තාදී – 31

0
3319

වසන්ත උන්නේ කෝපයෙන් රත්වී ගෙනය. මිෂෙල් පිටව යන තෙක් ඉවසීමෙන් හුන් වසන්ත ගෙතුළට ආවේ කෝපයෙන් වෙවුලමිනි. ජයමිණි උන්නේ සාලයේ කොනකට වන්නට ඇති හාන්සි පුටුවේ සිට සුපුරුදු පරිදි පොතක් කියවමිනි.

” ජයමිණි ” 

වසන්ත ගේ උස් හඬට ගැස්සුණු ජයමිණි පොත වසා දමා නැගිට වසන්ත වෙත ආවේ කුමක් හෝ සිදුවී ඇති බව සිතමිනි. මිෂෙල් පැමිණ ගිය බවක් ජයමිණි දැන උන්නේ නැත. ඒ නිසා වසන්ත තවත් යමක් කියන තුරු ඇය බලා සිටියාය.

” අරූට ගෙදර එන්න කියලා කෝල් කරලා කියන්න ” 

වසන්ත කෝපයෙන් කෑගැසුවේය. මේ කියන්නේ ධීර පිළිබඳව මිස අන් කිසිවෙකු පිළිබඳව නොවන බව ජයමිණි දැන උන්නත් සිදුවී ඇති දෙය දැන ගැනීමට වුවමනාවෙන් ජයමිණි මොහොතක් නතර වූවාය

” ඇයි වසන්ත? ” 

ජයමිණි ඇසුවේ බියෙනි. වසන්ත මෙසේ කෝපයෙන් සිටිනා විට ඕනෑම වචනයකින් දමා ගසන බවත් ඒවා හදවත පසාරු කරගෙන යන තරමේ දරුණු රිදුම් දෙන ඒවා බවත් අත්දැකීමෙන් දැන දැනත් ජයමිණි බලා උන්නාය.

” ඇයි ? ඇයි තමයි. මූ නං මගේ මූණ දැලි ගාන්නම ඉපදිච්ච එකෙක්.ශිහ්. ” 

වසන්ත මේ පිළිතුරු දෙන්නේ අසනා දෙයට නොවේ. ඔහු කරන්නේ කෝපය පිට කිරීමය. ධීර ට ඇමතුමක් දීමට පෙර සිදුවී ඇති දෙය දැන ගත යුතුය. එවිට සිදුවන්නට යන ඕනෑම දෙයකට සූදානමින් ඔහුට නිවසට පැමිණිය හැක.

” මොකද්ද වසන්ත වෙලා තියෙන්නේ ? ” 

” වෙලා තියෙන්නේද ? තමුසෙගේ මහ ලොකු පුතා කොහෙද යන නැට්ටිටියෙක් කරේ එල්ල ගෙන තියෙන එක. ඒ මදිවට බඳින්න කැමති නෑ කියලා මිෂෙල්ටත් කියලා ” 

” දැන් කවුද ඔයාට ඕවා කිව්වේ ? ” 

” වෙන කවුද ඉතින්? මිෂෙල් මේ දැන් ඇවිල්ල කියලා ගියේ. ඒ ළමයා ඉන්නේ හොඳටම හිත රිදිලා. රූපසිංහ උනත් දැන් මොනා හිතයිද මං ගැන ” 

ජයමිණි මොහොතක් නිහඬව උන්නාය. විවාහයට අකමැති බව මිෂෙල් හා පවසන බව කීවත් තාදී ගැන මිෂෙල් සමග කියනා බවක් ධීර කීවේ නැත.එකත් එකටම මෙය මිෂෙල් විසින් වසන්තව කෝප ගැන්වීම සඳහා කියන ලද්දක් බව ජයමිණි සිතුවාය. ජයමිණි නිවසේ වූ ප්‍රධාන දුරකථනය වෙත ගියේ සිතුවිල්ලේ ය.

” අම්මා ” 

ප්‍රධාන දුරකථනයෙන් ඇමතුමක් පැමිණෙන්නේ ජයමිණි ගෙන් බව දන්නා නිසා ධීර ඉක්මනින් ඇමතුමට සම්බන්ධ වූයේය.

” පුතා. ගෙදර එන්න ” 

ජයමිණි කීවේ දෑස් කොනෙන් වසන්ත දෙසද බලමිනි. ඒ වන විටත් කෝපයෙන් දැවෙමින් වසන්ත සාලය පුරා එහා මෙහා යමින් උන්නේය.

