ශරදාකාසේ -33

පංචලී පුතෙකු බිහි කළා ය. පෞද්ගලික රෝහලක සුව පහසු ලෙස ඒ අත්දැකීම විඳ ගන්නට ශාරද ඇය ට අවස්ථාව උදා කර දී තිබුණේ ය. බිළිඳු පුතු අතට ගත් ඔහු ට සිහි වූයේ ම එසඳි ය. ඈ ඉපදුණ දා ය. බිළිඳා තුරුළු කර ගෙන ඔහු හැඬුවේ ය. හඬන්නට ඕනේ නැති වුණත් සැබවින් ඔහු හැඬුවේ ය. ඒ හැඟුමන් සයුරෙහි අරුත ඔහු වුව හරි හැටි දැන සිටියේ නැත. ඒවා සේදි සේදී කඳුළු ලෙස ඉවත ගියේ ය. 

පංචලී වේදනාත්මක බවකින් බලා සිටියා ය. ඇගේ ඇස් වල හෝ හදෙහි කිසිදු ජයග්‍රාහී හැඟීමක් වූවා නොවේ. කෙසේ හෝ පෙම් කළ මිනිසා දිනා ගත්තා යි සතුටු වන්නට, ඇය ඒ මිනිසා භෞතික ව ලබා ගැනීමේ දොළකින් පසු වූ අයෙකු නොවේ.

“අපි කොහෙ හරි රටකට යමු”

බෝ වෙලාවක් කල්පනා කිරීමෙන් ඉක්බිති ශාරද පංචලී දෙස බලා කියා ගත්තේ ය. ඇය නිහඬ මුවින් බලා සිටියා ය. ප්‍රේමයේ නාමයෙන් දිනා ගත් මහානර්ඝ වූ වස්තුවක් දැන් ඇය අත තිබේ. ශාරද ගේ මතක විතරක් හිතේ තියා ගෙන වුව මේ ලේ කැටි වස්තුව තුරුලු කර ගෙන ජීවිතය දිගේ දිගු ගමනක් යන්නට හයිය ඇති බව දැන් ඇයට ප්‍රත්‍යක්ෂ ය. මෙතෙක් නො දැන සිටි නිශාමනී ගේ අසීමිත ශක්තියෙහි රහස දැන් පංචලී ඉදිරියේ අනාවරණය වී තිබේ. ඒ ශක්තිය වෙනකක් නොව දරුවා ය. නිශාමනී ට නම් ඒ එසඳි ය. 

“ඔයා මං නිසා හිර වෙන්න හදන්න එපා ශාරද”

පංචලී අමාරුවෙන් හඬ අවදි කර ගත්තා ය. ශාරද නළල රැලි නංවා ඇදෙස බැලුවේ ය.

“මං ඔයාව දැක්කෙ අහසෙ ඉගිල්ලෙන කුරුල්ලෙක් වගේ. කූඩුවෙ ලැගල ඉන්න කුරුල්ලෙක්ට වඩා ඉගිල්ලෙන කුරුල්ලෙක් මට මං ආසයි. ඒක වෙනම ලස්සනක්. මං ඔයාගෙන් වින්දෙ ඒ ලස්සන. ඔයාව කූඩුවක දාල හිර කළේ නැති වුණාට ඉස්සරහටත් මට පුළුවන් ඔයා ඉගිල්ලෙනව බලං ඉඳල සතුටු වෙන්න”

කිරිකැටියා තොටිල්ලේ තැබූ ශාරද විත් පංචලීව සිය ළයෙහි හොවා සිප ගත්තේ ය. ඇය කොහොමටත් අහිංසක ය. දරු ප්‍රසූතියට වහා ම අනතුරුව ඇඳ කබායකින් හා මල් වැටුණ චීත්ත රෙද්දකින් සැරසුණ ඕ වෙනදාටත් වඩා අහිංසක පාට ය. නමුත් යුවතිය වෙතින් නො දැකි පිරුණු බවක් දැන් ‘අම්මා’ වෙතින් දැකිය හැකි ය.

“මාව තේරුං ගත්තට තෑන්ක් යූ පංචලී”

ඇස් දෙක පියාගෙන ඔහු මොහොතකට ඇගේ හිස් මුදුනේ නිකට තියා ගත්තේ ය.

“හැමදාම මට ඔයා ළඟදි නිදහසක් දැනුණා”

‘ඒක නිශාමනී ළඟදි නො දැනුණ එකක්’ යන්න ඔහු හිතා මතා ම නො කියා සිටියේ ය.

“ඔයා මාව මිට මොලව ගන්නැතුව අත් අරිනකොට මං ඔයාගෙ අතේම ඇවිත් වහන්න ආස වුණා. ඇත්ත ඒකයි”

බිළිඳා හැඬිල්ලක් පටන් ගත්තේ ය. පංචලී වහා ශාරද වෙතින් මිදී තොටිල්ල ළඟට ආවා ය. ශාරද පහත් වී බිළිඳු පුතු දෑතින් ගෙන පංචලී වෙත පෑවේ ය.

