ආදරේ අහඹුවක් – නවවන කොටස

0
2245

මොනතරං අමාරුවෙන්ද මං එයැයිව මුලිච්චි වෙන්න ක්‍රමයක් හොයාගත්තෙ එයැයි අපෙ ගෙදර ඇවිල්ල ගියාට පස්සෙ. සුදේ අක්කව බෝම අමාරුවෙන් මනාප කොරගත්තෙ එයැයිට මාව මුලිච්චි වෙන්න එන්න පණිවිඩේ දීගන්න. මං වැඳවැටුනෙ නැති ටික විතරයි කකුල් දෙක ළඟ ඒ ඇත්තිගෙ අරවින්දට එන්න කියන්නය කියල මං පොලට යද්දි.

මක්ක උනත් අම්මට වාත අමාරුව තියෙන හන්දා අම්මා පොලට යන්නෙම නැති තරං. නංගිගෙන් ඉතින් එහෙම දෙයක් අහන එක වුනත් එයැයිට කෝප ගන්න කාරණා හන්දා අම්මා මාවම තමා පොලට යවන්නෙ. “පොල් ලෙලි ටික පල්කොරගන්න එව්ජිනාව ගෙයි තියාගන්න ඕන මිසක්ක මං නං මනාප නෑ ලාලනීව එලියට පහලියට යවන්න” මතුර මතුර අම්මා ගෙයි උඩ පල්ලෙහා ගියාට මොකෝ මට නං මක්කවත් කියන්න කොරන්න ආවෙ නෑ.

කියල මොකෝ මාව ගෙයින් තියාගෙන ඉන්න ඇහැක ඉතින් හැමදාටම? කවදකමහරි එලි පහලියට යවන්න වෙනව නෙව.

තාත්තා නං අමුතුවෙන් මක්කවත් කිව්වෙ නැත්තෙ එදා එයැයි ඇවිල්ල ගියයින් පස්සෙ “කරාවෙ මිනිස්සු එක්කල පෑහෙන්න ඇහැකිද” කියල අහපු කාරණාව මට තේරුණාය කියල හිතල වෙන්නැති.

මනුස්සයෙක් වසලයෙක් හරි බ්‍රාහ්මනයෙක් හරි වෙන්නෙ උන්දැ කොරන කියන එව්වයින් මිසක්ක උන්දැගෙ කුලෙන් නෙවි විත්තිය බුද්ද දර්මයේ මෙච්චර පහදල දීල තියෙද්දිත් අපෙ අම්මල ඔව්ව හිතනවය කියල හිතද්දිත් මට පුදුමයි. අනිත් අතට මං හිතාං උන්නෙ අම්මල කතා බස් කොරල ගෙන්නාපු මනමාලයන්ගෙ හැටියට මාව මේ කාගෙ හරි ඇඟ ගහල අතාරින්න බලනව ඇත කියල නෙව.

කෝමින් කෝමින් හරි මේ හිච්චි මහත්තය නටාපු නාඩගම හන්ද උනේ මං නටන්න හදාපු නාඩගම නටන්න බැරි වෙච්ච එක තමා.

තාත්ත නං එදා එයැයි යද්දිම කිව්ව නෙව “මේ කටයුත්ත නං කෙරෙන්නෙ නැතෙයි” කියල. අනිත් අතට ආ වෙලේ ඉඳන් එක එක පුරස්න ඇහුව මිසක්කා වතුර උගුරක්වත් නොදීපු හන්දා බාගදා එයැයිට මුලින්ම තේරුං යන්නැති මේ කටයුත්ත ගැන එයැයිට එහෙමකට හොඳ බලාපොරොත්තුවක් තියාගන්න බැරිය කියල. 

අපෙ අම්ම නං එයැයි ඇවිල්ල ගිය වෙලේ මුලින්ම කොරේ ගුණේරිස් කපුවට පයිණ්ඩයක් යැව්ව එක, කවුරුහරි සුදුසු කාරණාවක් තියෙනං ඒ විස්තර අරගෙන අපෙ අහට ගොඩවෙන්නය කියල.