” ඇයි අම්මා ? ” 

ජයමිණි ගේ හඬෙහි වූ වෙනස හඳුන ගන්නට ධීර ට අපහසු වූයේ නැත.

” එන්නකො. තාත්තා එන්න කියනවා ” 

කුමක් හෝ සිදුවී ඇති බව වටහා ගන්නට ධීර ට ඒ වචන ටිකම ප්‍රමාණවත් වූ අතර සුපුරුදු පරිදි මිෂෙල් විසින් දෙපාර්ශවයේම ගිනි අවුලා ඇති බව ධීර අනුමාන කළේ ය.

” මොකක් හරි අවුලක් නේද අම්මා ? ” 

” හ්ම්ම් ” 

ජයමිණි කීවේ එපමණකි. වසන්ත පෙනෙන මානයේ හුන් නිසා එතනින් එහා කිසිවක් කියා ගැනීමට ජයමිණිට හැකි වූයේ නැත.

” මං එන්නම් අම්මා ” 

ධීර ඇමතුම අවසන් කළේ තරමක බියෙනි. ඉක්මනින් නිවසට යා යුතුය. නැතහොත් සියල්ලටම තනිව මුහුණ දීමට සිදුවන්නේ අහිංසක මව ට ය. යමක් සිදුවීමට යන බව තාදී ට පැවසීමට සිතුනත් මේ මොහොතේ ඇයව කලබල කිරීමට ධීර ට සිතුනේ නැත. නමුත් කෝකටත් කියා ධීර තාදී ට ඇමතුමක් ගත්තේය. 

” බිසී ද තාදී? ” 

ධීර ඇසුවේ තාදී දුරකථනයට පිළිතුරු දීමට මඳ වේලාවක් ගත වූ නිසා ය. ඇත්තටම තාදී උන්නේ කාර්යබහුල මොහොතක වුවත් ධීර වෙනුවෙන් ඇයට ඕනෑම මොහොතක කාලය වෙන් කර ගත්තාය.

” කියන්නකෝ ” 

තාදී පිළිතුරු දුන්නේ සුපුරුදු ආදරණීය බවිනි. කොයිම මොහොතකවත් වෙනසක් නොවන ඒ ආදරණීය බව ධීර ට ගෙන ආවේ මහත් වූ සැනසීමකි. ඒ සැනසීම ජීවිත කාලයටම තමා සන්තකයේ තබා ගැනීමට නම් විශාල අරගලයක් කළ යුතු ය. මේ එළඹෙන්නට යන්නේ එකී අරගලකාරී සමය ය.

” නිකන් ගත්තේ. මං ගෙදර යනවා කියන්න ” 

” ගෙදර? ඇයි කලින්ම ? ” 

” විශේෂයක් නෑ. ලොකුවට වැඩක් නැති නිසා ගෙදර යන්න හිතුනා ” 

ධීර තාදී ට බොරු පිළිතුරක් දුන්නේ හිතකින් නොවේ. 

” ඇත්තමද කියන්නේ ? ” 

තාදී ඇසුවේ අමුතුවටය. ධීර ගේ යම් වෙනසක් ඇයට නොදැනුනා නොවේ. මිෂෙල් සමග උදෑසන ඇති වූ කතාබහ නිසා ධීර සිටින්නේ හිත හොඳින් නොවන බව ඇය ඉන්පසුව සිතුවාය. 

” හිතට හරි නැති නිසා නේද ගෙදර යන්නේ ? ” 

ධීර පිළිතුරක් නොදුන් තැන තාදී නැවත ඇසුවාය.

” හ්ම්ම්. ” 

” හරි හරි. එහෙනම් පරිස්සමට ගෙදර ගිහින් පොඩ්ඩක් රෙස්ට් කරන්න. ගෙදර ගිහින් අම්මත් එක්ක චැට් එකක් දැම්මහම ඔය ඔක්කොම අමතක වෙලා යයි ධීර ” 

ධීර දුරකථන ඇමතුම අවසන් කර වාහනයේ යතුර සහ දුරකථනය රැගෙන කාර්යාලයෙන් පිටවී විදුලි සෝපානයට නැඟුණේ බර වූ හැඟීමකිනි. එක අතකට දුක් වන්නට හේතුවක්ද නැත. කුමක් සිදු වූවත් තාදී සහ තම මව තමාගේ පස සිට ගන්නා බව ධීර තදින්ම විශ්වාස කළේ ය. එහෙත් කුමක්දෝ බරැති හැඟීමක් හදවත පෙළමින් තිබුණේය.