“බඩගිනි වෙලා. කිරි දෙන්න”

පංචලී දරුවාට මව් කිරි දෙත්දී ශාරද ඇදෙස ම බලා සිටියේ ය. පංචලී ගේ දෑස් කරුණාබර මරිය මව් තුමිය සිහිපත් කරවමින් බිළිඳුන් වෙතට යොමු වී තිබිණ. අම්මා කියනා මිම්මෙන් මනිත්දී නිශාමනී හා පංචලී දෙදෙනා ම තරාදියේ එක ම බරක් දරනු ඇතැයි ඔහු ට සිතිණ. බිළිඳු හිසෙහි ඇලී ඇති තුනී හිස කේ පංචලී අතැඟිල්ලකින් හෙමිහිට පිරිමැද්දා ය.  ජීවිතයේ වෙන දිනන්නට කිසිත් නොවනා පෙනුමක් ඔහු ඇගෙන් දුටුවේ ය. ඇතැම් විට එදා බෙල්ලන්විල පන්සලේ දී ඔවුන් දෙදෙනාව දුටු වෙලාවේ නිශාමනී ගේ මුහුණේ වූයේ ද මේ නිරාමිස සැනසිලිදායක නිවුණු බව විය යුතු ය.

“මං කියන්නෑ ඔයාට මාව බඳින්න කියල. මේ වෙලාවෙ ඔයා මාව තනි නොකරපු එක…මං කියන්නෙ දරුවා හම්බ වෙන වෙලාවෙ මාත් එක්ක හිටපු එකනං මට කවදාවත් අමතක වෙන්නෑ. ඇත්තටම ඒක මට මාර ශක්තියක් දුන්නා ශාරද. ඔයා නරක මනුස්සයෙක් කියල හිතන්න මගෙ හිත ලෑස්ති නෑ. ඔයා ලෝක සම්මත විදිහට වරදක් කළා…මාත් ඒකට හවුල් වුණා. මාව බැන්දට පස්සෙත් ඔයා ඒකම කරන්න පුළුවන් කියල කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. එදාටත් මං ඔයාගෙ හොඳ දකියිද කියල අහන්න පුළුවන්…මගෙ අම්මත් මගෙන් ඒක ඇහුව. අනේ මන්දා ශාරද…ජීවිතේ හරි පුදුමයි. ආදරේ ඊටත් වැඩිය පුදුමයි. ඔය කසාදෙ කියන දේ නැති වුණාට මං ඔයාට ආදරෙයි. ඉස්සරහටත් ඒකෙ වෙනසක් වෙන්නෙ නෑ. ඔයාට පුළුවන් නං මාවයි දරුවවයි රටකට යවල දෙන්න. මට මෙහෙට වඩා නිදහසෙන් දරුව හදා ගන්න පුළුවන් වෙයි එහෙදි”

“එතකොට මං…”

ශාරද විමසුවේ සන්සුන් ව ය. පංචලී ඒ ඇස් දෙස බැලුවා ය.  ඒවායේ ගැඹුරේ වූ භීතියක් ඇය ට සොයා ගත හැකි විය.

“මිනිස්සුන්ට වැරදෙන වෙලාවල් එනව. ශාමිට වැරදි කරපු එක මං හිතා මතා ම කරපු දෙයක් නෙවෙයි. ගොඩක් පිරිමි වයිෆ් ට හරි හොඳයි වගේ පෙන්නගෙන හිටියට එළියෙදි හොඳම නෑ. ඒක වැරැද්දක් කරන අදහසකින් කරන දේකුත් නෙවෙයි. මං මේ කියන දේට ගොඩක් ගෑනු අය..ඔයා වුණත් එකඟ නැති වෙන්න පුළුවන්. ඒත් ඇත්ත ඒකයි. දෙන්න අතරෙ හිදැසක් ඇති වේගෙන එනවනං හස්බන් ඇන්ඩ් වයිෆ් කතා කරල ඒක විසඳ ගන්න ඕන කියල ගොඩක් අය කියනව. ඒත් කවුද පංචලී එහෙම කතා කරන්නෙ…කලාතුරකින් කෙනෙක් විතරයි. අනිත් හැමෝම කොයි විදිහකින් හරි  ගෙදරින් පිටදි හොයා ගන්නව ගේ ඇතුලෙදි නොලැබෙන දේ. ඒක අනියම් සම්බන්දයක් ම නොවෙන්න පුළුවන්. එහෙම සම්බන්දෙකට නොයා මානසික සුවයක් හොයා ගන්න එවුං මං දැකල තියෙනව. මේ තිත්ත ඇත්ත පිළිගන්න ගොඩක් වයිෆ්ල සූදානම් නෑ. එයාල හිතනව මගෙ හස්බන් එහෙම නෑ කියල. ඒ හීන මාළිගාවෙ ජීවත් වෙලා ඒක කඩං වැටුණම එයාලට ඔරොත්තු දෙන්නෙ නැති තරං. ශාමි ඒකට රිඇක්ට් කළේ වෙනම විදිහකට. එහෙම කරන්න පුළුවන් විදිහෙ බැක්ග්‍රවුන්ඩ් එකක් එයාට තිබුණා. ඒ නැතත් එයා ටිකක් වෙනස් කෙනෙක්”

