තාදී – 18

0
1854

” අම්මා කවද හරි මේ වහල යට සතුටින් ඉඳලා තියෙනවද ? ” 

හවස ධීර ඇසූ පැනයට දෙන්නට පිළිතුරක් ජයමිණි සතුව ඒ මොහොතේ නොවීය. ධීර ඇසු එවදන් නින්දට යන්නට සූදානම් වන විටදී පවා ජයමිණි ගේ හිත තුළ හොල්මන් කරන්නට විය.තමාගේ විවාහ ජීවිතය තුළ ඇත්තටම තමා සතුටින් සිටියාදැයි ජයමිණි කල්පනා කළාය. නිවස තුළ පමණක් නොව තමා ගේ ජීවිතය පුරා ද ආධිපත්‍යය පමණක් පතුරවන සැමියෙකු ගේ බිරිඳක් වීම නිසා තමාට තමා අහිමි වී ගිය ආකාරය ජයමිණි මෙනෙහි කළේ ශෝකයෙනි. වසන්ත දුරකථනය බලමින් යහනට වී ඉන්නා මොහොතේ ජයමිණි කණ්නාඩි මේසය ඉදිරිපිට වාඩි වී හිස පීරමින් කල්පනා කළේ තම එකම පුත්‍රයා ගැනය.

” මොකද ජයමිණි ඔයාගේ කිසි සද්දයක් බද්දයක් නැත්තේ ? “

තමා ගේ හැසිරීමක් මේ ආකාරයෙන් සියුම් ලෙස වසන්ත නිරීක්ෂණය කරන්නේ ඉතා කලාතුරකිනි. මේ ද එවැනි අවස්ථාවකි. කියන්නට ඇති යමක් දැන් ඔහු හා කිව යුතු බව ජයමිණි සිතුවා ය. එහෙත් ඔහු කෙරෙහි ඇති සුපුරුදු බිය ඉස්සර විය.

” මොකුත් නෑ වසන්ත ” 

” මුකුත් නැති වෙන්න බෑනේ. මං කෑම කන වෙලාවෙත් බලාගෙන හිටියේ ඔයා වැඩිය කතා කළේ නෑ .මුකුත් අසනීපයක් නම් එහෙම කියන්න. ඔයා හිතේ තියන් හිටියා කියලා මං දන්නෑ නේ ” 

” නෑ මං මේ කල්පනා කළේ අපේ පුතා ගැන ” 

ජයමිණි කතාව පටන් ගත්තාය. මේ කතාව කවදා කෙසේ හෝ පටන් ගත යුතුය. මේ එයට හොඳම අවස්ථාවකි.ජයමිණි හුන් තැනින් නැගිට විත් යහනේ අනෙක් කෙළවරෙන් වාඩි වූයේ ඕනෑ එකක් වෙන්නට හැර වසන්ත සමග කතා කිරීමට ය.

” ඇයි ? පුතාට මක් වෙලාද ? ඔය ඉන්නෙ හොඳට ” 

වසන්ත ඇසුවේ සැරෙනි. කිසිම දිනයක ඔහු සමග කිසිවක් සන්සුන්ව කතා කර අවසන් කළ නොහැකි බව දැන දැනත් ජයමිණි හිතට ධෛර්‍යය ගත්තා ය. 

” නෑ මං මේ කියන්නේ වසන්ත. පුතාගේ අකමැත්තෙන් එයාට කසාදයක් කරලා දෙන එක එච්චර හොඳ නෑ නේද? අපි එයාගේ පැත්තෙනුත් හිතන්න එපැයි ” 

” අකමැත්තෙන් ? කවුද දැන් අකමැත්තෙන් එයාට කසාදයක් කරලා දෙන්නේ ? “

” මං කියන්නේ මේ රූපසිංහලගේ යෝජනාව ගැන උනත් අපි පුතාගේ කැමැත්ත අකමැත්ත අහලා ඉමු කියලා වසන්ත ” 

” ඇයි පුතා කිව්වද ඒකට කැමති නැහැ කියලා ? ” 