“ඉඳල ඉඳල පූට්ටු වෙච්ච මනුස්සය මදෑ. කරාවෙ එකෙක්” කියල නංගි නං බෝම ආඩපාලි කිව්ව මට. එයැයිට තිබිච්ච ලොකුම පුරස්නෙ මං කොරගන්න ගිය දේ හන්දා එයැයිට හිච්චි මහත්තයයි අහින් මනාප වෙන එකක් නෑය කියල. හිච්චි මහත්තයට පුරස්නයක් නැත්තං මෙයැයිට මොකද මෙච්චර රුදාව කියල මට අහන්නත් හිතුණා අම්මප

“උඹ කටවහගං සාදනී. අක්කගෙ කාරණා බලන්න තාම තාත්තයි මායි යහතින් ඉන්නව. උඹ ඒකිගෙ අම්ම වෙන්න යන්නෝන නෑ”

“අම්මල දැන් ඔහොම කියාවි. මෙයැයි කරාවෙ මිනිහෙක් එක්කල පූට්ටු වෙන්න හැදුවය කියල දැනගත්තොතින් ආරච්චි ගෙදර මාමයි නැන්දයි අපෙ කටයුත්තටවත් කැමති වෙන එකක් නෑ”

“උඹේ කටයුත්තට ඔක්කොටම කලියෙන් මනාප වෙන්නෝන හිච්චි මහත්තයනෙ. ඒ හන්දා උඹ මෙතන විගඩං නොනට ඉඳහන්” කියල අම්ම කඩං පැන්නම ගස්සගෙන ගියාට මොකෝ කුස්සියෙන් පිට වුනේ “ඔය පිලී ගඳ උන් එක්කල පෑහෙන්න අනේ අපිටනං බෑ” කියල මං දිහා ඔරවගෙන බලල කියානමයි

“අරවින්දගෙ පිලී ගඳ පුරස්නයක් වෙන්නෝන මටනෙ, මොකෝ උඹ යනවද ඒකව ඉඹින්න” කියල අහන්න හිතුනට මක්කටද කියල මං නොඅහ උන්නෙ ඔව්ව දොඩල වැඩක් නැතිම හන්දා.

පොළට උදේම ගොහිල්ල මං වෙනද එද්දි හොදටෝම දවල් වෙනවා. අර මක්කෙයි කිව්වොත් පොළේ තියෙන එක එක තොරොම්බල් ජාති හෙම බල බල ඉද්දි වෙලාව යන විත්තියක් තේරෙන්නෙ නැති හන්දා.

ඒ උනාට මෙදා මං එයැයිට මාව මුලිච්චි වෙන්න මගට එන්නය කිව්ව හන්දා මං ගන්නෝන ජාති ඔක්කොම එක්කාසු කොරගෙන හනි හනික අඩිය ඉස්මන් කොරල ගියේ එයැයි ඇවිල්ල ඇතිය කියල හිතාන.

මං මගක් දුක යද්දි තමා මං එයැයි එන විත්තිය දුටුවෙ. වෙනද තරංම ලස්සනට දුටුවට මොකෝ එයැයිගෙ මූනෙ තිබ්බෙ මහ වේදනාවක්. ඒ වේදනාවට හේතු කාරණාව මගෙන් ඈත් වෙන්න වෙච්චි එකද එහෙමත් නැත්තං අපෙ තාත්තල එයැයිට එයැයිගෙ කුලමල වලට එක එක එව්ව කිව්ව එකද කියල මං දැනං උන්නෙ නෑ. වෙනදට හඳක් හේ පායල තිබිච්ච, මාව දුටුවම හිනා මල් පිපිච්ච එයැයිගෙ මූන අද අව්වට කේඩෑරි වෙච්ච මලක් හේ බිමට බරවෙලා තිබ්බෙ.

“මොකෝ පුරස්නෙ කියල” වෙන මනුස්සයෙක් උනානං මට අහන්න කොරන්න තිබ්බ. ඒත් මෙයැයි මෙහෙම ඉන්න එකම පුරස්නෙ මං විත්තිය මං හොඳාකාරවම දැන දැන එහෙම අහන්න බෑ නෙව.

හිනාවක් කතාවක් නැතුව මං එක එල්ලේ එයැයි දිහාව බලාන උන්නෙ ඒ හන්දමයි

-උදතාරී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here