අන්තරා කවින්ද්‍යා ව හැඳින ගනිමින් ද ඇගේ දියණියන් දෙදෙනා ට ආදරය කරමින් ද සිටියා ය. ගෑනු ළමයින් දෙන්නා ඇය වෙත ආශක්ත වෙමින් සිටියහ. අන්තරා ගේ මුදු මොළොක් විලාශයන් ද ඔවුන් අමතන්නට ඇය විසින් යොදාගන්නා ලද පැටියො, මැණික, රත්තරං, සුදූ වැනි ආදර යෙදුම් ද ඔවුන් වසඟ කළ වශීකාරක විය හැක. අන්තරා එහෙම ඔවුන් ඇමතුවේ මූණිච්චාවට නොවේ. ඒ ඇගේ සැබෑ ආදර හදවතයි. ඒ පුංචි ගෑනු ළමයින් දෙන්නා යුගාත්ම ගේ දියණියන් වෙත්දී, ඇගේ මාතෘ හදවත උණුහුම් කළ ස්නේහය කෙබඳු දැයි ඇයට විශ්ලේෂණය කළ නො හැකි ය. ආදරය එහෙම වෙන් කොට හැඳිනගැනීමට උත්සාහ නො කළ යුතුයි කියා ද ඇය විශ්වාස කළා ය. ආදරය යනු ආදරය ම ය.
අන්තරා ගේ සියුමැළි හා ඇඟෑළුම් ආදරය දැරියන්ට ඔවුන්ගේ අම්මා වෙතින් ලැබුණ ආදරය නොවේ. එය වෙනස් ය. කවින්ද්‍යා දියණියන් අමතන්නේ ඔවුන් ගේ නම් වලිනි. සියුමැළි බොළඳ වදන් භාවිතා කොට පුරුද්දක් ඇයට ඇත්තේ ම නැත. මිහිරි මී පැණි වෙතට කුහුඹුවෝ ද ඇදී එති. ආදරය දැනෙනවාට අකමැති කෙනෙකු මෙලොව සිටිත නො හැක.
දැරියන් දෙදෙනා අන්තරා ඇමතූයේ ‘අක්කී’ කියා ය. ඈ ඔවුන්ට පුතේ කියත්දීත් ‘අක්කී’ කියා ය.
“හරි ඔයා ඉතිං ඕනදෙයක් කියන්න. අපි ඔයාට අක්කි කියන්නං. එතකොට තමයි ඔයාව ගොඩක් ෆීල් වෙන්නෙ. අපේම කෙනෙක් වගේ”
ලොකු දුව ගේ ඒ අන්තිම වචනයට අන්තරා ගේ දෑස් කඳුලින් තෙත් වූ තරමි.
“චූටිහරි වෙලාවක් හොයාගෙන පුළුවන්නං තාත්තිට කෝල් එකක් දෙන්න. මගෙ මේ ඇස් වලට ආපු කඳුළු එදාට එයාගෙ ඇස් වලටත් එයි. දෙමව්පියන්ගෙ හිත් වලට එහෙමහරි පුංචි සතුටක් වෙන එක… දරුවො කරගන්න ලොකුම ලොකු පිණක්. පුළුවන්නං විතරක් ඒ ගැන හිතල බලන්න”
අන්තරා ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන කීවා ය. ගෑනු ළමයින් නිහඬ ව බලා සිටියා මිස කිසිවක් කීවේ නැත.
“ආදරේ කියන්නෙ අත්ඇරියාමත් අපි ළඟ තියන දෙයක් කවින්ද්‍යා”
දිනක් කවින්ද්‍යා සමග තේ කෝප්පයක් තොල ගාන අතරේ දී අන්තරා මිමිණුවේ, ගෑනු ළමයින්ට කී කතාවේ ම දිගුවක් ලෙසයි.
“ඔයාගෙ දුවල දෙන්නටත් එයාගෙ තාත්ත එක්ක සම්බන්ධකං තියාගන්න නිදහස දෙන්න. ඒ දෙන්න ඔයාට ආදරේනෙ. එයාල තාත්ත ළඟ හැමදාම ඉන්න යන එකක් නෑ. ඒත් එයාල තාත්ත එක්ක විනාඩි පහක් කතා කළොත්… යුගාත්මට ඒක අවුරුද්දක් වැඩියෙන් ජීවත් වෙන්න හේතුවක් වෙන්න පුළුවං. ඊටත් වැඩිය… දවසක දුවල එයාලගෙ හස්බන්ලට ගරු කරන හැටි ඉගෙනගනී එතකොට. අම්ම විදිහට ඒ දෙන්නට ඔයා දෙන ලොකුම තෑග්ග තමයි ඒක”
තම මතයෙහි ස්ථාවරත්වය වෙනුවෙන් ඕනෑ ම කෙනෙකු හා තර්ක කිරීමේ සූදානමෙන් හිඳිනා කවින්ද්‍යා, අන්තරා ට එරෙහි ව කිසිත් කියන්නට ගියේ නැත!