ඔහු ආදරය කළේ ඒ වෙනසට බව ශාරද නො කියා සිටියේ ය. නමුත් පංචලී එය ඉතා හොඳින් දැන සිටියා ය. නිශාමනී ඈ කෙරේ ක්‍රියා කළ ආකාරයෙන් ම ඒ වෙනස දැකිය හැකි විය. 

“ඇත්තටම මට ඩිවෝස් වෙන්න ඕන වෙලා තිබුණෙ නෑ. ඒත් ඒක වුණා. හැබැයි මට ආයෙත් ඒක කරගන්න ඕන නෑ පංචලී. පිරිමියෙක් හැම වෙලාවෙම ස්ටැබ්ලිශ් ගෙදරක් හොයනව. ඒක නැති වෙන එක පිරිමින්ට හරි අමාරුයි. තමංගෙ ජීවිතේ ස්ථාවර නෑ කියල හිතන එකම එක විදිහක පිස්සුවක්. මට ආයෙ එතනට වැටෙන්න බෑ. දැන් මට ඕනෙ පරිස්සමෙන් ජීවත් වෙන්න. අස්ථාවර හැඟීමක් නැතුව පරිස්සම් ජීවිතයක් ගත කරන්න. ඔයා මට ඒකට උදව් කරන්න”

නින්දට වැටුණ බිළිඳු පුතු දෙස ශාරද බලා සිටියේ ය. එසඳි ගේ ඇස් වල පන්සලේ දී ඔහු දුටු වෛරී හැඟීම මේ මොහොතේත් ශාරද ගේ ඇඟ රෝම නංවයි. ආයේ ම වතාවක් දරුවෙකු ගේ ඇසක ඒ වෛරය හෝ අසරණකම දකින්නට ඔහු ට නුපුළුවන. එදා මිතුරා ගේ පවුලේ පින්තූර වල සිය පියා සිටිනු දුටු මොහොතේ තමන් ගේ ඇස් වල තියෙන්නට ඇත්තේත් ඒ හැඟම ය කියා සිතා ගන්නට බැරි කමක් දැන් ශාරද ට නැත. නමුත් එදා ඔහු ගේ මව ඒ ගැටළුව විසඳූ ආකාරයට, ශාරද පිරිමියෙකු ගේ බහු භාර්යා ඇසුර සාමාන්‍ය දෙයක් සේ උපකල්පනය කළේ ය. ගෙදරට බිරිඳට දරුවන්ට යුතුකම් වගකීම් ඉටු කරන්නේ නම් පිටත සමාජයේ කෙතරම් සම්බන්ධතා තිබුණ ද එය සාමාන්‍ය තත්වයක් සේ සලකන්නට මනස සකසා ගත්තේ ය. නමුත් එසඳි අනාගතයේ දී පිරිමියෙකු දෙස කෙබඳු විශ්වාසයකින් බලාවිද යන  පැනය දැන් ඔහු හමුවේ වේ. අද උපන් බිළිඳා ගේ අනාගතය විකෘති එකක් නො කිරීමේ වගකීම ඔහු අත වේ.

එදායින් පසු එසඳි තාත්තා ගැන කිසිත් කතා නො කළා ය. තාත්තා කියන්නේ තව දුරටත් තමන්ට අයිතියක් නැති කෙනෙකු ය යන හැඟීම ඇගේ ළමා මනසෙහි තැන්පත් විය. තාත්තා කියන්නේ ඇය ට හා අම්මාට පමණක් අයිති වස්තුවකැයි සිතා උන් ඇගේ කුඩා ලෝකය බිම වැටී බිඳී ගොස් තිබිණ. 

