”

“නෑ. ඒ අන්තිම ඉන්සිඩන්ට් එක නොවුණනං… ඒ වෙලාවෙ මං මාර විදිහට කන්ෆියුස් වෙලා හිටියෙ. මෙලෝ විචාරයක් නැතුව ඔහේ පර්ෆියුම් යූස් කරන ගෑනු ඕනතරං මං දැකල තියනව. එහෙම අය අතරෙ පර්ෆියුම් ගැන එක්ස්පෙරිමන්ට් කරන ගෑනු ළමයෙක් මට මේ හම්බුණාමයි. පර්ෆියුම් කියන්නෙ මගෙත් ෆීල්ඩ් එක නිසා… ඇත්තටම මං මාර විදිහට එක්සයිටඩ්”

“සුවඳ කියන්නෙ මගෙ සතුට යුගාත්ම”

උගුර යටින් වාගේ එසේ කියූ අන්තරා ට ඇතුළාන්තයෙන් හීල්ලිණ.

මහා ලොකු කතාවක් ඈ හද තුළ හිරකරගෙන සිටිතැයි යුගාත්ම ට දැනිණ. ඔවුන් ගේ හිතවත්කම් ගැන විශ්වාසයක් ඇති වෙන දවසක් උදා වන තුරාවට ඒ ගැන නො විමසන්නට ද ඔහු හිතින් හිතාගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here