” පුතා එහෙම කිව්වේ නෑ. ඒ උනාට තාම ඒ ළමයාව දැකලවත් නැති එකේ අපිට කිසිම දෙයක් තීරණය කරන්න බෑනේ. සල්ලි වලින් වත් දේපල වලින් වත් කසාදයක් තීරණය කරන්න බෑ වසන්ත. ඒ මොන දේ තිබුනත් කසාද ජීවිතය ඇතුලේ හිතේ සැනසීම නැත්තං ජීවිත කාලෙම හූල්ල හූල්ල තමයි ඉන්න වෙන්නේ ” 

ජයමිණි අවසන් වචන කිහිපය කියා දැම්මේ බරටය. වසන්ත මොහොතකට නිහඬව නතර වූයේ ඒ වචන කිහිපය නිසාය.

” සමහර වෙලාවට කසාදෙට කලින් ඉන්න මනුස්සයා නෙමෙයි ඊට පස්සේ ඉන්නේ. වගකීම් එක්ක හිර වුණාම තමන්ගේ වහල යට තව මනුස්සයෙක් ඉන්නවා කියලා අනෙක් මනුස්සයාට අමතක වෙලා යනවා. ඒ කෙනා කොච්චර විඳවනවද කියල ඒ මනුස්සයාට කවදාවත් පේන්නෙ නැතුව යනවා. අපේ පුතාට අපි එහෙම වෙන්න දෙන්න ඕනෙද වසන්ත ? “

ජයමිණි වසර ගණනාවක විවාහ ජීවිතය තුළ මෙවැනි කතාවක් කියූ ප්‍රථම වතාව මෙය ය. ඇය එය ආවාට ගියාට කියනා කතාවක් නොවන බව වසන්ත වටහා ගත්තේ ය. එහෙත් තමාගේ තීරණ වලට එපිටින් යාමට කිසිවෙකුට කිසිම හේතුවක් නිසා ඉඩ නොතබන බවට වසන්ත ඒ මොහොතේ ද තදින්ම සිතා ගත්තේ ය.

” ජයමිණි , මං අවුරුදු ගානක් තිස්සේ රැක ගෙන ආපු හදාගෙන ආපු නමක් තියෙනවා. මං මේ හැමදේම හම්බ කරගත්තෙ ගොඩක් දුක් මහන්සියෙන් බව ඔයා දන්නවා.ඉතින් ඒ දේවල් වලට හානියක් වෙන කිසිම දෙයක් මේ ගෙදර ඇතුළේ සිද්ධ වෙන්න බෑ. මං මේ යෝජනාවට කැමති වුණේ ගොඩක් දේවල් ගැන හිතල බලලා. අනික මේකේ කිසිම වැරැද්දක් මං දකින්නේ නෑ. අපේ පුතාට ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් මේ කසාදේ සිද්ධ වුනොත්. ඒක මට විශ්වාසයි ” 

තමා කියූ සියල්ල ගඟට ඉනි කැපුවාක් මෙන් අපතේ යන බව දැන දැනත් ජයමිණි උත්සහය අත හරින්නට සූදානම් වූයේ නැත.මේ සියල්ල තම කුසින් වැදූ එකම පුත්‍රයා වෙනුවෙනි.ඔහුගේ සතුට වෙනුවෙනි. ඔහු පතනා ආදරය වෙනුවෙනි.

” ඔයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන් වසන්ත. ඒත් අපි මේ කරල දෙන්න හදන දේ ඇතුලේ අපේ දරුවා සතුටින් ඉන්නවද කියන එක අපි හිතන්න ඕන නේද ? අඩුම ගානේ ඒ දෙන්නට දෙන්න ගැලපෙනවද කියලවත් ඒ දෙන්නට අඳුර ගන්න දෙන්න ඕනෙ නේද ? කසාදයක් ඇතුලේ ඒ දෙන්නට ඒ දෙන්නා ආදරේ නැත්නම් ඒ කසාදෙ පවතින්නෙ කොහොමද වසන්ත ? ” 

” තාම ඒ මිනිස්සු ආවෙත් නෑනේ. ආවට පස්සේ බලන්න බැරියෑ මොකද්ද කරන්නෙ කියලා ” 

” ඒ මිනිස්සු බලාපොරොත්තු තියා ගන්න කලින් අපි පුතා එක්ක මීට වඩා මේ ගැන කතා කලොත් හොඳ නැද්ද ? ” 

වසන්ත කෝපයට පත් වී ජයමිණි දෙසට හැරුනේ එවිට ය. එහෙත් ජයමිණි උත්සහය අත් හරින්නට සූදානම් වූයේ නැත.

