වැඩි වැඩ නැති රස අඩු නැති කේසරී හදන්නෙ මෙහෙමයි

කේසරී කියන්නෙ සීනි, සව් සහ ගිතෙල් එකතු කරල හදාගන්න ඉතාම ජනප්‍රිය දකුණු ඉන්දියානු අතුරුපසක්.

ටිකක් වෙනස් පැණි රස කෑමක් අතුරුපස විදිහට එකතු කරගන්න කැමති ඔබට ඔන්න එහෙනම් කේසරී හදාගන්නෙ කොහොමද කියල කියන්නයි smart lady අපි අද මේ ලෑස්ති වෙන්නෙ.

එහෙනම්, අවශ්‍ය කළමණා සූදානම් කරගමු.

අවශ්‍ය ද්‍රව්‍ය 

රුලං කෝප්ප 01 ක් 

සීනි කෝප්ප 01 ක් 

වතුර කෝප්ප 02 ½ ක් 

එනසාල් ඇට දෙක තුනක්

තැඹිලි පාට ආහාර වර්ණක හෝ සැෆරෝන් පොඟවා ගත් වතුර 

ගිතෙල් මේස හැඳි 05 ක් 06 ක් 

කජු මද 12 ක් පමණ

මුද්දරප්පලම් 12 ක් පමණ 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, භාජනයක් ලිප තබා එයට ගිතෙල් මේස හැඳි 02 ක් එකතු කර ගිතෙල් රත්වන විට භාජනයට මුද්දරප්පලම් සහ කජු එකතු කරගන්න.

රන්වන් පාටවනතුරු බැදගත් මුද්දරප්පලම් සහ කජු භාජනයෙන් ඉවත් කරගන්න.

දැන් ඒ භාජනයටම රුලං ටිකත් එකතු කරල විනාඩි 03 ක් 04 ක් රුලං වල සුවඳ විහිදෙන තුරු බැදගන්න. 

මේ වෙලාවෙදි රුලං වල පාට වෙනස් වෙනකන් බැදගන්නෙ නැතුව ඉන්න ඔබ ප්‍රවේශම්සහගත වෙන්නම ඕන. 

රුලං ටික මේ විදිහට බැදෙනකන් වතුර ටික නටවා ගන්න පුළුවන්.

රුලං ටික සුවඳ විහිදෙනකන් බැදුනට පස්සෙ නටවාගත්ත වතුර ටික හෙමීට රුලං වලට එකතු කරල කලවම් කරගන්න ඕන.

කැට නොසිටින විදිහට දිගින් දිගටම හැඳිගා ගන්නත් ඕන.

වතුර ඔක්කොම රුලං වලට උරාගත්තට පස්සෙ කැට නොසිටින මිශ්‍රණයක් ලැබෙනකන් හැඳිගා ගන්නත් අමතක කරන්න එපා.

දැන් භාජනයේ පියන වහල විනාඩි 02 ක් විතර පිසගෙන පියන විවෘත කරල සීනි ටික එකතු කරගන්න. 

සීනි හොඳින් දියවෙලා දියරමය මිශ්‍රණයක් එනකන් හොඳින් හැඳිගාගෙන පිසගන්න ඕන.

මේ මිශ්‍රණය උකු සහ මෘදු තත්ත්වයට ආවට පස්සෙ කජු, මුද්දරප්පලම්, කරදමුංගු, වර්ණක සහ ගිතෙල් එකතු කරල නැවත හොඳින් කලවම් කරගන්න ඕන.

හොඳින් කලවම් කරල විනාඩි 03 කට පස්සෙ භාජනයේ නොඇලෙන ගානට මේ මිශ්‍රණය පිළියෙල වුනාට පස්සෙ ලිප නිවල විනාඩි 02 ක් 04 ක් විතර භාජනයේ පියන වහල තියාගන්න ඕන.

දැන් මේ මිශ්‍රණය කුඩා කෝප්පයකට දාල ටිකක් තදකරල පිඟානක් මත අනෙක් පැත්ත හරවල කෝම්පිට්ටුවක් විදිහට හදාගන්න ඕන.

උඩින් කජු මදයක් මුද්දරප්පලම් එකක් තියාගෙන හැඩකරගනත් පුළුවන්.

එහෙනම්, මේ විදිහට කේසරී හදල බලමු නේද? 

සටහන – දුලානි නවෝද්‍යා 

Related Articles

Don't Miss


Latest Articles