කිශෝරි කවින්ද්‍යා ගේ දියණියන් ට ඉන්දියානු නැටුම් ඉගැන්වූවා ය. ජිතේන්ද්‍ර සිය සංගීත සංධ්වනිය සමගින් කාර්ය බහුල වී සිටියේ ය. අන්තරා සුවඳ සූත්‍රය සාදා නිම කරමින් සිටියා ය. හැම ජීවිතයක් ම හෙමිහිට ඉදිරියට ගලමින් තිබිණ.
ඒ නිසංසල දවස් අතරෙහි එක විශ්මිත නිමේශයක අන්තරා ට කඳුකර සුවඳ දැනිණ. මුලින් ඇයට අදහාගත නො හැකි විය. අතින් මුව තද කරගෙන ඕ වේගවත් ඇස්පිය ගසා කඳුළු ගබ්සා කළා ය. තත්පරයක් දෙකක් එසේ හිඳ යුගාත්ම ගේ දුරකතනයට ඇමතුමක් ගත්තා ය.
“කියන්න අන්තරා”
ඒ වෙලාවේ ඔහු සිටියේ ආයතනයේ වැදගත් නියෝජිත හමුවකයි. ඊට මඳ වෙලාවකට පෙර ඔහු මහගෙදරින් පැමිණි ඇමතුමක් ද නො සලකා හළ හැටි පාරින්දි දුටුවා ය. නමුත් සිය ඉහළ නිලධාරීන්ගෙන් මොහොතක් ඉල්ලාගෙන ඔහු අන්තරා ගේ ඇමතුමට පිළිතුරු දුන්නේ ය.
“ඔයා බිසී නේ…”
ඔහු ගේ හඬ තානයෙන් ම අන්තරා ට ඒ බව හැඳිනිය හැකි විය.
“කමන්නෑ කියන්න…”
“වෙන මුකුත් කියන්න ඕන නෑ. ඔයා ෆ්‍රී වුණාම ගන්නකො. අපි ඒක කළා. මවුන්ටන් ෆ්‍රෙග්‍රන්ස්…”
අන්තරා ගේ හඬ බිඳිණි. සතුටට ම ඇයට හැඬිණි. ඕ දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය.
ඉනික්බිති ඇය නූපුර ට කතා කරන්නට සිතුවා ය. නමුත් ඔහු විශ්ව විද්‍යාලයේ දේශනයක් අතරේ ඇතැයි සිතුණෙන් කෙටි පණිවිඩයක් පමණක් තැබුවා ය. මොහොතක් ගතවීමට පෙර නූපුර ගේ නමින් වීඩියෝ ඇමතුමක් පැමිණෙමින් තිබිණ.
“අනේ ඔයා ලෙක්චර් එකකද පැටියො හිටියෙ…”
“මට දැං ඔයාව බදාගන්නෝනෙ අම්ම. මං අඬනව අම්ම. මේ මගෙ ඇස් දෙකේ කඳුළු…අනේ මේ වෙලාවෙ මට ඔයා ළඟින් ඉන්න බැරිවුණානෙ”
“ඉතිං ඔයා මගෙ ළඟ තමයි මේ ඉන්නෙ…”
“ගෑනු කෙනෙක්නං ඔයා වගේ වෙන්නෝනෙ අම්ම”
“අපි ඔයාටත් හොයාගමු එහෙම කෙනෙක්”
අන්තරා මඳහසකින් විහිළුවක් කිරීමේ උත්සාහයක් ගත්තා ය. ඒ නූපුර ගේ මුහුණට සිනහවක් ගෙන එන්නටයි. ඇය ආසා ම පුතු සිනහ වී සිටිනවාට ය. ඔහු ට තියෙන්නේ මන්මත් කරවනා ලස්සන ම සිනහවකි. නමුත් ස්වභාවයෙන් ම ආඩම්බර ගති ඇති නූපුර, ඒ ලස්සන සිනහව ලෝකයට පෙනෙන සේ නිතර සිනහ වන්නේ නැත.