වාහනයට නැගුනු ධීර දිගු සුසුමක් මුදා හැරියේ නිරායාසයෙනි. වෙනදාටත් වඩා සෙමෙන් රිය පැදවූ ධීර ගේ හදවත වේගයෙන් ගැහෙන්නට පටන් ගත්තේ නිවසට ළං වෙද්දීය.මේ වන විටත් තම පියා කෝපයෙන් ආරූඪ වී තමා පැමිණෙන තුරු මග බලමින් සිටින බව ධීර සිතුවේ ය. 

ඕනෑම දෙයකට මුහුණ දෙන්නට සූදානමින් ධීර වාහනයෙන් බැස්සේ අවශ්‍ය වුවහොත් තාදී පිළිබඳව තම පියාට පවසන්නටත් සිතා ගනිමිනි.

බලාපොරොත්තු වූ පරිදිම වසන්ත ගජනායක නොසන්සිඳුනු කෝපයෙන් සාලයට වී බලා උන්නේය. ජයමිණි සෝෆාවේ කොණක වාඩි වී හුන් අතර ධීර ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වනු දුටු සැණින් ඇය නැගිට්ටාය. වසන්ත ධීර ව දුටුවේ ඉන් අනතුරුවය.

” උඹ එනකන් තමයි මම මේ හිටියේ ” 

ධීර ට නිවස තුළට පය තබන්නට වත් වසන්ත ඉඩ දුන්නේ නැත. ධීර ආයාසයෙන් මවාගත් ධෛර්යයකින් යුතුව ඉදිරියට ආවේ වසන්තට පසු පසින් සිටගෙන හුන් ජයමිණි දෙසද බලමිනි. ඇයගේ බැල්මෙහි වූයේ බිය නොවන ලෙස සංඥාවකි. 

” ඇයි තාත්තා ? ” 

ධීර ඇසුවේ සියලු හැඟීම් සඟවා ගන්නට උත්සාහ දරමිනි. 

” හහ්.. ඇයි කියල අහන ලස්සන. උඹට අච්චර හොඳ කෙල්ලෙක්ව කකුල් දෙක ළඟටම ගෙනැල්ලා දීලාත් කොහෙවත් යන නැට්ටිච්චියෙක්ව කරේ එල්ල ගත්තෙ මොන හයියකටද ? ” 

ධීර කිසිවක් කීවේ නැත. මෙය මිෂෙල් විසින් ඇති කරනා ලද ප්‍රශ්නයක් බව ධීර හොදාකාරවම දැන උන්නේය. මේ මොහොතට මුහුණ දිය යුත්තේ හදවතින් නොව බුද්ධියෙන් බව සිතමින් ධීර මොහොතක් ගත කළේය.

” කතා කරනවා? තමුසෙ එහෙම කළේ මගේ මූණේ දැලි ගාන්නද ? ” 

වසන්ත අඩියක් ඉදිරියට ආවේ ය.එහෙත් ධීර සෙලවුනේවත් නැත.

” මිෂෙලුයි මායි ගැලපෙන්නෙ නෑ තාත්තා ” 

ධීර කීවේ එපමණකි. නමුත් වසන්තට අවැසි වූ උත්තරය එය නොවේ.

” ඒ නිසාද තමුසෙ වෙන එකියක් හොයා ගත්තේ ? ” 

” තාත්තට ඕක කිව්වේ මිෂෙල්ද ? ” 

” ඔව්. ඒ ළමයාගේ හිත හොඳටම රිදිලා ඉන්නේ. දැන් මං මොනාද මිනිහෝ රූපසිංහට කියන්නේ ? ” 

තමාගේ අනුමානය නිවැරදි ය. එසේ නම් තමා සිතූ පරිදිම මේ සියල්ල අවුලුවා ඇත්තේ මිෂෙල් විසිනි. ඇය පිළිබඳව සත්‍ය වසන්ත ඉදිරියේ දිගහැරීමට හොඳම වෙලාව මෙය ය.

” දැන් එතකොට ඔය ඔක්කොම කියපු මිෂෙල් තාත්තට ඉතුරු ටික කිව්වේ නැද්ද ? ” 

ධීර ඇසුවේ හිතට ධෛර්යය ගෙනය. 

” මොකක්ද ඉතුරු ටික ? ” 

ReplyForwardAdd reaction

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here