හිතා මතා උවමනාවෙන් ම ශාරද ව විස්ථාපනය කරනු ලැබූ දැරිය ගේ ලෝකයෙහි ආකාස වීරත්වයටත් උත්කර්ෂයටත් නැංවුණේ නිරායාසයෙනි. අනිත් අතට සිය රිදුණු බිඳුණු හිත සුවපත් කර ගැනීමේ උවමනාව මත ඇය සාධනීය උත්සාහයකින් ආකාස ට වැඩිපුර බැඳුණා වන්නට ද පුළුවන. ඔහු රැකියාව නිම වී හැම හවසක ම එසදි බලන්නට ආවේ ය. ඇතැම් දවසක ඇය ශරදාකාසයට කැටිව යන්නයි බල කර සිටියා ය. එබඳු අවස්ථා දෙක තුනක ම නිශාමනී ආකාස සමගින් එක්ව එසඳි එහි ගෙන ගියා ය.

දැන් ශරදකාසය පාළු ය. එසඳි නමින් එය ලියැවුණ පසු ආකාස බෝඩිමක් වෙත යන්නට සූදානම් වුවත් නිශාමනී එක හෙලා විරුද්ධ වූයෙන් ඔහු එහි නතර වූයේ ය. නමුත් ශාරද පංචලී ට ඉන්නට කුළියට ගත් නිවසෙහි වැඩි දිනක් ගත කළේ ය. එනිසාවෙන් ශරදාකාසයේ ඉතිරි වූයේ ආකාස පමණ ය. 

“අනේ මේ මල් පැළ වලට වතුර ටිකක් දාන්නකො හවසට”

යි නෝක්කාඩු කියමින් නිශාමනී මලානික ව ගොස් ඇති මල් පැළ වලට වතුර දැම්මා ය. ඈ අතින් සිටුවන ලද ඒවා මිය යනු දැකීමේ නො හැකියාවක් ඇය ට විය. ඊටත් වඩා, ඇය ම නො දන්නා, විස්තර කළ නො හැකි යමක් රිදවමින් ද පාරමින් ද ඇතුළාන්තයේ විය.

ආකාස අත් දෙක පපුව මත බැඳ ගෙන නිශාමනී පිටුපස වූයේ ය.

“මං වතුර දැම්මට වැඩක් නෑ”

ඒ ගැඹුරු හඬ තුළ ආදරය දනවන මොකක්දෝ හැඟීමක් සංවේදනය විය. 

“ඇයි…”

“ඔයා නැතුව ඔය ගස් වල මල් පිපෙන එකක් නෑ”

දා පිච්චී ගියා වන් ශුන්‍ය බවක් තුළ නිශාමනී ගිනි ගත්තා ය.

“ගස් වල මල් පිපෙන්න ඕන ඉර එළියයි වතුරයි පොහොර තියන හොඳ පසකුයි විතරයි”

ඇතුළාන්තයෙන් නැගී ආ සිතිවිලි රළ පෙළ යටපත් කොට ගෙන හැරී බැලූ ඕ සිනහවක් මවා ගෙන කියවූවා ය. නමුත් ආකාස ගේ මුහුණේ සිනහ බිඳක් හෝ වූයේ නැත.

“ඒ ඔක්කොම දුන්නත් ආදරේ නැති තැනක මල් පිපෙන්නෙ නෑ. ගහක සතුට තමයි මලක් කියන්නෙ. ගහක් සතුටු වෙන්නෙ ආදරේ ලැබෙනකොට”

“ආදරේ ගැන දැන් මං මොනාද හිතන්නෙ කියලවත් මන් දන්නෑ”

නිශාමනී එසේ කීවේ ඒ කතාව එතෙකින් නතර කරනු වස් ය. නමුත් ආකාස ට තව කියන්නට දේවල් තිබිණි.

“ආදරේ කියන්නෙ කොන්දේසි නැති සතුටට”

හෘත් පේෂි වල තෙරපීමක් ඇය ට දැනිණ. එක ම මල් පෝච්චියකට වැඩි වෙලාවක් වතුර බටය අල්ලා ගෙන සිටි බව සිහි වී නිශාමනී වහා එය වෙනතක ඇල්ලුවා ය.

“කිසි කොන්දේසියක් නැතුව දෙයක් දිහා බලා ගෙන සතුටු වෙන්න පුළුවන් නං ඒකයි ආදරේ. මට ඒක පුරුදු නැති දෙයක් නෙවෙයි. දැං මං එසඳිට එහෙම ආදරේ කරනව. එයාගෙ සතුට දිහා බලං ඉඳල…එයාගෙ හිනාව දිහා බලං ඉඳල සතුටු වෙනව”

“ඔයාට ගොඩක් පිං”

“බාප්පා”

එසඳි බරාඳයේ සිට හඬගෑවේ එතකොට ම ය. 

“පිනට ආදරේ කරන්න බෑ ශාමි”

කියා ගෙන ඔහු එසඳි වෙතට හැරිණි. පපුවේ කටුවක් ඇනුණා බඳු රිදුමක් නිශාමනී ට දැනුණේ ය. මල් වලට වතුර දමා වෙහෙස වූවා සේ ඇය හයියෙන් හුස්ම ගනිමින් සිටියා ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...