මිෂෙල් උන්නේ ඉදිරියට පැන ධීර ගේ කම්මුලට පහරක් ගැසිය හැකි තරමේ කේන්තියකිනි. ධීර උන්නේද ඉවසීමේ සීමාවේ අගිස්සේ ය. ඔහු තරමක හෝ ඉවසීමෙන් සිටියේ මෙය තාදී ගේ ව්‍යාපාරික ස්ථානය නිසා ය. තමා මෙහි හැසිරෙන ආකාරය සෘජුවම ඇයට බලපාන නිසාය.
” වසන්ත අංකල් ඊයේ රෑ අපේ ගෙදර ඇවිල්ලා කිව්වේ නම් කොහොමද ? අරක කරන්නම් මේක කරන්නම් මෙහෙම කරන්නම් කියලා. හහ්. පුතා මෙතන කෙල්ලොත් එක්ක මගුල් නටනවා ”
මිෂෙල් කාර්යාල කාමරය දෙදරා යන තරමේ හඬකින් කෑගසද්දිත් තාදී ඉවසා ගෙන සිටියේ ඉමහත් උපේක්ශාවෙනි.
” ඉතින් ඒවා තාත්තා කියපුවා මිසක් මම කියපුව නෙමෙයිනෙ මිෂෙල්. ඔයා ඒවා බේරගන්න ඕන තාත්තා එක්ක. අනික , මං මගුල් නැටුවා නම් නැටුවේ මගේ කෙල්ලත් එක්ක ”
” එහෙම කියලා ඔයාට මේකෙන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කියලා හිතුවද ධීර ? ඔයා හිතනවද මම බලන් ඉඳියි කියලා ? හිතනවද ?”
මිෂෙල් කෝපයෙන් වෙව්ලමින් දත්මිටි කෑවා ය.ධීර මෙන්ම තාදීත් තරුණියකගෙන් මෙවැනි ආවේගශීලී හැසිරීමක් දුටු පළමු අවස්ථාව මෙය ය.
” ඒක ඔයාගෙ ප්‍රශ්නයක් මිසක් මගේ ප්‍රශ්නයක් නෙමෙයි මිෂෙල්. මං තාත්තාට උනත් පැහැදිලිවම කියලා තියෙන්නේ මම මැරි කරන්නේ තාදී ව කියලා ”
ධීර ස්ථීර හඬින් එසේ කියද්දි මිෂෙල් තව තව කෝපයෙන් පිපිරුවාය. ධීර මෙවැන්නක් කරතැයි බලාපොරොත්තු වූයේ නැත. අනෙක , තාදී යනු තමාටත් වඩා රූමත්, ඉවසිලිවන්ත සහ මෙවැනි විශාල ව්‍යාපාරයකද හිමිකාරියක ය. තමාට ඇත්තේ පියා විසින් හම්බ කල මුදල් ය. ධීර බලාපොරොත්තු වන්නේ කුමනාකාරයේ තරුණියකදැයි මිෂෙල් මුල් වරට අවබෝධ කර ගත්තේ තාදී දුටු විටය. ඇය තුළ පැහැදිලිවම පෙනෙන්නට තිබෙන එකදු ගතිගුණයක් හෝ තමා තුළ නැත.
” මම දැන්ම අන්කල්ට කෝල් කරලා මෙහාට එන්න කියනවා ”
මිෂෙල් පුපුරමින් දුරකතනය ගෙන එහෙ මෙහෙ කලාය.
” ඔයාට එන්න කියන්න දෙයක් නෑ. තාත්තා උදේ තාදීට කතා කරන්න මෙහාට ඇවිල්ලා ගිහිල්ලා තියෙන්නේ ”
ධීර එසේ කියද්දි මිෂෙල් නැවත දුරකතනය සාක්කුවට දමා ගෙන සන්සුන් වෙන්නට උත්සහ කලාය.
” හරි. ධීර මේකයි.අපේ මැරේජ් එක අපේ පේරන්ට්ස්ලා කතා කරගෙන ඉවරයි.එහෙම එකේ ඔයා මේ අනවශ්‍ය ප්‍රශ්න දාගෙන ඔක්කොම අවුල් කරන්න ලෑස්ති වෙන්න එපා. ප්ලීස් ”
” මේක අනවශ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි මිෂෙල්. අනවශ්‍ය ප්‍රශ්නෙ තමයි බින්දුවක්වත් ගැලපෙන්නෙ නැති ඔයාවයි මාවයි බලෙන් එකතු කරන්න හදන එක. මං ජීවිතේ ප්ලෑන් කරලා තියෙන්නේ තාදී එක්ක. එච්චරයි ”
ධීර සන්සුන් වී වාඩි වූයේය. තාදී ද වාඩි වූවාය. තමා මේ මොහොතේ මෙතන සිටියත් ඇති වී ඇති ගැටලුව විසඳා ගත යුත්තේ ධීර සහ මිෂෙල් නිසා තාදී කිසිවක් නොකියා බලා උන්නාය. මෙවන් ඉවසීමක් මිෂෙල් තුළ කොහෙත්ම නොපවතින බව ධීර යළි යළිත් සිතුවේය.
” තාදී. ඔයා නිසයි මෙතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ ”
මිෂෙල් එවර හැරුනේ තාදී දෙසට ය.නිවෙමින් තිබුණු ධීර ගේ කෝපය යළි ඇවිලුනේ එවදන් වලටය.
” මිෂෙල් මේ. තාදී මෙතන කිසිම ප්‍රශ්නයක් ඇති කරල නැහැ. මෙතන ප්‍රශ්නයක් ඇති කරන්නේ ඔයාලා. තාදී මුල ඉඳලම කලේ පැත්තකට වෙලා හිටපු එක ”
මිෂෙල්ට දරා ගත නොහැකි වූයේ ධීර විසින් තාදී ව රකිනා ආකාරය ය. සැබෑ පෙම්වතෙක් නම් එලෙස විය යුතුය. තමා හට සිටි කිසිදු පෙම්වතෙක් තුළ එවැනි ගතිගුණ නොවූ අතර කැනඩාවේදී තමා සමග එකට ජීවත් වූ යශාන් තුළ පමණක් එවැනි මහත්මා ගතිගුණ තිබූ බව මිෂෙල්ට සිහි විය. මුල සිටම ධීර ගෙන් දුටු ආකර්ශනීය බවත් , මේ මොහොතේ ඔහුගෙන් දකිනා සැබෑ පෙම්වතෙකු ගේ ගතිගුණත් මිෂෙල් තුළ ඔහු පිළිබඳව තව තවත් ලෝභ කමක් ඇති කළේ ය.
” එහෙනම් එයාට පැත්තකට වෙලාම ඉන්න කියන්න. නැත්තම් මං මෙතන මොනා කරයිද දන්නෙ නෑ ”
” මිෂෙල් , නූගත් ගෑනියෙක් වගේ කෑකෝ ගහලා ප්‍රශ්න විසඳන්න තියා ගන්න එපා. අනික මෙහෙම හැසිරෙන්න මේක ඔයාගේ අම්මගෙ අප්පගේ බූදලයක් නෙමෙයි. තාදී ගේ කම්පනි එක. ඔයා මෙතනට ආවේ කොහොමද කියලා නම් මම දන්නෑ. හැබැයි කරුණාකරලා ඔයා දැන් මෙතනින් යන්න. මොකද, ඔයා මෙතන ඔලුවෙන් හිටගෙන කෑගැහුවත් මේ කිසි දෙයක් වෙනස් වෙන්නේ නෑ “
ධීර ඉවත බලා ගත්තේ ය. මිෂෙල් ට මේ කාරණාව තේරුම් කර දිය හැකි වෙන මගක් ධීර දැන උන්නේ නැත.
” ඔයාගේ අන්තිම තීරණය ඒකද ? ”
මිෂෙල් ආයෙම ඇසුවාය. ඒ තාදී දෙසද බලමිනි.
” ඔව් ”
ධීර එසේ පිළිතුරු දුන් විට මිෂෙල් තුළ වූ අවසාන බලාපොරොත්තුවද බිඳ වැටිණි.එහෙත් පරාජය භාර ගැනීමට නොහැක. එබැවින් මිෂෙල් හැරුනේ තාදී දෙසටය. ඇයට උවමනා වූයේ වචන වලින් ගසා හෝ තාදීව පරාජය කිරීමටය.
” වසන්ත අංකල් ඔයාට කවදාවත් කැමති වෙන්නේ නැහැ. මොකද එයා මගේ තාත්තට පොරොන්දුවක් දීලා තියෙන්නේ. ඔයා කාගේ කවුරු වුණත් ඔයාට මොන දේවල් තිබුනත් ඔයාට මෙයාව කසාද බඳින්න වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තුවක් ඔයාගේ හිතේ තියෙනවනං ඒක දැම්ම අත ඇර ගන්න. මොකද මිෂෙල් කියන්නේ ලේසියෙන් පරාද වෙන කෙනෙක් නෙමෙයි ”
මිෂෙල් යන්නට හැරුනාය. තවත් නිහඬව සිටීමෙන් පළක් නැතැයි තේරුම් ගත් තාදී අසුනින් නැගී සිටියේ ධීර වද පුදුමයට පත්කරමිනි.