“හිනාවෙන්නකො අනේ ඔය ලස්සන හිනාව පේන්න”
කියා නව යොවුන් පුතුට ඇය ඕනෑ තරම් කියා තිබේ. එතකොටත් ඔහු සිනහ වෙන්නේ එය යටපත් කිරීමේ උත්සාහයක් දරමිනි.
“කොහෙද අම්ම එහෙම අය ඉන්නෙ… අම්ම වගේ අය මං දැකල තියෙන්නෙ අම්ම විතරයි”
“ඔයා දැං ලෙක්චර් එකට යන්න බබා. අපි පස්සෙ නිදහසේ කතාකරමු”
“මේකනං සෙලිබ්‍රේට් කරන්නෝනෙ හොඳේ…”
“කරමු කරමු”
පුංචි පුංචි සංසිද්ධි සැමරීම ම ජීවිතයට මහරු සතුටක් එක් කරයි. අන්තරා මේ මොහොත තුළ සිටියේ ද ආත්මීය සැමරුමක් තුළයි. ජීවිතය දිගේ අනේක වාරයක් හතරගාතෙන් වැටී තිබිණි ද යළිත් නැගිටින්නට ඇයට ඕනෑ විය. ජීවිතය වෙහෙසක් යයි දැනෙනා හැම වෙලාවක ම නූපුර වෙනුවෙන් තවත් ටික කාලයක් අල්ලාගෙන සිටිත යුතු යයි ඇය සිතා තිබේ. කාන්තාර වලත් යායට ම මල් පිපෙන්නට නියමිත ය. නමුත් වැසි වැටෙනා කාලය තෙක් ඉවසා දරා බලා සිටිත යුතු වේ!
යුගාත්ම ආවේ ලොකු මල් පොකුරක් රැගෙනයි. පාරින්දි අන්තරා වෙනුවෙන් හෑන්ඩ් මේඩ් චොක්ලට් මල්ලක් ගෙනාවා ය.
“ඔයා හරී… ම සුවඳ කෙල්ලෙක් මැණික. හැමදාම ඔයාට සතූටෙන්ම ඉන්න ලැබෙන්න ඕනෙ. ඒ සතුට දිහා පැත්තක ඉඳල බලං ඉන්න මටත් චූටි ඉඩක්හරි ලැබෙන්න ඕනෙ”
පාරින්දි අන්තරා ට හුස්ම හිර වෙන තරම් තදින් ඈ වැලඳ ගත්තා ය.
“චූටි ඉඩක නෙවෙයි. මගෙ හිතේ මටම හිතාගන්න බැරි ලොකූ ඉඩක ඔයදෙන්න ඉන්නෙ. මං මැරෙන දවසක් වෙනකල් එහෙම ඉන්න පුළුවන්නං මං ආසයි”
අන්තරා යාන්තම් දෑස් පියවා කීවා ය. යුගාන්ත ඒ රත් පියුම් දෑස් පෙති දෙස මෑතක සිට බලාසිටියේ ය.
“අදනං නිකංම ගෙවල දාන්න බෑ අන්තරා. සෙලිබ්‍රේට් කරන්න ඕනෙ”
“අපේ කොල්ලත් කියනෝ මේකනං සමරන්නෝනෙලු”
“එයා ආවම වෙනම සමරමු. දැං අපි තුන්දෙනා සමරමු. හැබැයි මටනං වැටෙන්න බොන්නෝනෙ”
“මේ බලන්නකො මේකි”
“ඇත්තටම අද බියර් එකක් බොමු”
පාරින්දි ගේ ඒ හදිසි යෝජනාව, යුගාත්ම වෙතින් එසැනෙන් ස්ථිර විය.
“අපිට බයිට් එකක් හදල දෙනව නේද සුදු නෝන…”
දෑත් කලිසම් සාක්කු වල ඔබාගෙන, හිස මඳක් පසෙකට ඇල කරගෙන, ඈ ඉදිරියෙහි සිටගෙන ඉන්නා යුගාන්ත ව අන්තරා ට දැනුණේ අහඹු සිහිනයක් මෙනි. ඒ මොහොත එපමණට චමත්කාරජනක විය. තත්පර කිහිපයක් ගත වෙන තෙක් ඇස් පිය සලන්නට ඇයට අමතක වූ තරමි.
