හිමගිරි අරණ -61

ප්‍රේමයෙන් පිරී ගිය පසු දෙනෙත වඩාත් ප්‍රිය කරන දසුන වන්නේ ඒ ප්‍රේමයේ හිමිකාරයා වග හිමාෂාට දැනෙන්නට වූයේ රවිඳු ජනාකීර්ණ මාර්ගයේ ඇවිද එන අන්දම දුටු පසු ය.ඊයේ ඔහු ගැන ඇති කරගත් වැරදි අවබෝධය ට පසුව ඔහුගෙන් සදහටම දුරස් වන්නට සිතූ අන්දම සිහිවෙද්දී හිමාෂාට ඇති වූයේ සිහින් ලැජ්ජාවකි.

“හැඟීම් දැනීම් හංගගෙන ජීවත් වෙන්න එපා.එතකොට ජීවත් වෙන එක හරි අමාරුයි.මේ ජීවත් වෙන පොඩි කාලෙදි ඇයි අපි ගල් ගැහිලා ඉන්නේ.බොරුවට සංස්කෘතියකට බය වෙන්නේ?”

දික්කසාද වූ ගැහැනියකට අවිවාහක තරුණයකු සමඟ ප්‍රේමයෙන් බැඳෙන්නට හැකියාවක් තිබේදැයි ඊයේ නංගි සමඟ තර්ක කළ අවස්ථාවේදී ඇය පැවසූ අන්දම සිහි කරමින් හිමාෂා කලබල වීදියක ඉදිරියට ඇවිද ගියා ය.ඔහු හමුවන්නට තවත් අඩි කිහිපයක් ඉදිරියට යා යුතු වේ.

“මම කිසිම දවසක ආදරේ කරල නැති ගෑනියෙක් කියලා තේරෙන්න ගත්තේ ඔයාට ආදරේ කරන්න හිතුණට පස්සේ.හැඟීමක් දැනීමක් නැතිව ඔහේ ජීවත් වෙනවාට වඩා හැඟීම් එක්ක ගනුදෙනු කරන එක හරිම අමාරුයි කියන එක මට තේරුම් ගිය ඔයාව මුනගැහුණට පස්සේ.”

ඔහු ඉතා සමීපයට එද්දී හිමාෂා සිතුවා ය.ප්‍රේමය හැඟීමක්වත් නැතිව විවාහ ජීවිතය වසර කිහිපයක් ගත කළ බව සිතද්දී දැන් ඇයට දැනෙන්නේ පුදුමයකි.

“ලුණුයි බතුයි කකා හිටපු මනුස්සයෙකුට රසම රස කෑමක් ලැබුණට පස්සේ තමයි තේරෙන්නේ ලෝකෙ රස කෑමත් තියෙනවා කියල.”

නැගණිය එසේ පවසද්දී හිමාෂාට ද පැවසීමට කාරණාවක් තිබිණ. බොහෝ ප්‍රණීත බවට සැලකෙන ආහාර වලට පවා දරුණු උදරාබාධ ඇති කිරීමේ හැකියාව පවතී. රසක් නොමැති ආහාරයකට එසේ නොවන වග සිහිවන්නේ එවැනි මොහොතකයැයි කියද්දී අමායා හිනැහුණු අන්දම මේ මොහොතේ පවා හිමාෂාගේ දෙසවනෙහි දෝංකාර දෙයි.

“ලුණුයි බතුයි කාල තව පොඩ්ඩෙන් බඩවැලුත් නැති වෙනව කියලා අමතක වුණානෙ.”

නැගණිය සිතෙන තරමට ජීවිතය සරල නොවන බව සිතේ.එහෙත් ඇය පවසනවාටත් වඩා ජීවිතය සරල බව සිතෙන්නේ රවිඳු ඇස් මානයේ දැවටෙද්දි වග සිතෙද්දී ඔහු හුස්මක දුරට පැමිණ තිබිණ.ගිනි ගන්නා දහවලක ඔහු හිම කිරමක සිසිලස දෙමින් දෑස් වලින් හිනැහෙද්දී තමන්ට තවදුරටත් ගල්ගැසී ජීවත්විය නොහැකි වග හිමාෂා තේරුම් ගත්තා ය.

“ගිනි අව්වේ කොහෙද යන්නේ මේ?”

පෙනුමේ හැටියට ඔහු ද අද රාජකාරියට ගිය වගක් පෙනෙන්නට නැත.පිළිතුරු දීම වෙනුවට ප්‍රශ්නයක් ඇසීම හිමාෂා තෝරා ගත්තා ය.

“කියන්නෙ නැතුව ඔහොම නිවාඩු ගත්තහම කොහොමද ඉතින් ඔෆිස් එකක වැඩ කරන්නේ?”

මේ ජනාකීර්ණ නගරයක සෙනඟ උතුරා යන වීදියක් වගවත් නොසලකා රවිඳු උස් හඬින් හිනැහී ය.

“අද අපි හැමෝම නෑ කියලා හිතුණාම අනිත් අයටත් වැඩක් කෙරෙන්නේ නෑ. එකක් අපි නැතිව වැඩ කරගන්න බෑ.අනිත් එක කේලං හොයන්න ගියාම අද කට්ටියට වැඩ කරන්න වෙන්නේ නෑ.අපි කවුරුත් ඔෆිස් එකේ නැති නිසා අපි කොහේ යන්න ඇතිද කියලා කල්පනා කරන්න පැය අට මදි වෙයි.”

ඉතා සරල විහිළුවකට සහ මන බන්දනීය සිනහවකට බොහෝ වේදනා අමතක කළ හැකි බව හිමාෂාට දැනුණේ ඒ මොහොතේදී ය.ජීවිතය ඉතා පහසු කරගත හැකි තැන් වල කෙල අසීරු වන්නට ඉඩ දිය යුතු නැතැයි ඇය සිතුවේ මීට ටික වේලාවකට පෙර මුණ ගැසුණු මිනිසා ද මේ තරුණයා ද සසඳන අතරේ ය.

දහවලෙහි හිරු වඩාත් චණ්ඩව පායා එමින් තිබේ.නමුත් හදවතට දැනෙන අප්‍රමාණ සැනසිල්ලට හේතුව පැහැදිලි කරගන්නට හිමාෂාට උවමනා විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles