සුසුවඳ සූත්‍ර – 30

0
4904

සෙනසුරාදා උදයෙන් ම අන්තරා මහගෙදරින් පිටත්වූවා ය. වැහි බීරුම තුනී වී ආකාසය සුදු එළියකින් පැහැදුල් වෙමින් තිබිණ. වැස්සේ නැති නම් හොඳ යයි ඇගේ සිත මිමිණුවේ ය.

“රෑ නොවී එන්න බලන්න. නැත්තං මට අප්පච්චිගෙ කියවිල්ල අහං ඉඳල එපා වෙයි”

අන්තරා ඇගේ පාදනමස්කාර කොට හාදුවක් දෙත්දී කිශෝරි කීවා ය. දියණිය ගේ වත සඳ මඬල වාගේ යයි ඒ වෙලාවේ ඈ පෑ සිනහව දකිත්දී අම්මා ට සිතිණ.

“ඔයාගෙ හිතේ තියෙන බලාපොරොත්තුව ඒ විදිහට ම ඉෂ්ට වෙන්න ඕනෙ”

ඇය ප්‍රාර්ථනයක් ද කළා ය.

දක්ෂිණ විසින් තනන ලද ගෙදර දොර හරිත්දී ම යුගාත්ම ගේ රිය පැමිණියේ ය. අන්තරා වතුර බෝතලයක් පුරවාගෙන රියට නැගුණා ය.

“මං හින්දා වදේ නේ ඕගොල්ලොන්ට. කමන්නෑ යාළුවෙක් නිසා චුට්ටක් වද වින්දට”

ඇය ලස්සන සිනහවක් පෑවා ය.  සඳ පායනවා වාගේ කියා ඔහු ට සිතිණ.

“පාරි කෙල්ල ලෑස්ති වෙලාද දන්නෑ නේ”

කියමින් අන්තරා දුරකතනය අතට ගත්දී යුගාත්ම ඉවත බලාගත්තේ ය. ඇය නො එනු ඇති බව ඔහු අනුමාන කරමින් සිටියේ ය.

“අන්තරා. මං කෝල් එකක් ගන්න හිතුව විතරයි. මට එන්න වෙන්නෑ අනේ. උණ ගැනෙන්න වගේ. හරි අමාරුයි”

පාරින්දි කෙඳිරියක සරින් කියවාගෙන ගියා ය. අන්තරා ට “අනේ” යි කියවිණ.

“එහෙනං අපි අද මේ වැඩේ කෑන්සල් කරමු. ඔයාට සනීප වුණාම වෙන දවසක යමු”

“අනේ එපා රත්තරං. ඔයා ගිහිං ඔයාගෙ වැඩේ කරං එන්න. දැන් දාගත්ත එක බාධා වෙන්න එපා යන්න. හරි මාත් එක්ක වෙන දවසකත් යමුකො. හොඳේ. ගුඩ් ලක් අන්තරා. ඔයාගෙ වැඩේ සක්සස් වෙන්න කියල මං විශ් කරනව”

“අනේ ඒත් මට ඔයාව දාල යන්න හිතෙන්නෑ. අනික අපි තුන්දෙනාම හිටියනං පාළු නෑ”

“හරි හරි ඔය දෙන්න චැට් එකක් දාං යන්නකො. බායි. බුදු සරණයි!”

අන්තරා ප්‍රතිචාර දක්වන්නටත් පෙර පාරින්දි දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. යුගාත්ම දෙස බැලූ අන්තරා ගේ මහත් වූ ඇස් වල අපේක්ෂා භංගත්වයක් විය.

“පාරින්දි එන්නැහැලුද…”

“එයාට සනීප නෑලුනෙ. අයියෝ… අපි දෙන්න විතරක් යන්නෝන් නෑ නේ ඉතිං…”

“ඇයි ඔයා මාත් එක්ක තනියම යන්න අකමැතියිද…”

එය ඍජු හා දැඩි ප්‍රශ්නයකි. අන්තරා තිගැස්සී ගියා ය.

“අනේ එහෙම නෙවේ ඉතිං. අපි කොහේ ගියත් ගියේ පාරිත් එක්කමනෙ. ඒකයි”

“මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ ඔයාගෙ වැඩේනෙ. කොහොමත් අපි ට්‍රිප් එකක් යන්න හිටිය නෙවෙයිනෙ. ඒක නිසා ගිහින් එමු”

යුගාත්ම ගේ තීරණය ස්ථාවර බව ඔහු ගේ මුහුණ දකිත්දී අන්තරා ට දැනිණ. එබැවින් තව දුරටත් කිසිත් නො පවසා නිහඬව බිම බලාගන්නට ඇය ට සිදු විය.

යුගාත්‍ම ට පෙර දා වූ සිදුවීම සිහිපත් විය. ඔහු සමග කතා කරන්නට යමක් ඇති බව කියමින් කොල්ලුපිටිය ශාඛාවේ මතු මහලට පැමිණියේ පාරින්දි ම ය.

“ඔයා අනුත්තරාට කැමැත්තෙන් ද ඉන්නෙ… අයි මීන්… යාළුවෙක් විදිහට නෙවෙයි… ඊට එහාට ඔයා එයා ගැන හිතනවද…”

යුගාත්ම ඇගේ මුහුණ දෙස එක එල්ලයේ බලා සිටියේ ය. පාරින්දි දෑස් බිමට හරවාගත්තා ය.

“ඔයා මගෙ යාළුවෙක් වගේ දැනෙන නිසා ඇත්තම කියන්නං. ඔව්. මං එයාට කැමතියි තමයි. ඒත් මේ ගැන අන්තරාට කියන්නෙපා පාරින්දි. මොකද… එයා මට සලකන්නෙ හොඳම යාළුවෙක්ට වගේ. එයාට මේ වෙලාවෙ හිතේ තියන දෙයක් කියාගන්න වුණත් ඉන්නෙ අපි දෙන්න විතරයි. ඩිවෝස් එකකට ෆේස් කරන කෙනෙක් විදිහට මේ වෙලාවෙ එයාගෙ මෙන්ටලිටි එක මට හොඳට තේරෙනව. ඇත්තටම මේ වෙලාවෙ වෙන පිරිමියෙක් ගැන හිතන්න එයාට ඕන නෑ. ඒක විහිළුවක් විතරයි. මෙහෙම දෙයක් දැනගත්තොත් අපේ යාළුකං පවා අතෑරල දාල ඈතකට දුවන්න එයාට ඕන වෙයි. මට එහෙම හදිස්සියෙ එයාට ප්‍රපෝස් කරන්නවත් එයාව බැඳගන්නවත් ඕන නෑ පාරින්දි. අයි ජස්ට් වෝන්ට් ටු බී දෙයාර් ෆො හර්. කවදහරි එයාට මාව ෆීල් වෙන දවසක් වෙනකල් මෙහෙම පැත්තකින් ඉන්න මට පුළුවන්. ඔයාව ට්‍රස්ට් කරලයි මං මේක කිව්වෙ. ඔයා මේ ගැන අන්තරාට කියන්න ඕන නෑ”

“ශුවර්. ප්‍රොමිස්…”

ඇය පොරොන්දු වූයේ බිඳුණු හඬකින් බව යුගාත්ම දනී. නමුත් ඔහු ද මෙය ඇයට කියාගැනීමේ උවමනාවක සිටියේ ය. පාරින්දි ඔහු ගැන උනන්දුවෙන් පසු වෙන බව ඔහු ට දැනුණ බැවිනි. එසේ ම ඇය පෙළෙනවා කියන විශාධයේ  නාමයෙන් ඇයට අනුකම්පා කොට ඈ සිය ජීවිතයට ඈඳා ගැනීමේ කිසිදු අදහසක් ඔහු ට නොවන බැවිනි.

“ඇත්තටම ඔයාවයි පාරින්දිවයි එක සැරේම මගෙ ජීවිතේට එවන්න ඇත්තෙ මං නොදන්න බලවේගයකින් කියලමයි මට හිතෙන්නෙ යුගාත්ම”

අන්තරා ද බිඳුණු හඬකින් උගුර යටින් කතා කළා ය.

“මේ වෙලාවෙ ඔය දෙන්නත් නොහිටියනං මං මොනා කරයිද මට මොනා වෙයිද කියල මං දන්නෑ. ඇත්තටම කාලයක් තනිකමට පුරුදු වෙලා හිටිය වුණත් මේ වෙලාවෙ තනියම මට මේ ඉන්සිඩන්ට්ස් වලට ෆේස් කරන්න බැරි වෙයි”

රිය පදවන ගමන් ම යන්තම් හිස හරවා යුගාත්ම අන්තරා දෙස බැලුවේ ය. හදිසි වැහි වලාකුළක් ඇගේ වත හරහා හමා යමින් තිබිණ.

“ඒක නිසා මට ඔය දෙන්න ගොඩාක් වටිනව. යාළුවො කියන්නෙ මෙහෙම හිතට හයියක් වෙන අයට කියල ඇත්තටම මං දැනං හිටියෙ නෑ. මට එහෙම හිතට ළඟ යාළුවො ඉඳලත් නෑ”

“හරි ඉතිං දැං අපි ඉන්නවනෙ”

කියමින් යුගාත්ම ඇගේ හිස් මුදුනෙහි සිය වමත තැබුවේ අන්තරා ගේ ඇසග එල්ලී තිබි කඳුළු ගුළි දෙක උකුල මතට කඩා වැටෙත්දී ම ය.

“මං මේ මුකුත් නොවුණා වගේ ඉන්නෙ වෙන කරන්න දෙයක් නැති නිසයි යුගාත්ම. මේ හරි අමාරු දවස් ටිකක්. අම්මලගෙ ගෙදර ගියාම හිතෙනව අපේ ගෙදර ඇවිත් තනියම හිටියනං ලේසියි… එතකොට මට ඕන්නං අඬන්න වුණත් පුළුවන්නෙ කියල. එහෙ වැඩ කර කර ඉන්නකොට හිතෙනව මං කොච්චර තනි වෙලාද මං මෙහෙම වැඩ කරන්නෙ මාවයි මගෙ වේදනාවයි අමතක කරන්න නේද කියල. එතකොට මහ පුදුම අසරණ හැඟීමක් දැනෙනව. ආත්මානුකම්පාව තරං දරුණුවට මනුස්සයෙක්ට රිද්දන දෙයක් වෙන නැති තරං යුගාත්ම. එතකොට හිතෙනව ගෙදර ගියානං අම්මයි අප්පච්චියි එක්ක මොනා හරි කතා කර කර ඉන්නව නේද… එයාල වෙනුවෙං බොරුවට හරි හිනාවෙලා ඉන්නව නේද කියල. බොරුවට හිනාවෙන එකත් ලේසි දෙයක් නෙවෙයි යුගාත්ම. එතකොට හරියට කම්මුල් රිදෙනව. එදා ඔය දෙන්න එක්ක ෆිල්ම් එකක් බලපු පැය දෙකේ මට සම්පූර්ණයෙන්ම මාව අමතක වෙලා ගියා වගේ. එහෙම කරන්න පුළුවන් යාළුවන්ට විතරයිද කොහෙද…”