“අනේ ඔයා හරි කපටියි යුගාත්ම”
“ඉතිං අනේ පොඩි සෙලිබ්‍රේශන් එකක්නෙ. චූටියට බියර් එකක් බිව්වට මුකුත් වෙන්නෑ”
ඔවුන් දෙදෙනාගේ ම ඇස් වල දෝරෙ ගලන්නේ ආදරය කියා පාරින්දි ට සිතිණ. ඇගේ හදවතේ තීව්‍ර වූ ගැස්මක් විය. එය ඊර්ෂ්‍යාවට ළඟ හැඟීමක් හෝ ඊර්ෂ්‍යාව ම වන්නටත් පිළිවන. නමුත් එය තම හදවතට සීමා කරගත් හැඟීමක් ව පවතින්නට හැරිය යුතු යයි මේ වෙලාවේත් ඇය සිතුවා ය. ඒකපාර්ශ්වික වුව තමන්ගේ ප්‍රේමය වෙනකෙකුට පූජා කරන්නට හිත හදාගන්නා එක පහසු නැත. මොළයත් හදවතත් අතර ද්වන්ධ සටනකින් දැඩි වෙහෙසකට පත්වන්නට සිදු වේ. තුනී ශෝකයක් මීදුමක් සේ පාරින්දි ගේ ආත්මය පුරා විසිරෙමින් තිබිණ.
යුගාත්ම සුපිරි වෙළෙඳසැල වෙත ගිය අතරේ බවලතුන් දෙදෙන කටගැස්ම පිළියෙළ කළහ. අන්තරා ගේ ජයග්‍රහණය වෙනුවෙන් සව්දිය පිරුවේ දෙ මිතුරන් ය. මඳින් මඳ ඔවුන් ගේ කතාව වැඩි වූ අතර ඒ සියල්ල අසා සිටින්නට අන්තරා ට සිදු වූ තරමි.
“අපි කාගෙත් හිත් ඇතුළෙ තුවාල තියනව. මගෙ… පාරින්දිගෙ… අන්තරාගෙ…කැඩිල බිඳිල ගිය කෑලි අතින් හයි කරගෙන හුස්ම ගන්න මිනිස්සු අපි. ඒත් අපිට මෙහෙම බියර් එකක් බොන ගමං කතා කරන්න තරං ජීවිතයක් තියනවනෙ… නේ… අන්න ඒකයි වටින්නෙ. රිදි රිදි හරි අපි මේ වෙනකල් ජීවත් වුණානෙ. ඉස්සරහටත් එහෙමනෙ. ඉතිං මෙහෙම චූටි දේවල් නිසා සතුටු වුණාම මොකද… වැඩියෙන් රිදිච්ච මිනිස්සු තමයි සතුට කියන්නෙ කොච්චර වටින දෙයක්ද කියල වැඩියෙන්ම අඳුරන්නෙ… නැද්ද පාරින්දි…”
“අනිවා. අපේ පපුවෙයි තුවාල තියෙන්නෙ. ඒවා අතින් තදකරගෙන හරි අපිට හැමදාම මෙහෙම ඉන්න තියෙනවනං එච්චරයි. ඇත්තටම මේක මාර ලස්සන යාළුකමක් අප්ප”
යුගාත්ම ගේ දුරකතනය නාද වූයේ ඒ වෙලාවේ ය. ඔහු මොහොතක් දෑස් පිය සලමින් එදෙස බලා සිටියේ ය. තිරය මත සනිටුහන් ව තිබුණේ ‘දෝණි’ කියා ය. ඒ අංකයට ඔහු ඉඳහිට ඇමතුම් ගත් බව ඇත්තකි. මුලදී හැරුණු විට දියණිවරුන් පහු වෙත්දී ඒවාට පිළිතුරු දුන්නේ ද නැති බැව් ඇත්තකි. නමුත් මේ ඇත්තක් ද? ඔහු දියණියන් වෙනුවෙන් ලබා දුන් දුරකතන අංකයෙන් ඔහු ට ඇමතුමක් එමින් තිබේ. ඒ අතිශය ප්‍රථම වතාවටයි. ගෑනු ළමයින් පවා ගාණක් නැතිව බොන බියර් එකටත් ඔහු ගේ සිහිය එහෙ මෙහෙ වී ද කියා යුගාත්ම දෑස් ද පිස බැලුවේ ය. පේනා හැටියට ඒ ඇත්තකි. දියණියන් ගේ දුරකතනයෙන් තාත්තා ට ඇමතුමක් පැමිණෙමින් තිබේ.