” පොඩ්ඩක් ඉන්න මිෂෙල් ”
තාදී අසුනෙන් නැගිට දොර අසල සිටි මිෂෙල් අසලට ආවාය. තාදී ව ළඟටම දකින්නේ දැන්ය. ඇගේ දෑස් වල ඇත්තේ පුදුමාකාර දීප්තියකි. එයටත් වඩා ඇය තුළ දකින්නට ඇත්තේ කිසිවෙකුට පරාද කළ නොහැකි තරමේ ශක්තියකි. මෙවැනි පෞරුෂයක් තරුණියක් තුළින් මිෂෙල් දකින්නේ පළමු වතාවටය.
” මැරේජ් එකක් කියන්නේ ඔයා හිතනවා වගේ බලෙන් කියල කරව ගන්න පුළුවන් දෙයක් නෙමෙයි මිෂෙල්. ඒක හදවතින් එන්න ඕන බැඳීමක්. හදවතින් එන්න ඕන බැඳීමක් බලෙන් ලගට අර ගෙන ගැට ගහලා තියා ගන්න බැහැ. එහෙම ගත්තත් ඒක වැඩි කල් තියා ගන්න වෙන්නේ නැහැ. පුළුවන් නම් විතරක් ඒක තේරුම් ගන්න ”
තාදී එවදන් කියා අවසන් කලේම මදහසක් ඇතිවය. ධීර බලා උන්නේ තාදී ගේ මේ පුදුමාකාර ඉවසිලිවන්ත ගුණය ගැනය. මිෂෙල් නැවත ධීර දෙසත් තාදී දෙසත් රවා බලා වේගයෙන් දොර වසාගෙන පිට වූවාය.
” දැන් ගිහින් අපේ තාත්තට කියයි ඔක්කොම. ගෙදරටම ගිහින් ගිනි තියයි ”
ධීර නැවත පුටු ඇන්දට හේත්තු වූයේ බර ඇති සුසුමක් පිට කරමිනි. තාදී ඇගේ අසුනට ගොස් වාඩි වූයේ කල්පනා කරන අතරේය.
” අනිවාර්යෙන්ම එයා ඒක කරනවා. ”
ගයාත්‍රී දොර ඇරගෙන ආවේ ඒ මොහොතේය. ඇගේ මුහුණේ දකින්නට වූයේ පසුතැවිල්ලකි.
” අනේ සොරි මිස්. ඒ මනුස්සයා මාවත් තල්ලු කරගෙන සර්ව හොයාගෙන office එක ඇතුලට ආවේ ”
” අනේ කමක් නෑ ළමයෝ. වෙන්න තියෙන දේවල් නවත්වන්න අපිට බෑනේ “
” එයා මැරි කරන්න ඉන්න කෙනා ශොප් එක ඇතුලට එනවා දැක්ක කියාගෙන සර්ව හොයාගෙන ආවේ. “
” ඒ කියන්නේ කොහෙ හරි ඉඳන් ගෑනි මාව ෆලෝ කරන් ඇවිල්ලා. එහෙම නැත්තම් අහම්බෙන් දකින්න ඇති ”
ඇත්තටම මිෂෙල් Clothez වෙත පැමිණි ආකාරය ධීර ට සිතා ගත හැකි වූයේ නැත. කෙසේ වුවත් දැන් ඒ සියල්ල සිදුවී හමාරය. දැන් ඇත්තේ සිදුවන්නට නියමිත දේවල් වලට මුහුණ දීමය.
ගයාත්‍රී කාර්යාල කාමරයෙන් පිටව ගියේ නැවත නැවතත් සමාව අයදිමිනි.
” ගෙදර යනවද හොටෙල් එකට යනවද කියලා මට හිතාගන්න බෑ තාදී. මෙලහටත් මිෂෙල් අපේ ගෙදර ගිහින් ගෙදර ගිනි තියෙනවා ඇති ”
ධීර උන්නේ සම්පූර්ණයෙන් අවුල් වී ගෙනය. මිෂෙල් මේ වන විට ප්රශ්නය දෙගුණ තෙගුණ කර විශාල විනාශයක් සිදු කරනවා ඇත. ඇය ද වසන්තට දෙවැනි නැත.
” අපි බලමුකෝ එයා මොකද කරන්නේ කියලා. එන විදියකට මූණ දෙමු. මං ඔයත් එක්ක ඕනම දේකට ඉන්නවානේ ධීර. දැන් හිත කලබල කරගන්නෙ නැතුව පරිස්සමට ගෙදර යන්න ”
ReplyForwardAdd reaction |