“අමාරු කාල එනව තමයි අන්තරා. හැබැයි යනව කියලත් අපි දන්නවනෙ. ටික දවසයි අමාරු. අඬන්න ඕනනං අඬන්න. ඕන වෙලාවක ඕන දෙයක් කියන්න. අපි ඉන්නවනෙ. ඔයාගෙ වැඩේ ෆෝකස් කරගෙන වැඩ කරන්න. එතකොට මේ අමාරු කාලෙත් එක්කම ඔයා ඉස්සරහට ගිහිං තියෙයි. ඊට පස්සෙ මේ අලුත් ෆ්‍රෙග්‍රන්ස් එකත් එක්ක ඔයා මේ ලෝකෙට අලුත් දෙයක් හොයල දීපු කෙනෙක් වෙලා ඉඳියි. කවුරුත් නොකරපු දෙයක් ඉස්සල්ලම කරපු කෙනෙක් වෙලා ඉඳියි. එදාට ඔයා වටේ තව තව අය ඉඳියි. ඔයාට කරන්න අලුතෙන් වැඩ එකතු වෙලා තියෙයි. පරණ කඳුළු දැන් මේ තැන්වල හලල ඉවරකරල යන එක හොඳයි කියල මං කියන්නෙ ඒකයි. තව ටිකක් ඉස්සරහට යද්දි ඒ වෙච්ච දේවල් මොනාද කියල ඔයා ඔයාටම වුණත් හිනාවෙන්න පුළුවන්. අපි දන්නෑ ඉස්සරහට මොනාද වෙන්න තියෙන්නෙ කියල. පුළුවං තරං කාලයක් අපි එකට ඉස්සරහට යමු”

තෙතමනයෙන් දිළිසෙන දෑසින් ම ඕ සිනහ වූවා ය. ඒ වෙලාවේ පාරින්දි කොට්ටයේ මූණ ඔබාගෙන ඉතා තදින් හඬමින් සිටියා ය. ඒ ගමන යා නො හැකි යයි හිත විලාප තැබුවෙන් නො යා සිටිය ද යන්නට තිබුණා යි පසුතැවීමක් දැන් ඇයට වද දෙයි. ගියා නම් සිදු වන සියල්ලෙහි ඇය ද සාක්ෂිකාරියක වන්නී ය. නමුත් දැන් ඇය යුගාත්ම අන්තරා වෙත බැඳි ප්‍රේමයෙහි පමණක් සාක්ෂිකාරයෙකු වී තිබේ.

මේ සත්‍යය පිළිගෙන ඔවුන් දෙදෙනාට හොඳ මිතුරියක වන්නට ඇය කැමති ය. නමුදු ඇසිතේ යුගාත්ම කෙරේ වන ඇල්ම ඊට වඩා මඳක් බරින් වැඩි ය. උඩුගං බලා පිහිනන එක කෙතරම් අසීරු දැයි ඇය අත්විඳිමින් සිටින්නී ය.

“දැං ඔයාට කොහොමද” කියා අසමින් අන්තරා දවල් වන විට යළිත් පාරින්දි ට දුරකතන ඇමතුමක් දුන්නා ය. ඇය රඟපෑවේ බොරු උණ රෝගියෙකු ලෙස වී ද සැබවින් උණ ගැනෙන්නට එන්නා සේ හිස රිදෙමින් තිබිණ.

“මං හිටියනං කබලෙ බැදල කොත්තමල්ලි ටිකක්වත් තම්බල දෙනවනෙ”

කියා අන්තරා කී විට පාරින්දි ගේ හදවත දැවී ගියා සේ ය. ඇය කෙතරම් හොඳ යෙහෙළියක් ද?

කඳුකරයට සමීප වන විට සුවදායී කඳුකර සුළඟේ දැවටී ඒ සුවඳ හමා එයි. සීතල කඳුකර සුවඳ! අන්තරා දෑස් පියාගෙන ඒ සුවඳ ට ඈ වට කරගන්නට හැරියා ය. ඒ සුවඳ අංශු තුළ එක පුංචි අංශුවක් බවට පත් වූවා ය. ඒ සුවඳ අංශු තුළ වන සුවඳ සාන්ද්‍රණයන්හි අනුපාත හදවතින් කිරා මැන බැලුවා ය. ඇගේ අතින් නිමැවුණු විවිධ අනුපාත දරන සුවඳ සාම්පල සමග කඳුකර සුවඳ සසඳා බැලුවා ය.