” මේ අපි දෙන්නගෙම පුතා බව ඇත්ත. හැබැයි මං කැමතියි මේ කාරණාවේදී ඔයා පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවා නම්. මොකද ඔයාට පුළුවන්කමක් නෑනේ මේ වගේ කටයුත්තක් පුතාට හොයලා දෙන්න ” 

වසන්ත කියා දැම්මේ හිතක් පපුවක් නැති ලෙසය. ඔහු කියූ කතාව පපුවට පිහියකින් ඇන්නාක් තරම් වේදනාවක් වුවත් ජයමිණි හිත තද කර ගත්තා ය.තම පුතු වෙනුවෙන් තීරණයක් ගැනීමට ,ඔහු වෙනුවෙන් කතා කිරීමට තමාට හටද අයිතියක් තිබිය යුතුය. වසන්ත මොනවා කියූවත් මවකට තම පුතු වෙනුවෙන් ඇති අයිතිය ඔහුට බිඳින්නට දෙන්නට නොහැක.

” මට ඒක කරන්න බැරි වෙන්න පුලුවන් වසන්ත. ඒ උනාට මොන දේ කරන්නත් කලින් අපි හිතන්න ඕන පුතා ගේ සතුට ගැන මිසක් අපේ පවුලේ නම්බුව ගැන නෙමෙයි. මොන දේ රැකුනත් මොකද අපේ දරුව ගේ සතුට නැති වෙනවා නම් ” 

ජයමිණි ආයාසයෙන් කියා දැම්මේ. වසන්ත පුදුමයට පත් වූයේ ජයමිණි ගේ වචන වලටය. ඇයට මේ ඇත්තේ කොහෙන් ආ හයියක් දැයි වසන්ත මොහොතක් කල්පනා කලේ ය. මෙය අදහා ගත නොහැකි වුවත් ඇය ගේ වචනයට ඉඩ දිය නොහැක. 

” ජයමිණි මේ. මගේ යකා අවුස්ස ගන්න හදන්න එපා. තමුසේ කාගේ හයියක් අරන්ද මට ඔහොම කතා කරන්නෙ ? ආ ? කවදාවත් මේ ගෙදර මං කියන දේට පිටින් දෙයක් වෙලා නෑ. වෙන්න මං ඉඩ තියන්නෙත් නෑ. තමුන් මේ මෙහෙම කතා කරන්නෙ මොකක් හිතේ තියන් උනත් අන්න ඒ ටික තමුන්ගේ පුතාටත් තේරුම් කරලා තිබ්බා නම් හොඳයි. එතකොට ඉස්සරහට කාටත් ලේසියි ” 

ධීර උන්නේ කාමරයේ දොරකඩ සිට මේ සියල්ල අසාගෙන ය. තමා වෙනුවෙන් ප්‍රථම වතාවට තම මව මෙසේ කතා කිරීම ගැන ඇය ගැන අප්‍රමාණ ගෞරවයකුත් හොඳ හෝ නරක වුවත් තම ආධිපත්‍යය පතුරවන තාත්තා ගැන නොපහන් හැඟීමකුත් ධීර ගේ සිත තුළ උපන්නේ ය.

වෙන්නට යන යමක් වෙන්නට හැර ඊට මුහුණ දෙනවා යැයි ධීර සිතා ගත්තේ වසන්ත ගේ අවසන් වචන කිහිපය ඇසුනු පසුවය. තාදී ව තමා සතු කර ගන්නට නම් තමා සටන් කල යුතුය. ඇය වෙනුවෙන් පෙනී සිටිය යුතුය.තම ආදරය දිනා ගැනීමට නම් ඉදිරියට තමා හට බොහෝ කැප කිරීම් කරන්නට සිදු වන බව සිතමින් ධීර හෙමින් සීරුවේ කාමරයට ආවේ ය.

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here