“ටොප් නෝට්ස් වල ලොකූ වෙනසකුත් නෑ වගේ අන්තරා”

“වෙනසක් තියනව අනේ. බේස් නෝට්ස් වල සැන්ඩ්ල් වුඩ් සුවඳයි යුක්ලිපිටස් සුවඳයි ඕකේ. මිඩ්ල් නෝට්ස් වල ෆ්‍රෙෂ් ගතියයි ෆ්ලෝරල් ගතියයි එහෙට මෙහෙට කරගන්න පුළුවන්. ඒත් මට ටොප් නෝට්ස් වල මොකද්දෝ අඩුවක් දැනෙනව යුගාත්ම. ඒ සයිප්‍රස් කොළ වලින් එන සුවඳ වෙන්න බැරිද…”

අන්තරා කඳුකරයට එන විට වෙනස් ම චරිතයක් බවට රූපාන්තරණය වී සිටියා ය. යුගාත්ම ඇයව සයිප්‍රස් කැලයක් වෙත කැටිව ගියේ ය. කම්කරු මිනිසෙකු ගේ අතට මුදලක් දී ඔහු සයිප්‍රස් අතු කිහිපයක් කප්පවා ද දුන්නේ ය.

“ඒ එක්කම මට ඔයාට කියන්න දෙයක් තියනව”

ඔහු එසේ කීවේ කඳුකර අවන්හලක කඳුකර රසයට දිවා ආහාර ගන්නා ගමන් ය. ඇගේ ඇස් වල ප්‍රශ්නාර්ථයක් විය.

“ඔයාගෙ එක්ස්පෙරිමන්ට්ස් වල අයිතිය ඔයාට විතරක් තියාගන්න. ඒ රූම් එකට එදා අපිව එක්කං ගියා තමයි. ඒත් ආයෙ එහෙම කරන්නෙපා. ඒකෙ කී එක විශේෂ තැනක කියාගන්න. ගෙදරට කවුරුත් එන වෙලාවට… මමයි පාරින්දියි වුණත්… ඒ රූම් එකේ දොර ඇරල තියන්නෙපා. අනිත් එක මේ ෆ්‍රේග්‍රන්ස් ෆෝමියුලාස් ගැන ඔයා විතරක් දැනං හිටියහම ඇති. මට කියන්න ඕනත් නෑ. මං ඔයාගෙ ඕන දේකදි ඔයා එක්ක ඉන්නව. ඒත් මේක විශේෂ වැඩක් අන්තරා. මේක ඔයාව ඔයා නොහිතන තැනකට උස්සල තියන වැඩක්. ඒක නිසා අපි පරිස්සං වෙමු. ම්…”

“අනේ ඉතිං මට ඔය දෙන්න විශ්වාසයි”

“ඒත් මට ඔයා ඇරෙන්න වෙන කවුරුත් විශ්වාස නෑ. පේටන්ට් ගන්නකල් මේක ඔයාගෙ රහසක්. ඕකේ…”

“අනේ ඔයා හරි හොඳයි යුගාත්ම”

“ඇති යාන්තං”

ඔහු ගේ දෙඅදර පෙති ලිහී මනස්කාන්ත පිරිමි සිනහ මලක් පිපිණි. එහි අතරමං වීමට පෙර අන්තරා පාර හොයාගත්තා ය.

“ඇති යාන්තං කියන්නෙ. ඕගොල්ලො හොඳ නිසා තමයිනෙ මං මෙච්චර ලං වුණෙත්‍…”

‘ඔයා’ කියනවාට වැඩිය ‘ඕගොල්ලො’ යන බහු වචනය වඩාත් පහසු සෙයක් ඇයට දැනිණ. නමුත් යුගාත්ම ගේ වියැකී යන සිනහවෙහි පවා වූයේ පෙම්වත් බවකි.

“පල් එකට හිනා වෙන්නෙපා ඉතිං”

ඇය නෝක්කාඩුවක් පෑවා ය. යුගාත්ම වඩාත් හඬ නගා සිනහ වූයේ ය.

“හරි නරකයි අනේ”

ඇය බත් පත දෙසට නෙතු නැඹුරු කරගත්තා ය. අන්තරා ගේ බාධාවකින් තොරව ඔහු තත්පර කිහිපයක් ඒ වත දෙස බලාගෙන සිටියේ ය. ඇය උදුල සඳ මඬලක් වාගේ ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here